කර්නෙවාලේ

සීතලට හිරිවැටුණු අත්ල ගිනි උදුනට අල්ලා රත් කර ගත් කල මට ලියන්න පෑන අල්ලා ගත හැකිය. පහත රට නැටුමේ රසභාව පිළිබඳ ලියන්නට මා ඉතා ම උඩ රටකට ඇවිත් ඇති නියාව උත්ප්‍රාසාත්මකයි.

උඩ පහත දෙරට භූමියේ උස් මිටිකමක් නිසා සිදු වූවක් නොව ලන්දේසි පරිපාලන බෙදීම ඉංග්‍රිසීන්ට වාසි සහගත වූ නිසා සිදු වූවක් යැයි මා මීට පෙර පුන පුනාම සඳහන් කර ඇත.

මා ඉතාම උඩ රටක සිටින්නේ යැයි කීවේ හේතු දෙකක් අනුවයි. මා සිටින්නේ ලෝක සිතියමේ උතුරු අක්ෂාංශ 46 ත් නැගෙනහිර දේශාංශ 110 ත් කැපෙන තැන පිහිටි ලාඕර්කා නම් උතුරු ඉතාලි කඳුකර ගම්මානයේය. උතුරු ඉතාලියේ මිලානෝ නම් වෙළෙඳ නගරයට කිලෝ මීටර් 50 ක් ඊසානයෙන් පිහිටි ලෙක්කෝ ප්‍රදේශයේ ඇති සන් මර්තීනෝ කඳු පාමුල පිහිටි අති සුන්දර කඳුකර ගම්ානයකි ලාඕර්කා.

සන් මර්තීනෝ යනු ස්විට්සර්ලන්තයට අයත් ඇල්ප්ස් කඳු පන්තියේ දකුණු දිග සීමාවයි. එහෙයින් මා දැන් සිටින්නේ පෘථිවි ගෝලයේ උතුරු දිශාවේ සීතල ඇල්ප්ස් කඳු පන්තියේය. එහෙයින් මම දෙපැත්තකින්ම උඩරටක තාවකාලිකව වාසය කරන ගමන් මේ ලිපිය ලියා සරසවියට එවන්නට සිතා ගතිමි.

උඩරට නැටුම යනු ගෞරවාන්විත සහ රාජකීය වෙස් නැටුමයි. එහි ඇත්තේ දේශීය රාජකීයත්වයට සහ දළදා තේමාවට උචිත ආගමානුකූල ධවල වර්ණය පමණි. එහෙත් නිදහස් සිවිල් ජන සම්ප්‍රදායට අයත් වන පහත රට යැයි නම් ලැබ ඇති ගැමි නැටුම් විශේෂයේ අසීමාන්තික වර්ණ භාවිත කෙරේ. අසීමාන්තික වර්ණ භාවිතය යනු අසීමාන්තික භාව නිරූපණය බව මම විශ්වාස කරමි.

පහත රට නැටුමට උදාහරණයක් ලෙස මට ඉතාලියේ ජන නැටුම් විශේෂයක් කැඳවිය හැකිය. ඒ නැටුම හඳුන් වන්නේ කර්නෙවාලේ නැටුම ලෙසයි. කර්නෙවාලේ යනු වර්ණවත් චාරිත්‍රානුකුල නැටුම් සැණකෙළියකි. සැණකෙළිය අප ඉංග්‍රීසියෙන් හඳුන් වන්නේ Carnival  කියාය. Carnival  යන ඉංග්‍රීසි වචනය හැදෙන්නේ ද ඛ්චපදඥමචතඥ යන ඉතාලි රූපයෙනි.

මම උතුරු ඉතාලියේ, දකණු ඉතාලියේ සහ සිසිලි දූපතේදී ද කර්නෙවාලේ උත්සවය දැක ඇත්තෙමි. වර්තමාන උතුරු ඉතාලියේ ඉතාම පොහොසත් සංචාරක නගරය වන වැනීසි නගරයේ පවත්වන කර්නෙවාලේ සැණකෙළිය ඉතාම දියුණු පොහොසත් සහ විචිත්‍රතම උත්සවයයි.

කර්නෙවාලේ ආරම්භ වන්නේ මාංශ වර්ජනය කරන දිනයේදීය. කර්නෙ යනු මස් සඳහා ඇති ඉතාලි වචනයයි. වාලේ යනු වැරීම හෙවත් අත හැරීම යන තේරුමයි. එහෙයින් චතාරිකකාලය හෙවත් ක්‍රිස්තු තුමන්ගේ දුක්ඛප්‍රාප්තියට සූදානම් වීම සඳහා සියලු ප්‍රීති උත්සව සහ මාංශ භුක්තිය අත් හැරීම වෙනුවෙන් මේ සැණකෙළිය පවත්වනු ලැබේ.

කර්නෙවාලේ සැණකෙළියේ ඇත්තේ විවිධ වර්ණිත ඇඳුම් විලාසිතාවන්ගේ විශ්මය සෙසු අයට ඉදිරිපත් කිරීමයි. මේ සඳහා යොදා ගන්නේ ඓතිහාසික ෆැන්ටසියයි. අදහාගත නොහැකි තරමින් ආහ්ලාදජනක වූ වෙස් මෝස්තර පිටියට පිවිසෙයි. විවිධ මෝස්තරයේ වෙස් මුහුණු ද අත්‍යාලංකාර සහ අරුමැසි (Fantasy) ඇඳුම් මෝස්තර ද තරගයට මෙන් ඉදිරිපත් වෙයි.

මම 1993 දී වැනිස් නගරයේදී කර්නෙවාලේ ඇඳුම් මෝස්තර සංචාරකයන්ට දක්වන ආකෘතික සැණකෙළියක් දැක තිබුණ ද නියම කර්නෙවාලේ සැණකෙළියක් දැක ගත්තේ 2009 වර්ෂයේදී දකුණු ඉතාලි දූපතක් වන සුන්දර සිසිලි දූපතේ මෙස්සිනා අග නගරයේදීය. විශාල පිට්ටනියක් වෙත ඇදෙන අති මහත් වර්ණ ජන ගඟක් මෙක්සිකෝවේදී මම රූපගත කර ගත්තෙමි. අද වන විට තාක්ෂණික පොහොසත්කම් ද එකතු කරගෙන ඇති සැණකෙළියට විශාලනය කර ගත් වර්ණාධික ප්‍රදර්ශන රථ පෙරහරක් ද අයත්ය.

කර්නෙවාලේ කාලයට ඉතාලිය පුරා ඇති හැම ගම්මානයක් ම වර්ණයෙන් සැරසෙයි. මා මේ ලිපිය ලියන ලාඕර්කා ගම්මානයේ ද පවත්වන කර්නෙවාලේ උත්සවයකට 2009 දී මම සහභාගි වී ඇත්තෙමි. මා නිවසන මගේ සහෝදර සුදත් ඇන්තනීගේ කුඩා දියණිය ද අපූරු හුරුබුහුටි කර්නෙවාලේ ඇඳුමකින් සැරසී ඇගේ පාසලේ පැවැත් වූ සැණකෙළියට ගියේ මා ද කැටුවය.

වැනීසියේ කර්නෙවාලේ උත්සවයේ ඉතිහාසය 1799 වර්ෂයෙන් ආරම්භ වන්නේ යැයි අන්තර් ජාලය දැක් වුව ද ලෝක නාට්‍ය කලාවේ ඉතිහාසය තුළ ඇති කර්නෙවාලේ සාධක 15 වැනි ශත වර්ෂයේ එලිසබතානු එංගලන්තයට ම ගමන් කරතැයි මට සිතේ. විලියම් ශේක්ස්පියර් නම් උග්‍ර එලිසබතානු නාට්‍ය රචකයා ඉතාලි සංස්කෘතියෙන් බොහෝ කථා වස්තු ලබාගත් ඉංග්‍රීසි නාට්‍යකරුවෙකි. එතුමන්ගේ ‘වැනීසියේ වෙළෙන්දා’ සහ ‘රෝමියෝ ජුලියට්’ ද ඉතාලියානු අත්දැකීම් මත ගෙතී ඇත.

මා මිලානෝ නගරයේ සිට වැනිස් නගරය වෙත ධාවනය කරන පාරේ පාදුවා නගරය හමුවීමට පෙර වෙරෝනා නගරය පසු කළෙමි. වෙරෝනාවේ මඳක් විවේක ගත් මගේ නඩය එහි ආරක්ෂිතව ඇති ‘ජුලියට්ගේ සොහොන් ගැබ’ පුරා වස්තුව නරඹන්නට ද ගියේය. ජුලියට්ගේ කැපියුලට් මාලිගාව ද වෙරෝනාවේ තවමත් පවතීී යැයි මා අසා ඇත.

රොමියෝ ජුලියට් නාට්‍යයේ රෝමියෝට ජුලියට් නම් තම රූබර පෙම්වතිය මුණ ගැසෙන්නේ කැපියුලට් මාලිගාවේ පැවති කර්නෙවාලේ නැටුම් උත්සවයකදීය. මට එංගලන්තයේදී ‘රෝමියෝ සහ ජුලියට්’ නාට්‍යය නැරැඹීමේ වරය නොලැබුණ ද මම ඕඕඛ් නිෂ්පාදනයක් වන ෆ‍්‍රන්සුවා සෙෆරෙල්ලි අධ්‍යක්ෂණය කළ ‘රෝමියෝ සහ ජුලියට්’ චිත්‍රපටය නරඹා ඇත්තෙමි. ෆ‍්‍රන්සුවා සෙෆරෙල්ලි ඒ චිත්‍රපටයේ හරි අපූරුවට කැපියුලට් මාලිගාවේ කර්නෙවාලේ උත්සවය රූප ගත කර ඇත.

රෝමියෝ සහ ජුලියට් කථා ප්‍රවෘත්තිය ඇසුරෙන් මා නිර්මාණය කළ ‘ජුලියට්ගේ භූමිකාව’ නම් චිත්‍රපටය සඳහා මම කර්නෙවාලේ නටුම් යොදා ගතිමි. ඒ වන විට මම වැනිස් නුවර කර්නෙවාලේ විචිත්‍රත්වය දෑසින් දැක තිබුණෙමි. ඒ වන විට මම වෙරෝනාවේ ජුලියට්ගේ සොහොන් ගැබ ද දැක තිබුණෙමි. ඒ වන විට මම එංගලන්තයේදී ශේක්ස්පියර් ගම්මානයේ එතුමන්ගේ නිවසට ද ගොඩ වැදී තිබුණෙමි.

එහෙයින් ලංකාවේදී පිළියෙල වුණු පළමු කර්නෙවාලේ උත්සවය වනාහි ජුලියට්ගේ භූමිකාව චිත්‍රපටය සඳහාකළුතර රිච්මන්ඩ් කාසල් ගොඩනැගිල්ලේදී පිළියෙල කරන ලද කැපියුලට් උත්සවයයි. එහි රඟපෑ අමෝජා, කමල්, චාන්දනී සහ මහේන්ද්‍ර පෙරේරා ඇතුළු විශාල පිරිසකට විචිත්‍ර කර්නෙවාලේ ඇඳුම් මා සකසා ගත්තේ කාන්චනා තල්පාවිලට කියාය. එලිසබතානු නර්තන රචනාව සේනක ද සිල්වා ගෙනි.

මවිසින් අධ්‍යක්ෂණය කෙරුණු ජලියට්ගේ භූමිකාව චිත්‍රපටය සඳහා ලංකාවේ පළමු කර්නෙවාලේ උත්සවය කැමරා ගත කරන ලද්දේ ඇන්ඩෲ ජයමාන්න නම් ප්‍රවීණ කැමරා ශිල්පියාය.

එහෙයින් එන්න,

කර්නෙවාලේ සහ පහතරට නැටුම් විමසා බලන්න මේ හොඳ ම උස් බිමයි

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    චිත්‍රපට

    මතු දිනෙක

    රංග කලාව