දේශීය සිනමාවට වසර 65 යි ජාතික චිත්‍රපට සංස්ථාවට 40 යි

1947 ජනවාරි 21 වන දින කඩවුණු පොරොන්දුව චිත්‍රපටය සමඟ ආරම්භ වන දේශීය සිනමාව 2012 ජනවාරි 21 වන දින සිය 65 වන උපන් දිනය සැමරීමට නියමිතය. ඒ හා සමානව ශ්‍රීී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 40 ක් සපිරීම සමරනු ඇත. ඒ වෙනුවෙන් පහත සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබේ.

ජනවාරි මස 20 වන සිකුරාදා පෙ. ව. 9.30 ට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ගරු අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල හා සංස්ථා සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ වන අතර, එහිදී දේශීය සිනමා කර්මාන්තය වෙනුවෙන් පුරෝගාමීව කටයුතුª කළ සුවිශේෂ පුද්ගලයන් 04 දෙනෙකුට උපහාර පිදීම සිදු කරනු ඇත. එයට අමතර , සිනමා කර්මාන්තයේ නියුතුව ජීවිතයෙන් සමුගත් සිනමා ශිල්පීන් හා සංස්ථා කාර්ය මණ්ඩල සාමාජිකයන්ට හා දැනට ජීවතුන් අතර සිටින සිනමා ශිලපීන්ට හා සමස්ත කාර්ය මණ්ඩලය සඳහා නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය 2012 ජනවාරි මස 20 වන දින පවත්වනු ලබන අතර, පසුදින ස්වාමීන් වහන්සේලා 15 නමක් වෙනුවෙන් හීල් දානමය පිංකම සිදු වේ.


මාතා 20 දා

බූඩි කීර්තිසේනගේ ‘මාතා’ මෙම මස 20 වැනිදා සිට සී. ඊ. ඒ. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වීම ඇරැඹේ.

සිනමාවට හඳුන්වා දෙන යශෝධා රාධක්‍රිෂ්ණන් සමඟ දර්ශන් ධර්මරාජ්, රවීන්ද්‍ර රන්දෙණිය මහේන්ද්‍ර පෙරේරා, බුද්ධික ජයරත්න, තුමිදු දොඩම්තැන්න, ධර්මප්‍රිය ඩයස්, රාජා ගනේෂන්, මල්ලිකා කීර්ති, කේ. පවිත්‍රන්, දසුන් පතිරණ මාතා හි චරිත මවති.

මාතා රුවන් ජයසිංහ, සරත් රණවීර සහ විජය රත්නායකගේ නිෂ්පාදනයකි.


සිනමාවේ 65 ට මුද්දර හයක්

සිනමාවට අනුපමේය මෙහෙයක් ඉටු කළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, නිළි රැජන මාලිනිෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටයිටස් තොටවත්ත, එඩී ජයමාන්න, සන්ධ්‍යා කුමාරි යන කලාකරුවන් හය දෙනාගේ රුව ඇතුළත් මුද්දරයක් අප සිනමාවට වසර හැටපහක් සපිරෙනදා එනම් එළඹෙන සෙනසුරාදාවේ සවස කොළඹ සුදර්ශී ශාලාවේදී නිකුත්වේ.

තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වීමට නියමිතය.

මෙම මුද්දර පිළිබඳ සංකල්පය ජීවන් කුමාරණතුංග මහතාගේ බව මුද්දර කාර්යාංශයේ උපදේශක සහ අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ජනක මල්ලමාරච්චි පවසයි.


අලුත්ම කැමරාවක් සමඟ වෛෂ්ණාවී ඇරැඹුණු දා

විශේෂ මුහුරත් උළෙලක් සමඟින් හෙළ සිනමා කිවිඳියගේ දොළොස් වැනි සිනමා කාව්‍යයෙ හි වැඩ කටයුතු ඉකුත්දා කොළඹ පාක් හෝටල් පරිශ්‍රයේදී අරඹන ලදී. වෛෂ්ණාවී යනුවෙන් නම තබා ඇති එය ඒෂියා ඩිජිටල් එන්ටර්ටේන්මන්ට් ආයතනයේ නිෂ්පාදනයකි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීර්ස්ගේ කතා සංකල්පයකට අනුව ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහයන් වෛෂ්ණාවී හි තිර පිටපත සකසා තිබේ.

ටෝනි රණසිංහ, අයිරාංගනී සේරසිංහ, වසන්ති චතුරාණි, යශෝධා විමලධර්ම, මහේන්ද්‍ර පෙරේරා, ජයලත් මනෝරත්න, අශෝක රොද්‍රිගෝ, ෂෙහාරා හේවාදූව, තුමිදු දොඩම්තැන්න, වීණා ජයකොඩි, රොෂාන් පිලපිටිය ඇතුළු පිරිස වෛෂ්ණාවී හි චරිත මවති. කැමරාව ඩොනල්ඩ් කරුණාරත්නගෙනි. උපාලි පෙරේරා සහය අධ්‍යක්ෂවරයාය. ග්ලැඩ්වින් ප්‍රනාන්දු සංස්කරණ ශිල්පියාය. සරත් විජේසේකර නිෂ්පාදන කළමනාකරුය. වෛෂ්ණාවී ලාලිංග මුතුකුමාරණගේ නිෂ්පාදන විධානයකි. මේ චිත්‍රපටය රූපගත කිරීම සඳහා අලුත් රෙඩ් කැමරාව භාවිත කරනු ඇත.


සිකුරු වසන්තේ 23 වැනිදා

මේ 23 වැනිදා සිට සුදත්ත තිලක්සිරි ජාතික රූපවාහිනියට සිකුරු වසන්තය ගෙන එනවා. දීර්ඝ ටෙලි නාට්‍යයක් වන සිකුරු වසන්තය සුදත්ගේ අලුත්ම අධ්‍යක්ෂණයයි. සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ සෑම දිනකම රාත්‍රී 7.27 ටයි සිකුරු වසන්තය දිග හැරෙන්නේ.

රංගන ප්‍රේමරත්න, රවීන්ද්‍ර යසස් කුමානායක, රම්‍යා වනිගසේකර, දමිතා අබේරත්න, අසංග පෙරේරා, සරත් කොතලාවල, කුසුම් පෙරේරා, නිල්මිණි කෝට්ටෙගොඩ, කසුන් චාමර කුමානායක, රොහානි වීරසිංහ, අයෝධ්‍යා, දක්ෂිකා, යසෝධරා තිලක්සිරි (ළමා), සුදත්ත තිලක්සිරි, ජනිත් වික්‍රමගේ, වසන්ති රන්වල, සුදර්ශි ගැලනිගම, ප්‍රේමදාස විතානගේ, අංජලී ලියනගේ, සුබෝධි ධර්මරත්න, මහින්ද ශ්‍රී උපුල්, අවන්ති පෙරේරා, කවීෂා අයේෂානි සිකුරු වසන්තයේ නළු නිළි පිරිවර යි.

සිකුරු වසන්තේ සුමුදු තිලක්සිරිගේ නිෂ්පාදනයක්. ගාමිණී රත්නසිරිගේ තිර රචනයක්. දිලීප පුස්වැල්ල කැමරාකරණයෙන් දායක වී තිබෙනවා. වසන්ත කිත්සිරි සහය අධ්‍යක්ෂවරයාය. කලා අධ්‍යක්ෂණය අසේල සල්ගාදුගෙන්. මනෝජ් ලක්සිරි අංග රචනා ශිල්පියාය. සමන් දිසානායකගේ පද නිමැවුමට දර්ශන වික්‍රමතුංගගේ සංගීත අධ්‍යක්ෂණයෙනි. උරේෂා රවිහාරි සමඟ කසුන් චාමර ගායනයෙන් දායක වෙනවා. සිකුරු වසන්තේ හි කතා සංකල්පය නැසීගිය නිමල් නවරත්නගෙනි.


විමලවීරයන් සමරා චිත්‍රපට ත්‍රිත්වයක්

දේශීය සිනමාවේ ලාංකික සලකුණ සනිටුහන් කිරීමෙහිලා පුරෝගාමීයකු වූ සිරිසේන විමලවීරයන් නිර්මාණය කළ චිත්‍රපට ත්‍රිත්වයක් මෙම මස 22 වැනිදා එනම් එළඹෙන ඉරිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ප්‍රදර්ශනය වේ.

ඒ අනුව එදින උදෑසන 10.30 ට පිටිසර කෙල්ල (1953) සහ සවස 1.30 ට අසෝකා යන චිත්‍රපට ද්විත්වය තිරගත වේ.

ඉන් අනතුරුව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් සිරිසේන විමවීරයන් පිළිබඳ සමරු දේශනයක් පවත්වනු ලබයි.

එයින් පසුව මා ආලය කළ තරුණිය (1959) ප්‍රදර්ශනය කරනු ඇත.

1901 ජූනි මස 22 වැනිදා තංගල්ල පොළොන්මාරුව ග්‍රාමයේ උපත ලද විමලවීරයන් 1926 දී ‘ප්‍රතාප් සිං’ වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරමින් කලාවේ අත්පොත් තැබීය.

1949 වසරේ අම්මා චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් සිනමාකරුවකු වූ හෙතෙම එමගින් ඩී. ආර්. නානායක්කාර, පර්ල් වාසුදේවි, එඩි ජූනියර් වැන්නවුන් සිනමාවට හඳුන්වා දෙන ලදී.

ඔහුගේ දෙවැනි සිනමා කෘතිය වූයේ සීදේවි ය.1952 දී කිරිබත්ගොඩ නගරයේදී නව ජීවන චිත්‍රාගාරය ආරම්භ කොට මෙරට චිත්‍රගාරයක් තුළ නිපද වූ පළමු චිත්‍රපටය ‘පිටිසර කෙල්ල’ එහි රූගත කරන ලදී.

අනතුරුව සරදියෙල් (1954) අසෝකා (1955) පොඩි පුතා (1955) සිරකරුවා (1957) එකමත් එක රටක (1958) මා ආලය කළ තරුණිය (1959) වනමල (1960) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ විමලවීරයන් පොඩි පුතා වෙනුවෙන් 1956 දීපශිඛා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය. ඔහු ලබාගත් එකම සම්මානය ද වූයේ එයයි.

වසර දහ හතරක් විවිධ බාධකයන් හමුවේ සිංහල සිනමාවට මහගු මෙහෙයක් කළ විමලවීරයන් 1963 අගෝස්තු මස 24 වැනිදා දැයෙන් සමු ගත්තේය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    චිත්‍රපට

    මතු දිනෙක

    රංග කලාව