වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




සරඝරප හින්දා සැබෑව එළිවුණා

සරඝරප හින්දා සැබෑව එළිවුණා

පත්තර ලෝකයේ කාගෙත් මිතුරු

නෝමන් පලිහවඩන

පත්‍ර කලාව ඔහුගේ වෘත්තියයි. එහෙත් ඔබ මේ තැනැත්තාව මගතෙටදී දුටුවහොත් හඳුනා ගන්නේ රංගන ශිල්පියකු හැටියටයි. මෝමන් පළිහවඩන නමැති ඔහු පුවත්පත් ලෝකයේ පෙරළිකාරයෙකි. ඒ බවට වාදයක් නැත.

නෝමන් රඟපෑ ඝරසරප සිනමාපටය මේ දිනවලදී තිරගත වෙයි. එහි ඔහුගේ සැබෑ චරිතය තිබීම ද විශේෂත්වයකි.

නෝමන්, ඔබ ඔබවම රිදී තිරයෙන් දකිද්දී මොකද හිතුණේ?

මගේ තරුණ කාලයත්, වර්තමානයත් දෙකම ඒ රංගන ශිල්පියා ඉදිරිපත් කරනවා මේ චිත්‍රපටය තුළදී. ඇත්තම කිව්වොත් මගේ තරුණ කාලයේ චරිතය මං වගේමයි. කිසිම වෙනසක් නැහැ. සඳුන් බණ්ඩාර තමයි මගේ චරිතය රඟපෑවේ. වසන්ත විට්ටච්චි නමැති විශිෂ්ට අංග රචනා ශිල්පියා හොඳින් ඔහුගේ වගකීම ඉටු කොට තිබුණා. මෙහි අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි සඳුන්ට කියලා තිබුණලු මාව අධ්‍යයනය කරන්න කියලා. සඳුන් මට හොරෙන් ඒකත් කරලා. අන්තිමේ මගේ සැබෑ ස්වරූපය එළියට ආවා.

ඝරසරප චිත්‍රපටයට පාදක වන කතාව ඔබද ජයන්තට කිව්වේ?

නැහැ. නමුත් මට චිත්‍රපටයේ පුරාවටම ඉන්න ඇත්ත චරිත වගේ අයව බොහොමයක් මුණ ගැහිලා තියෙනවා.

චිත්‍රපටයේ හිටියා වගේ ඇත්තම පියතුමෙක් ඉඳලා තියෙනවා?

ඔව්. මමත් ඒ පල්ලියට ගිහින් තියෙනවා. රඹුක්කන දොඹේමඩ කුඩාගම පල්ලිය කියලා තමයි ඒකට කිව්වේ. ෆාදර්ගේ නම කැමිලස් ජයමාන්න. උන්වහන්සේ සොයාගෙන දිවයිනේ නන් දෙසින් සෙනඟ එනවා. කලු කුමාරයන් වැහිච්ච කෙල්ලො අනන්තයි. මේ අය ඇවිත් සුවය ලබා පිටත්ව යනවා.

ඔය අතරේ චිත්‍රපටයේ ඉන්න සැබෑ චරිතත් ඉන්න ඇති?

අනිවාර්යෙන්ම. මට ඒ චරිත හමුවෙලා තියෙනවා. ජයන්ත ඒ චරිත අධ්‍යයනය කරලා තමයි ඔය පිටපත ලිව්වේ.

ජයන්තට කොහොමද ඒ චරිත හමුවන්නේ?

අහ් . . . මට කියන්න බැරි වුණා. ජයන්තත් කුඩාගම පල්ලියට නිතර ආවා.

චිත්‍රපටයේ තියෙනවා ඔබ තරුණ කාලයේදී පත්තරයක් අච්චු ගසා පල්ලිය භූමියේ බෙදාහල බවට?

ඔව්. ඒක වුණේ මෙහෙමයි. කුඩාගම පල්ලිය ප්‍රසිද්ධ වුණ කාලේ මං පත්තරේක කිරිබත්ගොඩ ප්‍රාදේශිය වාර්තාකරු හැටියට වැඩ කළා. ඔබ පල්ලියට යෑමේ උනන්දුවත් තිබුණේ එතන වෙන්නේ මොකක්ද කියන කුතුහලය නිසා. මමත් තව යහළුවො කිහිප දෙනෙකු එක්ක ඔය පල්ලියට ගියා. එන අතරතුරදි තමයි මිත්‍රයෙක් මගේ ඔළුවට දැම්මේ පත්තරේ ගැන.

ඊට පස්සේ මොකද කළේ?

ගෙදර ආව ගමන් මං ඩමියක් ගැහැව්වා. ගණ බැලුවේ නැහැ. හිතට ආවා නමක් භක්තිය කියලා. ඒක තිබ්බා. කිරිබත්ගොඩ හතර අතේ ඇවිදලා වෙළෙඳ දැන්වීම් හොයා ගත්තා. කුඩාගම ආව මුදලාලිලා කිහිප දෙනෙක් බෙහෙවින් උදව් කළා. මමම ලිපි ලියලා පිටු සකසලා, මුද්‍රණකරුවෝ හොයාගෙන පිටපත් දෙදහක් විතර ගැහැව්වා. ඊළඟ සතියෙම කුඩාගම දේව මෙහෙයට යද්දී පත්තරේ පිටපත් ටික ගෙනිච්චා. උණු කැවුම් වගේ විකිනුණේ. සමහරු කියවලා බිම දාන පත්තර පවා අයේ මං විකුණුවා.

ශත විසි පහයි පත්තරේ මිල. කෙටි කලකින් මට කැමිලස් ෆාදර් හා සමීපව ඇසුරු කරන්නට ලැබුණා. පසුකාලීනව දේව මෙහෙය අතරතුරදී ෆාදර් භක්තිය පත්තරේ ගැන කියනවා. එතකොට තවත් පිරිස උනන්දුවෙන් මිලට ගත්තා. කොහොම හරි අවුරුද්දක් හමාරක් පත්තරෙ කළා. මුද්‍රණ ප්‍රශ්නයක් ඇවිත් තමයි වැඩේ නැවැත් වූයේ.

කැමිලස් පියතුමා ගාවට ඇවිත් සුවය ලබපු අය පසුකාලීනව ඔබ ඇසුරු කළාද?

ඔව්. එක් කෙනෙක් කියන්න බැහැ. බොහෝ දෙනෙකුව ඇසුරු කළා. ඒ අතර යක්ෂාවේෂ වූවන් හිටියා. සමහරුන්ගේ ඇඟ ඇතුළේ තිබිලා ඉඳිකටු ගන්නවා මගේ ඇස් දෙකෙන්ම දැක්කා. සමහරු ගෙවල්වල ප්ලෑන් ගෙනාවා. කෙසේ වෙතත් කොහොම ලෙඩ වෙලා සුවය ලැබුවත් පසුකාලීනව ඒ අය හිතවත් වුණා.

‍නෝමන් අයියා රංගනයට ආවේ කොයි කලෙද?

දැන් ටිකක් කල්. උදයකාන්තගේ දිය සුලිය ටෙලි නාට්‍යයෙහි මං මුලින්ම රඟපෑවේ. උදයකාන්ත, ජයන්ත චන්ද්‍රසිරි සහ දයාරත්න රටගෙදර කියන අධ්‍යක්ෂවරු ඔවුන්ගේ සෑම නිර්මාණයකටම වාගේ මාව ගත්තා.

ඔබ වඩාත් ආසවෙන් ඉදිරිපත් කළ චරිතය මොකක්ද?

පායා එන්න හිරු සේ චිත්‍රපටයේ රියදුරාගේ චරිතයට මං හරිම ආසයි. හුඟක් ප්‍රතිචාර ලැබුණා එහි මං ඉදිරිපත් කරන බොරු කැස්සට.

පුවත්පත් ලෝකයේ ඔබ කළ වික්‍රමයන් ගැන මං අසා තිබෙනවා. ඉන් එකක් තමයි ඔබ ලතින් බසින් කතා කොට පොලිස් නිලධාරියකුව රැවටීම?

ඔය සිදුවීම වුණේ ඉන්දුනීසියන් ගුවන් යානයක් කඩා වැටුණ වෙලාවේ. අපේ අය ඒක කවර් කරන්න අදිමදි කළා. සමහරු කිව්වා එතනට යන්න බැරි වෙයි කියලා. කාගෙවත් කීම අහන්නේ නැතුව මං එතැනට ගියා. පොලිස් නිලධාරියෙක් ඉන්නවා කාටවත් ඒ පැත්තට යන්න නොදී. මං ඔහු ගාවට කිට්ටු කළා. මං ලතින් ගීතිකා දැනගෙන හිටියා. ඒකේ වචන අරගෙන දෙයක් අහනවා වගේ පොලීසියේ කෙනාට කතා කළා. ඔහු හිතුවේ මං ඉන්දුනීසියන් කාරයෙක් කියලා. ටක් ගාලා මට එතැනට යන්න දුන්නා.

ඔබේ ලුණු තේ එකේ කතාවත් ප්‍රසිද්ධයි?

දිය සුලිය නාට්‍යයට ගියාම එතැන ඉන්නවා සුනීතා විමලවීර ඇතුළු නළු නිළියෝ ටික. මං ඔවුන්ව දන්නවා පෙර සිට. මං දර්ශන තලයට එන බව දැනගෙන මාව බයිට් කරන්න ඔවුන් ප්ලෑන් කරලා දුන්නා ලුණු දාලා තේ එකක්. මං ඔය වගක් දන්නේ නැහැනෙ. කෝප්පෙ අතට අරගෙන උගුරක් බොද්දියි වැඩේ තේරුණේ. මං ඒ බවක් නොහඟවා තේ එක බීගෙන බීගෙන ගියා මුකුත් නොවුණා වගේ. කොප්පෙත් පැත්තකින් තිබ්බා. දැන් මට පේනවා කට්ටිය මූණට මුහුණ බලා ගන්නවා. ඔවුන් හැදුවේ මාව බයිට් කරන්නනෙ. අන්තිමේ ඔවුන්වම බයිට් වුණා.