වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




24 frames

අසංක-නීලමනී-නයනානන්ද සමඟ හේමාල්-සෙනාලි-අෂාන් විජයබා කොල්ලය තිරයට ගෙනඑයි

තවත් සරසවි චිත්‍රපටයක් - මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණයක්

සිංහල සාහිත්‍ය ඉතිහාසයේ සදානුස්මරණීය නවකතාවක් වන ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන් ගේ විජයබා කොල්ලය නවකතාවේ අසංක, නයනාන්ද හා නීලමණි යන ප්‍රධාන චරිත ත්‍රිත්වය වෙනුවෙන් හේමාල් රණසිංහ, සොනාලි ෆොන්සේකා සහ අෂාන් ඩයස් සූදානම්ව සිටී.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කිරීමට සැරසෙන විජයබා කොල්ලය චිත්‍රපටය මෙරට සිනමා ඉතිහාසයේ තැනෙන දැවැන්තම චිත්‍රපටයක් වෙයි. 16 වන සියවසේ කෝට්ටේ රාජධානි සමය පාදක කොට ගෙන 1938 වසරේදී රචනා කරන ලද විජයබා කොල්ලය නවකතාව ලාංකික පාඨකයන් අතර තවමත් ජනප්‍රියත්වයේ ඉහළ අගයක් ගනී. විජයබා කොල්ලය නිෂ්පාදනය කරනුයේ සරසවි චිත්‍රපට වෙනුවෙන් එච්. ඩී. ප්‍රේමසිරි විසිනි. විජයබා කොල්ලය නවකතාවට 80 වසර සපිරෙන්නේ මේ වසෙර්ය.


The Newspaper  සමඟ කොතලාවල - තිරිමාදුර අධ්‍යක්ෂණයට

සරසවිය සම්මාන දිනූ බන්දුල ගුණවර්ධන යළි නිෂ්පාදනයට

සුද්දිලාගේ කතාව හා සිරිමැදුර චිත්‍රපට නිපදවා හොඳම නිෂ්පාදක ලෙස සරසවිය සම්මාන දිනූ නිෂ්පාදක බන්දුල ගුණවර්ධන ගේ නවතම නිෂ්පාදනය ද නිවුස් පේපර් සිනමා පටයේ වැඩකටයුතු පසුගියදා නිමවිය. එය සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර තිරරචනය ලියා අධ්‍යක්ෂණය කළ කුලුඳුල් චිත්‍රපටයයි.

කුමාර - සරත් සමඟ පුබුදු චතුරංග, ගිහාන් ප්‍රනාන්දු, ජයලාල් රෝහණ, නෙතලි නානායක්කාර, දයාදේව එදිරිසිංහ, ධර්මප්‍රිය ඩයස්, සරත් චන්ද්‍රසිරි, උමයංගනා වික්‍රමසිංහ, දිමුතු චින්තක, මාෂි සිරිවර්ධන, වසන්ත මොරගොඩ, වසන්ත කුමාරවිල, චින්තක වාස් ඇතුළු නළු නිළියන් හැටකට ආසන්න පිරිසක් මෙහි චරිත මවති.

මෙරට මුල්වරට සම අධ්‍යක්ෂණය කළ නළුවන් යුවළ වූයේ රෝයි ද සිල්වා හා ස්ටැන්ලි පෙරේරායි. 1977 දී තැනූ ටොම් පචයා ඔවුන් තැනූ චිත්‍රපටයයි. කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල, නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ තන්හා රති රඟා චිත්‍රපටයේ තිරරචකයින් වූහ.

චන්දන ජයසිංහගේ කැමරා අධ්‍යක්ෂයෙන්ද, රන්ජන් ප්‍රසන්න සහාය අධ්‍යක්ෂයෙන්ද, රවීන්ද්‍ර ගුරුගේ විධායක නිෂ්පාදනයෙන් ද මෙයට එක්වෙයි.

අජන්ත අලහකෝන් කලා අධ්‍යක්ෂවරයාය. සුජීව කරුණාරත්නගේ නිෂ්පාදන කළමනාකරණයකි. වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂවරයාය. ගයත්‍රි කේමදාස සංගීත අධ්‍යක්ෂවරයාය. රුක්මල් නිරෝෂ්ගේ සංස්කරණයකි.


ඝරසරප දින පනහයි

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ඝරසරප සිනමා පටය අති සාර්ථක ලෙස දින පනහ ඉක්මවිය. එය අර්ජුන කමලනාත්ගේ නිෂ්පාදනයකි. විචාරකයන්ගේ හා ප්‍රේක්ෂකයන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ ඝරසරප විශිෂ්ට ප්‍රේම වෘතාන්තයකි.

ජැක්සන් ඇන්තනි, කමල් අද්දරආරච්චි, සංගීතා වීරරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, කවින්ද්‍යා අධිකාරි, දෙවුනක පෝරගේ, අමීශා කාවින්දි, ජයන්ත බෝදිහන්දි ඇතුළු නළු නිළියන් රැසක් ඝරසරප රංගනයෙන් හැඩකරති.


උදයකාන්තගේ අලුත් ‘ගින්දරී’ කවුද

සරසවිය පාඨකයන්ටත් අවස්ථාවක්

ජනප්‍රිය සිනමාකරු උදයකාන්ත වර්ණසූරිය සිය බහු භූතයෝ චිත්‍රපටයේ තෙවැන්න ගින්දරි 2 නමින් තිරයට ගෙන ඒමට සූදානම් වෙයි. ගින්දරී සඳහා ප්‍රධාන චරිතයක් සඳහා වයස අවුරුදු 08 - 10 අතර පිරිමි ළමයකු අධ්‍යක්ෂවරයා සොයමින් සිටියි. එමෙන්ම යොවුන් රූමත් රංගන ශිල්පිනියක්ද හඳුන්වාදෙනු ඇත. ඉහත චරිතයන් සඳහා රංගනයට උනන්දුවක් ඇති අය වෙතොත් The Newspaper  යන විද්‍යුත් ලිපිනයට ළඟදී ගත් සේයාරුවක් සහ විස්තරයක් යොමුකරන ලෙස උදයකාන්ත දන්වා සිටී.


හිරු උලෙළට බොලිවුඩ් තරු එති

තුන්වැනි වරටත් පැවැත්වෙන හිරු Golden Film Awards  2018 සම්මාන රාත්‍රිය එළඹෙන 27 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ හිරු ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ අධ්‍යක්ෂ වින්සන්ට් සිල්වා, වැඩ සටහන් අධ්‍යක්ෂ විරාජ් වැලිවත්ත, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චාමර ජයවීර, හිරු නාලිකා අධ්‍යක්ෂ නිලේන්ද්‍ර දේශප්‍රිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජීවන්ත දේවප්‍රිය සහ අධ්‍යක්ෂ විශේෂ වැඩසටහන් රංගන ද සිල්වා යන මහත්වරුන් පැවසුවේ 2016 - 2017 වසරවල මෙරට තිරගත වූ චිත්‍රපට 50 ක්, කෙටි චිත්‍රපට 150 ක් විනිශ්චයට ලක්වන අතර එහිදී කලාත්මක, ජනප්‍රිය සහ විශේෂ වශයෙන් සම්මාන 40 ක් ප්‍රදානය කිරීමට නියමිත බවය.

ජනප්‍රිය සම්මාන සඳහා නළු නිළියන් සහ ගීත ජනතා මනාපයෙන් තෝරා ගැනීමට කෙටි පණිවිඩ සහ වෙබ් මාධ්‍ය යොදා ගැනීමට රසික රසිකාවන්ට අවස්ථාව ලබා දී තිබේ.

මේ වන වටත් ජනප්‍රිය නළුවන් 10 ක් නිළියන් 10 ක් සහ ගීත ලැයිස්තුව ප්‍රසිද්ධ කිරිමට නාළිකාව කටයුතු යොදා ඇත.

මෙවර හිරු රන් සම්මාන උලෙළේ විශේෂත්වය වන්නේ බොලිවුඩ් සිහින සිනමා සුපිරි තරු හතක් උලෙළට සහභාගිවීමයි. ගෝවින්දා, ජුහි චව්ලා, සයිෆ් අලි ඛාන්, ශිල්පා ෂෙට්ටි, සිද්ධාර්ථ මල්හෝත්‍රා, සරින් ඛාන් සහ සෝනක්ෂි සිංහා මෙවර උලෙළ සරසන්නට මෙරටට පායන බොලිවුඩ් තාරකාවන්ය.


රීලෝඩ් වැඩ නිමයි

ජාතික චිත්‍රපට සංස්ථා සරසවි චිත්‍රාගාරයේ ශබ්ද පරිපාලකයෙකු ලෙස සේවය කරන සුසන්ත ධර්මප්‍රිය අධ්‍යක්ෂණය කළ රීලෝඩ් සිනමාපටයේ සියලු වැඩකටයුතු ඉකුත්දා නිමවිය. මෙහි දිල්හානි අශෝකමාලා, කුමාර තිරිමාදුර, ගිරිරාජ් කෞශල්‍ය, රොෂාන් පිලපිටිය, තාරුකා වන්නිආරච්චි, සරත් චන්ද්‍රසිරි, නන්දන හෙට්ටිආරච්චි, ටෙඩී විද්‍යාලංකාර, මහින්ද පතිරගේ, සැනට් දික්කුඹුර, ඩී.බී.ගංගොඩතැන්න, ආරියසේන ගමගේ, ගයත්‍රි ඩයස්, හේමන්ත ඊරිගම, රාජසිංහ ලෝලුවාගොඩ, ඉන්දික දේශප්‍රිය ඇතුළු දක්ෂ නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙති.

නිෂ්පාදනය දායකත්වය කමල් ධර්මප්‍රිය මහින්ද උඩුවන සහ ධම්මිකා ප්‍රියදර්ශනි වන අතර සහය අධ්‍යක්ෂණය සම්පත් රත්නායකගෙනි. පිටපත හරිත වාසලගෙනි. සංගීතය කපිල මැදගොඩ ගෙනි. කැමරා අධ්‍යක්ෂණය මහේෂ් කරුණාරත්න වන අතර සංස්කරණයෙන් ප්‍රවීණ සංස්කරණ ශිල්පී එල්මෝ හැලිඩේ දායක වී ඇත.


නිදහසේ පියා යාපනයට ගියදා

සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ නිදහසේ පියා ඩී. එස්. සිනමාපටයේ මංගල දර්ශනය ඉකුත්දා කොළඹ රීගල් සිනමාශාලාවේදී පැවැත්විණ. මෙම සිනමාපටය සිංහල සහ දමිළ යන භාෂා ද්විත්වයෙන්ම තිරගතවීම විශේෂත්වයකි. සිනමාපටයේ දමිළ පිටපතෙහි මංගල දැක්ම යාපනය මැජෙස්ටික් සිනමා ශාලාවේදී පැවැත්විණ.


චිත්‍රපට අධ්‍යක්ෂ කීර්ති බණ්ඩාරට සම්මානයක්

2018 වසරේ ජාඇල ප්‍රාදේශීය සභාව මෙහෙය වූ සාහිත්‍ය උලෙළේ දී ජීවිතයේ එක වරක් පමණක් හිමි වන පුරවැසි සම්මානය මෙවර හිමි වූයේ චිත්‍රපට අධ්‍යක්ෂක, නිෂ්පාදක, රංගන ශිල්පී දේශබන්ධු විශ්ව අභිමානී කීර්ති බණ්ඩාර වෙතය.

එම සම්මානය පසුගියදා වැලිගම්පිටිය ගුරුගේ ශ්‍රවණාගාරයේදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඩිල්ෂාන් ජයවර්ධන මහතා අතින් පිරිනැමිණි. ජාඇල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතා ද එම අවස්ථාවට සහභාගි විය.


ආනන්ද සර් වැඩ ඇරඹේ

රවී චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කරන ආනන්ද සර් සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණ.

නයනා කුමාරි, වසන්ත කුමාරසිරි, ගයත්‍රි ඩයස්, චිලී, ශාලිකා එදිරිසිංහ, ලසන්ත උඩුකුඹුර, උදයකුමාරි රණසිංහ, ධනංජි තාරුකා, ජයරත්න රූපසිංහ ඇතළු පිරිස මෙහි චරිත මවති.

රෝමේන් ප්‍රනාන්දු කැමරා අධ්‍යක්ෂවරයාය. අමාලි මදුභාෂිනි අංග රචනයෙන් එක් වෙයි. අසංග බාලසූරියගේ අංගරචනයෙන්, හෂාන් තිළිණ ගුණසේකර සංගීත අධ්‍යක්ෂණයෙන් දායකවන ආනන්ද සර් සිනමාපටය තිස්ස රණසිංහගේ නිෂ්පාදනයකි. ආර්. පී. ගුණතිලක සහ ප්‍රියන්ති වීරසිංහ සහාය නිෂ්පාදකවරුන්ය. කතාව දෙබස් තිරරචනය සටන් අධ්‍යක්ෂණය රවී චන්ද්‍රසිරිගෙනි.