වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

බච්චන් පවුලෙන් තවත් තරුවක්

බොලිවුඩයේ බිග් බී හෙවත් අමිතාබ් බච්චන් සිය 76 වැනි උපන්දිනය පසුගිය සති අන්තයේදී සැමරුවා. ඒ සමඟින්ම බච්චන් පවුලේ තවත් සාමාජිකයෙක් කලා අංශයෙන් ඉදිරියට පැමිණියා. අමිතාබ්ගේ පියා හරිවන්ශ් රායි ශ්‍රීවාස්තව (බච්චන් යනු ඔහුගේ සුරතල් නාමය යි) ඉන්දියාවේ ප්‍රකට කවියෙකි. ලේඛකයෙකි. ඔහුගෙන් පසු ඔහුගේ වැඩිමහල් පුතු අමිතාබ් බොලිවුඩයේ රංගන ක්ෂේත්‍රයෙන් ඉහළට පැමිණි අතර ඔහුගේ බිරිය ජයා බච්චන් ද ප්‍රකට නිළියකි. අමිතාබ්ගේ පුතු (අභිෂේක්) මෙන්ම ලේලිය (ඓෂ්වර්යා රායි බච්චන්) ද බොලිවුඩයේ ප්‍රකට රංගන තරු වේ.

නමුත් අමිතාබ් - ජයා යුවළගේ දියණිය ස්වේතා බච්චන් මෙතෙක් කාලයක් කිසිදු අයුරකින් කලාවට දායක වූයේ නැහැ. රාජ් කපූර්ගේ දියණිය රිතූ කපූර්ගේ පුතු නිඛිල් නන්දා සමඟින් විවාහ වූ ස්වේතා සිය මුත්තණුවන්ගේ අඩි පාරේ යමින් පසුගියදා කලාවට සම්බන්ධ වුණා. ඒ ඇය විසින් රචිත පළමු කෘතිය එළි දක්වමින්. Paradise Towers නම් වූ එම නවකතාව පසුගියදා මුම්බායිහිදී එළි දැක්වුණේ බච්චන් යුවළගේ ආශිර්වාදය සමඟින්. ඉදිරියේදී මෙම නවකතාව සිනමා නිර්මාණයක් ලෙසින් වුවද දකින්නට හැකි වනු ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා ගෙන එනවා.


ක්‍රිකට් ලෝක කුසලාන ජයක් සිනමාවට

1975 වසරෙන් ඇරඹි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දෙවරක් කුසලානය තමන් සතුකර ගැනීමට සමත් වුණා. ඔවුන් පළමු ක්‍රිකට් ලෝක කුසලාන ජය ලබා ගත්තේ 1983 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිවයි. එවකට කපිල් දේව්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලද මේ ජයග්‍රහණය නුදුරේදීම බොලිවුඩ් සිනමා නිර්මාණයක් ලෙසින් එළිදැක්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා ගෙන එනවා.

Ek Tha Tiger, Bajrangi Bhaijaan,Tubelight වැනි සිනමා නිර්මාණ ගෙන ආ කබීර් ඛාන් විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිත මෙම චිත්‍රපටය නම් වී තිබෙන්නේ, '83' ලෙසින්. මෙම චිත්‍රපටයේ දී කපිල් දේව්ගේ චරිතයට පණ පොවන්නේ රන්වීර් සිං. නවසුදීන් සිද්දික් ඔහුගේ පුහුණුකරුගේ චරිතයට පණ පොවන්න නියමිත බවත් සැලයි. එසේම තෙළිඟු සිනමාවේ ජනප්‍රිය යොවුන් නළු අල්ලු අර්ජුන්ද මේ සමඟින් පළමුවරට බොලිවුඩයට පිවිසෙන බවටත් බොලිවුඩ් පුවත් ගෙන එනවා. ඔහු විසින් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම පසුකාලීනව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රිෂ්ණමචාරි ශ්‍රීකාන්ත්ගේ චරිතයට පණ පෙවීමට නියමිත බවත් වාර්තා වෙනවා.


කොලිවුඩ් සිනමා තරු පුංචි තිරයට

ජනප්‍රිය නළු කමල් හසන්ගෙන් පසු බොහොමයක් කොලිවුඩ් නළු නිළියන් රූපවාහිනියද තම වෘත්තියට ඉතා වැදගත් වන්නක් බව මේ වන විට අවබෝධකර ගෙන සිටින බව දකුණු ඉන්දීය සිනමා වාර්තා ගෙන එනවා. කමල් හසන් Bigg Boss රියලිටි වැඩසටහනට එක් වූයේ පසුගිය වසරේ සිටයි. මේ අනුව යමින් දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය තරු කිහිපයක්ම රුපවාහිනිය සහ රියලිටි වැඩසටහන් කෙරෙහි යොමු වී තිබෙනවා.

මේ දිනවල Sandakozhi 2 චිත්‍රපටයේ රූගත කිරීම් අතරේ විශාල් පුංචි තිරයේ රියලිටි වැඩසටහනක් මෙහෙයවීමට දායක වී සිටිනවා. පසුගිය 07 වැනිදා සිට විකාශය ආරම්භ කළ ඉභද Naam Oruvar වැඩසටහන සන් ටීවී ඔස්සේ විකාශය කෙරෙනවා. ආර්. සරත් කුමාර්ගේ දියණිය වරලක්ෂ්මී සරත්කුමාර් ඉදිරිපත් කරන Unnai Arindaal නම් රූපවාහිනි වැඩසටහන ජය ටීවි ඔස්සේ විකාශය ආරම්භ කෙරුණේ පසුගිය 14 වැනිදාය. ජනප්‍රිය නළු කාර්ති ද නුදුරේදීම රූපවාහිනි වැඩසටහනක් සමඟින් තම රසික රසිකාවන් හමු වෙන්න නියමිතයි. කොලිවුඩයේ තවත් ජනප්‍රිය නළුවකු වන ආර්යා ද Enga Veetu Mapillai නම් රූපවාහිනි වැඩසටනට දායක වී සිටිනවා.


ඉක්කයි රාණියි චීනෙට ගිහින්

රාණි මුඛර්ජි මේ දිනවල චීනයේ සංචාරයක නිරතව සිටිනවා. ඒ ඇය වසර ගණනකට පසු නැවතත් සිනමාවට එක්වෙමින් නිර්මාණය වූ Hichki චිත්‍රපටය චීනයේ ප්‍රදර්ශනය ආරම්භ කිරීම සමඟින්. මේ වන විට Hichki චිත්‍රපටයට චීනයේදී ඉතා උණුසුම් ආකරයේ පිළිගැනීමක් ලබමින් සාර්ථක ලෙස තිරගත කෙරෙන බව වාර්තා වෙනවා. මේ සතුට විඳ ගැනිමට රාණි බීජිං, ෂැංහයි ඇතුලුව ප්‍රධාන නගර පහක සිනමා ශාලා වෙත ගොස් තම ප්‍රේක්ෂකයන් හමු වන්නට සූදානම්.

රාණි මුඛර්ජි බොලිවුඩ් සිනමාවේ ඉහළ ජනප්‍රියත්වයක් ලබාගත් නිළියක බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවන්නක්. චිත්‍රපට නිෂ්පාදක ආදිත්‍ය චොප්රා සමඟ විවාහයෙන් පසුව ඇය කෙටි කාලයකට සිනමාවට සමු දුන්නේ දියණිය ආදිරාගේ උපතත් සමඟින් සිය පෞද්ගලික දිවියට වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණැතිවයි. සිව් වසරකට පසු නැවතත් ඇය රිදී තිරයට පැමිණියේ, සිද්ධාර්ත් පී. මල්හෝත්‍රා අධ්‍යක්ෂණය කළ Hichki චිත්‍රපටයෙන්.

Hichki යන්නෙහි අර්ථය 'ඉක්කාව' යි. Hichki චිත්‍රපටයේ එන පරිදි, නෙයිනා මාථූර් ගුරුවරියක වීමේ දැඩි බලාපොරොත්තුවෙන් පසුවන කාන්තාවක්. නිවැරදි ලෙසින් වචන උච්චාරණය කළ නොහැකි ස්නායු ආබාධයකින් පෙළුණු ඇය තම ජීවිතයේ එකම අරමුණ වූ ගුරුවරියක බවට පත් වීම සැබෑකර ගන්නට කළ සටන එහි දැක්වෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී Hichki චිත්‍රපටය රුසියාවේදී ද ප්‍රදර්ශනය ආරම්භ කළා. ඉන්දීය රුපියල් කෝටි 20ක පිරිවැයෙන් නිපදවා පසුගිය මාර්තු 23 වැනිදා ලොවපුරා තිරගත කිරීම ආරම්භ කළ එය දැනට ඉන්දීය රුපියල් කෝටි 76.54ක ආදායමක් උපයා තිබෙනවා.


බ්‍රැඩ්ලි කූපර්ගේ දැවැන්ත අභියෝගය

ජනප්‍රිය නළුවෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන බ්‍රැඩ්ලි කූපර්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය A Star Is Born මේ වන විට ලොවපුරා සාර්ථක ලෙසින් තිරගත කෙරෙනවා. දිගු අතීතයකට උරුමකම් කියන්නා වූ සිනමා නිර්මාණයක් වන A Star Is Born විලියම් ඒ. වෙල්මාන් විසින් අධ්‍යක්ෂණය කර 1937 වසරේදී තිරගත කළ A Star Is Born චිත්‍රපටයේ තෙවැනි ප්‍රතිනිර්මාණය යි.

සංගීතමය, ප්‍රේමණීය චිත්‍රපටයක් වන මෙහි තිරරචනයටත් කූපර්ගේ දැයකත්වය ලැබුණු අතර ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය නිරූපණය කෙරුණා. මෙම සියලු දේ ඉටු කිරීම තම සිනමා දිවියේ සුවිශාල අත්දැකීමක් මෙන්ම දැවැන්ත අභියෝගයක් වූ බව කූපර් පවසනවා. "මේක හරියට දිග ගමනක් වගේ. අවසානයක් නැතැයි සිතෙන අන්දමේ උමගක කෙළවර එළිය දකින තෙක් ඉවසුමක් නැතුවා සේ හැඟීමක් මට එහිදි ඇති වුණා" කූපර් පවසනවා. අමෙරිකානු ඩොලර් මිලියන 40ක පමණ වියදමෙන් නිර්මාණය කර පසුගිය 05 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කළ A Star Is Born චිත්‍රපටය මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 135.4ක ආදායමක් වාර්තා කර තිබෙනවා. විචාරකයන් නම් පවසන්නේ මෙවරත් කූපර්ට ඔස්කාර් බලාපොරොත්තු තබාගත හැකි බවයි.