වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




එක තහංචියක් ඇරෙන්න වෙනත් කිසිම තහංචියක් ඔහුගෙන් මට නැහැ

එක තහංචියක් ඇරෙන්න වෙනත් කිසිම තහංචියක් ඔහුගෙන් මට නැහැ

ප්‍රවීණ රංගන ශිල්පිනී දමයන්ති ෆොන්සේකා

සිංහල සිනමාවේ, ටෙලිනාට්‍ය කලාවේ මෙන්ම, වේදිකාවේද තමාටම හිමි අනන්‍යතාවයක් හිමිකරගත් රංගන ශිල්පිණියක ලෙස ඇය හැඳින්විය හැකිය. නිෂ්පාදිකාවක මෙන්ම අධ්‍යක්ෂකවරියක ලෙස ද තවත් භූමිකා රැසක නියැලුණු ඇයගේ වත්මන් සිනමාවේ නවතම භූමිකාව වන්නේ Casting නළු වරණයයි. නළු වරණය ඔස්සේ නැවුම් ඉසව්වක් සිනමා කලාවේ ස්පර්ෂ කරන ඇය ප්‍රවීණ නිළි දමයන්ති ෆොන්සේකාය. දමයන්ති ඇයගේ නවතම කලා තොරතුරු මෙන්ම තමාගේ නවතම භූමිකාව පිළිබඳ කතා බහ කරන්නට සරසවියට ගොඩ වැදුණේ මෙලෙසයි.

මේ දිනවල ඔබ නවතම චිත්‍රපටයකට දායක වෙනවා. මුලින්ම ඒ ගැන කතාකරමු?

'ගාඩි' චිත්‍රපටයට මේ දිනවල මගේ දායකත්වය මම ලබා දෙනවා. ඒ නළුවරණය ඛ්චඵබඪදඨ සහ රංගනය කියන දෙඅංශයෙන්. නළුවරණය එසේත් නොමැතිනම් ඛ්චඵබඪදඨ කියන දේ ලංකාවේ සිනමාවට තවම නුහුරුයි. ඒ කියන්නේ වෘත්තියක් විදිහට අපේ ගෙදර සිදුවෙන නිෂ්පාදන කටයුතුවලදී මම කාස්ටිංවලින් දායක වෙනවා. මුලින්ම 'මචං' කියන චිත්‍රපටයට තමයි මම කාස්ටින්වලින් දායක වුණේ. එහිදී ඒ වෘත්තිය භාරගෙන මම තමයි ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කළේ. ගාඩි කියන චිත්‍රපටයට ප්‍රසන්න මට ආරාධනා කරනවා නළුවරණයට. ඒ විදිහට මම නළුවරණයට උදව් කරමින් ඉන්න විට මට පිටරට සංචාරයකට එක්වෙන්න සිදුවුණා. එනිසා මට ගාඩි චිත්‍රපටයේ නළුවරණයට සියයට සියයක්ම දායක වෙන්නට නොහැකි වුණා. නැවත ලංකාවට ආවිට නළුවරණය කරමින් සිටි සහායකයාටත් ශිෂ්‍යත්වයක් ලැබිලා විදෙස් ගත වෙන්නට සිදුවුණා. ඒ නිසා නැවත මට ගාඩි චිත්‍රපටයේ නළුවරණය භාරගෙන කටයුතු කරන්න සිදුවුණා. දෙවැනි වතාවේ මම මේ කටයුත්ත සිදුකරන විට ප්‍රසන්න මා ගැන විශ්ලේෂණය කරලා දමයන්ති ෆොන්සේකා කියන නිළියවත් මේ චිත්‍රපටයට රංගනයෙන් ඇතුළු කරන්න බැරිද කියන එක විමසා සිටියා. ඉතින් මට ලැබුණු ආරාධනය අනුව මමත් රංගනයෙන් ගාඩි සඳහා දායක වුණා.

කුමක් ද මේ (Casting) - නළුවරණය?

කාස්ටින් වලදී සිදුවන්නේ අධ්‍යක්ෂකවරයා ගේ සිතැඟි පරිදි චරිතයට අවශ්‍ය කරන නළු නිළියන් එක් කෙනෙක් නෙමෙයි ඒ අදාළ චරිතයට යෝග්‍යවන නළු නිළියන් කිහිපදෙනෙක්ම අධ්‍යක්ෂවරයා හමුවට ගෙන ඒම. ඒ අතරින් අදාළ චරිතයට සුදුසුම කෙනා ගැන අවසන් තීරණය ගන්නේ අධ්‍යක්ෂවරයා. මෙය තමයි චිත්‍රපටයක කාස්ටින් එහෙම නැතිනම් නළුවරණයේදී සිදුවන්නේ.

ඔබට මෙහි නියැලීමට සිදුවීම ගැන මොකද හිතෙන්නේ?

මට ඒක ලැබුණාම එය ඇත්තටම අලුත්ම අත්දැකීමක් වුණා. එයත් සිනමාවේ ප්‍රධාන වෘත්තියක් නිසා මට හිතුණා හැමදෙනාම එක්ක සුහදව කතාබහ කරල මෙයට යොමු කරන්න පුළුවන් කියන දේ. ඒ වගේම නළු නිළියනට රංගනයට අවස්ථාව ලබා දෙන්නත් පුළුවන්. ඒ වගේම මගෙන් ඉගෙන ගන්නා මගේ දරුවන්ටත් අවස්ථාව ලබා දෙන්න මේ ඔස්සේ මට පුළුවන්.

සහාය අධ්‍යක්ෂකවරයාගේ කාර්යයේ කොටසක් නේද නළුවරණය?

මෙහෙමයි. මෙය සහාය අධ්‍යක්ෂවරයාට විශාල සහායක් වෙනවා. මොකද නළුවරණය කියන දේ අවශ්‍ය වෙන්නේ විශාල පිරිසක් රංගනයට යොදා ගන්න නිර්මාණ කාර්යයන්වලට. එහෙම නැතිව සහාය අධ්‍යක්ෂකවරයාට අභියෝගයක් වන දෙයක් නෙවෙයි නළුවරණය කියන්නේ.

නළුවරණය ඉදිරියට ගෙනයන්නට ඔබේ බලාපොරොත්තුවක් තිබෙනවාද?

ඔව්. මගෙන් ඉගෙන ගන්නා දරුවන් අතරට මෙය වෘත්තියක් ලෙස ගෙන යන්නට මගේ බලාපොරොත්තුවක් තිබෙනවා.

නළුවරණය ගැන ඔබ වෘත්තිය මට්ටමෙන් යම් හැදෑරීමක් කළාද?

ඔව්. උබර්තෝ පැසලෝනි මට මචං චිත්‍රපටයට නළුවරණයේ කටයුතු කරන ලෙස ආරාධනා කරත්දී මම ඔහුගෙන් බොහෝ දේ මේ සම්බන්ධව උගෙන ගත්තා. ඒ සියල්ල එක්ක මට දැනුණ දේ තමයි අපිට මේ දේ ඉතාම සමීපයි කියන එක. වෘත්තියක් විදිහට නොකලත් අපි එදා සිටම නිර්මාණ සඳහා දායක වුණු චිත්‍රපටවල මේ කාර්යභාරය තිබුණා කියන එක මට දැනුණා.

ඔබගේ රංගන පාසල ගැන කතා කළොත්?

රංගනය, පිටපත් රචනය, අධ්‍යක්ෂණය, කටහඬ පාලනය ඇතුළු සිනමාවට අදාළ සියලුම දේ මමත් ඇතුළුව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දැනුම දමයන්ති ෆොන්සේකා සිනමා ඇකඩමිය ඔස්සේ නව පරපුරට ලබා දෙනවා.

"ගාඩි" හි ඔබේ චරිතය මොනවගේද?

බුලත්ගමුව දිසාවගේ අක්කා ගේ චරිතය සඳහා තමයි මම පණපොවන්නේ. මීට පෙර මම එක් ඓතිහාසික කතාවක චරිත නිරූපණය කර තිබෙනවා. ඒ සිරිපැරකුම් චිත්‍රපටයේ. නමුත් මේ චරිතය එහි රඟපෑ චරිතයට හාත්පසින්ම වෙනස් චරිතයක්. මේ චරිතය දිසාවෙ කෙනෙකුගේ සොහොයුරියක ගේ චරිතය නිසා වෙනස්ම ආකාරයේ චරිතයක් කිව්වොත් හරි. අලුත්ම අත්දැකීමක්.

එම චරිත නිරූපණය පහසු වුණාද ඔබට?

මේ චරිත නිරූපණය මට පහසු වුණා. මොකද ප්‍රසන්නම තමයි පිටපත රචනා කළේ. ඔහු මේ චිත්‍රපටයේ පිටපත සෙසු නළු නිළියනට විස්තර කරනකොට ඒ ගැන පරීක්ෂණ කරනකොට 1815 ගණන්වල ලංකාවේ පසුබිම, ඒ කලෙ කාන්තාවන් කොහොමද ඇන්දෙ පැළැදුවෙ, කතාබහ කළේ මේ දේවල් මට නිරායාසයෙන්ම අහන්න දකින්න ලැබුණා. ඒ වගේම බුලත්ගමුව දිසාවගෙ අක්ක අවිවාහකයි. ඇගේ ජීවිතය ගෙන යන අයුරු අධ්‍යක්ෂවරයා මට පවසන දෙයට අමතරව මේ කතාබස් ඔස්සේත් මට දැනගන්නට ලැබුණා.

රූගත කිරීම් මේ දිනවල සිදුවෙනවා ඇති?

ඔව්. මේ දිනවල රූගත කිරීම්වල තමයි නියැලී ඉන්නේ.

මේ වසර ඔබට සුවිශේෂී වසරක් වූ බව ඔබ පැවැසුවා?

ඔව්. ඇත්තටම. මොකද 2014 වර්ෂයේ සිටම මම රංගය සිනමාව පිළිබඳ දැනුම දරුවන්ට බෙදාහදා දෙනවා. මේ ගෙවී යන්නේ එහි පස්වෙනි වසර. මේ වසරේ මගේ උපන්දිනය යෙදුණු දා ඇත්තටම මම නොහිතපු සප්‍රයිස් උපන් දිනයක් මට මගේ සිසුදරුවන් ලබා දුන්නා. ඔවුන් මට මගේ උපන්දිනය දා DVD එකක් තිළිණ කළා. ඒක දාලා මට පෙන්නුවා. එහි ඇතුළත් වුණේ මම ඔවුනට උගන්වපු දේවල් ඇසුරින් කරන ලද නිර්මාණයක්. ඒ කතාවට තේමාව වී තිබුණේ 'ඔවදන්' කියන දෙයයි. ගුරුවරියක් ලෙස දෙන ඔවදන්. මට හරිම සතුටුයි. මගේ සිසුන් මේ විදිහට එක්කාසු වෙලා කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා කියන එක. මම හැමදාම ඔවුනට කියනව අපි කෙටි චිත්‍රපටවලින් පුරුදු වෙමු කියලා. ඒ සඳහා දරුවෝ කෙටි චිත්‍රපට පිටපත් හුඟක් රචනා කර තිබුණා. මේ පිරිස එකතුවෙලා දක්ෂතාවයෙන් යුතුව ඔවුන් ගේ මහන්සියෙන්, කැපවීමෙන් හා වියදමෙන් මේ විදියෙ දෙයක් කරපු එක ගැන ලොකු සතුටක් මට තිබෙනවා. අදටත් මම ඒ කෙටි චිත්‍රපටය නිතර නරඹලා ලොකු සතුටක් අත්විඳිනවා.

මේ වසරේ ඔබ දායක වූ නිර්මාණ මොනවාද?

චිත්‍රපට කිහිපයකටම දායක වුණා. ඒ අතර චක්‍ර, ගාඩි, විශේෂ වෙනවා. මේ වසරේ වැඩිවශයෙන් චිත්‍රපටවලට දායක වෙන්නට මට ලැබුණා.

ඔබ හිතේ තිබුණු ලොකු ආශාවකුත් ඉටුකරගත්තා නේද?

ඔව්. මේ වසරේ මම මගේ ජීවිතේ ආසාවෙන් බලාගෙන හිටපු සංචාරයක නිරත වුණා. ඒ රුසියානු සංචාරයක්. මා කුඩා කළ සිටම රුසියාවේ සාහිත්‍යකරුවන් අතින් බිහිවූ කතාවක් කියෙව්වා. කවදා හරි මොවුන් ජීවත් වූ රුසියාවට යායුතුයි කියන සිහිනයේ මම හිටියා. ඒ සිහිනය ඉටුකරගන්නට මට හැකිවුණා. රුසියානු විප්ලවය සිදුවූ රතු චතුරස්‍රය, වී. අයි. ලෙනින්ගේ මෘත ශරීරය, විප්ලවය කළ රුසියාවේ වැදගත් ස්ථාන, සාර් රජ මාලිගා, විශාල නාට්‍ය ශාලා මම නැරඹුවා. දොස්තවුස්කි ඉපදුණු ගෙදරට ගියා. බැලේ නාට්‍යය නැරඹුවා. නාට්‍ය ශාලා, සිනමා ශාලා හැමදේම මම නැරඹුවා. 1942 දෙවැනි ලෝක යුද්ධයේ සොහොන් බිම් බැලුවා. ඒවා නිරතුරුවම සිම්පනි මියුසික්වලින් පිරිලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් මම නරඹලා ලොකු සතුටක් වින්දා.

ප්‍රසන්න සහ ඔබ දෙදෙනාම කාර්ය බහුලයි. කොහොමද වැඩ බෙදාහදා ගන්නේ?

ඇත්තටම ඉතින් බෙදාගන්න කියලා විශාල දෙයක් නැහැ. අපි දෙදෙනා පමණයි. සමහර දිනවලට අපි දෙදෙනාම එළියට යනවා එකවරම.

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂකවරයා යටතේ රංගනය පහසුද?

ඔහු යටතේ මම චිත්‍රපට ගණනාවක වැඩ කර තිබෙනවා. ඔහු මගේ ස්වාමියා වුණාට රංගනයේ දී අධ්‍යක්ෂකවරයා කවුරුන්ද යන්න අපි තේරුම් ගතයුතුයි. ඔහු ඉතා දක්ෂ අධ්‍යක්ෂවරයෙක් ලෙස මම දකිනවා.

රංගනයේදී අභියෝග භාරගන්න ඔබ සූදානම්ද?

ඇයි නැත්තේ, 'උමයංගනා' චිත්‍රපටයේදී මට විශාල මඩවලක වැටෙන්න තිබුණා. ඒ දර්ශනයේදී මඩවලේ මඩ නාගෙන ඉන්න ඕනෑ. මෙවැනි අභියෝග මම භාරගෙන සාර්ථකව නිම කළ අවස්ථාවන් චිත්‍රපට ජීවිතයේ ඕන තරම් තියෙනවා. අදාළ චරිතය වෙනුවෙන් මගෙන් ඉටුවිය යුතු සාධාරණය උපරිම අයුරින් සිදුකරන නිළියක් මම.

ඔබ සිනමාවට එක්වන අතීතය?

මගේ පවුල සිනමා පවුලක්. මම හිටියේ කවදාවත් සිනමාවට එන්නේ නැහැ කියන මතයේයි. මගේ අරමුණ වුණේ ගුරුවරියක් වන එකයි. ඉන්පසුව මම එංගලන්තයට, ඇමරිකාවට පවා සිනමාව හැර ගියා. වෙනත් වෘත්තියක් සොයාගෙන යනවා කියලා. නමුත් ඒ කිසිවක් සාර්ථක නොවුණු තැන නැවත ලංකාවට ආවා. ඒ අතර මම කැමැත්තක් නැතිව හිටපු සිනමා රංගනයට ප්‍රවිශ්ට වීමට මට සිදුවුණා. කොහොම වුණත් පසුකාලීනව මට තේරුම් ගියා රංගනය තමයි මට වඩාත් ගැලපෙන්නේ කියලා. මට එයින් තමයි වැඩ ලැබෙන්නේ. සිනමාව, වේදිකාව, ටෙලි නාට්‍ය යන මාධ්‍ය ත්‍රිත්වයේම මම රඟපෑවා. විදේශීය අධ්‍යක්ෂකවරුන් යටතේ පුහුණුව ලැබුවා. සිනමාව රංගනය යන හැම පැත්තක්ම මට දැනගන්න ලැබුණා. නිෂ්පාදිකාවක ලෙසත් මම කටයුතු කළා.

ඔබ අධ්‍යක්ෂණයටත් පිවිසෙනවා?

ඔව්, මම කෙටි චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කර තිබෙනවා. 'රන්කිරි අම්මා' ටෙලිනාට්‍යය ඒ අතර විශේෂයි. තවම සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න නොහැකි වුණා. එයත් ඉදිරියේදී ඉටුකරන්නට බලාපොරොත්තු වෙනවා.

ආදරණීය සැමියෙක් විදිහට ප්‍රසන්න ගෙන් ඔබට ලැබෙන සහයෝගය මොනවගේද?

මම ඔහුව මුලින්ම හඳුනාගත්තේ අධ්‍යක්ෂවරයෙක් විදියට. ඔහුව ඇසුරු කරත් දී මට තේරුණා ඔහුට තිබෙන්නේ මගේ තාත්තාගේ ගති පැවැතුම් කියලා. එය තමයි මම ඔහුට කැමැති වෙන්නට මූලිකම හේතුව වුණේ. අදටත් ගෙදරදී මගේ වැඩකටයුතුවලට ඔහු උපරිම සහයෝගය දෙනවා.

තහංචි දාන්නේ නැතිද ඔබට?

එක තහංචියක් හැරෙන්නට වෙනත් කිසිම තහංචියක් ඔහුගෙන් මට නැහැ.

ඒ මොකක්ද?

මගේ කොණ්ඩය කපන්න එපා කියන එක විතරයි. මට ඔහු නිතර කියන දෙයක් තමයි (ඇය සිනාසෙයි. මීට අවුරුදු 20 කට විතර කලින් තමයි ඔහු ඒ තහංචිය දැම්මේ) දමයන්ති ෆොන්සේකාගේ අනන්‍යතාවය තිබෙන්නේ කොන්ඩයේ කියලා. චරිතයක් සඳහා ඕනම ඇඳුමක් අඳින්න. නමුත් කාලෙන් කාලෙට එන විලාසිතා අනුව කොණ්ඩය කපන්න එපා කියලා ඔහු නිතර කියනවා.