වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

කවුරුත් දන්නා රොනී ලීච්

ජනප්‍රිය තලයේ ගුවන් විදුලි ගායන ශිල්පියෙකු, චිත්‍රපට නළුවෙකු, ටෙලි නාට්‍ය නළුවෙකු, පුංචි තිරයේ ළමා වැඩ සටහන් මෙහෙයවන්නකු හා ප්‍රසංග වේදිකාවේ ද ජනප්‍රිය ගායන ශිල්පියෙකු ලෙස ප්‍රතිභාවකින් හෙබි කලාකරුවකු වන රොනී ලීච් ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙමින් ප්‍රසංග වේදිකාවේ ගීත ගයමින් සිටින අතරේදී සිය අවසන් හුස්ම හෙළන ලද පුවත අසා රසික ජනතාව ඉමහත් සංවේගයට පත් විය.

'තට්ටයා මම ලස්සන තට්ටයා' හේමසිරි හල්පිට නැසීගිය ප්‍රවීණ ගීත රචකයා විසින් පබඳන ලද එම ගීතය අසූව දශකයෙහි රසිකයින් හඳුනාගත් රොනී ගයන ලද මෙය එදත් අදත් ජනප්‍රියත්වයෙහි හිනි පෙත්තෙහි තැබීමට සමත් විය.

තරුණ ජවයෙන් යුතුව කලා ශිල්ප දැක් වූ පුරාණයක් තුළින් රසික ජනතාව පිනවන ලද ඔබ නොමැති පාඩුව කෙසේ නම් පවසා නිම කරන්නද?


රොනීට මෝක්ෂ සුව

'ඈතින් ඈතට' චිත්‍රපටයෙන් කලා ලොවට පිවිස ගායනය සහ සිනමාපට හරහා කලා ලොවේ සිය දස්කම් පෑ රොනී ලීච්ගේ හදිසි වියෝව අසා අප දැඩි ශෝකයට පත් වීමු. හාස්‍යමය චරිත පමණක් නොව දක්ෂ නළුවකු ලෙසින් ද දස්කම් දැක් වූ ඔහු සංගීත වේදිකාව සහ සිනමාව හරහා ඉදිරිපත් කළ රංගනයන් අපූරුය. රොනී ඔබට සදා මෝක්ෂ සම්පත්තිය ලැබේවා!


රොනීගේ අකල් මරණය දුකකි

විදේශීිය රටකදී සංගීත සංදර්ශනයක නටමින් ගීත ගයා විමෝද වී පසු දිනකදී හදිසියේම වාගේ ඔහු අකල් මරණයකට පත්වීම හරිම දුකකි. ඔහුට අප මොක් සුව පතමු.


රොනී ලීච්ට

1972 - 2018 දක්වා අප පින වූ අපව හිනැස් වූ රොනී අපෙන් සමුගැනීම මහත් කනගාටුවකි. එතුමාට ජේසු පිහිට, නිවන් සුව.


අපහාසය වෙනුවට උපහාසය එක්කළ ෆ්‍රෙඩී සිල්වා

සිංහල සිනමාවට අනුපමේය මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ ෆ්‍රෙඩී සිල්වා මහතා සිංහල සිනමාව අරභයා, ප්‍රේක්ෂකයන් සිනහව තුළින් පෝෂණය කර අපෙන් වෙන් වී ඔක්තෝබර් 29 වන දිනට වසර 15 ක් සපිරේ.

ඔහු සිනමාවට පිවිසීමට පෙර ගායකයෙකු වශයෙන් කරළියට පැමිණ සිටි අතර මුලින්ම චිත්‍රපට අධ්‍යක්ෂ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ හඳුන්වාදීම තුළින් සුහද සොහොයුරෝ (1963) චිත්‍රපටයේ 'දිය රැල්ලේ වෙරළෙ හැපි හැපී' ගීතය ගායනා කරමින් හා රංගනයෙන් දායක වෙමින් සිංහල සිනමාවේ දොරගුළු විවර කරගත් ඔහු කිසිවෙකුටත් නැවැත්විය නොහැකි ගමනක් බවට පත් කර ගත්හ. සුජීවා, සූකිරි කෙල්ල, දුලීකා, කොළඹ සන්නිය, අංජානා, නොම්මර 17 යන චිත්‍රපට සමඟ චිත්‍රපට 210 ක පමණ රඟපාන ලදී.

ගායනය රංගනය යන දිසා දෙකටම එක සේ දායක වූ ඔහු 1991 දී වසරේ ජනප්‍රිය නළුවා ලෙස ද සරසවිය සම්මාන දිනා ගත්හ. මීට අමතරව රණතිසර හා ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලද ෆ්‍රෙඩී සිල්වා මහතා චිත්‍රපට නිෂ්පාදකවරයකු හා වේදිකානාට්‍ය නිර්මාණකරුවකු ලෙස ද තවත් පියවරක් ඉදිරියට තැබූහ.

ජනප්‍රිය සිනමා ධාරාවේ පතාකයින් වන එච්. ආර්. ජෝතිපාල, විජය කුමාරතුංග සහ ප්‍රෙඩී සිල්වා තුන් පාදයේ එකතුවෙන් බොක්ස් ඔෆිස් චිත්‍රපට මාලාවක් බිහි කරවීය.
ගායන දිවියේදී ඔහුට ප්‍රේමකීර්ති ද අල්විස් හා ආචාර්ය වික්ටර් රත්නායක සුසංයෝගයෙන් බිහි වූ ගීත ඉතා සාර්ථක උපහාස ගීත ලෙස දැක්විය හැක.
අපේ පිනට උපන් ඔහු අද නැතත් ඔහුගේ ගීත හා සිනමා සිත්තම් තුළින් ඔහුගේ රංගන ප්‍රතිභාව දැක අපි සැමදා සතුටු වෙමු.


වියෝ වූ විකට රජාට

ඔබ වියෝ වී වසර ගණනාවක් වුවත් ඔබේ විකට රංගනය හා මියුරු ගායනයත් අපට කිසිදා අමතක කළ නොහැක. ඒ තරමට ඔබේ විකට රංගනය තාත්ත්විකය. ඔබ ගැයූ හැම ගීතයකම රසවත් අරුතක් ඇත. 'අලුත් කලාවක්', 'මන්නාරම් පිටි වැල්ලේ', 'පාං කිරිත්තා තක්කිට තරිකිට', 'හඳමාමා උඩින් යතේ', 'බල්ලා', 'ජැක් ඇන්ඩ් ජිල්' . 'පරණ කෝට්', 'තේ කූඩේ' යන ගීත කිසිදා මතකයෙන් බැහැර නොවේ. ඔබේ රංගනය දෙස බලන කළ ඔබේ විකට රංගනය නිසා බොහෝ චිත්‍රපට අති සාර්ථක වූ බව අපි දනිමු. එම රංගනයන් නිසා ඉල ඇදෙන තුරු සිනාසුණේය. ඔබ වැනි විකට රජකු මේ ආත්මේදී අපට දැක ගැනීමට නොහැකි වන්නේය. දැන් හැදෙන චිත්‍රපටවල විකට ජවනිකාවලට අපම ඉණ කසාගෙන හිනා වීමට සිදුව ඇත. ඔබටම ආවේණික ශෛලියකින් රංගනය හා ගායනයන් අපට දායාද කළාට

ඔබට පින්. නිවන් සුව.


පියකරුට ඉක්මන් සුව

මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරම යුතුකමකි. එවැනි සේවයක් ඔහුට ද අවශ්‍යව ඇත. කෝපි කඩේ කුරුං මාමා කේ. ඒ. පියකරු රංගනවේදියා දැඩි ලෙස අසනීපව ඇත. එතුමාට අප සැමගේ උපකාරය අවශ්‍යව ඇත. එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමු.


කෝපි කඩේ කුරුං ගොයියාට

මුලින්ම ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නම්. රූපවාහිනිය ආ මුල් කාලයේ ඇරැඹි කෝපි කඩේ ටෙලිය අපි නැරැඹුවේ මහත් උද්යෝගයෙනි. ඒ තරමට කෝපි කඩේ ඒ කාලයේ ජනප්‍රිය වුණා. ඔබත් එහි කොටස් කරුවෙක්. තිරයෙන්, ටෙලියෙන්, වේදිකාවේත් ඔබ අප සැම පින වූවා. එහෙත් අපේ රටේ අහිංසක කලාකරුවන්ට අන්තිමට අත්වෙන ඉරණම බැලුවාම අපි ඉතා කලකිරීමට පත් වුණෙමු. මෙපමණ කලක් රසික අප සැනසූ ඔබ මිහින්තලයේ ටිකට් විකුණන ඡායාරූපයක් පුවත්පතක පළ වී තිබෙනු දැක අපි මහත් කනස්සල්ලට පත් වුණෙමු.

මේ රටේ එක් රැයකට විනෝදෙට ලක්ෂ ගණන් වියදම් කරන දානපතියන්, දානපති දේශපාලකයින් මෙවන් අහිංසක කලාකරුවන්ට පිහිටවීම ඔබලාගේ යුතුකමක් හැටියට සලකන්න. මානුෂික අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන අපේ රටේ වැහි වැහැලා. නමුත් වෙන වැඩක් නම් නැති ගාණයි. කේ. ඒ. පියකරු මහතා (කුරුං ගොයියා) ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.


ජීවන්ට ජයෙන් ජයම

ජීවන් කුමාරතුංග ඉතාම දක්ෂ නළුවෙකි. චිත්‍රපට සෑහෙන ප්‍රමාණයක ප්‍රධාන චරිත රඟපා අත්දැකීම්වලින් පිරිපුන් ඔහු අධ්‍යක්ෂණයට එක්වීම සිංහල සිනමාවේ භාග්‍යයකි. දක්ෂ නළු කැළක් සමඟ ඔබගේ අධ්‍යක්ෂණයට ජයෙන් ජයම වේවායි පැතුම් ගෙනෙමි.


රෝහණ සිරිවර්ධනට තුති මල් මිටක්

ඔබතුමන් විසින් රසික අප සිත් තුළට ප්‍රේමණීයව දායාද කළ 'ඔබේ අතගෙන' ප්‍රේමණීය ගී සැඳෑවට බෙහෙවින් තුති පුදමි. නැවතත් එම ගිී ප්‍රසංගය නුදුරු අනාගතයේදී අප හදවත් තුළට තිළිණ කරන මෙන් ආදරණීයව අයැද සිටිමි. නිහඬව කලා ලොවේ සැරිසරන ඔබතුමන්ට 'දීර්ගායුෂ' ප්‍රාර්ථනා කරමි.


අයිවෝ ඩෙනිස් සිහිපත් කරමු

හෙළ ගී කෙත සාරවත් කළ ප්‍රවීණ ගායන ශිල්පී කලාශූරී අයිවෝ ඩෙනිස් මැතිඳුන් අපගෙන් සමුගෙන තෙමසක් ගෙවී ගියමුත් කිසි කලෙකත් අමතක නොවන එතුමන් අප අභිමානයෙන් සිහිපත් කරමු. එතුමන්ට මොක්සුව ප්‍රාර්ථනා කරමු.


අනිල් භාරතීගේ ගී ප්‍රචාරය කරන්න

70, 80 දශකයේ ක්ලැරන්ස් විජේවර්ධන ගායන කණ්ඩායම සමඟ පැමිණි අනිල් භාරතී ගායකයා ගායනා කළ ගීත අදටත් එදා මෙන් ජනප්‍රියය. මියුරු, අර්ථවත්, සරල, ශ්‍රවණයට මිහිරි අද වේ ඉරු දින, මා ආදරේ නංගී මා ආදරේ, කියන්න සුළඟේ ඔබ කොහි සිටදෝ එන්නේ යුග ගීතයත්, සීතල සඳ එළියේ ඔබ හා යන්නට ඇත්නම් යන ගීත ද අනිකුත් ගීත ද ගුවන් විදුලි නාලිකාවල ප්‍රචාරය නොවේ. මෙතුමාගේ ගීත යළි ප්‍රචාරය කරන මෙන් ඉල්ලමි.


තාරුකා වන්නිආරච්චිට

නව පරපුරෙන් බිහි වූ දක්ෂ ශිල්පිණියකි. ඔබගේ නර්තන විලාශය ද ඉතා මනරම්. ඔබට ගීත ගැයීමේ හැකියාව තිබීම ද වාසනාවකි.
ඔබ දායක වූ ටෙලි හා සිනමා සිත්තම්වල හොඳ රංගනයක් ඉදිරිපත් කර තිිබූ බව අපි දනිමු.

ඔබ නිරහංකාර ලස්සන සිනාවකින් අපව පිනවන ඉතා ප්‍රියමනාප ශිල්පිනියකි. ඔබට වඩාත් සුදුසු වන්නේ වානිජ චිත්‍රපට යැයි මට සිතේ. එසේ හැඟෙන්නේ ඔබ නර්තනයට ඉතා දක්ෂ බැවිනි. ඔබට රැඟුමට හරි යන ශිල්පියා සුරාජ් මාපා ශිල්පියා යැයි මට සිතේ. ඔහුත් නර්තනයට දක්ෂ බැවිනි.
ඔබ දෙදෙනා එක් වී රැඟුම්, ගැයුම් ඇති චිත්‍රපටයකට දායක වුවහොත් ඉතා සාර්ථක වේ යැයි අප හට සිතේ. එය නිෂ්පාදක සහ අධ්‍යක්ෂවරුන්ට බාරයි. ඔබට ජය.


ලතාට නිරෝගී සුව

ගායන ශිල්පිණී කලාශූරී ලතා වල්පොල මහත්මියගේ ගායන දිවියහි සැඳෑ සමය ගෙවන මේ මොහොතේ ඇයගේ හඬ ඉදිරියට ඇසීමට තව දීර්ඝ කාලයක් තම ගායන හැකියාවන් කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරන්නෙමු. ඔබතුමියට නිදුක් නිරෝගී සුව සමඟ දීර්ඝායුෂ.