වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




මරු ඩබල

මරු ඩබල

පුතු සෙනේ පිතු හද තුළම මිස
නැත පුතුන් හද තුළ රඳන්නේ
ඇට තුළට වැද ඇට මිදුළු මත
සදාකාලික දුක් දෙවන්නේ

යැයි මහාචාර්ය සරච්චන්ද්‍රයන් සිංහබාහු නාට්‍යයේ කියනවා. මේ කියන්න හදන්නේ ඒ වගේ පිය පුතු සෙනෙහස ගැන කතාවක්.

රොඩ්නි විදානපතිරණ සුප්‍රකට සිනමාවේදියෙක්. චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. ගීත රචකයෙක්. ඔහුගේ පුතා මාලන් විදානපතිරණ තිර නාටක රචකයෙක්, පුවත්පත් කලාවේදියෙක්.

රොඩ්නි තම පුතුට නම තැබුවේ තමා ඉහළින්ම සලකන මාලන් බ්‍රැන්ඩෝගේ නමින් මාලන් කොටසත්, පුතු උපන් දවස්වල බොලිවුඩයේ අතිශය ජනප්‍රිය ගෝවින්දගේ නමන් එකතු කොට මාලන් ගෝවින්ද නමින්.

තාත්තයි පුතයි එකම කටයුත්තකට එක්වීම දුලබ සිදුවීමකි. පසුගිය යාපනය සිනමා උලෙළට තාත්තාත් පුතාත් දෙදෙනාම පැමිණියා. හැබැයි ඒ නුහුරු පළාතේදී තාත්තා පුතාට තනියම ඇවිදින්නවත් දුන්නේ නැහැ. හෙවණැල්ල වගේ හිටියා. එක් අවස්ථාවක මාලන් චිත්‍රපටයක් නරඹන අතරතුර අනෙක් මාධ්‍යවේදීන් අයිස්ක්‍රීම් කන්නට සැරසෙද්දී (යාපනේ අයිස්ක්‍රීම් රසයි) තාත්තා එයට සහභාගි නොවුණේ පුතාට නොදී කන්නට බැහැ කියලයි.

හොරණ ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වූ තරුණ පුතෙක්ගේ ආරක්ෂාව වෙනුවෙන් තාත්තා දරන වෙහෙස ගැන සමහරු හිනා වුණා.

ඒ වුණත් මේ පිය පුතුගේ සෙනෙහස ගැන කවුරුත් අගය කළා. හැබැයි පුතා නම් කිව්වේ වෙන කතාවක්.

'අම්මා තාත්තාගේ තනියට තමයි මාව එව්වේ. තාත්තා මොකද කරන්නේ කියලා බලලා කියන්න කිව්වා. ඒ වගේම මගේ තනියට තමා තාත්තා එව්වේ, මම මොනවද කරන්නේ බලන්න කියලයි.


ඩී. එස්. සහ රෙජිමෝල්ඩ්

සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ නිදහසේ පියා ඩී. එස්. සිනමාපටය මේ දිනවල තිරගත වෙනවා. එහි මහාමාන්‍ය ඩී. එස්. සේනානායකයන් ලෙස රඟපාන්නේ ලක්ෂ්මන් මෙන්ඩිස්. ඔහු ඉතා දක්ෂ අන්දමින් එම චරිතයට පණ පොවන බවට වාදයක් නැහැ. ලක්ෂමන්ගේ පියා පිළිබඳව වැඩි දෙනෙකු නොදන්න කරුණක් කියන්නයි මේ හදන්නේ. ඔහුගේ ආදරණීය පියාණන් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ එක්තරා යුගයක් නියෝජනය කළ කෙනෙක්. ඒ වගේම උග්‍ර වාමාංශික නායකයෙකි. ඔහු කොතරම් තම දේශපාලන දිවිය වෙනුවෙන් කැප වුණාද කිව්වොත් ඒ හින්දම ඔහුට ඔහුගේ දකුණු අත පවා අහිමි කරගන්න සිදු වුණා. ඒ තමයි රෙජිමෝල්ඩ් මෙන්ඩිස්. අතීතයේ දේශපාලන ලොව ගැන මතකය තිබෙන පැරැන්නන්ගෙන් ඇහැව්වොත් අපූරුවට කියයි රෙජිමෝල්ඩ් ගැන. එවන් වූ චරිතයකට දාව උපන් ලක්ෂ්මන් අද වන විට කීර්තිමත් රංගන ශිල්පියෙක්. දෛවෝපගත කාරණය එදා රෙජිනෝල්ඩ් සහෝදරයා තමා අරගල කළ දේශපාලන පැලැන්තයේ නායකයාගේ චරිතය තම පුතු විසින් රඟපානු ඇතැයි කිසිවිටකත් සිතන්නට නැතුව ඇති.


කොපි නොවේ ඔර්ජිනල්

පාට පොදක් තිලකලා, හද විමන් දොරින් වැනි ගීත පිළිබඳ වැරැදි මතයක් ඉකුත් දා රූපවාහිනී නාළිකාවකින් කියවුණාලු. ඒවා හින්දි ගීත ඇසුරෙන් නිර්මාණය වූ ඒවා කියලා. ඇත්තටම ඒක බොරුවක්. එහෙම කියන්නේ එහි ගී පද රචකයා වන සෝමපාල ලීලානන්ද. හැබැයි එම ගීතවල හින්දි ගීතත් තියෙනවා. කොහොමද එහෙම වුණේ.

මෙහෙමයි, ඔය ගීත යුවළ අතිතශයින් ජනප්‍රිය වුණානේ. ඉතින් ඒ කාලේ සරත් දසනායක මියුසික් කරපු ජනප්‍රිය ගීත හින්දි භාෂාවට පෙරළලා යළි පටිගත කළාලු. ඇතැම් අය ඒක අහලා හිතෙන්න ඇති මේවා තමයි ඒ ගීතවල ඔරිජිනල් එක කියලා. සාමාන්‍යයෙන් හින්දි ගීත ඇසුරෙන් සිංහල ගීත නිර්මාණය වුණා. කොහොම වුණත් ඒ ගීත සියයට දෙසීයක්ම සරත් තැනූ ස්වතන්ත්‍ර ගීත කියලම කියන්න ඕනෑ.


අර්චනාගේ ගුරු පූජාව

අනූව දශකයේදී ලංකාවේ අතිශය ජනාදරයට පාත්‍ර වූයේ කේරළ සිනමාකරු ෂාජි එන්. කරූන් නිර්මාණය කළ පිරවි චිත්‍රපටයයි. එය එකල මෙරට වාතාවරණයත් සමඟ හොඳින් ගැළපිණ. පිරවි චිත්‍රපටයේ අක්කාගේ චරිතය රඟපෑවේ අර්චනාය.

ඇය විශිෂ්ට නිළියකි. එමෙන්ම අර්චනාට සිතින් පෙම් කළ අය ද බොහොමයි. එමෙන්ම ඇගේ ජනප්‍රියත්වය ලංකාවේ උන්මාදයක් බවට ද පත් වුණා. අර්චනා කියන නම කොතරම් ජනප්‍රිය වුවා ද කිවහොත් එක්තරා මහාචාර්යවරයෙක් තම පෙම්වතියටත් එනමේ කෑල්ලක් එකතු කළා. ඒ විතරක්යැ සරසවිය හිටපු ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහත් තම දියණියට නම දැම්මේ අර්චනා කියලා. ලොවක් වසඟ කළ මේ අර්චනා ඉකුත් දා පැවැති යාපනය චිත්‍රපට උලෙළට සහභාගී වුණේ විනිශ්චය මණ්ඩල සාමාජිකයකු හැටියටයි. ඇය මෙරටට පැමිණියේ කෘතගුණ දැක්වීමට කියලත් පවසලා තිබුණා. තවත් විදිහකට කිව්වොත් ගුරු පූජාවකට. අර්චනාව සිනමාවට එක් කළේ ශ්‍රී ලංකාවේ ඉපදුණ විශිෂ්ට සිනමා ශිල්පියකු වන බාලු මහේන්ද්‍රන් වීම. මුල අමතක වුණ බොහෝ අය අතරේ අර්චනා ඉන්න මතය ගැන එදින පැමිණි අයගේ උතුම් වූ ප්‍රශංසාවට ලක් වුණා. බාලු මහේන්ද්‍රන් ඉතාම ඉහළ නිර්මාණකරුවෙක්. ඔහු පසුපරපුරක් ද හැදුවා. අවාසනාවට ඔහු ලංකාවේ ඉපදුණත් ඔහුගෙන් අපේ සිනමාවට වැඩක් ගන්න හැකියාවක් ලැබුණේ නැහැ.