වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




ආනන්දගේ පැතුම් උදුම්බරා ඉටු කරයි ද?

ආනන්දගේ පැතුම් උදුම්බරා ඉටු කරයි ද?

සිහින තරු කැට සිත් අහසට ඇවිත්ය. පුංචි උදුම්බරා ඒ අතරින් තම සිහිනය නෙළා ගන්නට උත්සාහ කෙරුවාය. ඇගේ සිත පුංචිය. එහෙත් අධිෂ්ඨානය මහ මෙරක් තරම්ය. උදුම්බරාට ඇත්තේ එකම එක සිහිනයකි. ඒ තම හැකියාවෙන් ලෝකය දිනීමය. පුංචි සන්ධියේ සිට ඇය දුවන්නීය. වරෙක ඇය නිරුවත් දෙපයින් දුවන්නේ ගම හරහාය. ජීවිත ගමන යන මාවත කටු අතුළ ඇත්තේය. ඇය එහි දිව යන්නේ බොහොම පරිස්සමින්ය. මේ ධාවන ශූරිය ගමේ ප්‍රකටය. ඒ අවුරුදු උත්සවවල දුවන්නියක් ලෙසටය. එමෙන්ම ඇය ඒවායින් සම්මාන ද ලබන්නීය. මේ උදුම්බරා නෙත ගැටෙන්නේ ආනන්දටය. උදුම්බරා මෙන් දුවන්නට හපනුන් පුරුදු පුහුණු කළ තැනැත්තකු වූ ආනන්ද මේ මොහොතේ සිටින්නේ මානසික ව්‍යාකූල තත්ත්වයකින්ය.

නොසිතූ විරූ මොහොතක සිදු වූ අනතුරක් හේතුවෙන් ඔහුගේ ආදරණීය බිරියත්, උදුම්බරාගේ වයසෙහි පසු වූ තම පුතුත් ඔහුට අහිමිව තිබිණි. ඔවුන් ජීවත්ව සිටින කාලයේදී ආනන්දට ද තිබුණේ ද එකම හීනයකි. දුවන්නට උපන් හපනෙකු වූ තම පුත්‍රයාව ජාත්‍යන්තරයට යැවීම එම සිහිනය විය. ඒ සියලු දේ සුනු විසුනුව ගියේ එක මොහොතකිනි. උදුම්බරා ආනන්දට මුණ ගැසෙන්නේ ආනන්දගේ සිහිනය බොඳ වී ගිය තැනය. මේ සියලු කරුණු කරණා මැද ආනන්ද උදුම්බරාට උදවු කරන්නට සූදානම් වන්නේය. කෙටි කලකින් ඔහු උදුම්බරා තුළින් තම ආදරණීය පුත්‍රයාව දකින්නට පටන් ගත්තේය.

උදුම්බරා.අවසනදී ආනන්දගේ බලාපොරොත්තු කන්දක් සේ විශාල වන තරමටම ඇය ඔහුට සමීප වන්නීය. ආනන්දගේ සෙවණේ පුරුදු පුහුණු වන ඇය තව නොබෝ දිනකින් රන් පදක්කම් ලාභිනියක වේවි ද ගැටලුවට පිළිතුර උදුම්බරා සිනමාපටය ඔබට ගෙන එනු ඇත. ධර්ම යුද්ධය, ගෝල් වැනි සිනමා කෘතීන් ගෙන ආ සීමාසහිත මහරාජා සමාගමේ තවත් නිෂ්පාදනයක් ලෙසට උදුම්බරා හැඳින්විය හැකිය.

උදුම්බරා රංගනයෙන් හැඩ කරන්නෝ

ජැක්සන් ඇන්තනි, ජනක කුඹුකගේ, ජයනි සේනානායක, සරත් කොතලාවල, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හර්ෂි රසාංගා, නදීශානි ඇන්ඩර්සන්, රයන් වැන්රෝයන්, කෞශල්‍ය නිර්මාණ ප්‍රනාන්දු, අනුර පතිරණ.

උදුම්බරා නිෂ්පාදන පිරිවර

තිර රචනය සහ අධ්‍යක්ෂණය - කේ. එස්. චමත්රාජ්

කැමරා අධ්‍යක්ෂණය - එස්.භාරත්වාජ්

සංස්කරණය - බාබු ඒ ශ්‍රීවාත්සව

සංගීත අධ්‍යක්ෂණය - ධීනා

සහාය අධ්‍යක්ෂණය - සරත් සේනාරත්න

කලා අධ්‍යක්ෂණය - සම්පත් වන්නිආරච්චි

ඇඳුම් නිර්මාණය - ශර්මිලා ෆොන්සේකා

නිෂ්පාදන කළමනාකරණය - සුරේන් චන්ද්‍ර

අංග රචනය - ඉන්දික උදාර ලංකා

නිෂ්පාදනය - එම්. ටී. වී. චැනල් පුද්ගලික සමාගම