වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




කපූර් මිත්තනිය සමුගනී

කපූර් මිත්තනිය සමුගනී

ක්‍රිෂ්ණා සිනමා ක්ෂේත්‍රය ගැන හය හතර නොදැන ඊට පිවිසිය අයකු නොවන්නීය. ඇය ආදරයේ සොහොන් බිම් සිනමාවත් සමඟ ගොඩ නැඟෙන සබඳතා නිසා ඉදිවන බව දැන සිටියාය. නාගීස් අවසන් වරට ආර්කේ චිත්‍රාගාරයට පා තැබුවේ ජග්තෙ රහෝ (1956) රූගත කිරීම්වලටය.

අධ්‍යක්ෂවරයා යනු තියුණු ඇස් ඇත්තෙකි. ඉන්දීය සිනමාවේ විමෝදකාමී විශිෂ්ටයා රාජ් කපූර් ජීවිත සිනමාවේ කතා නායිකාව කර ගත්තේ ක්‍රිෂ්ණා මල්හෝත්‍රාය. රාජ් විසි එක් වැනි වියේ පසුවෙන නැඟී එන නළුවකුව සිටියදී නළු සගයකු වූ ප්‍රේම්නාත් හමුවීමට ඔහුගේ නිවෙසට ගියේය. එහිදී ඔහු ඒ නිවෙසේ සංගීතය හදාරමින් සිටි සුදෝ සුදු වතින් සැරසී තාන්පුරාව වයමින් සිටි සොඳුරු යෞවනිය දැක මොහොතකට සෙල් පිළිමයක් බවට පත් විය. ඇය ඔහුට දිස් වූයේ සරස්වතී දේවිය විලසිනි. ඔහු සිය හද ගත් පෙම්වතිය ගැන පියා ප්‍රිත්විරාජ් කපූර් ඇතුළු කපූර් පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට දැන්වීය. ක්‍රිෂ්ණා, ප්‍රිත්විරාජ් කපූර්ගේ මවු පාර්ශ්වයේ නෑයකු විය. සබඳතාවට දෙපාර්ශ්වයෙන්ම කිසිදු විරෝධතාවයක් එල්ල නොවුණුු අතර රාජ් තමන්ට වඩා සය වසරක් බාල ක්‍රිෂ්ණා 1946 මැයි මාසයේදී ආවාහ කර ගත්තේය. 1946 ජූලි ෆිල්ම්ෆෙයාර් සඟරාවේ මේ විවාහය ගැන සඳහන් කර තිබුණේ ඉන්දීය වේදිකාවේ, සිනමාවේ පුරෝගාමී විශිෂ්ටයකු වූ ප්‍රිත්විරාජ්ගේ කුසලතා පිරි පුතු රාජ් කඩිනම් විවාහයකින් සිය වෘත්තීය සිනමා ජීවිතය අවසන් කර ගත් බවය.

ක්‍රිෂ්ණා - රාජ් විවාහය ගැන අනාවැකිය මුසාවක් වීමට වැඩි කලක් ගත නොවිණි. ඊට මුල පිරුණේ මංගල සාදයේදී එහි පැමිණි අශෝක් කුමාර් දැක ක්‍රිෂ්ණා පැවසූ කතාවයි.

"මං ඔයාගේ රඟපෑම්වලට හරිම කැමැතියි. හැබැහින් දකින්න පුදුම ආසාවකින් හිටියේ" මෙය නවක නළුවකු වූ රාජ්ගේ කනට යවුල් හා සමාන විය. තමන් ද කෙදිනක හෝ සුපිරි තරුවක වන බවට හේ ඊර්ෂ්‍යාපරවශ චේතනාවෙන් අදිටන් කර ගත්තේය.

රාජ්ගේ අදිටන සවිමත් කරමින් ඒ වසරේදීම ඔහුට නීල් කමල් සිනමාපටයේ රැඟීමට අවස්ථාව ලැබිණි. නීල් කමල් සිනමාපටයෙන් ඔහු එක් රැයකින් ජනකාන්ත තරුවක් බවට පත්විය. වැඩිකල් නොගොස් ක්‍රිෂ්ණාට සැමියා අසල මුර භටයන් තැබීමට තරම් තාරකාවන් සම්බන්ධ කළ කටකතා අසන්නට දකින්නට ලැබිණි. ඒ ඔවුනගේ සෙනෙහස් කැදැල්ලට රිෂි, රන්දීර්, රජීව් පුත්‍රයන් සහ රිතූ, රීමා දියණිවරුන් එක් වී සිටියදීය.

රාජ් නාගීස්ව සොයා ගියේ සිය කුළුඳුල් අධ්‍යක්ෂණය වූ 'ආග්' (1947) හි ප්‍රධාන තාරකාව ලෙස රැඟපෑමට ආරාධනා කිරීමටයි. ඔහු නිවෙසේ සීනුව නාද කරන විට මුළුතැන්ගෙයි සිට නාගීස් පැමිණියාය. ක්‍රිෂ්ණාගේ පළමු දැක්ම මෙන්ම නාගීස්ගේ දසුන ද මියෙන තුරුම ඔහුගේ හදවතේ ඇඳී තිබිණි. ක්‍රිෂ්ණා සුදෝ සුදු වතින් සැරසී තාන්පුරාව වයන දසුන ඔහු වෙනත් තාරකාවන් යොදා සෙලියුලොයිිඩ් පටවල ජීවමාන කළා සේම නාගීස්ගේ හමුවීම ද බොබී සිනමාපටයේ ඔහු සොඳුරු ලෙස කැමරාගත කර ගන්නා ලදී. පනහ හැට දශකයන්හී රාජ්ගේ සිනමා පෙම්වතිය බවට නාගීස් පත් වූයේ ඔහුගේ සැබෑ පෙම්වතිය ද බවට පත් වෙමිනි.

ආග්, බර්සාත් රඟද්දී නාගීස් සිය ආත්මය පමණක් නොව ඔහුගේ සිනමාව වෙනුවෙන් තමන් සතු ධනය ද කැප කර තිබිණි. වරක් ආර්කේ චිත්‍රාගාරයේ ඇති වූ මූල්‍ය අර්බුදයකදී නාගීස් රන් අබරණ විකුණා මුදල් ලබා දුන්නාය. ක්‍රිෂ්ණාට රාජ් - නාගීස් පෙම් පුවත කන නොවැකුණා නොවෙයි. පසුකාලීනව බලාපොරොත්තු වූ තරමට බැබළෙන චරිත නාගීස්ට නොලැබුණි. ඔහුගේ සිත මධුවිත ගත් විට මෙන්ම ආදරයේදී ද චංචල වන බව ඇයට දැනෙන්නට විය. මදර් ඉන්ඩියා සිනමාපටයට ඇය අත්සන් කළේ රාජ් කපූර්ට නොකියාය. එයින් ඔහුගේ සිත පෑරිණි. රාජ්ගේ සිත තදින්ම පෑරුණේ නාගීස් සුනිල් දත් සමඟ විවාහ වූ පසුවය. ක්‍රිෂ්ණා ද රාජ්ට සමගාමීව සිත පාරා ගත්තාය. වෙනදාටත් වඩා දිනපතා බීමත්ව පැමිණි රාජ් නාන බේසමට වී (බාත්ටබ්) විලාප දෙමින් හැඬීය. මගේ දරුවන්ගේ මව ක්‍රිෂ්ණා වෙද්දී මගේ චිත්‍රපටවල මව නාගීස් වූවා යයි ඔහු පැවසුවේ වරක් දෙවරක් නොවේ.

ක්‍රිෂ්ණා සිනමා ක්ෂේත්‍රය ගැන හය හතර නොදැන ඊට පිවිසිය අයකු නොවන්නීය. ආදරයේ සොහොන් බිම් සිනමාවත් සමඟ ගොඩ නැඟෙන සබඳතා නිසා ඉදිවන බව ඇය දැන සිටියාය. නාගීස් අවසන් වරට ආර්කේ චිත්‍රාගාරයට පා තැබුවේ ජග්තෙ රහෝ (1956) රූගත කිරීම්වලටය. එහෙත් ක්‍රිෂ්ණා - රාජ් කපූර් යුවළ රිෂි කපූර් පුතුගේ මංගල්‍යයට නාගීස් - සුනිල් දත් යුවළට ආරාධනා කිරීමට අමතක නොකළහ. ක්‍රිෂ්ණාගේ සිත නාගීස්ට වාරණයක් නොකිරීමට තරම් සෞම්‍ය විය.

මංගල්‍යයට පැමිණි නාගීස් දැඩි අපහසුතාවකින් සිටිනු ක්‍රිෂ්ණා දුටුවාය. ඇය කැටුව පසෙකට ගිය ක්‍රිෂ්ණා පැවසුවේ මෙලොව බිරියක විසින් පිට කරන දුලබ වදන් පෙළකි.

"මගේ මහත්තයා හරිම කඩවසම්. ඒ වගේම ප්‍රේමාන්විතයි. මට ඔය දෙන්නගෙ බැඳීම ගැන තේරෙනවා. ඔයාගෙ හිතත් තේරුම් ගන්න පුළුවන්. ඉතින් දැන් හැමදේම අමතක කරන්න. කරුණාකරලා අතීතය හාරන්න එපා. ඔයා මගේ ගෙදර ඇවිත් තියෙන්නෙ බොහොම සතුටුදායක අවස්ථාවකට සහභාගී වෙන්න. අද අපි මෙහේ ඉන්නෙ මිතුරියන් විදියට".

එකම මිනිසකුට පෙම් බැන්ද ද නාගිස් ද ක්‍රිෂ්ණා වෙනුවෙන් වැළපුණාය. ඇය රාජ්ට පෙම් කිරීම ගැන පසුතැවෙන විට ක්‍රිෂ්ණා "මං නැති තැන මගේ අඩුව පුරවන්න කවුරුන් හෝ ඉන්න ඕනනෙ" කීමට තරම් සුහදනියක වූවාය.

ක්‍රිෂ්ණාගේ සිත වේදනාවට පත්වූයේ වෛජයන්ති මාලා සමඟ රාජ් කපූර්ගේ නම පටබැඳී කතා පබැදෙන විටය. 'සංගම්' සංගීතමය ත්‍රිකෝණ පෙම් අන්දරය නිර්මාණය වෙද්දී ක්‍රිෂ්ණා, වෛජයන්ති මාලා සහ රාජ් කපූර් අතර ද ත්‍රිකෝණ අන්දරයක් ගොඩනැඟෙමින් පැවතිණි. ක්‍රිෂ්ණා රාජ් සමඟ උරණ වී දරුවන් සමඟ නට්රාජ් හෝටලයේ පදිංචි විය. පසුව චිත්‍රකූත් ගොඩනැඟිල්ලේ කාමරයක් ඔවුන් වෙනුවෙන් රාජ් කපූර් විසින් කුලියට ගන්නා ලදී. රාජ් කෙතරම් ප්‍රයෝග යෙදුව ද ක්‍රිෂ්ණා නැවත නිවෙසට පැමිණියේ නැත. වෛජයන්ති මාලා - රාජ් කපූර් පෙම් පුවත අවසානයේදී යළි අඹු දරුවන් කුටුම්භයට කැන්දා ගැනීමට රාජ්ට හැකි විය.

රාජ්ගේ නම ඔහුට වඩා තිස් හත් වසක් පමණ බාල සීනත් ආමන් දක්වාම සම්බන්ධ කර කට කතා පැතිරිණි. දේව් ආනන්ද් ද සීනත්ට උමතු ලෙස පෙම් කළ නමුදු බීමත් රාජ් කපූර් නිසා තම සෙනෙහස ඇයට පැවසීමට බිය වූ බව ප්‍රකාශ කර තිබේ. තිර පෙම්වතියන් ඉදිරියේදී රාජ්ගේ සිත සසල වුව ද ක්‍රිෂ්ණා සොයා යළි නිවහනට පැමිණීමට ඔහු වග බලා ගත්තේය.

රාජ් කපූර් නව වසරක් උදාවන තුරු සතුටින් බලා සිටියේය. ඒ නව වසරත් සමඟ සමඟ ක්‍රිෂ්ණාගේ උපන් දිනය සැමරීමට සිදුවන නිසාය. ප්‍රවීණ නිළි සිමී ගරේවාල් 'ලිවිං ලෙජන්ඩ් රාජ් කපූර්' නමින් වාර්තා වැඩ සටහනක් නිෂ්පාදනය කළ අතර (ඇය ඔහුගේ 'මේරා නාම් ජෝකර්' හිද රැඟුවාය) ඇය රාජ්ගේ දිවිය ගවේෂණය කළාය. එහිදී අපුරු රස රහසක් අනාවරණය විය. ඒ ක්‍රිෂ්ණාට නොයවා ඇයට ලියන ලද පෙම්පත්ය. ට්‍රන්ක පෙට්ටියක් පුරවා තිබූ ඒ ලියුම් රාජ්, ක්‍රිෂ්ණාට කෙතරම් පෙම් බැන්දා ද යන්නට ඇති ලිඛිත සාක්ෂියයි. ඔහු වඩාත්ම සරාගී ලිපිය ක්‍රිෂ්ණාට ලියා තිබුණේ නාගීස් සමඟ පෙමින් බැඳී සිටියදී වීම ද පුදුම සහගතය. ඔහු තම පෙම ක්‍රිෂ්ණාට පවසා තිබෙනවාදැයි සිමි විමසූ විට එයට විකට රසයක් දී 'එහෙම කිව්වොත් එයාගෙ ඔළුව ඉදිමෙන්න පුළුවන්' යයි පවසා ඇත.

කවුරුන් කුමන තාරකාවන් හා සම්බන්ධ කර රාජ්ට කතා ප්‍රබන්ධ කර තිබුණ ද ඇය ඔහුගේ සිනමාපටවල පූර්ව දර්ශනවලට සහභාගී වූවාය. පොදු උත්සවවලට, හෝලි උත්සවවල ඔහු සමඟ පෙරමුණ ගත්තාය. තාරකාවක නොවූව ද රාජ්ගේ දරුවන්ගේ මව පමණක් නොවී ඔහුගේ සිනමා ගමන් මඟට සැරයටියක් විය. 1970 දී මේරා නාම් ජෝකර් සිනමා නිර්මාණයට පසු යළි සිනමාපට නිර්මාණය නොකිරීමට තරම් රාජ් කලකිරී සිටියේය. මේරා නාම් ජෝකර් ඔහුගේ සිනමා දිවියේ සුවිසල් පැතුමක් විය. ඔහු සය වසක් කැප කර නිපද වූ භාරත සිනමාවේ දීර්ඝතම දෙවැනි සිනමාපටය වූ මේරා නාම් ජෝකර් නිර්මාණය කළේ තමන්ගේ ජීවිත කතාව ද යම් තරමකට පාදක කරගෙනය. එහෙත් විචාරකයන් රාජ්ගේ විශිෂ්ටම නිර්මාණය ලෙස සැලකෙන මේ සිනමාපටය ආදායම් වාර්තා පිහිටුවීම අතින් අසාර්ථක විය. ජීවිතයම සිනමාව කරගත් සැමියාට නොවැටී සිටීමට ශක්තිය ලබා දුන්නේ ක්‍රිෂ්ණාය. 'අඩු වියදමකින් සරල ආදර කතාවක් කරන්න' ක්‍රිෂ්ණා කීවාය. 'චිත්‍රපටියේ කතා නායකයා කවුද?' රාජ් විමසීය. 'එයා අපි ළඟයි ඉන්නේ' ඇය පැවසුවාය. ක්‍රිෂ්ණා එසේ පැවසූ නව කතා නායකයා අන් කවුරුන් හෝ නොව ඔවුනගේම පුතු රිෂි (චින්තු)ය. ක්‍රිෂ්ණාගේ උපදෙස පිළිගෙන රාජ් සිනමාපටයක් නිර්මාණය කළේය. එය අතිශය ජනප්‍රිය වූ 'බොබී' සිනමාපටයයි. ක්‍රිෂ්ණා ඔහු අසලින් නොසිටින්නට 'බොබී' භාරත සිනමාවට දායාද වන්නේ නැත.

1988 දී දාදා සහීබ් පල්කේ සම්මාන උලෙළේදී රාජ්ගේ පපුව සිර වී හුස්ම ගැනීමට නොහැකි විය. ඔහු අවසන් වරට පැවසුවේ "ක්‍රිෂ්ණා මං යනවා ආයුබෝවන්" කියාය. මරණ මංචකයේ සිටියදී ද රාජ් ක්‍රිෂ්ණාට යමක් කීමට වෙර දැරීය. එහෙත් ඔහුට ඒ සඳහා වෛද්‍යවරුන්ගෙන් අවසරයක් නොලැබිණි. ක්‍රිෂ්ණාට කිසිවක් නොකියාම ඔහු සමු ගත්තේය. ඊට දස වසකට පසු ඔක්තෝබර් 1 වැනිදා ක්‍රිෂ්ණා ද අසූ හත් වැනි වියේදී ඔහු හා එක්වන්නට මේ භවයෙන් නිදහස් වූවාය. ඒ මොහොත වන විට තම පුතු රිෂි රෝගාතුරව ප්‍රතිකාර සඳහා ප්‍රියාදර මුනුබුරු රන්ධීර් සමඟ විදෙස්ගත වූ බව ඇය නොදත්තාය.

සැමියා මිය ගිය ද ක්‍රිෂ්ණා සැමියා වෙනුවෙන් සිනමාව සමඟ බැඳී සිටියාය. ඇය අසූව දශකයට එළඹ සිටියදීත් කලාකරුවන් සමඟ දිවා ආහාරය ගත්තාය. මියෙන තුරුම ලතා මංගේෂ්කාර්, සයිරා බානු වැනි පැරැණි කලාකාරියන්, කලාකරුවන් සමඟ දුරකථනයෙන් කතාබස් කළාය.

ඉන්දියාවේ අංක එකේ සිනමා රාජධානිය වන කපූර් පෙළපතට ක්‍රිෂ්ණා කොඳු නාරටිය වූවාය.