වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




මිනිස් පා සඳ දිනූ දා FIRST MAN

මිනිස් පා සඳ දිනූ දා FIRST MAN

ලොව ප්‍රථම වරට සඳ මත පා තැබූ මිනිසා ලෙසින් ගෞරවයට පාත්‍ර වන්නේ අමෙරිකානු ජාතික ගගනගාමියකු වන නීල් ආම්ස්ට්‍රෝන්. ඇපලෝ 11 යානයෙහි අණදෙන නිලධාරියා ලෙසින් 1969 ජුලි 21 වැනිදා ප්‍රථම වරට සඳ මත පා තැබීමේ අවස්ථාව නීල් ආම්ස්ට්‍රෝන්හට හිමි වුණා. ලොව ප්‍රකට විවිධ චරිත සිනමා තිරයේ ජීවමාන වෙන විටදී නීල් ආම්ස්ට්‍රෝන් චරිතයද යළිත් ජීවමාන කිරීමට පියවර ගෙන සිටින්නේ ඔස්කාර් සම්මාන ලාභී ළාබාලතම අධ්‍යක්ෂවරයා වන ඩේමියන් චාසෙල්. එය අපට දැකගත හැකි වන්නේ, මේ දිනවල තිරගත කෙරෙන FIRST MAN චිත්‍රපටය සමඟින්.

FIRST MAN චිත්‍රපටය නීල් ආම්ස්ට්‍රොන් සඳ මත පා තැබූ ඓතිහාසික මෙහෙයුම ගෙන එනවා. මෙහි නීල් ආම්ස්ට්‍රෝන්ගේ චරිතයට පණ පොවන්නේ කැනේඩියානු නළු රයන් ගොස්ලින්. ආම්ස්ට්‍රෝන්ගේ පළමු බිරිය ජැනට් ශියරොන්ගේ චරිතයට පණ පොවන්නේ බ්‍රිතාන්‍ය ජාතික නිළි ක්ලෙයර් එලිසබෙත් ෆෝයි විසින්. චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළියක වන ජැනට් The Crow හි රංගන වෙනුවෙන් හොඳම රූපවාහිනි නිළියට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයෙන් පිදුම් ලබා ඇත. අධ්‍යක්ෂ ඩේමියන් චාසෙල් සහ රයන් ගොස්ලින් පළමුවරට හමු වන්නේ 2016 වසරේ La La Land  චිත්‍රපටය සමඟින්. රයන් La La Land රංගනය වෙනුවෙන් ඔස්කාර් හොඳම නළුවාට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශ නාම අතරට එක් වූ අතර ඩේමියන් La La Land අධ්‍යක්ෂණය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම චිත්‍රපටයේ තිරරචනයට පාදක කරගෙන තිබෙන්නේ, ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු වන ජේම්ස් ආර්. හන්සන් විසින් රචිත 2005 වසරේදී එළිදැක්වූ FFirst Man: The Life of Neil A. Armstrong නම් නීල් ආම්ස්ට්‍රෝන්ගේ චරිතාපදාන කෘතිය යි. FIRST MAN චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය අගෝස්තු මස 29 වැනිදා වැනිස් අන්තර්ජාතික සිනමා උලෙළේදී පැවැත්වුණු අතර ඔක්තෝබර් 12 වැනිදා සිට අමෙරිකා එක්සත් ජනපදය ඇතුලුව ලොවපුරා තිරගත කිරීම ඇරඹිණි. සුප්‍රකට සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග් මෙයට විධායක නිෂ්පාදනයෙන් දායක වී සිටියි. මේ වන විට FIRST MAN චිත්‍රපටයට IMDb දර්ශකයේ ප්‍රේක්ෂක මනාපය 6.3/10ක් හිමි වී තිබේ.

විචාරක මනාපය රොටෙන් ටොමැටෝස්හි 88%ක් සහ මෙටා ක්‍රිටික්හි 83%ක් ලෙසින් ලැබී ඇත. ලොව සිදු වූ අතිශය වැදගත් සිදුවීමක් දෙස අපූරු ලෙසින් නැවත හැරී බැලීමක් මෙන්ම තාක්ෂණය මනා ලෙස යොදා ගත් වටිනා කුසලානයක් ලෙසින් විචාරකයන් මේ පිළිබඳ සිය අදහස් දක්වා සිටියි. එසේම සඳ මත පා තැබීම සාක්ෂාත් කර ගැනීමේ ප්‍රයත්නය, තාක්ෂණික විශ්මය හොඳීන් නිරූපණය කළා සේම එයට සම්බන්ධ වූ මිනිසුන්ගේ චරිත ද හැඟීම්බර ලෙසින් මැනවින් නිරූපණය කර ගත් සිනමා නිර්මාණයක් ලෙසින් ද විචාරකයන් FIRST MAN චිත්‍රපටය හඳුන්වා දී තිබේ.

1969 ජුලි 16 වැනිදා ආම්ස්ට්‍රෝන්ගේ දෙවන සහ අවසාන අභ්‍යවකාශ ගමන සිදු වූයේ, ප්‍රථම වරට සඳ මත පා තැබීමේ මෙහෙයුමත් සමගිනි. ඔහු මෙම මෙහෙයුමෙහි ඇපලෝ 11 යානයෙහි අණදෙන නිලධාරියා ලෙසින් කටයුතු කළ අතර මයිකල් කොලින්ස් සහ එඩ්වින් ඕල්ඩ්‍රිරින් යන අභ්‍යවකාශගාමින් ද මෙම ගමනට සම්බන්ධ විය. අභ්‍යවකාශගාමියෙකු වීමට ප්‍රථම ආම්ස්ට්‍රෝන් එක්සත් ජනපද නාවික හමුදාවෙහි සේවය කළ අතර කොරියානු යුද සමයේදී ක්‍රියාකාරී සමාජිකයෙකු විය. මෙකී යුද සමයෙන් පසු ඔහු අධිවේගී ගුවන් මධ්‍යස්ථානයක් වන National Advisory Committee for Aeronautics (NACA)  හි පර්යේෂණ ගුවන් නියමුවකු ලෙස සේවය කළ අතර එහි දී ඔහු විවිධ වර්ගයේ ගුවන් යානා වලින් ගුවන් ගමන් 900කට වඩා සිදු කර තිබුණි.