වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




‘සුවඳ පද්ම’ පිපී අඳුරෙන් එළියට

‘සුවඳ පද්ම’ පිපී අඳුරෙන් එළියට

'සුවඳ පද්ම' උපහාර සම්මාන උළෙල හත්වන වරටත් කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පසුගියදා පැවැත්විණි.

ඔස්ට්‍රේලියාවේ අඳුරෙන් එළියට සංවිධානය විදුලිය නොමැති පාසැල් ශිෂ්‍යයන්ට පරිත්‍යාග කරන දහස්වැනි සූර්ය විදුලි කෝෂ කට්ටලය කේන් ඇපරල් කළමනාකාර අධ්‍යක්ෂක නෙල්සන් ප්‍රනාන්දු මහතා විසින් විශේෂ ආරාධිතයකු ලෙස පැමිණි ඌරුවරිගයේ වන්නිල ඇත්තන්ට පරිත්‍යාග කළ අයුරු. 'සුවඳ පද්ම' උපහාර උළෙල සංවිධානය කරන කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ප්‍රධාන ආරාධිත මහාචාර්ය ජේ. බී. දිසානායක ඇතුළු ආරාධිතයන්ද එම අවස්ථාවට සහභාගි විය.


‘ලංකා දැනුම බැංකුවෙන්’ විද්‍යා ලේඛක තුසිතට උපහාර තිළිණයක්

හැටේ දශකයේ සිටම අප රටේ ප්‍රධාන පුවත්පත් සඟරාවලට විද්‍යා ලිපි සැපයීමෙන් ද, සෞඛ්‍ය ක්ෂේත්‍රය අලළා ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍යවලට ඉතා ප්‍රයෝජනවත් වැඩසටහන් රැසක් මෙහෙයවීමෙන් ද, විද්‍යා පොත්පත්, විද්‍යා දේශන සහ සම්මන්ත්‍රණ මාලා රාශියක් සිදුකර තිබෙන එමෙන්ම, අනුව දශකයේ මුල්භාගයේ දී 'විදුර විද්‍යා' සම්මානයෙන් ද පිදුම් ලැබූ ප්‍රකට විද්‍යාලේඛක තුසිත මලලසේකර මහතාගේ අමිල සේවාව අගය කරමින් පසුගිය දින කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වුණු 'ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය' ට සමගාමීව 'ලංකා දැනුම බැංකුවේ' සභාපති, ප්‍රකට විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා විසින් අහසේ පිහිටි තාරකා රටා පෙන්නුම් කරන දර්ශනීය 'අහස්ගෝලයක්' ඇතුළු වටිනා තිළිණයක් පිරිනැමූ අවස්ථාවයි මේ.

'ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ' අනුග්‍රහය ඇතිව සිදුකෙරුණු මෙම උපහාර තිළිණ ප්‍රධානය සඳහා වමේ සිට දකුණට 'සමගි ප්‍රකාශන' ප්‍රධානී නලින්ද මොරායස්, තිළිණලාභී තුසිත මලලසේකර, 'ලංකා දැනුම බංකුවේ' සභාපති අනුර සී. පෙරේරා, 'දයාවංශ ජයකොඩි සමාගමේ' ප්‍රධානී දයාවංශ ජයකොඩි සහ 'ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ' හිටපු සභාපති සහ සී/ස සරසවි ප්‍රකාශකයෝ ප්‍රධානී එච්. ඩී. ප්‍රේමසිරි යන මහතුන් මෙහි දැක්වේ.


රෝයල් ඉබ්බෙක් වේදිකාවට පිවිසේ

කලා භූෂණ පීටර් වෙදමුණිගේ රෝයල් ඉබ්බෙක් වේදිකා නාට්‍ය මෙම මස 20 වැනිදා සවස මීගමුව නගරශාලාවේදී වේදිකාගතවේ. දිමුතු චින්තක, රාජසිංහ ලෝලුවාගොඩ, ලක්ෂ්මන් අමරසේකර, ගාමිණී විරකෝන් මෙහි රංගන දායකත්වය සපයති. විශාරද එඩ්වඩ් ජයකොඩි, සංගීත අධ්‍යක්ෂවරයාය. වේදිකා පසුතල නිර්මාණය සහ අංගරචනය සිරිනාථ වික්‍රමසිංහගෙනි.


ජාතික නාලිකාවට ඉඩෝර වැස්ස

හංස ගීතය ටෙලි සිතුවම අධ්‍යක්ෂණය කරමින් ක්ෂේත්‍රයේ නමක් රැන්දූ ඉරේෂ් ලොකුබණ්ඩාරගේ දසවැනි ටෙලි නිර්මාණකරණය ඉඩෝර වැස්ස මෙම මස 25 වැනිදා සිට සෑම සතියේ දිනකම රාත්‍රී 8.30 ට ජාතික නාලිකාව ඔස්සේ දිගහැරෙයි.

ජනක් ප්‍රේමලාල්, මාධිනි මල්වත්තගේ, මහේන්ද්‍ර වීරරත්න, රහිෂ්‍යා සංදීපනී, හර්ෂණ බෙත්මගේ, විශ්ව ලංකා, ලක්ෂිකා ජයවර්ධන, නුවංගි ලියනගේ, අරුණි මෙන්ඩිස්, පවිත්‍රා වික්‍රමසිංහ ඇතුළු නළු නිළියන් මෙහි චරිත මවති.

ඉඩෝර වැස්සේ රූපවාහිනි රචනය සමන්ත කුමාර ගමගේ ගෙනි. හසිත රාජපක්ෂ සහාය අධ්‍යක්ෂවරයාය. ජයංග දැදිගමගේ සංගීත අධ්‍යක්ෂණයකි. නිරෝෂා විරාජිනි ගායනයෙන් දායක විය. කරු බිබිලේ කලා අධ්‍යක්ෂවරයාය. මංජුල දුරේක්ෂගේ නිෂ්පාදන කළමනාකරණයකි. චනුක ඩිලක් අංගරචනා ශිල්පියාය.

ඉඩෝර වැස්ස ලසිත යසකුල ගුණසේකරගේ නිෂ්පාදනයකි.

එක්ටැම්ගේ, තඹපාට හැන්දෑව, පුංචි වලව්ව, ළබැඳියේ, නිල පළිගුදිය, ඉරේෂ් මීට ප්‍රථම නිර්මාණය කළ ටෙලි සිතුවම් කිහිපයකි.


ටෙනී-සිසිල් සංධාන ගතවෙයි
රැළිය රට වටා

ටෙනිසන් කුරේ රඟන ආචාර්ය සිසිල් ගුණසේකර ප්‍රහසනාත්මක නාට්‍ය නිර්මාණය 'රැළිය' මෙම මස 20 වැනිදා තවලම විද්‍යාරාජ ජා. පා. ශ්‍රවණාගාරය, 21 වැනිදා කොළඹ නව නගර ශාලාවේදීත් සහ 25 වැනිදා කන්තලේ නගර ශාලාවේදීත් වේදිකා ගත කෙරේ. මෙහි ටෙනිසන් කුරේ සමඟ ලාල් සරත් කුමාර, කුමුදුනී අධිකාරී, මහින්ද කරුණාරත්න, සාලිය කුමාරශ්‍රී, රංජිත් දිසානායක, සංජිවනී පෙරේරා, කමල් තිලකරත්න, කේ. රත්නම් රංගනයෙන් දායක වන අතර මෙහි නිෂ්පාදන කළමනාකරණය තරංග දුලාශාන්තගෙනි.


ලෙය සහ ළය 19 වැනිදා සිට

'ලෙය සහ ළය' රුධිරගත සංගීත බැඳීම ටී වී දෙරණ නාලිකාවේ නවතම සංගීත වැඩසටහනයි. ඔක්තෝබර් 19 වැනි සිකුරාදා සිට සෑම සිකුරාදාවකම රාත්‍රී 10.30 ට එය විකාශය වනු ඇත. 'ලෙය සහ ළය' කුලුඳුල් වැඩ සටහන සඳහා ආරාධිතයා වශයෙන් සහභාගි වනුයේ විශාරද එඩ්වඩ් ජයකොඩි සහ පුතු චන්දීප ජයකොඩියි. සිහ ශක්ති සංගීත කණ්ඩායමේ වැයුමෙන් ඔප් නැංවෙන ලෙස සහ ළය නිවේදනයෙන් මෙහෙයවනු ලබන්නේ සම්මානනීය සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරියි. මෙය චින්තක ගම්ලත්ගේ අධ්‍යක්ෂණයකි.


ටෙලිනිස පොතට Photo ඕනෑ

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය මඟින් සම්පාදනය කරන ටෙලිනිස නාමාවලියේ නව පිටපත වඩා වෙනස්කම් සහිතව ගෙන එන බව එහි වත්මන් සභාපති නීතිඥ ඩග්ලස් සිරිවර්ධන සරසවියට දන්වා සිටියි. ඒ අනුව මෙහි නව මුද්‍රණයෙහි කලාකරුවන්ගේ නමට ඉදිරියෙන් ඔවුනගේ ඡායාරූපයක්ද ඇතුළත්වනු ඇත. මේ සඳහා ටෙලිනිස නාමාවලිය සඳහා කලාකරුවන්ගේ සේයාරුවක් එවන හැටියට සභාපතිවරයා දන්වා සිටියි. ඒ සඳහා [email protected] යන විද්‍යුත් ලිපිනය භාවිත කළ හැකිය. තැපැල් මඟින් නම් සභාපති, ටෙලිනිස නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, අංක 47/B, කොළඹ පාර, පිළියන්දල යන ලිපිනයට එවීමට පුළුවන. මෙරට සියලු කලාකරුවන්ගේ නාමයන් සහ දුරකථන අංක අන්තර්ගතවන ටෙලිනිස නාමාවලිය වසරක් පාසා මුද්‍රණය කරනු ලබයි.


පුංචි තියටර්ට අවුරුදු 15 යි
රාවණා සීතාභිලාෂය 23 දා

නාමෙල් වීරමුණිගේ නවතම නාට්‍ය නිර්මාණය රාවණ සීතාභිලාෂය මෙම මස 23 වැනිදා බොරැල්ල පුංචි තියටර්හිදී වේදිකාගත වේ. පුංචි තියටර් ආරම්භ කොට වසර පහළොවක් ගතවීම නිමිත්තෙන් මෙම දර්ශන වාරය පවත්වනු ලබයි.


ධර්මිෂ්ටර්ලා ඔක්: 28 බොරැල්ලට එයි

මාධ්‍යවේදී සුගත් ශාන්ත මොරගහකුඹුර රමෝනා එන්ටර්ටේට්මන්ට් වෙනුවෙන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කරනු ලබන 'ධර්මිෂ්ටර්ලා' වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශන දෙකක් ඔක්තෝබර් 28 වැනිදා සවස බොරැල්ල වයි.එම්. බී. ඒ. රංග ශාලාවේදී වේදිකා ගත කෙරේ.