වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




අමර නම තබා අමරා මියගියාය...

අමර නම තබා අමරා මියගියාය...

මහාචාර්ය අමරා රණතුංගගේ අවසන් කටයුතු අද සවස කොළඹ බොරැල්ල කනත්තේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

(ශ්‍රී ලංකාවේ ප්‍රථම සංගීත මහාචාර්ය අමරා රණතුංගගේ අභාවය නිමිත්තෙන් මේ ලිපිය සැකසිණි)

මහ රෑ යමේ
මේ ඇල්හේනේ
තනියම සී පද කියනු අසා
වෙහෙස දරාගෙන - පාර අසාගෙන
ආවෙමි අඳුරෙම ඔබව සොයා ...
සීපද රාවේ සවනත වැකිලා
ඉන් මත් වී ලද ඔබ ආවේ
මහ රෑ තනියම මේ ලෙස එන්නට
හොඳ නෑ ඇයි එය නොසිතූවේ ...
ඔබේ සී පද මට හරි මිහිරී
මෝරන සෙනෙහස යයි ඉතිරී
කියන්න සීපද රස කරලා
අහන්න ඒවා සැනසීලා...
ඔබ කියනව නම් අසා සිටින්නම්
ඔබේ දෙපා මුල වැතිරීලා
අඳුරයි සුළඟයි අපව වටා ...
තනි රකිනව ආදරය සොයා
දිවි ගංගාවේ ඔරුවයි හබලයි
වාගේ නැළැවෙමු සුවය පතා ...

දශක ගණනක් පුරාවට ඇසෙන මේ මිහිරි ගී හඬට අප මෙන්ම ඔබත් ඇලුම් කරනවාට කිසිදු සැකයක් නොමැත. එවකට පෙම්වතුන්ව සිටි දයාරත්න - අමරා යුවළ 1950 දශකයේ ගුවන් විදුලියට මේ ගීතය ගයමින් සංගීත ලොව කිරුළු පැලඳුවේ එවකට ගුවන් විදුලියේ පැවැති නුර්ති ගී සංගීත සම්ප්‍රදායන් ද මඳකට වෙනස් කරමිනි. එතැන් පටන් යුවතිපතීන් ලෙස දශක හයකට වැඩි කාලයක් පුරාවට සංගීතය තම දිවිය කොට ගනිමින් සංගීත ශිල්පය වත්මන් පරපුරට දායාද කරමින් අර්ථවත්, මමෝහර මමෝරම්‍ය ගී රැසක් කලා ලොවට දායාද කරන්නට දයාරත්න යුවළ සමත් වූහ. එනිසාම ඔවුනට සංගීතයෙන් තොර දිවියක් තිබුණා ද යන්න සැක සහිතය. මෙලෙස සංගීතය හා බද්ධව ඔවුහු පැමිණි ගමන් මඟේ ලංකාවේ පළමු සංගීත මහාචාර්යවරිය ලෙස ඉතිහාසගත වන මහාචාර්ය අමරා රණතුංග නම් වූ මේ හෘදයාංගම ගායිකාව ඇයට පණ සේ ආදරය කළ ප්‍රිය හිමි ආචාර්ය දයාරත්න රණතුංගයන් ද දරු තිදෙනා හා මුණුබුරු මිනිබිරියන් ද ශිල්ප ඥානය ලබා දුන් සිසු දරුවන් ද නිබඳ ආදර ගෞරව දැක් වූ රසික රසිකාවන් ද තනිකර දමා පසුගිය සඳුදා රැයේ අප හැර ගියාය. කලක පටන් රෝගාතුරව ප්‍රතිකාර ලද මහාචාර්ය අමරා රණතුංග හෘදයාබාධයක් හේතුවෙන් මිය යන විට 80 වැනි වියේ පසු විය.

ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙවරක් ඉටු කළ ඇයගේ වියෝවේ පුවත කන වැකුණු අවස්ථාව සංගීතයට පෙම් බැඳි කාගේත් හිත් සසල කළ මොහොතක්ම විය. 1938 වසරේ අගෝස්තු 22 වැනිදා දොන් වියොලිස් කස්තුරිආරච්චි හා ඇල්පිනෝනා මීගහපොළට දාව හංවැල්ලේදී උපන් අමරා දරුවන් එකොළොස් දෙනකුගෙන් යුතු පවුලක පස්වැන්නිය විය. අමරාගේ පියා වෘත්තියෙන් විදුහල්පතිවරයෙකු වූ අතර සංගීතයට බොහෝ ඇලුම් කළ අයෙක් විය. අමරා පුවත්පතකට තම කුඩා කාලය පිළිබඳ මෙලෙස පවසයි.

'මගේ මවත් පියාත් සංගීතයට හුඟක් ළැදියි. නමුත් ඔවුන් සංගීතය විෂයක් ලෙස හදාරා තිබුණේ නැහැ. ඔවුන් දෙදෙනාම සංගීතයට දැක් වූ හැකියාව, ලැදියාව මෙන්ම කැමැත්ත නිසා අපිත් කුඩා කළ සිටම සංගීතයට නැඹුරු වුණා' එලෙස පවසන අමරා රණතුංග පාසල් අධ්‍යාපනය ලබන්නේ හංවැල්ල මධ්‍ය මහා විද්‍යාලයෙනි. පාසල් වියේ සිටම අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට ද ඇය තුළ පැවැතියේ සහජ දක්ෂතාවයකි. එහෙත් ඒ සියල්ල පරයා ඇයගේ ප්‍රධාන ආශාව වූයේ සංගීතය හැදෑරීමයි. ඒ පිළිබඳ ඇය පසු කලෙක මෙලෙස පවසා තිබුණි.

'අපේ පාසලට නිතරම ලයනල් එදිරිසිංහයන්, සුනිල් ශාන්තයන් වැනි ප්‍රවීණයන් ආවා. ඔවුන්ගේ ඇසුර, ආභාසය ලබන්නට අපි වාසනාවන්ත වුණා. ඒ නිසාම අපි පාසල් වියේදීම ගීත ගායනයට, නර්තනයට යොමු වුණා. ගුවන් විදුලියේ ළමාපිටිය වැඩ සටහනට මට 'යමුනා යමුනා ශෝබන යමුනා' ගීතය ගයන්නට අවස්ථාව ලැබුණා. ඒ වන විට මට අවුරුදු 8 ක් 10 ක් පමණ ඇති. පසු කලෙක එස්. එස්. සී. පන්තියේදී මම පාසල ඇරී නිවෙසට එන්නේ කොළඹ යන්න බලාගෙන. ඒ සංගීතය හදාරන්න. ඒ වෙන කොට මමත් දයාත් (දයාරත්න රණතුංග) වාසනාවන්ත වුණා රජයේ සංගීත විද්‍යාලයේ ආරම්භක ශිෂ්‍යයන් බවට පත් වෙන්නට. අද එය සෞන්දර්ය විශ්ව විද්‍යාලය බවට පත්ව තිබෙනවා.' ඇය තම සංගීත දිවියේ මුල් මතකය එලෙස ආවර්ජනය කරන්නේ මීට වසර කිහිපයකට පළමුවය.

1952 දී ලලිත කලා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අමරා ගුවන් විදුලියේ ශාස්ත්‍රීය හා සරල ගී ගායිකාවක ලෙස ජනප්‍රියත්වයට පත් විය. ඇය ගැයූ ගී රැසක් ජනතාව අතර කතාබහට බඳුන් විය. 'ඊයේ රෑ ඔබ', 'සැළලිහිණියී', 'සපු මල් සුවඳක් සේ', 'රාධා ක්‍රිෂ්ණා' ඒ අතරින් කිහිපයකි.

පසු කලෙක සංගීත ගුරුවරියක ලෙස පත්විම් ලද ඇය එය අතරමඟ නතර කොට සංගීතය වැඩිදුර හැදෑරීම උදෙසා 1961 දී දයාරත්න රණතුංගයන් සමඟ ඉන්දියාවේ ලක්නව් නුවර පිහිටි භාත්කණ්ඩේ සරසවියට ඇතුළත් වන්නීය. එහිදී ශාස්ත්‍රීය සංගීතය, උත්තර භාරතීය සංගීතය පිළිබඳ වසර 3 ක් අධ්‍යාපනය ලබා පසුව ලංකාවට පැමිණෙන අතර එහිදී අමරාට රජයේ සංගීත විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් ද හිමි විය.

එතැන් සිට වසර හතළිස් එකක පමණ සේවා කාලයකින් පසුව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක බවටත් පසුව 1984 දී බරණැස හින්දු විශ්ව විද්‍යාලය ඔස්සේ ඇය ලද ශාස්ත්‍රපති උපාධියෙන් පසුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ප්‍රථම අංශ ප්‍රධානාචාර්යවරිය ලෙසටත් ඇය පත් වන්නේය. ඒ 1995 වසරේදීය. ඒ අතරතුර ඇය සහ දයාරත්න රණතුංගයන් කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයක බාහිර කථිකාචාර්යවරු ලෙස සේවය කරමින් තම දැනුම දරු දැරියන් වෙත ප්‍රධානය කරන්නට කටයුතු කළෝය. මේ සියල්ල ඔවුන් බොහෝ වෙහෙස මහන්සි වී ලද දේවල්ම විය. ඒ ගැන ඇය පවසා තිබුණේ මෙලෙසිනි. 'අපි ආ දුෂ්කර ගමන් මඟ ඉතාම රසවත්. අද කාලේ වගේ නෙමෙයි. අද තිබෙන්නේ සංගීත ලෝකය තුළ වේගවත් ගමනක්. මොකද එදා අපි ආපු දුෂ්කර ගමන් මඟේදී අපි සංගීතය පිළිබඳ හැම පැත්තකින්ම ලැබූ දැනුම විශාලයි' යනුවෙනි.

ලංකාවේ සංගීතය පිළිබඳ පළමු මහාචාර්තුමිය බවට පත් වන්නට ලද වාසනාව පිළිබඳ ඇය පවසන්නේ මෙවැන්නකි.

'ලංකාවේ සෑම විෂයක් සඳහාම යා හැකි දුරක් තිබෙනවා. ඒත් සංගීතය තුළ එහෙම තිබුණේ නැහැ. මට හිතුණා මගේ සුදුසුකම් මත මහාචාර්ය පදවිය සඳහා ඉල්ලුම් කරන්නට. එය මට ලැබුණා.' ඇය පවසන්නේ ඒ වෙනුවෙන් ඇය කළ මෙහෙවර ද සිහිපත් කරමිනි. ලංකාවේ ජන හා ශාස්ත්‍රීය සංගීතයට අගනා මෙහෙවරක් සිදු කළ අමරා රණතුංග එය ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රචලිත කිරීමට කැප වී කටයුතු කළ මහාචාර්යවරියක ද විය. සංගීත චිකිත්සාව ඒ අතර ප්‍රධානය. කාන්තාවක ලෙස සංගීත අංශයෙන් මහාචාර්යවරියක බවට පත්ව ඇය සමාජයට ගෙන දුන් කීර්තිය අපමණය. කැලණිය විශ්ව විද්‍යාලයට සෞන්දර්ය අධ්‍යයන අංශයක් ආරම්භ කිරීමට ඇය පෙරමුණ ගෙන කටයුතු කළ ආචාර්යවරියක් විය. කුඩා කල දිවියේ මෙන්ම සංගීත දිවියේ ද මිතුරෙකු ලෙස ළඟින්ම සිටි දයාරත්න රණතුංගයන් සමඟ 1964 වසරේදී විවාහ වන අමරා රණතුංග පුතණුවන් දෙදෙනකුගේත් එක් දියණියකගේත් ආදරණීය මව වන්නීය. සංගීත ක්ෂේත්‍රයෙන් මහාචාර්යවරියක ලෙස ඉහළට ගිය ද ඇය හැම විටම තම සැමියාට දයාබර බිරිඳක් ලෙස ද දරුවනට ආදරණිය මවක ලෙස ද සිය යුතුකම් හා වගකීම නොපිරිහෙළා ඉටු කළ ගැහැනියක වූවාය. එලෙසම ඇයගෙන් ශිල්ප ඥානය ලද ගෝලයන් පිරිස ද විශාලය. බොහෝ දුක් මහන්සියෙන් හා උත්සාහයෙන් කැපවීමෙන් ලද ජයග්‍රහණ හැම විටම ඇය සතු විය. ඒ දුෂ්කර ගමන් මඟ නිසාම දෙපයින් සිටගෙන නොසැලී කටයුතු කරන්නට හැකි වූ බව ඇය පුවත්පත් සාකච්ඡාවලදී පැවැසූ වාර අනන්තය. එනිසාම ඇගෙන් මේ රටට සමාජයට ඉටු වූ මෙහෙවර ද අපමණය. සංගීතය පිළිබඳ විවිධ පොත්පත් රචනා කරමින් ඒ පිළිබඳ පර්යේෂණ කරමින් ඇය සංගීත කලාව උදෙසා ඉටු කළ මෙහෙවර පිළිබඳ මතකය ඇය නික්ම ගිය ද තවත් කලක් යනතුරුම මෙරට සංගීත කලාවේ සදා පවතිනු ඇත.

අද වන විට දයාරත්න අමරා යුවළගේ පුතුන් දෙදෙනා පුලස්ති ඉන්දික, නන්දිත සාරද, දියණිය කුමද්මතී රූපශිකා ද, ලේලිය සධානා රණතුංග ද සංගීත ලොවේ ඉදිරියට පැමිණ සිටියි. මුනුපුරු මිනිපිරියන් ද ඇය ගිය මඟ යමින් සංගීතයට පිවිස සිටියි. . සංගීත කලාවේ දිදුලන නාමයක් සනිටුහන් කළ අමරා රණතුංග මහාචාර්යවරියගෙන් හිස් වූ ඒ අඩුව පුරවාලන්නට කාලයක් යන තුරුම කිසිවෙකු බිහි නොවනු ඇත. අද දින අවසන් ගමන් යන අමරා රණතුංග ප්‍රවීණ සංගීතවේදියනි, ඔබට අජරාමර නිවන් සුව ලැබේවායි සරසවිය ප්‍රාර්ථනා කරමු.