වර්ෂ 2016 ක්වූ ජනවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




මහා සිනමාකරු සමඟ ‘රේඛාව’ නැරැඹුවෙමි

මහා සිනමාකරු සමඟ ‘රේඛාව’ නැරැඹුවෙමි

2006 රේඛාව 50 වසර පිරුණු දා රන්ජිත් ලියු කෘතිය ආචාර්ය ලෙස්ටර්ට පිරිනැමූ අවස්ථාව

අපේ රටේ පමණක් නොව සිනමාවේ ද ජ්‍යෙෂ්ඨ සිනමාකරුවා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ප්‍රථම සිනමා කෘතිය වූ 'රේඛාව' චිත්‍රපටය තිරගත වී 60 වසරක් පිරීම නිමිත්තෙන් ලබන සෙනසුරාදා කොළඹ රීගල් සිනමාහලේ දී විශේෂ සැමරුම් උලෙළක් පැවැත්වෙයි. 'රේඛාව'ට හැට වසරක් පිරෙද්දී මගේ මතකයට ආවේ මීට වසර 10 කට පෙර රේඛාවට 50 වසරක් පිරීම නිමිත්තෙන් අප විසින් රීගල් සිනමාහලේ සංවිධානය කරන ලද උත්සවයකි.

'රේඛාව' තිරගතවීමට තිබුණේ 2006 දෙසැම්බර් 28 වෙනිදාය. දෙසැම්බර් 26 වෙනිදා සවස මට ලෙස්ටර් මහතා දුරකතනයෙන් කතා කළේය.

'අපි හෙට උදේ 8 ට රීගල් තියටර් එකේ රේඛාව පි‍්‍රන්ට් එක බලනවා. රන්ජිත්ට ඉඩ තියෙනවා නං ඇවිත් යන්න.'

'මම එන්නම් සර්'

මම කිව්ව වෙලාවටම පසුදා රීගල් සිනමාහලට ගියෙමි.

ලෙස්ටර් මහතාගේ මෝටර් රථය පැමිණියේ ද ඒ සමඟය. ලෙස්ටර් මහතා සමඟ සංස්කරණ ශිල්පී ග්ලැඩ්වින් ප්‍රනාන්දු ද පැමිණියේය.

ලෙස්ටර් මහතා රීගල් සිනමාහලේ පහත මාලයේ ඕධය එකට ගියේය.

'රන්ජිතුත් එන්න'

රීගල් ශාලාවේ සිටියේ අප දෙදෙනා පමණි. රේඛාව තිරයේ දිස් විය. වසර 50 කට පෙර මංගල දර්ශනය පැවැත් වූ හැටි මම සිතින් මවා ගතිමි. ශාලාවේ තිරය දෙසින් එන දීප්තිමත් එළියෙන් මට ලෙස්ටර් මහතාගේ හැඟීම්බර මුහුණ පෙනේ.

'සර් සවුන්ඩ් ටිකක් අඩු කරන්නද?' විටෙක ග්ලැඩ්වින් පැමිණ අසයි'.

'හොඳටම ඇති'

ලෙස්ටර් මහතා චිත්‍රපටය බලන ගමන් මට කතා කරයි.

'අයිසේ රන්ජිත් මේක බලන කොට පුදුම හිතෙනවා, අපි මේක බැලුවාම.'

'ඕළු නෙළුම් නෙරිය රඟාලා' නම් සිසිර සේනාරත්න ගයන, ආනන්ද වීරකෝන් රඟන දර්ශනය තිරේ දිස් විය.

'අයිසේ රන්ජිත්. මෙතැන ගඟ හරි ගැඹුරුයි. කවුද කිව්වා කිඹුල්ලුත් ඉන්නව කියලා'

නැවතත් ලෙස්ටර් මහතා ඕනෑකමින් චිත්‍රපටය බලයි.

'මට රේඛාවේ ලොකේෂන් බලන්න ගිය හැටි මතක් වුණා. අපි ගියේ සරත් විජේසිංහ (හිටපු අමාත්‍යය) එක්ක. විලියි, ටයිටස් එක්ක. සරත්ගේ බෙන්ස් කාර් එකේ 'මිනි බාර්' එකක් තිබුණා. අපි විස්කි බිබී යන අතරේදී ඔය ලොකේෂන් එක හම්බ වුණේ' ලෙස්ටර් මහතා කීවේය.

ආයෙත් රේඛාව බලන ගමන් ඔහු මට කතා කරයි.

'අයිසේ රේඛාවේ සින්දු කොච්චර එදා ජනප්‍රිය වුණාද? තැටි ගොඩක් විකුනුණා. මට ඉන්ද්‍රානියි, සිසිරයි සින්දු කියන සීන් එක දැක්කම හොඳ කතාවක් මතක් වුණා. අපි ඉන්ද්‍රානිව තෝර ගන්න කොට එයා ඉස්කෝලේ යනවා. සිසිර සින්දු කියලා තිබුණා. මේ දෙන්නා රේඛාවේ සින්දු රෙකෝඩින්වලට ඉන්දියාවට ගෙන්වා ගත්තා. මට තේරුණා මේ දෙන්නගේ ලව් එෆයාර් එකත් බ්ල්ඩ් අප් වෙනවා. අපිත් ඔය කාලේ පහු කළා නේ. ඉතින් මම මේ දෙන්නට විහිළු කරනවා. 'හා . . . හා . . . යමු නැලවිල්ලේ යමු නැලවිල්ලේ' කියලා. ලෙස්ටර් මහතා සිනාසෙමින් කීවේය.

නැවත ඔහු චිත්‍රපටය නරඹයි. මල්ලිකා පිලපිටිය, ආනන්ද වීරකෝන් හා සෝමපාල ධර්මප්‍රිය රඟන එළිමහන් දර්ශනයක් තිරයේ දිස් විය.

'අයිසේ රන්ජිත් මෙතැන ෂූට් කරන කොට කපුටන් අපිට දස වධ දුන්නා. උන්ගේ ශබ්දෙට ඩයලොග් රෙකෝඩින් කර ගන්න බැරිව ගියා. ටයිටස් කිව්වා අපි රතිඤ්ඤා පත්තු කරලා උන් එලවමු කියලා. ටයි ඔය වගේ අපූරු යෝජනා ගේනවා. චිත්‍රපටය ෂූට් කරපු තැන හිටිය ගම්මුලාදෑනියගේ පුතා රතිඤ්ඤා ගේන්න ගියා. අපි රුපියල් 500 ක් දුන්නා. 'මෙච්චර ගොඩක් සල්ලි' තරුණයා විශ්මයෙන් ඇසුවා. රු 500 ඒ කාලේ සිවිල් සර්වන්ට් කෙනෙකුගේ පඩිය. ටයිටස් කිව්වා ඔය සල්ලිවලින් රතිඤ්ඤා ගේන්න. පසුවත් ඕක ප්‍රයෝනවත් වේවි කියලා. ඒත් අර තරුණයා රතිඤ්ඤා ගෙනාවෙ රුපියල් 400 ක.'

මේ ආකාරයට ලෙස්ටර් මහතා අතීත තොරතුරු කියන විට මම ආසාවෙන් අසා සිටියෙමි.

'මම කොතරම් වානාවන්තයෙක්දැයි' මම සිතුවෙමි. මේ මහා ශ්‍රේෂ්ඨ සිනමාකරුවා සමඟ ශාලාවක තනි වී මෙසේ අල්ලාප සල්ලාප කිරීමට ලැබීම ජීවිතයේ නොලැබෙන වරමකි.

'අයිසේ රන්ජිත් ඔයා කොහොමද රේඛාවෙ 'ස්ක්‍රිප්ට් එක ලිව්වේ?' ලෙස්ටර් මහතා මගෙන් ඇසුවේය. ඒ අඩ සිය වසක රිදී රේඛාව නම් ග්‍රන්ථය ගැනය.

'මම චිත්‍රපටයේ ච්ඍච් එක දෙතුන් ගමන බලලා හරියට දෙබස් ලියා ගත්තා. පස්සේ ආයිත් බලලා තිර නාටකයේ අවස්ථා ලියා ගත්තා.'

'ඔයා රේඛාව පොත ලියන්න හුඟක් මහන්සි වුණා'

'ඒක මම ආසාවෙන් කළේ'

චිත්‍රපටය නිමා විය. ග්ලැඩ්වින් පහළට විත් ලෙස්ටර් මහතා ළඟට ආවේය.

'ග්ලැඩ්වින් ප්‍රින්ට් එක හොඳයි. අපි යමුද?'

'සර් ටිකක් ඉන්න - රීල්ස් ටික දාගන්නකං'

'එපා ග්ලැඩ්වින් හෙට ආයිත් ගේන්න වෙනවනේ. තියටර් එකේ තියමු'

පසුදා 'රේඛාව' සවස 6.30 ට තිරගතවීමට නියමිතය. මා 'රේඛාව' උත්සවය සංවිධානය කළේ තනිවමය. රේඛාව පිළිබඳ ප්‍රථම පර්යේෂණ පොත මුද්‍රණය කර ගැනීම ලොකු අභියෝගයකි. රේඛාවේ සියලු ඡායාරුප ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ටයිටස් එකතුවෙන් ලබා ගතිමි. ඒ සඳහා අධ්‍යක්ෂතුමිය (ආචාර්ය සරෝජා වෙත්තසිංහ) ප්‍රමුඛ ජෝසෆ් පැට්රික් පීරිස්, දිලිනි ඇන්ටනි ලියනගේ, එච්. එම්. දීපානි, දිනූෂා නිල්මිණි වීරක්කොඩි, චමිලා රූපිකා රාජපතිරණ, සුරංගි වරාකැටිය මහත්ම මහත්මීන් ද පුස්තකාලයාධිපති සුමනා අමරසිංහ හා යමුනා කළුආරච්චි, සමින්ද විරාජ් ද මගේ කරදර ඉවසා 'සෙවීම් කාමරයේදී' උදව් කළ බව කාතඥතා පූර්වකව සඳහන් කළ යුතුය.

උලෙළ රීගල් සිනමාහලේ මංගල දර්ශනය පවත්වා හරියටම 50 වසරකට පසු තිරගත කිරීමට කිසිදු මුදල් අය නොකොට ලෙස්ටර් මහතාට උපහාරයක් වශයෙන් දීම සිලොන් තියටර්ස් කළමනාකාර අධ්‍යක්ෂ ඇන්තනි (බබා) පේජ් මහතා මට අනුග්‍රහ දැක්වීය. 'අඩ සියවසක රිදී රේඛාව' පර්යේෂණ කෘතිය මුද්‍රණය කර දුන්නේ මගේ අතීත මිතුරු ෆාස්ට් පබ්ලිෂින් අධිපති පේ‍්‍රම් දිසානායක සොහොයුරාය. මගේ අතීත මිත්‍ර ස්වර්ණ සංඛ පදනමේ සභාපති සුනිල් ෆොන්සේකා ච්ජ්ඛ්ඛ් බැංකුවේ අනුග්‍රහය ලබා දී කළේ එකම ඉල්ලීමකි. පොත පිටවෙනදා ලෙස්්ටර් මහතා ප්‍රමුඛ චිත්‍රපටයට සම්බන්ධ ජීවත්වන කලාකරුවන්ට සම්මාන පිදීමට අප සැලසුම් කොට තිබිණි.

'ලෙස්ටර් මහත්තයට දෙන සම්මානය අමරදේව මහත්තයා අතින් දෙමු'

එතරම් හොඳ, අර්ථවත් යෝජනාවක් තව තිබිය හැකිද?

එය අපි සතුටින් ඉටු කළෙමු. මේ කටයුතු සඳහා මට සහාය වූයේ බණ්ඩාර ඇහැලියගොඩ සහෝදරයාය.

2006 දෙසැම්බර් 28 වෙනිදා සවස රීගල් සිනමාහලට 'රේඛාව'ට සම්බන්ධ ලෙස්ටර්, අයිරාංගණී සේරසිංහ, ශේෂා පලිහක්කාර, මල්ලිකා පිලපිටිය, සුනිලා ජයන්ති, විජය අබයදේව, සිසිර හා ඉන්ද්‍රාණි, කේ. ඒ. දයාරත්න, අයිවෝ ඩෙනිස්, ලතා වල්පොල, කැමිලස් ප්‍රනාන්දු සභාගි වූ අතර ඔවුනට සම්මාන ද පිරිනැමුණි. එදින තවත් සිදුවීමක් ද ලියා තැබිය යුතුය. රේඛාවට 50 වසරක් පිරුණ එදින මගේ කෘතිය මෙන්ම මගේ පුතු නුවන් නයනජිත් කුමාර ලියූ 'ලෙස්ටර් විරචිත ලේඛන සංහිතා' නම් ලෙස්ටර් ලියූ ඉංග්‍රීසි ලිපිවල සිංහල පරිවර්තනය සහිත කෘතිය සරසවි ප්‍රකාශනයක් ලෙස ලෙස්ටර් මහතාට පිළිගැන්වීමය. එය පිය පුතු දෙදෙනා අතින් ලෙස්ටර් නම් විශිෂ්ට සිනමාකරුට පිදූ උපහාරයකි.

රේඛාවට 60 වසරක් පිරීම නිමිත්තෙන් ලබන 28 වෙනිදා රීගල් සිනමාහලේදීම මා ලියූ 'සිංහල සිනමාවේ රිදී රේඛාව' කෘතිය දොරට වැඩීම ද මගේ ජීවිතයේ සුවිශේෂ සිද්ධියකි. මේ කෘතියට ලෙස්ටර්ගේ ජීවිත කතාව, රේඛාව බිහිවීමේ පසුබිම, රේඛාව හැදුණු හැටි මෙන්ම අංග සම්පූර්ණ දෙබස් සහිත තිර නාටකය, සිංහල ඉංග්‍රීසි විචාර, මතවාද, කාර්මික තොරතුරු, ගීත රචනා සියල්ලම ඇතුළත් කර ඇත. ෆාස්ට් පබ්ලිෂන් හ ස්වර්ණ සංඛ පදනම මෙයට දායකත්වය ලබා දී ඇත.

50 වසරක මගේ සිනමා පුවත්පත් ජීවිතයේ මේ මහා කලාකරුවා වෙනුවෙන් කෘති දෙකක් සම්පාදනය කිරීමට ලැබීම මා කළ පෙර පිනකැයි මට සිතේ.

ආචාර්ය ලෙස්ටර්, ඔබට චිරං ජයතු!