වර්ෂ 2016 ක්වූ ජනවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




එම භීෂණය නැවතත්

එම භීෂණය නැවතත්

කැප්කොන් ආයතනය විසින් 1996 වසරේදී පළමුවරට Resident Evil  පරිගණක ක්‍රීඩාව නිර්මාණය කළ අතර එය වසර 2000 වන විටදී අදියර හතරක් දක්වා පැමිණි තිබුණේ ඉහළ ජනප්‍රියතාවක්ද හිමිකර ගනිමින්. භයංකර ක්‍රීඩාවක් ලෙසින් ප්‍රචලිත එය දරුණු සොම්බීන් සමඟ සටන්කර ජයග්‍රහණය කළ යුතු වෙනවා. මෙම පරිගණක ක්‍රීඩාව ලද ජනප්‍රියතාව නිසාම එය මුල්කර ගනිමින් චිත්‍රපට මාලාවක් නිර්මාණය කරන්නට කැප්කොන් ආයතනය පියවර ගත්තා.

ඒ අනුව එහි මුල්ම චිත්‍රපටය නිෂ්පාදනය ආරම්භ කළේ 1997 වසරේදීයි. නමුත් කාලයක් ගතවී එම චිත්‍රපටය Resident Evil නමින් තිරගත වුණේ 2002 වසරේදීයි. එය නිෂ්පාදනය කළේ පෝල් ඩබ්ලිව්. එස් ඇන්ඩර්සන් සහ ජෙරම් බොල්ට් විසින්. මෙහි ප්‍රධාන චරිතය කාන්තා චරිතයක්. ඇලිස් නම් වූ එම චරිතය නිරූපණය කරන්නේ, අමෙරිකානු නිළියක වන මිලා ජොවොවිච් විසින්. මෙම චිත්‍රපට මාලාව රචනා කරන ලද්දේ ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම තිරරචකයකුද වන පෝල් ඩබ්ලිව්. එස් ඇන්ඩර්සන් විසින්.

අම්බ්‍රෙල්ලා සමාගම යනු ලොව බෙහෙවින් බලවත් ආයතනයකි. එය ඉතාම බලවත් සේම සාර්ථක ආයතනයක් ලෙස ප්‍රකටය. එම සාර්ථකත්වයට හේතුව වන්නේ පොළව යට රහස් පරීක්ෂණාගාරයක ජීව අවි නිපදවා අත්හදා බැලීමයි. මේ ආයතනය නිපදවූ එක් වෛරසයක් අතපසුවීමකින් මුදා හැරෙන නිසා එම පරීක්ෂණාගාරයේ විද්‍යාඥයන් හට එම වෛරසය වැළඳී ඔවුන් සොම්බීන් බවට පත් වේ. පරීක්ෂණාගාරය සීල් තබනු ලබන්නේ, එහි සිටින පුද්ගලයන්හට පිටතට නොඒමට සහ පිටත සිටින පුද්ගලයන්හට ඇතුළට යා නොහැකිවන ලෙසිනි. ප්‍රධාන පරිගණකය විසින් මෙහි ක්‍රියාකාරීත්වය නවතා දමනු ලබයි. නමුත් ප්‍රධාන පරිගණකයේ ක්‍රියාකාරීත්වය දිගමට පවතී. පරිගණකය ක්‍රියාවිරහිත කර පරීක්ෂණාගාරය සීල් තැබීමට සන්නාහ සන්ද්ධ විශේෂ කාර්ය බලකායක් මෙම පරීක්ෂණාගාරයට ඇතුල්වේ. ඔවුනට එහිදී ඇලිස් නම් කාන්තාව හමු වේ. විශේෂකාර්ය බලකාය සොම්බීන්ට එරෙහිව සටන්කර පරීක්ෂණාගාරය වසා දැමීමට සැරසේ. එවිට සොම්බීන්ට මෙන්ම විශේෂ කාර්යබලකායටද එරෙහිව ඇලිස් නැඟී සිටී. සොම්බීන් විනාශ කිරීම සඳහා නගරයට න්‍යෂ්ටික බොම්බ හෙළිමට විරුද්ධව ඇලිස් සටන් කරයි. Resident Evil චිත්‍රපට මාලාවේ පස්වැන්න දක්වා කොටස් දිවෙන්නේ එලෙසිනි. 2002 වසරේදී තිරගත වූ Resident Evil චිත්‍රපටයෙන් පසු 2004 වසරේදී Resident Evil: Apocalypse ද 2007 වසරේදී Resident Evil: Extinction ද 2010 වසරේදී Resident Evil: Afterlife ද 2012 වසරේදී Resident Evil: Retribution  ද වශයෙන් එම චිත්‍රපට ලොවපුරා තිරගත කෙරුණි.

වෛරසය ලොව පුරා පැතිර යයි. සාමාන්‍ය මිනිසුන් තව තවත් දුර්වල වී ඇත. නමුත් ඇලිස් තවමත් සටනේය. 2017 වසරේදී Resident Evil: The Final Chapter ලෙසින් එය රිදී තිරයේ දිග හැරේ. විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම, ත්‍රාසජනක චිත්‍රපට මාලාවක් ලෙසින් Resident Evil චිත්‍රපට මාලාව ඉහළ වාණිජමය සාර්ථකත්වයක් ලද චිත්‍රපට මාලාවක් ලෙස විශේෂ වේ. එහි සෑම චිත්‍රපටයක්ම අදාළ චිත්‍රපටයේ පිරිවැය මෙන් තෙගුණයක හෝ සිව්ගුණයක ආදායමක් ලබා ගන්නට හැකිවීම එම වාණිජමය සාර්ථකත්වයට හේතුවයි. මෙම චිත්‍රපට මාලාවට වැය වූ පිරිවැය අමෙරිකානු ඩොලර් 250ක් වන අතර එම චිත්‍රපට සියල්ල මේවන විට ලද ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 916ක්.

කෙසේ නමුත් විචාරකයන්ගෙන් නම් මෙයට යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බව පෙනේ. ඔවුන්ගේ අදහස් පළ වන රොටෙන් ටොමෑටොස් වෙබි අඩවිය තුළ මෙම චිත්‍රපට මාලාවේ මෙතෙක් තිරගත කළ සෑම චිත්‍රපටයකටම හිමි වී ඇත්තේ සියයට 20ත් 35ත් අතර ලකුණු ප්‍රමාණයක් වීම එයට හේතුවයි. ආදායම් වාර්තා පෙන්වන ‍ලෙසින්ම Resident Evil චිත්‍රපට මාලාව ජනතාව අතර ඉහළ ජනප්‍රියත්වයක් ලද බව පෙන්වන්නේ සුප්‍රකට IMDB දර්ශකයේ ලකුණු 5ත් 7ත් අතර ප්‍රමාණයක් වාර්තා කිරීමෙන්. Resident Evil: The Final Chapter ජනවාරි 27 එනම් හෙට සිට ලොවපුරා තිරගත කෙරේ. මිනිත්තු 106ක් පුරා දිවෙන එහි මිලා ජොවොවිච් සමඟින් අලි ලාර්ටර්, ෂෝන් රොබර්ට්ස්, රූබි රෝස්, ඉයන් මැකේන්, විලියම් ලෙවි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වේ.