වර්ෂ 2016 ක්වූ ජනවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




එම භීෂණය නැවතත්

සංගීතය මගේ ආදායම් මාර්ගය නොවේ

මිස් කෝල් එකක් ගීය ගැයු චරුද් ගුණරත්න

මිස් කෝල් එකක් තරමටවත් මා නොවටින බව දැනුණා . . . යන ජනප්‍රිය ගීය ගැයූ චරුද් ගුණරත්න පසුගිය වසර කිහිපය පුරාවට සිටියේ අමෙරිකාවේ. එහි නිව්යෝක් නගරයේ බෆලෝ විශ්ව විද්‍යාලයේ. ඔහු නීතිය පිළිබඳ හදාරනවා. නමුත් චරුද් ඒ වැඩ කටයුතු අතරේදිත් ගීයක් ගයා තම රසික රසිකාවන්ට ප්‍රදානය කළා. එය නම් කොට ඇත්තේ ඔබ මගේ ආදරය ඉල්ලා යනුවෙන්. නිසල් ප්‍රනාන්දුගේ රචනයකට අනුව අශාන් ප්‍රනාන්දු එය සංගීතවත් කොට තිබෙනවා. මේ දිනවල එම ගීය අන්තර් ජාලය අතරේ ඉමහත් ජනප්‍රියයි. කෙටි නිවාඩුවකට චරුද් ලංකාවට ආවා. ඒ අතරතුරදි ඔහු සරසවිය හා එක් වී තම අලුත් තොරතුරු බෙදා ගන්නත් අමතක කළේ නැහැ.

චරුද් කොහොමද ඇමරිකාවේ ගත කළ වසර කිහිපය ඔබට දැනෙන්නේ?

ඇත්තම කිව්වොත් මම ඒ රටේදී ගායකයෙක් නෙවෙයි. මාව හඳුනන අයත් අඩුයි. නමුත් විශ්ව විද්‍යාලය තුළදී සංගීතය ගැන උනන්දු වන පිරිස් නම් මගේ ගීත අහලා තිබුණා. මිස් කෝල් එකක් තරමට ගීය තමයි එයාලා අතරෙත් වැඩිපුරම ජනප්‍රිය. මං එහිදී වැඩි වශයෙන් හිත යොමු කළේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමයි.

නීතිය හදාරලා අවසන් වෙන කොට ඔබ ඇමෙරිකාවෙම නවතිනවද?

අපෝ නැහැ. මං කෙළින්ම එන්නේ ලංකාවට. තව වසර දෙකයි මං එහේ ඉන්නේ. මට නමක් හදලා දීලා මාව ජනප්‍රිය ගායකයෙක් කළේ මගේ රටේ ජනතාව. ඔවුන් වෙනුවෙන් මං දිගටම ගයනවා. ඒ අතරතුරදී තවත් පුංචි දෙයක් කරන්න මං බලාපොරොත්තු වෙනවා.

ඒ මොකක්ද?

ලෝයර් කෙනෙක් වුණාට පසු මං වැඩිපුරම කතා කරන්න හිතාගෙන ඉන්නේ සංගීත ක්ෂේත්‍රය තුළ සිදුවන අසාධාරණකම් වෙනුවෙන්. ඒ අවස්ථාවන්වලදී මිල මුදල ගැන සැලකීමක් නොකොට මගේ සේවය ලබා දෙනවා.

ඇමරිකාව හා එකතු වී ගීතයක් ගයන්න අදහසක් නැතිද?

ළඟදීම එවන් වූ හවුල් නිර්මාණයක් කරනවා. තව නොබෝ දිනකින් දන්වන්නම්කෝ.

අලුත් ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොඳයි. වෙනස්ම අන්දමේ ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි මෙහිදී කියන්න ඕනෑ මිස් කෝල් එකක් තරමට ගීතයට තරම් මට වෙන කිසිම ගීතයකට ප්‍රතිචාර ලැබුණේ නැහැ.

ඔබ දැන් දැන් රැල්ලට ගීත ගයන ආකාරයක් පේනවා?

ඔය කියන්නේ විරහ ගීත රැල්ල ගැන වෙන්න ඇති. ඔබ කිව්වා වගේ මං ක්ෂේත්‍රයට එන්නේ රැල්ලට සිංදු කියලා නෙවෙයි. මගේ පළමු ගීතය මං ගැයුවේ බයිලා ආරට. ඒකේ නම කොළඹ. නමුත් ඒකට වඩා ජනප්‍රිය වුණා මං ගැයූ විරහ ගීත. එතකොට ඇතැම් අයට හිතෙන්නට පුළුවන් මමත් රැල්ලට ගී ගයනවා කියලා. නමුත් වෙන්නේ අභාග්‍යයකට. මගේ විතරක් නෙවෙයි නව පරපුරේ ගායක ගායිකාවන් ගයන ගීත අතරත් ජනප්‍රිය වෙන්නේ විරහ ගීත.

ඔබ විදෙස් ගතවෙලා ඉන්න අතරතුරදී නව පරපුරේ ගායක ගායිකාවන් රැසක් බිහි වුණා?

ඔව්. මං දැක්කා. නමුත් මට එයාලා කවුරුවත් අභියෝගයක් නෙවෙයි. දිනෙන් දින අති විශාල ප්‍රමාණයක ගීත නිර්මාණය වෙනවා. අපි මේ කතා කරන මොහොතේ පවා ගීතයක් දෙකක් රිලීස් වෙන්න ඇති. ඒවා අතරින් හොඳ දේවල් පමණයි රසික රසිකාවන් අතර රැඳෙන්නේ. අපි අන්න ඒ හොඳ දේවල් තමයි කළ යුත්තේ. එතකොට කාටවත් අභියෝගයක් වෙන්නේ නැහැ.

ඔබ මියුසික් කරන්නේ මුදල් හම්බ කරන්නද?

මුදල් කියන කාරණාව මිනිස්සුන්ට අත්‍යවශ්‍යයි. සංගීතය කරගෙන යද්දී මුදල් හොයන්නට පුළුවන් ක්‍රම සහ විධි ඕනෑ තරම් තියෙනවා. හැබැයි මං කවදාවත් සංගීතයෙන් මුදල් හොයන්න ප්‍රිය කරන්නේ නැහැ. මොකද මේක මගේ වෘත්තීය නෙවෙයි. එහෙම කිව්වට මං පර්ට් ටයිම් නෙවෙයි සංගීතය කරන්නේ.

ඔබ ප්‍රසංග වේදිකාවේ ගී ගයනවාද? මං එහෙම ඇහැව්වේ නව පරපුරේ ඇතැම් අය ප්‍රසංග වේදිකාවේ ලයිව් ගයන්නේ නැති නිසා?

ගායකයකු හෝ ගායිකාවක වුණාම අනිවාර්යයෙන්ම සජීවීව ගීත ගයන්න පුළුවන් වෙන්න ඕනෑ. නැතිනම් වැඩක් නැහැ. මම ප්‍රසංග වේදිකාවේ ගී ගයනවා. හැබැයි මගේ මුදල නම් අනෙක් ගායකයන්ට සාපේක්ෂව හරිම අඩුයි. යම් සුබසාධන කටයුත්තකදී නොමිලයේ වුණත් ස්ටේජ් නඟින්න මං සුදානම්. සංගීතය මගේ මුදල් හම්බ කරන මාර්ගය නොවන නිසයි එහෙම කරන්නේ.

මිස් කෝල් එකක් තරමට ගීතය නිසා වෙච්ච අමතකම නොවන සිදුවීමක් ඔබ මතකයේ තියෙනවා?

ඒක නම් කවදාවත්ම අමතක වෙන්නෙ නැහැ. ඒ කාලේ මං ගැන ගිය පත්තර ආර්ටිකල් එකක මගේ ජංගම දුරකතන අංකය දාලා තිබුණා. එවලේ ඉඳලා පුදුමාකාර දුරකතන ඇමතුම් ප්‍රමාණයක් මට ආවා. පාන්දර තුනටත් කෝල් එනවා. අන්තිමේ මට අංකය මාරු කරන්න සිද්ධ වුණා.

වැඩිපුරම කෝල්ස් එන්න ඇත්තේ ගැහැනු ළමයින්ගෙන් වෙන්න ඇති?

බොරු කියන්නේ මොකටද, ඒක නම් ඇත්ත.

කවදා විතරද ඔබ ආයේ ඇමරිකාව බලා පිටත් වෙන්න තියෙන්නේ?

තව ටික දිනකින් යනවා. ගිහින් මාස දෙක තුනකින් විතර ඇවිත් මගේ නවතම ගිතය රිලීස් කරනවා.