වර්ෂ 2016 ක්වූ ජනවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




ආනන්ද ශාස්ත්‍රාලයේදී වෙස් බැඳීමක්

ආනන්ද ශාස්ත්‍රාලයේදී වෙස් බැඳීමක්

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ නර්තන අංශය සංවිධානය කරනු ලබන හිස් වෙස් මංගල්‍යය මෙම මස 23 වැනිදා උදෑසන විදුහල් පරිශ්‍රයේදී සිදුවේ. විදුහල්පති ලුතිනන් කර්නල් ලියන්ගස්කුඹුර මහතාගේ අනුශාසකත්වයෙන් විදුහලේ නර්ථන ආචාර්ය සිදත් වරකපිටිය යටතේ ශිල්ප හදාල දරුවන් එකොළොස් දෙනකු මෙසේ අභිසෙස් ලබති.


රෝයි පීරිස් මියයයි

'මා දෑසෙ වේදනා
ඔබ දැසෙ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා'

මේ ගීය ඔබ නොඅසා තිබුණොත් පුදුමයකි. ඒ හඬ එතරම්ම අපට ළෙංගතුය. විරහ වේදනාව මුසු වූ තවත් ගීත බොහොමයක් රෝයි පීරිස් නැමැති ඒ ගායකයා විසින් අප වෙත දායාද කොට තිබිණ. මේ පුංචි සටහන ලියවෙනුයේ ඒ සොඳුරු රසවතාගේ හදිසි නික්ම යාම හේතුවෙනි. රෝයි තම ජීවිතයේ පනස් හතර වැනි උපන් දිනය සැමරුවේ මේ ජනවාරියේය. ඒ මිය යාමට දින කිහිපයකට පෙරය. දිනය කිව්වහොත් හරියටම ජනවාරි හයය. මේ ගෙවෙන්නේ තමන්ගේ අවසන් උපන් දිනය බව ඔහු කොයි මොහොතකවත් සිතන්නට නැතිව ඇත. අසූව දශකයේ අග ගෙවා අනූව දශකයේ මුල භාගයේදී මෙරට සංගීත ක්ෂේත්‍රයේ නවමු ආරක ගායක ගායිකාවන් රැසක් බිහි වන්නට පටන් ගනියි. විශාරද නිහාල් ගම්හේවාගේ ගුරුහරුකම් මධ්‍යයේ ජාතික තරුණ සේවා සභාව හරහා කළඑළියට එන ඔවුන් සංගීත ලොව ජය කෙහෙළි නැංවූයේ ඉතාම ඉක්මනිනි. රෝයි අයත් වන්නේ ද එකී පරපුරටය. ඔහු පළමු වතාවට ගැයූ මා දෑසෙ වේදනා ගීය මුළු රැයකින් රටක් වසඟයට ගත්තේය. එමෙන්ම රත්තරං ප්‍රාර්ථනා, ඔබ නෑසූ කතාවක්, රතු රෝස මල් හිනාවේ, කඳුළු පිරුණු දෙනෙත රතු වෙලා, හද සාගරේ, අම්මේ යන්න එපා දුර රටකට, පොඩි කාලෙ මම පෑව සුරතල් සිනා, පෙම් දැහැනේ මා ආදී ජනප්‍රිය ගීත රැසක් ඔහුගේ හඬින් ඔප් නැංවෙන්නේය. පසුකාලීනව සංගීත ගුරුවරයකු ලෙස සේවය කරන ඔහු එමඟින් තවත් පරපුරක් බිහි කිරිමට ද සමත් විය. මා දෑසෙ වේදනා, රත්තරං ප්‍රාර්ථනා ඇතුළු රෝයිගේ ගීත බොහොමයක් පද රචනා කොට සංගීතවත් කළේ විශාරද නිහාල් ගම්හේවා වේ. රෝයි විසින්ම ඔහුගේ ගීත කිහිපයක් නිර්මාණය කොට ඇත. ඉකුත් සෙනසුරාදාවේ රෝයි අප අතරින් සදහටම නික්ම ගියේ හදිසියේ ඇති වූ හෘදයාබාධයකිනි. දෙදරු පියකු වූ ඔහුගේ අවසන් කටයුතු මීගමුවේදී සිදු විය.


ජාතික ජන සම්මාන උලෙළ ගල්කිස්සේදී

සියලු ජාතීන්ගේ නව සමඟි සංවිධානයේ සංස්කෘතික කේන්ද්‍රය මඟින් සංවිධානය කරන ජාතික ජන සම්මාන උලෙළ මේ මස 28 වැනිදා පස්වරු 1.30ට දෙහිවල - ගල්කිස්ස එස්. ජයසිංහ නගර සභා ශාලාවේ පැවැත් වෙයි.

ජාතික ජන සම්මාන උලෙළ සමාජ, ආගමික, සංස්කෘතික, තෝරාගත් කලාකරුවන්, උගතුන්, ව්‍යාපාරිකයන් වෙනුවෙන් පැවැත්වෙන අතර මේ සඳහා සහභාගි වන්නේ රජයේ මැති - ඇමතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන් රැසකි. සියලු ජාතීන්ගේ නව සමඟි සංවිධානයේ සංස්කෘතික කේන්ද්‍රය මඟින් මේ උලෙළ සංවිධානය කරන්නේ සාම ශ්‍රී සම්මාන උලෙළ ජාතික සමඟිය සඳහා විසිතුන් වසරක් ඔවුන් කළ මෙහෙය වඩාත් තහවුරු කිරීම පිණිස ය.


සරිගම ගැන කතාබහක් 27 දා

සිග්නීස් ශ්‍රී ලංකා ආයතනය මඟින් සංවිධානය කරනු ලබන සිනමා රස වින්දන වැඩ සටහනක් මෙම මස 27 වැනිදා උදෑසන කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. ඒ සඳහා මාතෘකා කොටගන්නා සිනමා සිතුවම වන්නේ සරිගමයි. එහි අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක එම වැඩ සටහනෙහි ආරාධිත දේශකයා වශයෙන් සහභාගි වේ. හොඳ චිත්‍රපටයක් හඳුනා ගන්නේ කෙසේද, එමඟින් උගත හැකි පාඩම්, චිත්‍රපටයක් රස විඳීමට අවශ්‍ය මූලික දැනුම යන තේමාවන් යටතේ මෙහිදී දෙසුම් පැවැත්වෙනු ඇත.