වර්ෂ 2016 ක්වූ ජනවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




රේඛාව හැට සැමරුම 29 දා

රේඛාව හැට සැමරුම 29 දා

හෙළයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් අධ්‍යක්ෂණය කළ රේඛාව චිත්‍රපටයට වසර හැටක් සපිරීම නිමිති කර ගනිමින් පැවැත්වෙන නිල උත්සවය මෙම 29 වැනි දින කොළඹ රීගල් සිනමාහලේදී පැවැත්වේ. එදින රේඛාව චිත්‍රපටයේ ඩිජිටල් පිටපතක් තිරගතවීමට නියමිතය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ. ඩී. රන්ජිත් කුමාර විසින් විරචිත 'හැට වසරක රිදි රේඛාව' ඓතිහාසික ග්‍රන්ථය ද, අජිත් ගලප්පත්ති විසින් රචිත 'පනස් හයේ රේඛාව' නමැති පර්යේෂණ ග්‍රන්ථය ද මෙම මස 29 වැනිදා එනම් එන ඉරිදා සවස කොළඹ රීගල් සිනමාහලේදී එළිදැක්වේ. එහි පළමු පිටපත් එදින ප්‍රධාන ආරාධියා වශයෙන් සහභාගී වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා රේඛාව ගැන ජාතික රූපවාහිනියේ දයාරත්න රටගෙදර විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ලෙස්ටර් ඇස' වාර්තා චිත්‍රපටය ද මෙදින තිරගත වේ. මෙහි තිර රචනය හා කථනය දිලීප අබේසේකරගෙනි.

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා හා අධ්‍යක්ෂ ජනරාල් ලයනල් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් ටවර් හෝල් රඟහල පදනම සංවිධානය කරන මේ උලෙළේදී ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවි ජයවර්ධන මහතාගේ අනුග්‍රහයෙන් මේ වාර්තා චිත්‍රපටය නිෂ්පාදනය වෙයි. මේ චිත්‍රපටයේ සම්බන්ධිකරණය රේඛාව අනු කමිටුවේ සාමාජික ඒ. ඩී. රන්ජිත් කුමාර හා ටවර් රඟහල පදනමේ ව්‍යාපෘති නිලධාරි අනුර ෆොන්සේකාගෙනි.

එදින නිකුත් වන සමරු සංග්‍රහයේ සංස්කාරක අනුර ෆොන්සේකාය.

ටවර්හෝල් රඟහල පදනම විසින් මේ උත්සවය සංවිධානය කරනු ලබයි.


ඔබේ නමින් තිළිණ ලදිමි

මෙවර සරසවිය සම්මාන උලෙළේ අලුතින්ම දුන් සම්මානය නම් කෙරුණේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින්. නවක සිනමාකරුවකු වෙනුවෙන් එය වෙන් කෙරිණි. මුල්වරට එම සම්මානය දිනාගත් සය පෙති කුසුම අධ්‍යක්ෂ විසාසේක චන්ද්‍රසේකරම් එම සම්මානය ද රැගෙන පසුගියදා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීර්ස් බැහැ දැක්කේය.


ටෙනිසන් කුරේගෙන් අගය කළ යුතු සද් කාර්යයක්

කලාකරුවකු විසින් සංවිධානය කළ තවත් කලාකරුවන් කිහිප දෙනෙකුට උපහාර පිදීමේ උලෙළක් මෙම මස 29 වැනිදා මරදාන ටවර් රඟහලේදී පැවැත්වේ. එදින තෝරාගත් කලාකරුවන් හය දෙනෙකුට ගෞරව උපහාර තිළිණයන් සහ මුල්‍යමය ත්‍යාගයන් පිරිනමනු ඇත. මෙම උලෙළ සංවිධානය කරනු ලබන්නේ ටෙනිසන් කුරේ විසිනි. මෙහි සෙසු සංවිධායක දායකත්වය සංස්කෘතික අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල, සාහිත්‍යවේදී පාඨලී රෝහණ ජයන්ත සහ තිලක් ද මැල්ගෙනි. එදින ටෙනිසන්ගේ සිවම්මා ධනපාල නාට්‍ය නොමිලයේ ප්‍රදර්ශනය කෙරෙනු ඇත.


බිම්බා හෙවත් යශෝධරා වැඩ අරඹයි

යශෝධරා චරිතයට

සුනිල් ආරියරත්නයන් සොයන්නේ කවුද?

ලේන කුලයේ සිට එක් වී කල්ප ගණනාවක් ඕ තොමෝ එතුමන් පසුපසින් ආවාය. ඒ වූ කලී බුදු සිරිතේ මුණ ගැසෙන උත්තම වනිතාවන්ගෙන් කෙනෙකි යශෝධරා. එදා මෙදාතුර ලොව බිහි වන ඕනෑම වනිතාවකට පරමාදර්ශී වන්නා වූ මේ චරිතය සිනමාවට නැඟීමේ දැවැන්ත කාර්යයට පසුගියදා මුල පිරිණි.

මෙහි මුහුරත් උළෙල පැවැත්වුණේ එහි නිෂ්පාදක සරසවි සිනෙරු අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහතාගේ නිවෙසේදීය.

'යශෝධරා' සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂණය චන්න දේශපි‍්‍රය, සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ, ගායනය විශාරද නන්දා මාලිනී, නර්තන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහ, නිෂ්පාදන සම්බන්ධිකරණය ඒ. ඩී. රන්ජිත් කුමාර, නිෂ්පාදන කළමනාකරණය මනෝහාරී හේවාවසම්, නිශ්චල ඡායාරූප සංදේශ් බණ්ඩාර, කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්ත, සහාය අධ්‍යක්ෂණය ප්‍රියන්ත දිසානායක, සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර, දෘශ්‍ය ප්‍රයෝග චත්‍ර වීරමන්, වස්ත්‍රාභරණ තිළිණ හෙට්ටිගමගේ ගෙනි.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තවමත් යශෝධරා චරිතය සඳහා නිළියක තෝරා නොමැත. චිත්‍රපටයේ සෙසු චරි'ත තෝරා ගනු ලබනුයේ ප්‍රධාන නළු නිළි යුවළ සිදුහත් - යශෝධරා තෝරා ගැනුණු පසුවය.


දැවෙන විහඟුන් බර්ග්මාන් සම්මානය අබියස

සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් චිත්‍රපටය (Burning Birds) 40වන ගොතන්බර්ග් අන්තර්ජාතික සිනමා උළෙලේ (Göteborg Film Festival) ඉංග්මාර් බර්ග්මාන් (Ingmar Bergman) සම්මානය සදහා වන තරඟකාරි අංශයට තේරී තිබේ. ජනාවාරි 27 දින සිට පෙබරවාරි 6 වන දින දක්වා ස්වීඩනයේ ගොතන්බර්ග් (Gothenburg) නුවරදී පැවැත්වෙන සිනමා උ‍ළෙල ස්කැන්ඩිනේවියානු කලාපයේ පැවැත්වෙන ප්‍රධානතම සිනමා උළෙල වේ.ඉංග්මාර් බර්ග්මාන් සම්මානය සදහා නිර්දේශවුණූ පළමු ශ්‍රී ලාංකික සිනමා කෘතිය දැවෙන විහඟුන් වේ.

දැවෙන විහඟුන් චිත්‍රපටයේ පළමු යුරෝපීය සිනමා උළෙල නියෝජනය රොඩර්ඩෑම් සිනමා උළෙලයි. උළෙල ජනවාරි 25 වන දින සිට පෙබරවාරි 5දින දක්වා නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවරදී පැවැත්වෙයි .


වික්ටර් වජ්‍ර ප්‍රභා මියැසි ප්‍රසංගය පෙබරවාරි 18 වැනිදා

ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ හැත්තෑ පස් වැනි ජන්ම සංවත්සරය නිමිති කර ගනිමින් වික්ටර් රත්නායක ප්‍රතිභා ප්‍රණාම සංසදය මඟින් සංවිධානය කරනු ලබන වික්ටර් වජ්‍ර ප්‍රභා ජන්ම සංවත්සර මියැසි ප්‍රසංගය එළඹෙන පෙබරවාරි මස 18 වැනිදා සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙරට සංගීත ශ්‍රාවකයන් අතර අතිශයින් ජනාදරයට පත් ‘ස’ ප්‍රසංගය ඇතුළු වෙනත් ප්‍රසංගවල ගායනා නොකෙරුණු වික්ටර්ගේ ජනප්‍රියතම ගීත රැසක් විඳින්නට මෙහිදී හැකි වනු ඇත.

මෙයට සමගාමීව වික්ටර්ගේ වෙබ් අඩවිය දියත් කිරීමත් නවතම ගීත දොළක් අඩංගු සංයුක්ත තැටියක් නිකුත් කිරීමත් වික්ටර් රත්නායකයන්ගේ සංගීත මෙහෙවර විමර්ශනය කෙරෙන ශාස්ත්‍රීය ග්‍රන්ථය දොරට වැඩීමත් සිදු කෙරේ. ප්‍රසංගයේ සංගීතය මෙහෙයවිම ජයන්ත රත්නායකගෙනි.


අලුත් වෙන්න ඕනෑ නිසා ලිබර්ටි 31 දා සිට වැසේ

දිවයිනේ දැවැන්ත සුඛෝපභෝගී සිනමා ශාලාවක් ලෙස කලක් වැජඹුන කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාව සම්පූර්ණයෙන් නවීකරනය කිරීම සඳහා මෙම 31 වැනිදා සිට වසා දැමෙන වග එහි කළමනාකාර අධ්‍යක්ෂ ඉමිටියාස් කාදර් සරසවියට පැවසීය. දැනට කොළඹ නගරයේ ඇති විශාලතම සිනමා ශාලාවක් වූ ලිබර්ටි දීර්ඝ කාලයක් ලොව කීර්තිමත් ඉංග්‍රීසි චිත්‍රපට රාශියක් ප්‍රදර්ශනය කළ සිනමා ශාලාවකි. එකල වෝර්නර් බ්‍රදර්ස්, පැරමවුන්ට්, යුනිවර්සල් සමාගම්වල චිත්‍රපට තිරගත කෙරුණේ ලිබර්ටි සිනමාහලේය. එය ශ්‍රී ලංකවේ මි මි 70 ප්‍රමාණයේ චිත්‍රපට ප්‍රදර්ශනය කෙරුණ සිනමාහල් ත්‍රිත්වයෙන් එකක් විය. ලිබර්ටි ආරම්භ කරන ලද්දේ පුරෝගාමී චිත්‍රපට නිෂ්පාදකයකු වූ ජබීර් ඒ. කාදර් විසිනි. ඒ සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගමේ පාලනය යටතේය. පසුගිය වකවානුවේ ඊ. ඒ. පී. සමාගමේ තිබූ ප්‍රධාන සිනමා ශාලාව වූයේ ලිබර්ටිය.