වර්ෂ 2016 ක්වූ ජනවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබ මගේ දිවියේ සෙවණැල්ල විය

ඔබ මගේ දිවියේ සෙවණැල්ල විය

අභිෂේකා ආදරණීය පියාණන් සුනිල් විමලවීර ගැන මෙසේ කියන්නී ය...

එදා අම්මා සමඟ ඔබ නිතර පවසන කියමනකි ඒ. එවිට කලක් ඔබ දේශපාලන පළිගැනීම් නිසා රැකියාව අහිමිව නිවෙසේ විසූ අවධිය මට සිහිපත් වන්නේ නිතැතිනි. ඉන්න - හිටින්නට තැනක් නොමැතිව, මුහුණ සෝදා ගැනීමටවත් වතුර පොදක් නොමැතිව එකල අප ගෙවා දැමූයේ බොහෝ දුෂ්කරතාවලට මැදි වූ ජීවිතයකි. එකල පවා ඔබත්, අම්මාත් නිවෙසේ ඇති වූ කිසිදු අඩුපාඩුවක් මට දැනෙන්නට ඉඩ නොතැබූ අයුරු මතකයට පිවිසෙයි.

චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම ගීත රචකයකු වූ සුනිල් විමලවීර පසුගියදා අප අතැර ගියේ ය. හදිසියේ ම වියෝ වූ සුනිල් විමලවීර කලාවට මෙන්ම සිය දියණියන් අභිෂේකාට හා බිරියට බෙහෙවින් ආදරය කළ පියාණන් කෙනෙකි. ළඟදීම සිනමා නිර්මාණයකින් ඔබ හමුවට පැමිණීමේ අදහසෙන් සිටි ඔහු පිළිබඳ මතකය දියණියන් අභිෂේකා මතකයට නැඟුවේ මෙලෙසිනි.

ආදරණීය පියාණනි,

මේ තරම් ඉක්මනින් ඔබට අප අතැර යන්නට අදහසක් නොතිබුණු බව හොඳාකාරව ම මම දනිමි. එහෙත් ඔබ පසුගියදා අප අතැර යන්න ම යන්නට ගියේ ය. අද වනවිට ඔබ මේ නිවෙසේ නොමැති ව ගත වී ඇත්තේ සති කිහිපයක් පමණි. ඔබ නැති අඩුව දැනෙන්නේ අපට පමණක් නොවේ. ඔබගේ මිනිබිරිය අභිලාස්‍යා දෝණියට ද ඒ අතැර යෑම දැඩිව දැනුණා වැන්න. ඔබව දුටු විට ම ඔබගේ දෙඅතට පනින දඟකාර අභිලාස්‍යා මේ දිනවල කිසිඳු හැල හොල්මනක් නැතිව සිටින්නේ ඒ නිසා යැයි මට සිතේ. මීට ටික දිනකට පෙර දූ අත්තාගේ තුරුලේ උණුසුමට වී ගී රස විඳී අයුරු මා නෙත් මත දැනදු සනිටුහන් වෙයි. ඒ මතකය රැඟෙන යන්නේ ළමා කාලයේ මා ගත කළ සොඳුරු ජීවිතය වෙත නොවේ ද?

ඔබටත්, මෑණියන්ටත් සිටි එකම දරුවා වූයේ මා ය. පුතකු නොමැති අඩුව ඔබ දෙපළ ම පිරිමසා ගත්තේ මගේ සුරතල් විඳීමෙනි. කුමන ගැටලුවක් පැන නැඟුණ ද මට උවමනා සියලු දේ සපයමින් මා හදාවඩා ගත්තේ, ඒ කිසිදු ගැටලුවක් මට දැනෙන්නට ඉඩ නොතබාම ය.

“අපි මොන ප්‍රශ්නයකට මුහුණ දුන්නත් දුවට ඒ කිසිම දෙයක් දැනෙන්න දෙන්න හොඳ නැහැ.”

එය එදා අම්මා සමඟ ඔබ නිතර පවසන කියමනකි ඒ. එවිට කලක් ඔබ දේශපාලන පළිගැනීම් නිසා රැකියාව අහිමිව නිවෙසේ විසූ අවධිය මට සිහිපත් වන්නේ නිතැතිනි. ඉන්න - හිටින්නට තැනක් නොමැතිව, මුහුණ සෝදා ගැනීමටවත් වතුර පොදක් නොමැතිව එකල අප ගෙවා දැමූයේ බොහෝ දුෂ්කරතාවලට මැදි වූ ජීවිතයකි. එකල පවා ඔබත්, අම්මාත් නිවෙසේ ඇති වූ කිසිදු අඩුපාඩුවක් මට දැනෙන්නට ඉඩ නොතැබූ අයුරු මතකයට පිවිසෙයි.

අද මෙන් ගමන් බිමන්වල පහසුව සඳහා යාන වාහන පහසුකම් එදා අපට නොතිබිණි. අප සතු වූයේ යතුරු පැදියක් පමණි. කොහේ හෝ යනවිට අප තිදෙනා ම ගමන් කළේ ඒ රථයෙනි. කුඩාකල සංගීතයට මා දැක් වූ දක්ෂතාව නිසාම ත්, සංගීතයට ඔබගේ සිතේ ඇතිව තිබූ ප්‍රියතාව නිසාමත් මාව, ඔබ සනත් නන්දසිරි ආචාර්යතුමාගේ සංගීත පන්තියට ඇතුළත් කළ දිනය සිහියට නැඟෙන්නේ ඉබේම ය. ඔබ එහි මා රැගෙන ගියේ ද අපේ මේ පුංචි යතුරු පැදියේ පිටුපස තබාගෙන ය. ඒ වනවිට අප පදිංචිව සිටියේ හිඹුටාන ගම් ප්‍රදේශයේ නිවෙසක ය. හිඹුටානේ සිට නුගේගොඩ දක්වා ඔබ මාව සංගීත පන්තියට රැගෙන ගියේ බොහෝ පරිස්සමෙනි. එලෙස යන අතරමඟදී ඔබටත්, මටත් මුහුණ දීමට සිදු වූයේ නොසිතූවිරූ අබැද්දියකට ය. හිඹුටානේදී පොද එක, දෙක ලෙස පටන් ගැණුණු වැස්ස හදිසියේ ම මහ වරුසාවක් බවට පෙරළිණි. අප අත කුඩයක් ද නොතිබිණි. ටික වේලාවකින් වැස්සේ වේගය එන්න එන්න ම වැඩි වූවා මිස අඩු වූයේ නැත. එකල අද මෙන් අප ආ දෙපස නිවෙස් බහුලව නොවිණි. අනෙක් කාරණය නම් සංගීතයට පිවිසෙන දිනයේ ම ප්‍රමාද වීමට තිබුණු නොකැමැත්ත ය.

“බේබි... මගේ පිට මැදට මුවා වෙන්න. එතකොට ඔයාව තෙමෙන්නේ නැහැ.”

මා වැහිපොදවලින් බේරා ගැනීමට සිතා ඔබ පැවසූ ඒ වදන මගේ දෙසවන දැනුදු දෝංකාර දේ. එනමුදු අපට සංගීත පන්තියට පිවිසීමට සිදු වූයේ හොඳට ම තෙත බරිතව ය. අද ද වැස්සක් දුටු වන ම මගේ සිතට නිතැතින් පිවිසෙන්නේ ඒ සිදුවීම ය.

නිවෙසේදී ඔබ මා සමඟ කතාබහ කළේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඒ මට වඩාත් හොඳීන් ඉංග්‍රීසි පුරුදු පුහුණු කිරීමේ මඟක් පෑදීමේ අදහස පෙරදැරිවයි. ඒ පිළිබඳ පවසන විට මට, අපූරු කතාවක් මගේ මතකය කරා පිවිසෙයි. එය මෙසේයි. දිනෙක යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී එක්වරම එය පෙරළිණි. නොසිතූ මොහොතක සිදු වූ අනතුරත් සමඟ බයිසිකලය මෙන්ම ඔබ ද සිටියේ මගේ පාදය උඩ ය. මට ඉංග්‍රීසියෙන් තබා සිංහලෙන් කතා කරන්නට ද අමතකව ගිය වේලාවකි, ඒ.

“ වට් හැපන්”

ඔබ පෙරළා මගෙන් විමසූ බව මට මතක ය.

“වට් හැපන් නොවෙයි තාත්තේ, මගේ කකුල උඩ තිබෙන බයිසිකලය අයින් කරන්න.”

මා කෑ ගැසුවේ ඉංග්‍රීසියෙන් කතා කිරීම පසෙක තබා ය. එවැනි අවස්ථාවක වුවද ඔබට උවමනා වූයේ මගේ දැනුම පිරික්සා බැලීමට ය. ඒ ඔස්සේ පැහැදිලි වූයේ අන් කිසිවක් නොව, මාව මේ සමාජයේ යම් තැනක තැබීමට ඔබට තිබුණු ඕනෑකම පිළිබඳ ය.

කිසිම බියකින් තොරව සමාජයේ සැරිසැරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට ඔබ ගත් වෙහෙස අපමණ බව මම දනිමි. විවිධ කාර්යයන් කෙරේ මාව යොමු කළේ ඒ අපේක්ෂාවෙන් බව මට හැඟෙන්නේ අද මෙසේ කල්පනා කරන විටදී ය. එහි පළමු පියවර වූයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘ළහිරු මඬල’ සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයට මා ඉදිරිපත් කිරීම ය. ඒ සඳහා ළමයින් දෙදහසක් පමණ සහභාගි වී සිටි බවක් මගේ මතකයේ ලියැ වී තිබේ. එකල මගේ පෙනුම දැන් මෙන් නොවීය. දුඹුරු පැහැති සමක් තිබූ, කෙට්ටු, කෙසඟ කුඩා දැරියක වූ මම ඔවුන් ගෙන් සමහරු මෙන් පෙනුමට නොසිටියෙමි. ඒ හැඟීම මා සිතේ ජනිත කළේ මන්දොත්සාහී හැඟීමකි.

“අනේ... මට නම් බෑ යන්න. මාව මේ වැඩසටහනට තෝර ගන්න එකක් නෑ තාත්තේ.”

එවේලෙහි මා පැවසූ විට ඔබ මා සිත ධෛර්යවත් කළ අයුරු කදිම ය. ඒ සම්මුඛ පරීක්ෂණයට මා මුහුණ දුන්නේ ඒ ධෛර්යවත් හැඟීමෙනි. ඒ ධෛර්යවත් බව කොපමණ ද යත් බව මට හැඟුණේ ළමයින් දෙදෙහසක් අතුරෙන් ‘ළහිරු මඬල’ට මා තෝරාගෙන ඇති බවට ලැබුණු ලියමනේදී ය.

අද මා යම් ස්ථානයක සිටින්නේ ද ඒ ඔබගේ උත්සාහයේ ප්‍රතිඵලය මත සිදුවූවකි. මා ජීවිතයේ ලැබූ සෑම ජයග්‍රහණයක ම පසුපස තිබුණේ ඔබගේ යෝධ සෙවණැල්ල ය. සුවිසල් වෘක්ෂයක් මෙන් ඒ සෙවණැල්ල මාව දිවි ගමනේ ජය කණුව කරා මෙහෙය වූ බව, මා පිළිබඳ දන්නා කිසිවකුටත් රහසක් නොවේ. මේ වනවිටත් සරසවිය සම්මානයෙන් පුද ලැබීමට තරම් දක්ෂයකු වූ ඔබගේ දක්ෂතාව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විහිද ගිය බව සැබෑ ය. මට ද පිහිටියේ ඉන් ස්වල්පයක් බව මගේ විශ්වාසයයි.

කලක් මා පාසලකට දමාගත නොහැකිව වසර දෙකක් පමණ නිවෙසේ රඳවා තබාගෙන සිටි කාලයේ ඔබගේ සිතේ තිබුණු ශෝකය මම හැඳීන ගත්තෙමි. ඒ වග නිවෙසේ කිසිවකුත් සමඟ කතා නොකළ ද තනිව සුසුම් ලෑ අයුරු සිහිපත් වනවිට මගේ සිතේ දැනුදු ඇති වන්නේ ශෝකයකි. එහෙත් ඔබ නිවෙසේ ඉඳීමින් අධ්‍යාපන කටයුතු සඳහා මා සූදානම් කළේ බලාපොරොත්තු දහසක් සිතේ රඳවා ගෙන බව මට වැටහෙන්නේ දැන් ය. වසර කිහිපයකින් මා පාසල් ගිය පසුව අනෙක් ළමයින් හා කරටකර කටයුතු කිරීමට හැකියාව ලැබුණේද ඔබගේ ඉගෙනුමට පින්සිදු වන්නට ය. ඒ නිසා ම ය, දිනෙන් දින ම මා ලබන ප්‍රගතිය දුටු ඔබගේ මුහුණේ සිනාරැල්ලක් ඇඳුණේ. ‍

අද මා යොමුව තිබෙන ශාස්ත්‍රීය සංගීතයට යොමු කරන ලද්දේ ද ඔබ ම ය. ඊට හේතු වූයේ කුඩාකල පටන් ම මට අසන්නට ලැබුණේ ආචාර්ය අමරදේවයන්ගේ සුභාවිත ගීතයේ ස්වරයයි. නැතිනම් විශාරද නන්දා මාලිනියගේ මියුරු ස්වරයයි. ඒ නිසා ම මම එදා පටන් ම මේ ගීතවලට පෙම් බඳීන්නට පුරුදු පුහුණු වූයෙමි. එවැනි ගීත නිතර ශ්‍රවණය කරන්නට ප්‍රිය කළෙමි. අද මා සංගීතයේ මේ සා දුරක් පැමිණෙන්නේ ද ඔබ එකල ඒ ගීතවලට මා සිතේ ඇති කළ රසභාවයට පින්සිදු වන්නට ය. ඒ අදහස මතකයට නඟන විට ගිය වසර අවසානයේ ඔබ සමඟ සහභාගි වූ රූපවාහිනි වැඩසටහෙන්දී ඔබ කියූ කියුමක් ඉබේ ම මෙන් මා සිතට පිවිසෙයි.

“මා නොලැබූ අධ්‍යාපනයක් මගේ දුව ලැබිය යුතු කියලයි මා දුව ඉපැදුණු දවසේ පටන් ම සිතාගෙන සිටියේ. ඒ විදියට ම එයා අධ්‍යාපන කටයුතුවල ඉහළ ම ස්ථානයට ගියා. සංගීත අංශයෙන් වුණත් ආචාර්ය උපාධිය දක්වා දුව ඉගෙන ගැනීමයි මගේ අවසන් ප්‍රාර්ථනය වන්නේ.”

ඔබ මිය යන්නට පෙර සංගීත අංශයෙන් මා ආචාර්ය උපාධිය දක්වා ඉගෙන ගැනීමට ඔබ සිතේ වූ ආසාව මම අමතක නොකරමි. එය කෙසේ හෝ ඉටු කිරීමට මම ඔබට සපත වෙමි. එමෙන්ම මියයන්නට පෙර ඔබ කිරීමට සිටි චිත්‍රපටය කිරීමට ද යම් බලාපොරොත්තුවක් මගේ සිතේ පෙළ ගැසී තිබේ. එය කිරීමට ඔබගේ ආශිර්වාදය ලැබෙනු ඇතැයි යනු උදෙක් ම මගේ පැතුමයි.

ඔබ බෙහෙවින් ආරය කළ මිනිබිරිය කෑ ගසන හඬ මට ඇසේ. ඇයව සිහිපත් කරන විට මගේ මතකයට නැඟෙන්නේ ඔබව මය. ඇගේ ස්වරය මට සිහිපත් කරන්නේ ඈ වෙනුවෙන් ඔබ සුරතෙන් පද බැඳුණු කවියේ ස්වරයයි.

ඉරහඳ ද උවමනා අහස් කුස නගින්නම්
ඉල්ලනා හැමදේම අඩු නැතිව ගෙනෙන්නම්
සෙවූ මුළු සේසතම ඔබ නමට ලියන්නම්
පණ ඉල්ලතොත් ඔබට පණවුව පුදන්නම්

මීට,
ඔබගේ ආදරණීය
එක ම දියණිය අභිෂේකා