වර්ෂ 2016 ක්වූ ජනවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රින්ස් උදය ප්‍රියන්තට ආධාර පිණිස ‘රජ කපටියෝ’ මීගමුවේදී

ප්‍රින්ස් උදය ප්‍රියන්තට ආධාර පිණිස ‘රජ කපටියෝ’ මීගමුවේදී

දැනට රෝගාතුරව සිටින ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාකරුවාට ආධාර පිණිස කෝපි කඩේ ශිල්පීන් හා ජනප්‍රිය සිනමා නළු නිළියන් රඟන ඩික්සන් ජෙරාඩ් නාට්‍ය නිර්මාණයක් වන ‘රජ කපටියෝ’ වේදිකා නාට්‍යය පෙබරවාරි මස 11 වැනිදා සවස 3.30ට සහ 6.30ට මීගමුව පුරහලේදී රඟ දැක්වීමට නියමිත ය.

‘රජ කපටියෝ’ වේදිකා නාට්‍යයේ කේ. පියකරු, ඩික්සන් පෙරේරා, ක්‍රිෂන්ත වීරමන්, මංජුලා සංජීවනී, අජිත් හේමසිරි, ටෙක්ලා ප්‍රින්සි, සෝමසිරි හේවාපන්න යන රංගන ශිල්පීහු හා ශිල්පීනියෝ රංගනයෙන් දායක වෙති. මෙහි ප්‍රවේශ පත් මීගමුව ඩිනාලි ස්ටූඩියෝ මඟින් ලබාගත හැකිය.


ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයදා

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මඟින් නොමිලේ පවත්වනු ලබන තුන් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිමකළ ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ගේ ඩිප්ලෝමා ප්‍රදාන උත්සවය පසුගියදා කොළඹ 07 ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

නිවාස ඉදිකිරීම් හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ මේ කටයුත්තේදී ප්‍රධාන කථිකයා ලෙස සහභාගි වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ මහචාර්ය ඉඳුරාගරේ ධම්ම රක්ඛිත හිමි ය. මෙහි ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඩිප්ලෝමා ධාරී සිසුවකු සජිත් ප්‍රේමදාස මහතාගේ අතින් සිය සහතිකය ලබා ගන්නා අයුරුයි.


තුන්හෙළේ ජන ගී කල්ලියෙන්  'The Life' නමින් ජන ගී සන්දර්ශනයක්

ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ජන ගීතය සමාජගත කිරීම සහ අනාගත ශිෂ්‍ය ප්‍රජාව උදෙසා සංරක්ෂණය කිරීමේ සැබෑ අරමුණින් කටයුතු කරන 'තුන්හෙළේ ජන ගී කල්ලිය' මඟින් වේදිකා ගත කරන මෙවර ප්‍රසංගය 'The Life' ජන ගී සංදර්ශනය නමින් මේ මස 29 වැනිදා පසුවරු 6.30ට බොරැල්ල බ්‍රිටිෂ් විද්‍යාල රඟහලේදී පැවැත්වෙයි.

පසිඳු ‍පහළමැදගමගේ මෙහෙය වීම යටතේ ඉදිරියට යන 'තුන්හෙළේ ජන ගී කල්ලිය' මෙලෙස ජන ගී සන්දර්ශන ඉදිරිපත් කරන්නේ වසර දොළහකට අධීක කාලයක් විවිධ ප්‍රදේශවල ක්ෂේත්‍ර අධ්‍යයන පර්යේෂණ මඟින් සොයා ගත් ජන ගී හා ජනශ්‍රැති ඇතුළත් ප්‍රාසංගික කතිකාවතක් ඔස්සේ ය. එහිදි වින්ඹු කාර්යය, දරු නැළවිල්ල ආදී උපතේ වතගොත, හෙළුවැලි බලය, වැව් මංගල්‍යය, සකස්කඩය ආදී අංග ගණනාවක් ප්‍රාසංගිකව ඉදිරිපත් කෙරෙයි. වයස අවුරුදු තුනේ සිට තිහදක්වා ශිල්පීන් සියයක් මේ ප්‍රසංගය සඳහා සහභාගි වන අතර 'තුන්හෙළේ ජන ගී කල්ලිය' මෙහෙය වන පසිඳු ‍පහළමැදගම රාජ්‍ය ජනශ්‍රැති හා ජනකලා උපදේශකවරයා ලෙස ද, ජන ගී පර්යේෂයෙක් ලෙස ද, කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ සංගීතාචාර්යවරයා ද වෙයි. ඔහු රන්වල බලකායේ සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ද වෙයි.


රොහාන් අමරසිංහගේ ‘ජීවිතය හා මරණය’ දෘශ්‍ය කලා ප්‍රදර්ශනය 29

රොහාන් අමරසිංහගේ ‘ජීවිතය හා මරණය’ දෘශ්‍ය කලා ප්‍රදර්ශනය මේ මස 29 සිට 31 දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා මහජන පුස්තකාලයේදී පැවැත් වෙයි.


ටවර් නාට්‍ය හා රංගකලා පාසලට අයැදුම් පත් කැඳවයි

ටවර් හෝල රඟහල පදනමේ ටවර් නාට්‍ය හා රංගකලා පාසල මෙහෙය වන නාට්‍ය හා රංග කලාව පිළිබඳ (දෙවර්ෂ පූර්ණ කාලීන) උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ අධ්‍යයන වර්ෂ 2017 / 18 සඳහා නවක සිසුන් බඳවා ගැනීම සඳහා අයැදුම් පත් කැඳවයි.

අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2017.02.28 දින දක්වා පමණි. මේ වැඩසටහන ටවර් හෝල් රඟහල පදනම හා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරයි. වැඩි විස්තර සඳහා www.towerhall.lk වෙබ් අඩවියට පිවිසීමට ඔබට හැකිය.


උදයසිරිගේ ‘තුන්සිය හැට එක’ මංගල දර්ශනය ලුම්බිණි රඟහලේ

‘සුද්දෙක් ඔබ අමතයි’, ‘රඟපෑම් ඉවරයි’, ‘පෙම් යුවළක් ඕනෑකර තිබේ’ වේදිකා නාට්‍ය වේදිකාවට රැගෙන පැමිණි උදයසිරි වික්‍රමරත්නගේ නවතම වේදිකා නාට්‍යය ‘තුන්සිය හැට එක’ මංගල දර්ශනය මේ මස 28 වැනිදා පස්වරු 6.45ට කොළඹ හැව්ලොක් ටවුන්හි ලුම්බිණි රඟහලේ දී වේදිකා ගතවෙයි.

මෙහි ගිහාන් ප්‍රනාන්දු, උමයංගනා වික්‍රමසිංහ, ඉෂාර වික්‍රමසිංහ, මිහිරි ප්‍රියංගනී, චාමරී නිසංසලා, රුවන් මලිත් පීරිස්, කුසල් මධුරංග, රෝහිත ජයකොඩි, නයන්තාරා ද සිල්වා, ප්‍රබෝධ බුද්ධිප්‍රිය, සුසංග කඳවලආරච්චි, ධනුෂ්කි අල්මේදා යන රංගන ශිල්පීහු හා ශිල්පීනියෝ රංගනයෙන් දායක වෙති. ‘තුන්සිය හැට එක’ සඳහා සංගීත නිර්මාණයෙන් ලලිත් වික්‍රමරත්න, ආලෝකකරණයෙන් මිහිඳු මධුසංඛ, අංගරචනයෙන් ප්‍රියන්ත සිරිකුමාර, ඇඳුම් නිර්මාණයෙන් ලූවොලින් වැන්ඩවෝල් සමඟ තිලංක වීරවර්ධන සහය වෙති. මේ වේදිකා නාට්‍යය ජූඩි ශ්‍රීමාල්ගේ ඉදිරිපත් කිරීමකි.