වර්ෂ 2016 ක්වූ ජනවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව

රෝම වේදිකාව සිංහල පොළවට

ලූෂන් බුලත්සිංහල

ලූෂන් බුලත්සිංහල දක්ෂ වේදිකා නාට්‍ය නළුවෙකි. හැට හැත්තෑ ගණන්වල ඔහු වේදිකා නාට්‍ය කීපයකම ප්‍රාමාණික රංගනයක් ඉදිරිපත් කළේය. 'බිහිවනු බෝසතාණෙනි', 'එලොව ගිහින් මෙලොව ආවා', 'කෝන්තරේ', 'වහලක් නැති ගෙයක්', 'මුහුණු සයකි රූකඩයකි', 'බෙකට්', 'උමතුසං වරුසාව', 'තුරඟ සන්නිය', 'දෑවැද්දෝ', 'නන්දි විසාල' එම නාට්‍ය අතරින් කීපයකි. අපේ කට්ටියේ' සාමාජිකයකු නොවූවත් ලූෂන්, සුගතපාල ද සිල්වාගේ නාට්‍යවල රඟපෑවේය. 'බිහිවනු බෝසතාණෙනි' නාට්‍යය ගැන විවේචනයක් ලියූ තිස්ස අබේසේකර මෙම නාට්‍යයේ හොඳ යැයි කිව හැකි දේකට තිබුණේ ලූෂන්ගේ රඟපෑම් පමණක් බව කියා තිබිණි.

ලූෂන් නාට්‍ය නිෂ්පාදනයට යොමු වන්නේ 1963 දී පමණය. 'මන්නඩියා' ඔහුගේ මුල් නාට්‍ය නිර්මාණය වෙයි. මිල්ටන් සේනාරත්නගේ පිටපතකට අනුව තැනුණු මේ නාට්‍යය පාමංකඩ නව රංග සමුළුවේ ඉදිරිපත් කිරීමක් විය. මෙම නාට්‍යයට ඇතුළත් වූයේ ධීවර සමාජ පසුබිමකි. මන්නඩිරාල නමින් හඳුන්වන්නේ ධීවරයන් අතර සිටින ප්‍රධානියාය. ඔහුගේ ඒකාධිකාරයට හසුව සිටින තරුණ ධීවරයන් පිරිසක් ඊට එරෙහිව සමුපකාර සමිතියක් පිහිටුවීම පිළිබඳ කතා පුවතක් මෙම නාට්‍යයට වස්තු වූයේය.

ජේ. එච්. සහබන්දු, ලූෂන් බුලත්සිංහල, මිල්ටන් සේනාරත්න, සුසිලා පද්මිණී ප්‍රධාන චරිත රඟපෑහ. සංගීතය බන්දු ගුණසේකරගෙනි.

'මන්නඩියා' නාට්‍ය අළලා සිරිලාල් කොඩිකාර, ඩී. බී. කුරුප්පු යන අය විචාර ලියා ඇත. ඩී. බී. කුරුප්පු මෙසේ කියයි.

'මන්නඩියා' නම් වූ නාට්‍යය නූතන සිංහල නාට්‍ය අතර උසස් තැනක් ගනිතැයි නොසිතමි. එහෙත් තාත්වික යන නමින් හෝ සමාජ නාට්‍ය යනුවෙන් හෝ එදිනෙදා දිවිය හා බැඳුණු පුවත් ඇසුරෙන් නාට්‍ය සකසන්නවුන්ගේ අවධානයට ලක් විය යුතු නාට්‍යයක් වශයෙන් එය හඳුන්වමි.

පහත එන්නේ සිරිලාල් කොඩිකාර ලියූ විචාරයෙන් උපුටා ගැනුණකි.

'වේදිකා නාට්‍ය කලාව ජනතා අවශ්‍යතා හා ජනතා ව්‍යාපාර කෙරෙහි යොමු කරවීමට සමහර කලාකරුවන් දරාගෙන යන ප්‍රයත්න පන්තියෙහි එක් වැදගත් පියවරක් ලෙස 'මන්නඩියා' සැළකිය හැකිය. ලංකාවේ මසුන් මැරීමේ ව්‍යාපාරය ජනතා ව්‍යාපාරයක් වශයෙන් මනා ලෙස සංවිධානය කරවීමේලා මෙවැනි නාට්‍යයක් උපයෝගී කර ගත හැකිය. සංස්කෘතික දෙපාර්තමේන්තුව පමණක් නොව ධීවර කර්මාන්ත, සමුපකාර සංවර්ධන යන දෙපාර්තමේන්තුවල සැලකිල්ල ද මෙවැනි නාට්‍යයකට යොමු විය යුතුය.'

නොනිවෙන ගිිනි (1964) ලූෂන්ගේ ඊළඟ නාට්‍යය විය. එය ඔහුගේ පිටපතකි. මෙය ද පාමංකඩ නව රංග සමුළුවේ ඉදිරිපත් කිරීමක් වෙයි. මවගේත් ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ගේත් බලපෑමට හසු වූ සරසවි සිසුවකු ගැන මෙයින් කියැවිණි. පියාගේ අනියම් සම්බන්ධයක් පිළිබඳ සැකයත් විවාහක කාන්තාවක ඔහුට පෙම් කිරීමත් මේ කතා පුවතේම තවත් කොටසකි.

මෙහි ලූෂන් සමඟ සඳුන් විජේසිරි, අනුලා කරුණාතිලක, ජේ. එච්. සහබන්දු, පියසීලි කළුතරගේ ප්‍රධාන චරිත රංගනය කළහ. නාට්‍යයේ භික්ෂු චරිතයක් ගැන කියැවුණත් එය දැක්වූයේ පසුබිමින් පමණි. සංගීතය බන්දු ගුණසේකරගෙනි.

'නොනිවෙන ගිනි' ගැන ලෙස්ලි බොතේජු අගනා විචාරයක් ලියා ඇත. හෙතෙම මෙසේ කියයි.

'ව්‍යර්ථ අපේක්ෂා නුතන සංවාද නාට්‍ය බොහෝමයකම තේමාව කොට ගැනෙන බව සෑම සති අන්තයකම පාහේ වේදිකා ගත වන අලුත් අලුත් සිංහල නාට්‍යයන්ගෙන් පැහැදිලි වෙයි. නමුත් 'නොනිවෙන ගිිනි' නාට්‍යය එකී අනෙක් නාට්‍යයන්ගෙන් වෙන් වී පෙනෙන විශේෂ ගුණ ලක්ෂණයන්ගෙන් යුක්ත යැයි මම සිතමි. බොහෝ විට නාට්‍යයක් නවකතාවක් යන දෙකෙහි පවත්නා විවිධත්වය වටහා නොගන්නා නාට්‍ය රචකකයන් කරන්නේ කුමන ආකාරයකින් හෝ කතන්දරයක් නළු නිළියන් ලවා රඟපා පෙන්වීමයි. නමුත් මේ නාට්‍යය ලියූ ලූෂන් බුලත්සිංහල නාට්‍ය යනු කුමක්දැයි මැනවින් අවබෝධ කරගෙන නාට්‍යය නිෂ්පාදනය කර තිබේ.'

එකල කලා මණ්ඩලයේ සභාපතිව සිටි එම්. ජේ. පෙරේරා මෙම නාට්‍යයට බරපතළ දෝෂාරෝපණයකට ලක් කළේය. ඔහු කියා ඇත්තේ මෙවැන්නකි.

'මිනිසුන්ගේ පවුල්වල පුද්ගලික ප්‍රශ්න වේදිකාවට ගේන්නද නාට්‍ය ලියන්නේ? නාට්‍ය කාටත් පොදුවේ රස විඳින්න පුළුවන් මාධ්‍යයක් වෙන්න ඕනෑ. මේ නාට්‍යයේ තියෙන්නේ මොනවද? ඔක්කොම පුද්ගලික ප්‍රශ්න.'

ඉහත හේතුව නිසාදෝ 1964 ජාතික නාට්‍ය උලෙළට 'නොනිවෙන ගිනි' ඇතුළත් කර නොගන්නා ලදී.

එම්. ජේ. පෙරේරාගේ මුග්ධ දෝෂාරෝපණයත් තම නාට්‍යය ජාතික නාට්‍ය උලෙළට ඇතුළත් කර නොගැනීමත් හේතුවෙන් නාට්‍ය ජීවිතය තුළ කිසියම් පසුබෑමකට ලක් වූ ලූෂන් අවුරුදු දහයක් යනතෙක් අලුත් නාට්‍යයක් ලියා නිෂ්පාදනය කළේ නැත.

ඔහු 1974 දී 'රතුහැට්ටකාරි' නාට්‍යය රචනා කළත් එය නිෂ්පාදනය කළේ එස්. ඒ. ප්‍රේමරත්නය. එහෙත් ප්‍රේමරත්න කළේ මුදල් ආයෝජනය කිරිමත් නාට්‍ය සංවිධානය කිරිමත් පමණක් බව ලූෂන් කියයි.

හැත්තෑ එකේ කැරැල්ල දෙස වෙනත් දෘෂ්ටි කෝණයකින් බැලීමක් මෙහි එයි. මෙහි එන අන්ධ තරුණයාගෙන් ඔවුන්ට තරුණ ජවය හා ශක්තිය තිබුණාට නිවැරදි මාර්ගයක් නොමැති බව සංකේතානුරුපීව කියා සිටී.

'රතු හැට්ටකාරී' හරි හතරැස් කතාවක් ඇතුළත් වූයේ නැත. එහි එන්නේ සිද්ධි දාමයකි. නාට්‍ය කණ්ඩායමක් වටා නාට්‍යය ගෙතී ඇත.

අනුලා බුලත්සිංහල, ලාල් කුලරත්න, ජයශ්‍රි චන්ද්‍රජිත්, ජයලත් මනෝරත්න, නිශ්ශංඛ දිද්දෙණිය, නවනන්දන විජේසිංහ, විනි වික්‍රම කළුතොට, සෝමපාල පතිරගේ මෙහි ප්‍රධාන චරිත රංගනය කළහ.

'රතු හැට්ටකාරී' අර්ධ ශෛලිගත හෝ සංගීතමය නාට්‍යයක් යැයි කිව හැකිය. සංගීතය ඔස්ටින් මුණසිංහගෙනි. 'දීකිරි දීකිරි', 'යස ඉසුරු පිරුණු තැනා' වැනි ගීත මෙයට ඇතුළත් වූ අතර එම ගී අදටත් ජනප්‍රියය.

1974 ජාතික නාට්‍ය උලෙළේදී සම්මාන ප්‍රදානය පිළිබඳ අර්බුදයක් පැන නැඟුණේය. 'මේක බුලත්සිංහල නාට්‍ය උත්සවයක් වෙන්න දෙන්න බැහැ' කියා අදහසක් මතුව ආ බැවින් විනිශ්චය මණ්ඩලයේ සිටි මහාචාර්ය විමල් දිසානායක හා ඒ. එච්. පියසේන විනිශ්චයෙන් ඉවත් වූහ. විනිශ්චය මණ්ඩලයේ සිටි සෙසු සාමාජිකයන් වූයේ දයානන්ද ගුණවර්ධන, එච්. ඩී. සුගතපාල, චාල්ස් අබේසේකර, රිචඩ් තේනබදු, ඒ. පී. ගුණරත්න, සෝමලතා ප්‍රනාන්දු, පියල් වික්‍රසිංහ, මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන යන අයයි.

'අපි දෙදෙනා විනිශ්චය මණ්ඩලයෙන් අස් වුණා. මේ සම්මාන ප්‍රදානයට අපි සම්බන්ධ නැහැ.'විමලුත්, පියසේනත් කියා සිටියහ.

කෙසේ වෙතත් 'රතු හැට්ටකාරි' සඳහා සම්මාන තුනක් ලැබිණි. ඒ හොඳම රචනය, හොඳම රංගනය (ජයලත් මනෝරත්න), හොඳම සංගීතය යනාදියටය. අනුලා බුලත්සිංහලට කුසලතා තිළිණයක් ලැබිණි. ඇත්ත වශයෙන්ම ඇයට ලැබිය යුතුව තිබුණේ හොඳම නිළිය සඳහා වූ සම්මානයයි. අර්බුදකාරී තත්ත්වය මත ඒ වසරේ හොඳම නිළියක් නොවූයේය.

1978 දී 'රතු හැට්ටකාරි' නව නිෂ්පාදනයක් එළි දැක්වුණ අතර ඒ අවස්ථාවේ නිෂ්පාදක ලෙස කටයුතු කළේ ලූෂන්ය.

'තාරවෝ ඉගිලෙති' (1981) ලූෂන්ගේ වඩාත්ම ජනප්‍රිය නාට්‍යය යැයි සිතමි. මෙයට ඇතුළත් වුයේ රෝම නාට්‍ය රචක ප්ලෝටස්ගේ 'ද ට්වින් මිනැක්මි (ඊඩ්ඡ් ඊඑධ්ව් ර්ධ්ව්ඒඡ්ඩ්ර්ධ්) නම් වූ නාට්‍යයේ ආ කතාවයි. රෝම නාට්‍යයක් සිංහල වේදිකාවට ගෙන ආ ප්‍රථම අවස්ථාව මෙය වන්නේය. බොහෝ නාට්‍යවල දක්නා ලැබෙන අනන්‍යතා දෝෂය (ර්ධ්ඉඊඒම්ඡ්ව් ධ්ච්ඡ්ව්ඊධ්ඊක) ඔස්සේ මේ නාට්‍යය ඉදිරියට ගලා යයි.

රෝම නාට්‍යයේ කතාව මෙසේය.

නිවුන් දරුවන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් නැති වෙයි. ඔහු සොයා ගැනීම සඳහා සොහොයුරා දාසයකුත් සමඟ රට රටවල ඇවිදියි. නැති වූ සෙහොයුරා විවාහ වී කිසියම් රටක පදිංචිව සිටී. සොහොයුරා දාසයා කැටුව පැමිණෙන්නේ ඒ රටටය. එහෙත් තම සොහොයුරා මෙහි සිටින බව අනිකා නොදනී. දෙදෙනා නිඹුල්ලු වන බැවින් නොයෙක් හාස්‍යමය සිදුවීම් ඇති වෙයි. අවසානයේදී එකිනෙකා මුණ ගැසෙන අවස්ථාවක දෙදෙනාගේ ඥාති සම්බන්ධය එළිදරව් වෙයි.

මෙම නාට්‍යය සාමාන්‍යයෙන් හැඳින් වෙන්නේ ගැඹුරු අත්දැකීමක් අන්තර්ගත නොවන හුදු විකට විගඩමක් ලෙසය. කෙසේ වෙතත් සිංහල නිෂ්පාදනය ශිල්පීය වශයෙන් ඉතා දියුණු මට්ටමක පැවතිණි. එය මෙරට පරිසරයට යෝග්‍ය අයුරින් අපූරුවට අනුවර්තනය කර තිබිණි.

විජය නන්දසිරි, නීල් අලස්, ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, ලාල් කුලරත්න, දේවිකා මිහිරාණි, නන්ද වික්‍රමගේ, ජයශ්‍රී චන්ද්‍රජිත්, රොඩ්නි වර්ණකුල, පද්මිණී දිවිතුරුගම 'තාරාවෝ' මුල් නිෂ්පාදනයේ රඟපෑහ. නළු නිළියනුත් සමඟ ඇති වූ එක්තරා ගැටුමක් හේතු කරගෙන ලූෂන් වෙනත් නළු නිළි පිරිසක් යොදා නාට්‍යය තවදුරටත් පවත්වාගෙන ගියේය. දෙවැනි නිෂ්පාදනයේදී නාට්‍යයට එක්වූයේ අනුලා, රොඩ්නි වැනි දෙතුන් දෙනකු පමණි. ජැක්සන් ඇන්තනි නළුවකු වශයෙන් මතු වූයේ මේ දෙවැනි නිෂ්පාදනයෙන් යැයි සිතමි. මෙහි සංගීතය ගුණදාස කපුගේ ගේය. නාට්‍යයට ඇතුළත් වූ 'සෝබාව දේ', 'කඩයට පලයන් චූං චෑන්', 'යාළුවෝ මාළුවෝ යාළුවෝ', 'මඩේ ලගින තාරාවන්' වැනි ගී රසික ප්‍රසාදය නොමඳව දිනා ගත්තේය. එම ගී අදටත් ජනප්‍රියය.

තාරාවෝ' ගැන හොඳම විචාරය කළේ ප්‍රවිණ නාට්‍යවේදී සයිමන් නවගත්තේගම විය යුතුය. ඔහු මෙසේ කීවේය.

'තාරාවෝ ඉගිලෙති' හොඳ අනුවර්තනයක් ඉදිරිපත් කරන්නේ කෙසේදැයි අපට උගන්වන අගනා අභ්‍යාසයකි. ප්ලෝටස්ගේ නාට්‍ය ශෛලියේ හොඳම අංග නිර්මාණාත්මකව යොදාගෙන ඇති අතර ප්ලෝටස්ට ගුරු වූ ග්‍රීක නාට්‍ය ශිල්පයේ සංගීතමය අංග බඳු කොටස් ද නූතන සංගීත නාට්‍යයකට හුරුව යොදා ගැනීමෙන් බුලත්සිංහල, ප්ලෝටස් නමැති අනුකාරකයා ද තවදුරටත් පෝෂණය කරයි. රෝම නාට්‍යයේ 'කථන ස්වරූපය' ද නිර්මාණාත්මකව කටට කැපෙන සංවාද සේ දේශීය පරිසරයට මනාව ගලපා අගනා ලෙස යොදාගෙන තිබේ.'

ලූෂන් තම නාට්‍ය කලා ගුරුවරයා වූ බන්දුල ජයවර්ධනගේ 'බෙර හඬ' නාට්‍යයේ නව නිෂ්පාදනයක් 1990 ලෝක නාට්‍ය දිනය වෙනුවෙන් ඉදිරිපත් කර ඇත.

ලූෂන් දැනට නිෂ්පාදනය කර ඇති අවසාන නාට්‍යය වන්නේ '1617' ය. 2003 දී මෙය නිෂ්පාදිතය. පෘතුගීසි පාලන සමයේ කතාවක් මෙයට පසුබිම් වෙයි. රුහුණු විශ්ව විද්‍යාලයේ ඇරියුමකට අනුව නාට්‍ය අභ්‍යාසයක් ලෙස ඔහු මෙය නිපදවා ඇත. සෙනරත් රජු, කුසුමාසන දේවිය, රාජසිංහ, නිකපිටියේ බණ්ඩාර, විජයපාල, මායාදුන්නේ වැනි ඓතිහාසික චරිත මෙහි පාත්‍ර වර්ගයෝ වෙති.

'1617' නාට්‍යයේ සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගෙනි.

'පීනාවි රන් මාළු' නාට්‍ය පෙළ මුද්‍රණයට ඇතත් එය නිෂ්පාදනය කර නැත. එයට අදාළ වසරේ හොඳම නාට්‍ය පිටපත සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබිණි.

ලූෂන් ඔපෙරා නාට්‍ය දෙකක ද පිටපත් රචකයා වන්නේය. ඒ 'දොරමඬල' හා 'සොඳුර වර්ණදාසීය'. මේ ඔපෙරා දෙකම කේමදාසයන්ගේ නිර්මාණය.