වර්ෂ 2016 ක්වූ ජනවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




රෝහලෙන් ගී විතට

රෝහලෙන් ගී විතට

පසුගියදා අප අතරින් වියෝ වූ දිපාල් සිල්වා ගැන අපූරු මතකයක් අවදි කරන්න හිතුවා. කවුරු කෙලෙස කොහොම කිව්වත් දීපාල් සිල්වා කියන්නේ වෙනස්ම ගී ආරක් බිහි කළ ගායකයෙක් කියලා කියන්න ඕනෑ. ඔහු අවසන් වතාවට ගී ගැයුවේ ජගත් ඇපලදෙණිය නිෂ්පාදනය කළ ළඟදීම තිරගතවීමට නියමිත එලඩබල චිත්‍රපටයේ.

එයට දීපාල් හඬ මුසු කළේ දෙසැම්බරයෙයි. එතකොටත් දීපාල් රෝහල්ගතව ප්‍රතිකාර විඳිමිනුයි ඉඳලා තියෙන්නේ. බාර ගත්තු වැඩේට පොල්ල තියන්න බැරි නිසා පටිගත කිරිම් කළ යුතු දිනයේදි පැය දෙකකට ඉස්පිරිතාලෙන් ටිකට් කපාගෙන දීපාල් ඇවිත්.

ඔහු එදා ස්ටුඩියෝ එකට ඇතුළු වෙලා තියෙන්නේ අත් වාරුවල උදව්වෙන්. එහෙම ඇවිත් සියලු අපහසුතාවයන් මොහොතකට අමතක කරලා එවලේම ගීතයේ තනුව අහලා ඔහු හිතුවටත් වඩා හොඳට මඬ මුසු කළාලු.

පටිගත කිරීම නිම කළ ගමන් දිපාල් යළිත් රෝහල් ගත වෙලා. අවසානාවට ඊට නොබෝ දිනකට පසු දීපාල් සදහටම සමුගත්තේ එලඩබල චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමට කෙදිනකවත් අමතක නොවන මතකයන් ඉතිරි කරමින්.

කැමරා ඇක්ෂන්

සාමාන්‍යයෙන් මේ මඟ දිගට රස කතා පිටුවේ මෙතෙක් පළ වුුණේ කලාකරුවන්ගේ සිදුවීම් පමණයි. හැබැයි මෙවර ඒ සම්ප්‍රදාය මඳකට බිඳින්න සිදු වුණා. මේ කියන්න හදන්නේ මෙරට ප්‍රකට දේශපාලන චරිත දෙකක් ගැන කතාවක්. එහෙම වුණාට මෙය කලාවටත් සම්බන්ධයි.

මේ සිදුවීම ඉහළ තාක්ෂණයෙන් යුතු කැමරාවක් වන ඇරි ඇලෙක්සා ඒක්ස් ටී කැමරාව ටෙලිවිව් ආයතනය මඟින් සිනමාවට හඳුන්වා දුන් දිනයේ. ඒ වෙනුවෙන් විශාල උත්සවයක් තිබුණා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී.

එදින කලා ලොවේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ ආරාධිතයින් රැසක් සහභාගී වෙලා හිටියා. කැමරාව හඳුන්වා දීමෙන් පසුව එහි හා හා පුරා කියලා රූගත කිරීම කළේ මුදල් අමාත්‍ය රවි කරුණානායක ඔහුගේ ඇසින්. ඊළඟට රූපයට නැඟුණේ කාවද දන්නවද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නවයි.

ලාංකික සිනමා ක්ෂේත්‍රයට එක් වූ වටිනාම කැමරාව වන මේ කැමරා මාදිලියෙන් හොලිවුඩ් සහ බොලිවුඩ් චිත්‍රපට රාශියක් නිර්මාණය වී තිබුණා.

නාලකගේ දත්ත ගබඩාව

නාලක වීරමන් අප විසින් හඳුන්වන්නේ සන්තුෂ් සහ දුෂයන්ත්ගේ තාත්තා ලෙසට. තම පුතණුවන් දෙදෙනාම කලාවට දායාද කළ ඔහු සැබවින්ම ආදර්ශවත් පියෙක්. නාලක ගැන පුංචි සටනක් තබන්නට හිතුවේ ඔහු කරන නිහඬ සේවය නිසාමයි.

අප චිත්‍රපට ඉතිහාසය පිළිබඳ ඉතාම නිවැරිදි තොරතුර ඔහු ගාව තියෙනවා. එම සෑම චිත්‍රපටයකම කාර්මික තොරතුරු නළු නිළියන් ආදී සියලු දෙනාගේම නම් ගම් නාලක සතුයි. ඉතින් ඒ තොරතුරු අවශ්‍ය අයට නිර්ලෝභීව ඒවා ලබා දෙන්න නාලක දෙවතාවක් හිතන්නේ නැහැ.

හෙළ සිනමාවේ යම් තොරතුරුක් නිවැරිදිව දැනගන්න බහුතරයක් නිර්දේශ කරන්නේ නාලකව. කොතරම් කාර්යබහුල වුණත් කවුරු හෝ සිනමා තොරතුරක් ඉල්ලුව ගමන් සුළු වේලාවක් ඇතුළත නාලක නිර්ලෝභීව අවශ්‍ය දේ ලබා දෙනාව. සැබවින්ම ඔහු කරනා මේ මෙහෙවර ඉතාම උතුම්.

ශේෂාද්‍රි දැන් කොහේද?

වර්තමානයේ ක්ෂේත්‍රයේ සිටින බොහෝ නව පරපුරේ නිළියන්ව අපට දක්නට ලැබෙන්නේ පුංචි තිරයෙන්. ඔවුන් බහුතරයකට සිනමාවේ රඟන්න ලැබෙන අවස්ථාව අඩුයි. ඒ වගේම ඉස්සර වගේ සිනමාවේ පමණක් සිටි නළු නිළියන් පිරිසක් අපට නැහැ.

ජනප්‍රියත්වය නිසාද මන්දා අද නව පරපුරේ නිළියන් වැඩිපුරම ටෙලි නාට්‍ය සහ විෂුවල්වල ඉන්නේ. ඔය අතරේ ඉන්නවා එක්තරා නිළියන් සිනමාවේ ඉන්න. ඇය තමයි ශේෂාද්‍රි. චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ මද්දුම දුව. ඇය ටෙලි නාට්‍ය රංගනය තරයේ ප්‍රතික්ෂේප කරනවා.

ඉන්න කැමැති සිනමාවේ පමණයි. ඇයව හුඟක් කාලයකින් සිනමාපටයකින් දක්නට ලැබුණේ නැහැ කියලා ගොඩක් දෙනා කියනවා. මේ දිනවල ශේෂාද්‍රි ඉන්න චිත්‍රපටයක් තිරගත වෙනවා. ඒකේ නම සුම්. කාලෙකට පස්සෙ ශේෂාද්‍රිව සිනමාපටයකින් දුටු නිසා සිනමා ලෝලින්ගෙන් ඉහළ ප්‍රතිචාර ඇයට ලැබෙනවාලු.

පැන්ෂන් ගිය පොලිස් සාජන්ට්

නිතර පොලිස් චරිත රඟන පොලීසියෙම සේවය කරන කීර්ති රංජිත් පීරිස් විශ්‍රාම අරගෙන දැන් රාජකාරි කටයුතුවල යෙදෙන්නේ නැතිලු. කලාවෙන් නෙමෙයි කීර්ති මෙහෙම විශ්‍රාම අරගෙන තියෙන්නේ පොලිස් සේවයෙන් තමයි කිර්ති විශ්‍රාම අරන් තියෙන්නේ.

බලාගෙන ගියාම මෙහෙම හිටියට කිර්තිට සැහෙන්න වයසයි. කෙසේ වෙතත් රාජකාරිවලින් දැන් නිදහස් වුණ නිසා පූර්ණකාලීනව කලාවේ නියැලෙන්නයි කීර්තිගේ අදහස. එහෙම කිව්වට රාජකාරි කරන කාලයෙත් කීර්ති හිටියේ පූර්ණකාලීන කලාකරුවෙක් වගේ තමයි.

ඇයි ඉතින් කොයි වෙලාවේ බැලුවත් ඉන්නේ ලොකේෂන්වලනෙ. කීර්ති සේවය කළ පොලීසිවල ඉන්න අය විතරයි දන්නේ කීර්ති රාජකාරි කළ විදිහ. අපි නම් දන්නේ නැහැ.