වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




“ගාමිණි, ඔබ එනතුරු විජය බලා සිටී”

“ගාමිණි, ඔබ එනතුරු විජය බලා සිටී”

1988 ජනාධිපති මැතිවරණය තීරණාත්මක එකක් බව ලේක්හවුසියේ සේවක මහතුන් මහත්මීන්ට දැනෙන්නට වූහ. භීෂණය මධ්‍යයේ පැවති මේ මැතිවරණයෙන් රණසිංහ ප්‍රේමදාස මහතා ජය ලබා ජනාධිපතිවරයා විය. ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස දිවුරුම් දී දවස් දෙක තුනකට පසු එක්තරා සැන්දෑවක ගාමිණි අයියා (ගාමිණි ෆොන්සේකා) හමුවීමට ඔහු පදිංචිව සිටි ජාඇල ගෙදරට මම ගියෙමි. මා එහි යන විට චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂ සරත් රූපසිංහ ඔහු සමඟ සතුටු සාමීචියෙන් සිටියේය. අපි මැතිවරණය, දේශපාලන තත්ත්වය ගැන නොයෙක් දේ කතා කරමින් සිටියෙමු.

'අයිසේ, අලුත් ජනාධිපතිතුමාට සුබ පතන්න බැරි වුණා. දැන් තමයි හොඳම වෙලාව ඒකට. දැන් කලබලත් අඩු ඇති' කියමින් ගාමිණි අයියා ටෙලිෆෝනය තමා අසලට ගත්තේය.

'මේ ගාමිණි කතා කරන්නේ. සර්ට කතා කරන්න පුළුවන් වෙලාවක්ද? ඔබතුමාට සුබ පතන්න කතා කළේ' ගාමිණි අයියා තම ගැඹුරු කටහඬ අවදි කළේය.

ජනාධිපතිවරයා කරන කතාව අපට ඇසෙන්නේ නැත.

'මම ගෙදර ඉන්නේ, සරත් රූපසිංහයි, රන්ජිත් කුමාරයි එක්ක කතා කර කර හිටියෙ'

'මේ දැන් ද සර් . . .?'

'මගේ දේශපාලනේට බහින්න කිසිම අදහසක් නෑ'

මේ ගාමිණි අයියා කී දෑය.

'හොඳයි සර්' ගාමිණි අයියා රිසීවරය තැබුවේය.

'මදැයි සුබ පතන්න ගිහින් ඉල්ලගෙන කෑව වගේ දෙයක්නේ වුණේ' ගාමිණි අයියා කීවේ ඇඳ සිටි බතික් සරම ලිහිල් කරමිනි.

ඔහු එකවරම විසිල් එකක් ගැසුවේය. ඒ ගෙදර වැඩට සිටින සුබ‍්‍රමනියම්ට එන ලෙස ලැබෙන සංඥාවයි. ඔහු සමඟ උස මහත බැල්ලියක් ද පැමිණියාය. ඌ සරත් හා මා ඉවකොට අප හඳුනාගත් බව හැඟ වූ අතර 'මැගී කූඩු කූඩු' යයි බැල්ලියට ගාමිණි අයියා කී විට ඇය කරබාගෙන කූඩුව වෙත පිය නැගුවාය.

'අයිසේ, ජනාධිපතිතුමා කියනවා පුළුවන් තරම් ඉක්මනට සුචරිතේ ගෙදරට එන්නලු. ඔය දෙන්නවත් එක්ක එන්නලු'

මා මෙන්ම සරත් රූපසිංහ ද ජනාධිපතිතුමා හොඳින් හැඳින සිටියේය. සරත්ගේ හා නීල්ගේ පියා වූ වත්තල ඩේවිඩ් රූපසිංහ මහතාගේ සමුද්‍රා නිවසට ප්‍රේමදාස මහතා පැමිණ ඇත. මේ දෙදෙනා අතීත මිත්‍රයන් වූහ.

'ගාමිණි, රන්ජිත් එක්ක යන්න. මම ඕනෙ නෑ' සරත් අදි මදි කරමින් කිවේය.

ගාමිණි අයියා සූදානම් වී එනතුරු සරත් මා සමඟ කතාබහකය.

'ලොක්කා එන්න කිව්වේ හොඳකට නෙවෙයි. මට තේරුණ විදිහට ගාමිණිට ඡන්දෙට ඉල්ලන්න කියන්න වෙන්න ඇති' සරත් කීවේය.

විනාඩි 15 කින් පමණ ඇඳ පැලඳ ගෙන ගාමිණි අයියා උරුවම් බාමින් පඩි පෙළ බැස්සේය. එසේ ඔහු උරුවම් බාන්නේ සිතේ සතුටක් ඇති වූ විටය.

අපි පැයකින් පමණ සන්තබස්තියමේ ප්‍රේමදාස මහතාගේ 'සුචරිත' නිවසට පැමිණියෙමු. කට පුරා සිනාසී ආචාර කොට අප තිදෙනා පිළිගෙන ගේ තුළට කැඳවාගෙන ගියේය.

'දැන් ගාමිණි, මේ පාර මහ මැතිිවරණයට මාතරට ඡන්දය ඉල්ලන්න ඕනෑ. ඒකට ලෑස්ති වෙන්න. ඉතුරු සේරම මම බලාගන්නම්'

'මාතර . . .'

'ඔව්. මාතර ගාමිණිගේ කට්ටිය වැඩිපුර ඉන්නවනේ' ජනාධිපතිතුමා කීවේය.

සරත් හා මා ආලින්දයේ ඉඳගත් අතර ගාමිණි ප්‍රේමදාස මහතා සමඟ අපට නුදුරින් සිටි පිරිසට එක් වූහ. මගේ මතකය හරි නම් එහි සිටි අය අතර සිරිසේන කුරේ, ජෙහාන් ඒ. කාසිම්, එවන්ස් කුරේ, ඇන්ටන් අල්විස්, ඒ. ජේ. රණසිංහ, අජන්තා විජේසේන මට හඳුනා ගත හැකි විය.

'හෙට උදෙන්ම ගාමිණි මාතර යන්න දයානන්ද වික්‍රමසිංහගේ (අකුරුස්සේ හිටපු මන්ත්‍රී) ගෙදරට. එයාට සියලු දේ මම කියලා තියෙන්නේ. එයා සියලු දේ සංවිධානය කරලා දේවි. මාතර රෙස්ට් හවුස් එක ළඟ කන්දක් උඩ නවතින්න ගෙයක් ලැබේවි. දේශපාලන කාර්යාලයත් එතනම තියාගන්න පුළුවන්' ජනාධිපතිතුමා කොතරම් සූක්ෂමව මේ ටික වේලාව තුළ සංවිධානය කර තිබුණාද? ඒ එතුමාගේ හැටිය.

ගාමිණි මෝටර් රථයට පැමිණ සිගරට්ටුවක් දල්වා ගෙන එයින් කාලක් දැවී යන ලෙස දුම් පිට කළේය.

'අයිසේ අපිට ගොඩාක් වැඩ තියෙනවා. ගෙදර ගිය ගමන් දයානන්ද වික්‍රමසිංහට කතා කරන්න ඕනෑ. ඔහුගේ ටෙලිෆෝන් නොම්බරය ලියා ගත් කොළ කැබැල්ල මා අත තබමින් ගාමිණි අයියා කීය.

සරතුයි, රන්ජිතුයි මාත් එක්ක මාතර යන්න හෙට එනවද?' යළිත් ඔහු අපෙන් ඇසීය.

අප දෙදෙනා බැහැ කියන්නද? අපි අභිනයෙන් හිස සැලුවෙමු.

මම මෝටර් රථයේ පිටුපස අසුනට වී අතීත සිද්ධි කිහිපයක් මෙනෙහි කළෙමි. 1965 මැතිවරණයේදී ගාමිණි අයියා දෙහිවල ගල්කිස්ස ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දෙට එනවා යයි කළ ප්‍රචාරයක් තිබුණා මට මතකය. වැඩිහිටි යු. ඇන්. පී. කාරයන් තාත්තා සමග කතකරනු පාසල් ශිෂ්‍යයකුව සිටි මට ඇසුණි. එහෙත් ගාමිණි මේ මැතිවරණයේදී අසුනක් තරග නොකොට තමා වඩාත් ඇලුම් කළ දේශපාලන නායකයා වූ ඩඩ්ලි සේනානායක මහතාට හැකි හැම උපකාරයක්ම කළ අතර ආර්. ප්‍රේමදාස හා ඊරියගොල්ල මහතුන්ට සහාය දැක්වීය. 1972 වසරේ පැවැති රත්නපුර අතුරු මැතිවරණයට එ. ජා. පක්ෂයෙන් ගාමිණි තරග කරන බවට ද ලොකු හා හෝවක් තිබුණි. මේ කාලයේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ සහ ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා සම අධ්‍යක්ෂණය කළ 'රජ ගෙදර පරෙවියෝ' චිත්‍රපටයේ මුහුරත් උලෙළට සහභාගිවීමට ගාමිණි සමඟ රත්නපුර සමන් දේවාලයට ගිය ගමනට මා ද එක් විය.

එදා මුළු රත්නපුර නගරයම ගාමිණීගේ පැමිණීම සිතුවේ ඇත්තටම ඔහු රත්නපුරයට තරග කරන බවය. සමන් දේවාලයෙන් එළියට පැමිණි ගාමිණී වට කර ගත් මහ සෙනඟ අතර සිටි මැණික් ව්‍යාපාරකයෙක් ඔහුගේ අත අල්ලාගෙන මෙසේ කීවේය.

'සර් අපි රත්නපුරේ ඔරිජිනල් යූ. ඇන්. පී. කාරයෝ. සර් එනව නං අපි බැහැලම වැඩ කරනවා. අපි මැණික් බිස්නස් කරන්නේ. වියදම අපි බලා ගන්නම්'

'මම එහෙම දෙයක් හිතලවත් නෑ. අපි ආවේ මේ සතිස් මහත්තයාගේ චිත්‍රපටයක් පටන් ගන්න. ඒක මැණික්වලටත් සම්බන්ධ චිත්‍රපටයක්' ගාමිණි කීය.

අපි කෙළින්ම රත්නපුර තානායමට උදේ ආහාරය සඳහා ගියෙමු. අපේ කණ්ඩායමේ මෝටර් රථ 10 ක් පමණ වූහ. තානායමේදී ශ්‍රි ලංකා පාක්ෂික පිරිසක් අප දෙස බැලුවේ අරියාදුවට මෙනි. රත්නපුර යනු නන්ද එල්ලාවලගේ රාජධානියයි. රත්නපුර ජනතාව ඔහු ඇමතුවේ 'නන්ද අප්පෝ' කියාය. වලව් මානයෙන් හිස උදුම්මා නොගත් ඔහු ගමට පොත්ත මෙන් ජනතාව සමඟ සිටි ආදරණීය මිනිසෙකි. ඡන්ද පෙත්සමකින් ඔහුට ආසනය අහිමි වුණත් අතුරු මැතිවරණයට යළිත් ඉදිරිපත් වීමට එයින් බාධාවක් නොවීය. 1970 මහ මැතිවරණයෙන් ඔහු රත්නපුරය දිනා ගත්තේ වැඩි ඡන්ද දස දහස් ගණනකිනි.

එදා ගාමිණි ඇතුළු අපි සැවොම තානායමේ සිටියදී ශ්‍රී.ල. නි. පාක්ෂිකයෝ ගාමිණිට ඇනුම් පද කියන්නට වූහ. ගාමිණි ඔවුන් අතරට ගොස් ඇති වූ කතාව දුර දිග යන බව පෙනුණ තානායම් පාලකයා ඒ බව එල්ලාවල මහතාට දැන් වූ අතර එයින් ලැබුණු ප්‍රතිචාර නිසා ඔවුහු ඉවත්ව ගියහ.

'ගාමිණි මහත්තයට අපේ නන්ද අප්පෝ කතා කරනවා' තානායම් පාලක අප අතරට පැමිණ කීවේය. සිදු වූ සිද්ධිය ගැන තම කනගාටුව පළ කළ එල්ලාවල මහතා තම පක්ෂ කාර්යාලයට එන ලෙස ඇරයුම් කළේය.

ගාමිණී, සතිස්චන්ද්‍ර, කැමරා සහායක ඇම්. වී. හේමපාල (තලේ), සම නිෂ්පාදක එම්. කරුණාතිලක හා මා එල්ලාවල මහතාගේ කාර්යාලයට ගියේ අප පැමිණි රථ පෙරහැරෙන්මයි. කාර්යාලයේ රැස් වී සිටි අති විශාල පිරිස බලා සිටින්නට ඇත්තේ ගාමිණි හා නන්ද අප්පෝ සටනකට එළඹෙතැයි කියා සූදානම් ශරීරියකින් බව පෙනිණ. එල්ලාවල මහතා සිටි අසුනින් නැගිට ඉදිරියට පැමිණ, තමා සමඟ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගත් මිතුරාගේ අත අල්ලා ගත්තේය. එතැන් සිට ඔවුන්ගේ කතාව වූයේ පාසල් සමයේ කළ දඩබ්බර, දඟකාරකම් ද සමකාලීන මිතුරන්, ගුරුවරයන් ගැනය. නැවත අප වාහනයට නගින විට ඔහු ගාමිණීගේ මෝටර් රථය අසලට පැමිණ සිදු වූ අපහසුතාවයට තම කනගාටුව යළිත් පළ කළේය.

'ඔය නන්ද කෙළින් මනුෂ්‍යයා. දේශපාලනයට ආපු හොඳ මහත්තයෙක්. 70 ඉලැක්ෂන් එකේදී ඒගොල්ලන්ගේ පක්ෂය දිනුවට පස්සෙ හිතවත්තු කියන 'කැචර්ලා' මම ඇට් කරපු 'ආත්ම පූජා' ෆිල්ම් එක පෙන්නපු හෝල් එකේ මගේ 'කටඅවුට්' පිච්චුවා. මෝඩ ගෝලයන් කරපු දේ නන්ද දන්නෙත් නැතිව ඇති' ගාමිණි සිනාසෙමින් සතිස්චන්ද්‍රට කිවේය.

'රන්ජිත් දවල් හීින දකිනවා දැයි' ගාමිණි අයියා මට කියන විට වාහනය මාතර බෝධිය අසලට පැමිණ තිබිණ. අප මාතර වික්‍රමසිංහගේ නිවසට යන විට යූ. ඇන්. පී. ආධාරකරුවන් හා මාතර ජනතාව එහි අවට රැස් වී සිටියහ. පක්ෂ භේදයකින් තොරව තම ප්‍රියතම නළුවා දැක බලා ගැනීම බොහෝ දෙනෙකු පැමිණි බව පසුව අනාවරණය විය.

මාතර දිස්ත්‍රික්කයට එ.ජා පක්ෂයෙන් තරග කරන සියලුම අපේක්ෂකයන් සමග සාකච්ඡා කළ ගාමිණි ආපසු කොළඹ එන ගමන් මැතිවරණ සැලැස්ම අපට විස්තර කළේය. ඒ අනුව ආරක්ෂක කටයුතු උප පොලිස් අධිකාරි ගාමිණිගේ සුමිතුරු බන්සෝ ජයා ද මාතර දේශපාලනයේ කටයුතු සනත් සිල්වා (දැනට ඇමරිකාවේ පදිංචිව සිටි) ජිනදාසට ද පැවරිණ. කලාකරුවන් සංවිධානය කිරීමට ජිනදාස නිශ්ශංකට භාර විය. පෝස්ටර්ස් නිර්මාණය, පුවත්පත් දැන්වීම් සකස් කිරීම, ගුවන් විදුලි දැන්වීම් ලිවීම මට පැවරිණ.

ගාමිණිගේ මනාප අංකය 04 ය. සියලුම පොස්ටර්ස්, හා ප්‍රවෘත්ති පත්‍ර දැන්විම් මා සමග කතාබහ කරමින් නිර්මාණය කර දුන්නේ එවකට ග්‍රාන්ට්ස් ප්‍රචාරක ආයතනයේ සේවය කළ තරුණ දක්ෂ නිර්මාණ චිත්‍ර ශිල්පියකු වූ අතුල උපසිරි කල්්දෙමුල්ලය. ඔහු අද ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටී. අතුලගේ නිර්මාණවලට කිසිදු වෙනස්වීමක් නොකොට අනුමැතිය ලැබිණ. ගාමිණිගේ ඡායාරූප සපයා දුන්නේ අතුල මහවලගේ හිතවතයා. පෝස්ටර් මුද්‍රණය වූයේ කොළඹ ආමර් වීදියේ කේ. ජී ඉන්ඩස්ට්‍රියල් මුද්‍රණාලයේය. සිනමාස් සමාගමේ අධිපති ගාමිණිගේ සමීතම මිතුරෙකු වූ කේ. ගුණරත්නම් මහතා ඒවා නොමිලේ මුද්‍රණය කර දුන්නේ මා හමු වූ විට මේ වදන් නැවත නැවත පවසමිනි.

''අයිසේ ගාමිණිට පිස්සුද? පොලිටික්ස් කියන්නේ රියල් කොටි වලිගයක්. ගාමිණි හදපු ෆිල්ම් එක වගේ. ඩර්ටි පොලිටික්ස් . . .'

ගාමිණිගේ ඡායාරූපයත් මනාප අංකයත් රැගත් විශාල පෝස්ටර්ස් දහස් ගණනක් සමඟ වෑන් එකක මහ රෑ මාතර බලා යන ගමනේ අවදානම ගැන හිතවතුන් මට අවවාද කොට තිබුණි. දිනක් මාතර බලා යන අතරමඟ රැක බලා සිට පිරිසකගෙන් අපට බාධාවක් ඇති විය. වාහනය නවත්වන්නට අණක් ලැබිණි. රියදුරු වෙව්ලයි. ඔහු මේ ගමන ආවේ ද අකැමැත්තෙනි. පිරිස වාහනය වටා යමින් එහි තුළ ඇති දේ පරීක්ෂා කළහ.

'කාගේද මේ පෝස්ටර්ස්?'

'ගාමිණි ෆොන්සේකා මහත්තයාගේ' රියදුරු ගොත ගසමින් කීවේය.

'එහෙනං යන්න පුළුවන්'

රියදුරු වචනයක් කතා කළේ මාතර ගියාට පසුය.

ගාමිණි අයියාට මේ බව කී විට ඔහු සිනාසුණා මිස ඒ ගැන කිසිවක් නොකියා ගොළුවත රැක්කේය. ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් බොහෝ දෙනෙක් ගාමිණි මාතරට පැමිණීම නොරිස්සූහ. ඔවුන් මාතර ප්‍රසිද්ධ තැන්වල අතින් ලියන ලද පෝස්ටර්ස් අලවා තිබුණේ ඒවා ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමිනි.

'ගාමිණි ඔබ එනතුරු විජය බලා සිටී'

මේවා කළේ කවුදැයි එදින රාත්‍රියේම ගාමිණිට වාර්තාවක් ලැබුණද, ඒවා ගැන කිසිවෙකු සමඟ කතා නොකිරීමට ඔහු ප්‍රවේශම් විය.