වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




රිදී වලාවෙන් මතු වී කුරුලු පරාදීසයක ගී මුතු බිහි කළ කෝකිලයා

රිදී වලාවෙන් මතු වී කුරුලු පරාදීසයක ගී මුතු බිහි කළ කෝකිලයා

අයිවෝ ඩෙනිස්...

කුරුලු පාරාදීසය 08 දා මියුසියස් විද්‍යාලයේදී

ඒ 1952 වසරේ එක්තරා දිනයකි. එකල ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවය මඟින් ඉදිරිපත් කළ ‘ආධුනික පැය’ සංගීත වැඩ සටහනට සහභාගි වූ නව යොවුන් තරුණයකු ඉතා විශිෂ්ට ලෙස එක්තරා ගීයක් ගායනා කළේය.

ඒ සුනිල් සාන්තයන්ගේ එවක අතිශය ජනප්‍රිය ‘වරෙන් හීන් සැරේ රිදී වලාවේ’ ගීතයයි. ගුවනට මුසු වූ එකී මියුරු ගායනය සුනිල් සාන්තයන්ගේ සවන්පත් අතර රැඳුණේ අහම්බෙනි. ඒ තමන් ගුවන් විදුලියට පටිගත කළ ගීතය යැයි මුලින් සිතූව ද එය ආධුනිකයකුගේ ගැයුමක් බව දැනගත් පසු සුනිලුන් මවිතයට පත් විය.

අයිවෝ ඩෙනිස් නමැති අසිරිමත් ගායන ශිල්පියාගේ සෞන්දර්ය චාරිකාවේ ඇරැඹුම සනිටුහන් වන්නේ එලෙසිනි. ඒ ගී මඟ තිරසාරව පියමං කරන්නට ඔහුට නියත විවරණ ලබා දුන්නේ සුනිල් සාන්තයන්ය. දශක හයකට ආසන්න කාලයක් පුරාවට ලාංකේය ගීත ක්ෂේත්‍රයේ ඔහු රැඳී සිටින්නේ සුනිල් සාන්තයන්ගේ සංගීත දැනුම මෙන්ම එකී ගී ආරත්, කටහඬත් උරුම කරගත් සුවිශේෂී, එකම පුද්ගලයා ලෙසිනි.

‘කුරුලු පරාදීසය’ ගී ප්‍රසංගය සමඟින් එළඹෙන 08 වැනිදා රසික, රසිකාවන් අභිමුව සිය මධුර ගායනා එළිදක්වන්නට සූදානම් වන මොහොතේ ඔහු මෙසේ අප හා සංවාදයට එක්වේ...

දැන් ඔබතුමාගේ වයස කීයද?

මේ ගෙවෙන්නේ අසූ තුන.

මේ වගේ වයසකදී සජීවි ගායනා ඇතුළත් ගී ප්‍රසංගයක් පැවැත්වීම ලෙහෙසි, පහසු කාර්යයක් නෙවේ?

ටිකක් අසීරු වැඩක්. ප්‍රසංග කීපයක්ම පවත්වලා දැන් පළපුරුද්දක් තියෙනවා. ඒ නිසා මේ මොහොතෙත් එය කරන්න අපහසුවක් වෙන එකක් නෑ කියලා මම හිතනවා. ඒ විශ්වාසය මට තියෙනවා.

සුනිල් සාන්තයන්ගේ මෙන්ම ඔබේ ජනප්‍රිය ගීතත් මේ ප්‍රසංගයේදී ගායනා කරනවා ඔබ?

ඔව්. සුනිල් සාන්තයන් ගැයූ ජනප්‍රිය ගීත කිහිපයක් වගේම ඔහු විසින් තනු නිර්මාණය කළ ගීත කිහිපයකුත් එදාට ගායනා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම තනු නිර්මාණය කළ මගේම ගීතත් එදාට ගායනා කරනවා. සමූහ ගීත කීපයකුත් ඊට ඇතුළත්.

මම හිතන්නේ ජනප්‍රිය ගීත විස්සක් පමණ ‘කුරුලු පරාදීසයේ’ ප්‍රසංගයට අන්තර්ගතයි?

සුරිඳු ජේසුනි, වරෙන් හීන් සැරේ, මෙවන් පිටිසරේ, මිහිකත නළවාලා, කුරුළු පරාදීසයේ, සුවඳ රෝස මල් නෙළා, ගුවන් තොටිල්ලේ, ආදර නදියේ, ඕලු පිපීලා, වළාකුලින් බැස, අභිමානනීය වූ, ඔබ පිබිදීලා, සෙල්ලම් කොළ වගේ ජනප්‍රිය ගීත එදාට ගායනා කරනවා.

සුනිල් සාන්ත පිළිබඳ කතාබහ කරද්දී අපට අයිවෝ ඩෙනිස් අමතක කරන්න බැහැ. ඔබ පිළිබඳ යම් සඳහනක් වෙතොත් සුනිල් සාන්තයන් එතනින් බැහැර කරන්නත් බැහැ?

ඔව්. ඇත්තෙන්ම සුනිල් සාන්ත නොහිටින්න අද අයිවෝ ඩෙනිස් කියලා ගායකයෙකුත් නෑ. ඒ තරමටම සංගීත ලෝකයේ අපි එකට බද්ධ වෙලා හිටියා. මම හිතන්නේ ඒක සංසාරගත බැඳීමක් වෙන්නට ඇති.

ඇයි ඔබ එදා සුනිල් සාන්තයන්ගේ ගීවලට එතරම් පෙම් බැන්දේ?

ඒ කාලේ අපි පාසල් ශිෂ්‍යයෝ. ගුවන් විදුලියෙන් අපට අසන්නට ලැබුණ ගීත අතරෙන් සුනිල් සාන්තයන්ගේ ගීත තමයි ඉතාමත් ජනප්‍රිය. ඔහු ඒ යුගයේ ඉතාමත් ජනප්‍රිය ගායකයෙක් වෙලා හිටියා. ඒ හැරෙන්න සී. ටී. ප්‍රනාන්දු, ආනන්ද සමරකෝන්, ඇල්බට් පෙරේරා (අමරදේව) ආදීන්ගේත් ජනප්‍රිය ගීත තිබුණා. නමුත් අපි වැඩිපුරම ගායනා කරන්න පෙළඹුණේ සුනිල් සාන්තයන්ගේ ගීත.

විශේෂ හේතුවක් තිබෙන්නට ඇති?

ඔහුගේ ගීත පද රචනය අතින් ඉතාමත් සරුසාරයි. අද වගේ නෙවෙයි සුනිල් සාන්තයන් ගැයූ පෙම් ගීතවල පවා යම් විනයක් තිබුණා. ඕනෑම කෙනෙක් ඉදිරිපිට ඒ ගීත ගායනා කරන්න පුළුවන්කමක් අපට තිබුණා. ඉතින් ඒ නිසා අපි ඒ ගීතවලට බොහොම පෙම් බැන්දා. අපි විතරක් නෙවෙයි මේ රටේ බොහෝ අය සුනිල් සාන්තයන්ගේ ගීවලට පෙම් බැන්දේ ඒ කාරණය නිසාම තමයි.

එතුමන්ට පෘථුල භාෂා ඥානයකුත් තිබුණා. හෙළ හවුල සමඟත් ඔහුට තිබුණේ සමීප සබඳතාවක්?

සුනිල් සාන්තයන් වැඩිපුරම ගායනා කළේ හියුබත් දිසානායකයන් ප්‍රබන්ධය කරන ලද ගීත. අරිසෙන් අහුබුදු ඊළඟට හුඟක් ගීත ප්‍රබන්ධය කරලා තියෙනවා. රැයිපියෙල් තෙන්නකෝන් ශූරින් පවා ඔහුට ගීත ප්‍රබන්ධය කළා. ඇත්ත වශයෙන්ම එකල සිටි භාෂා ප්‍රේමීන් තමයි වැඩියෙන්ම සුනිල් සාන්තයන් වෙනුවෙන් ගීත ප්‍රබන්ධය කළේ.

එදා ‘ආධුනික පැය’ට ඔබ ගැයූ ‘වරෙන් හීන් සැරේ රිදී වළාවෝ’ ගීතය අහලා සුනිල් සාන්තයන් මවිතයට පත් වුණාලු. මතකද ඒ අතීතය?

ඔව්. ඇත්ත වශයෙන්ම සුනිල් සාන්තයන්ට අදහා ගන්න බැරි වුණාලු. මුලදී ඔහු හිතලා තියෙන්නේ ඒ ඔහු ගැයූ ගීතයම ප්‍රචාරය වෙනවා කියලයි. නමුත් අවසානයේ මගේ නම කිව්වාට පස්සේ තමයි සුනිල් සාන්ත දැනගත්තේ ඒ ඔහුගේ පටිගත කළ ගීතය නොවෙන බව. එතකොට පැට්‍රික් දෙනිපිටිය ඉගෙන ගත්තේ සුනිල් සාන්තගේ සංගීත පන්තියේ. ඔහු හොඳ වාද්‍ය ශිල්පියෙක්. පැට්‍රික් එතකොට හිටියේ ජාඇල. මම හිටියේ සීදූවේ. සුනිල් සාන්තයන් පැට්‍රික් දෙනිපිටියට විස්තර කියලා එතුමන්ව මුණ ගැහෙන්න කියලා මට පණිවිඩයක් එව්වා.

සුනිල් සාන්තයන් ළඟට ඔබ කැටුව ගියේ පැට්‍රික් දෙනිපිටිය?

ඔව්. එතකොට සුනිල් සාන්තයන් නැවතිලා හිටියේ බම්බලපිටියේ ‘සිරිසඳ’ හෝටලයේ. එතුමන් බොහොම සුහදව මා පිළිගත්තා. මා වගේ ආධුනිකයකුට දයාබරව අතහිත දෙන්නට පුළුවන් නිහතමානී ගුණයත්, අව්‍යාජත්වයත් එතුමන්ට තිබුණා. එතැන් පටන් සුනිල් සාන්තයන් ගුවන් විදුලියට ඉදිරිපත් කළ වැඩසටහන්වල සමූහ ගායනයන්ට මම සම්බන්ධ වුණා. විශේෂයෙන්ම ‘මධුර මධු’, ‘රිදී වළාවෝ’ වගේ සංගීත වැඩ සටහන්වලින් මගේ ගායන හැකියාවන් රටට ඉදිරිපත් කරන්න පුළුවන්කම් ලැබුණා.

මම හිතන්නේ ඔබේ මුල්ම ස්වතන්ත්‍ර ගීතය නිර්මාණය වන්නේත් ඔය අවධියේ්මයි?

ගුවන් විදුලියේ සරල ගී වැඩ සටහනකට තමයි මගේ මුල්ම තනි ගීතය ගායනා කළේ. එවක ගුවන් විදුලියේ හිටපු ජනප්‍රිය නිවේදකයෙක් වූ තිලක සුධර්මන් ද සිල්වා මහත්මයා තමයි ගීතය රචනා කළේ, සංගීතවත් කළේ සුනිල් සාන්තයන්. ‘කුරුලු පරාදීසයේ’ තමයි ඒ ගීතය.

සුනිල් සාන්තයන් තනු නිර්මාණය කළ චිත්‍රපට කිහිපයකටම ඔබ විශේෂ අයුරින් සම්බන්ධ වුණා?

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ ‘රේඛාව‘ට සුනිල් සාන්තයන් ඉතා මධුර ගී තනු රැසක් නිර්මාණය කළා. ඕලු නෙළුම් නෙරිය රඟාලා, සුදු සඳ එළියේ, වෙසක් කැකුළු, සීගිරි ළඳකගෙ මල් වට්ටියෙ ලා වගේ අදටත් ජනප්‍රිය අතිශය මධුර ගී තනු ඔහු නිර්මාණය කළේ ‘රේඛාව‘ චිත්‍රපටයට. ඒ ගී තනු ගායක, ගායිකාවන්ට පුරුදු පුහුණු කිරීමේ කාර්යය එතුමන් පැවරුවේ මට. ඉන්දියාවට ගොස් ඒ කාර්යයට මං දායක වුණා.

ඒ විතරක් නෙවෙයි ඔබ අපූර්ව විරිදු ගායනයකිනුත් ඊට දායක වෙනවා?

ඔව්. සුනිල් සාන්තයන් විරිදු තනුවක් අනුව නිර්මාණය කළ ‘අනුරාපුර පොළොන්නරුව සීගිරි මනබන්ධනීය’ ගීතය ගායනා කළේ මම. ඒක සුනිලුන් අලුත්ම විරිදු රටාවක් අනුව නිර්මාණය කළ ගිතයක්. ඒ තමයි මගේ මුල්ම චිත්‍රපට පසුබිම් ගායනය. ඊට පස්සේ ‘සංදේශය’ චිත්‍රපටයට සුනිල් සාන්ත ගී තනු නිර්මාණය කළා. එවාත් ඉතාම ජනප්‍රිය වුණා. ඒ ගීත පුහුණු කරවීමේ කටයුතුත් එතුමන් බාර දුන්නේ මට. සිංහල දෙබස් කැවූ ‘අම්බපාලි‘ හින්දි චිත්‍රපටයේ තේමා ගීතය ගැයුවේ ‘සුනිල් සාන්තයන්. ඊට මමත් ගායනයෙන් සහාය වුණා.

සුනිල් සාන්තයන් ශාන්ති නිකේතනයෙන් වගේම භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයෙනුත් සංගීතය ප්‍රගුණ කළ අයෙක්. එහෙත් එතුමන් වඩාත් උත්සුක වූයේ අපේ ජන සංගීතය මත පදනම් වී අපේම සංගීත ආරක් බිහි කරන්න?

ඔව්. ඇත්ත වශයෙන්ම.

උත්තර භාරතීය රාගධාරී සංගීතය එහෙම නැතිනම් හින්දුස්ථානී සංගීතය ඇසුරෙන් නිර්මාණ බිහි කරන්නට එතුමන් යම් මැළිකමක් දැක්වූවේ ඇයි?

සුනිල් සාන්තයන් ඇත්ත වශයෙන්ම උත්තර භාරතීය රාගධාරී සංගීතය හුඟක් දුරට අධ්‍යයනය කර තිබුණා. නමුත් ලංකාවට අවශ්‍ය සංගීතයක් ඒ තුළින් බිහි කරන්නට බැරි බව ඔහුට වැටහුණා. ඒ නිසා අපේ ජන සංගීතය අනුව යමින් යම් කිසි සංගීතයක් මේ රට තුළ බිහි කළ යුතුයි කියන පදනම මත ඔහු සිටියා. ඒ අනුව තමයි සුනිල් සාන්තයන් කටයුතු කළේ.

හැබැයි ඔහු යම් යම් අවස්ථාවන්වල බටහිර සංගීතයේ ආභාෂය ලබා ගත් බවකුත් අපට පෙනෙන්නට තිබෙනවා?

ඔහුගේ නිර්මාණ අතර බටහිර සංගීතයට නැඹුරු වෙච්ච ගීත තියෙනවා. රාගධාරි හින්දුස්ථානි සංගීතයට නැඹුරු වෙච්ච ගී තියෙනවා. දේශීය ගී ආරට නැඹුරු වෙච්ච ගීත තියෙනවා. ඔය හැම ආරකම ගීත නිර්මාණය වී තිබෙනවා එතුමන්ගේ ගීතාවලිය තුළ. ඕනෑම ආරක ගී රස විඳින රසිකයන්ට තම නිර්මාණ ඉදිරිපත් කළ යුතුයි කියා ඔහු අරමුණු කරගෙන හිටියා. නමුත් ඔහු වඩාත් ප්‍රිය කළේ දේශීය නාද රටාවන් උපයෝගී කරගෙන නිර්මාණ බිහි කරන්න.

ඉංග්‍රීසි බසින් පවා ඔහු චිත්‍රපටයකට ගීතයක් ගායනා කළා?

‘රොමියෝ ජුලියට්’ චිත්‍රපටය සඳහා ඔහු ඉංග්‍රීසි බසින් ගීතයක් ගායනා කළා. එහි පද රචනය කළේ ගරු මර්සලින් ජයකොඩි පියතුමා. සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ.  ‘My Dreams are rosess, or my love’ කියන ගීතය තමයි සුනිල් සාන්තයන් ගායනා කළේ.

ඔබ ඒ ගීතය ගායනා කරලා නැහැ කවදාවත්?

මමත් ප්‍රසංග වේදිකාවේදී ඒ ගීතය ගායනා කළ අවස්ථාවන් තියෙනවා.

සුනිල් සාන්තයන්ගේ ගීත අතරෙන් ඔබ වඩාත්ම ප්‍රිය කරන ගීතය?

වඩාත්ම කැමැති අසවල් ගීතය කියා මට විශේෂයෙන් කියන්න බෑ. මොකද එතුමන්ගේ හැම ගීතයකටම මගේ ඇල්මක් තියෙනවා. නමුත් මම හුඟක්ම කැමැතියි ‘මෙවන් පිටිසරේ’ කියන ගීතයට. ඒක සුනිල් සාන්තයන් විසින් තනු නිර්මාණය කරපු, හියුබත් දිසානායකයන් විසින් පද රචනය කරපු ගීතයක්. පෙම් ගීතයක් වුණත් එය කා ඉදිරියේත් ගායනා කළ හැකියි. අදටත් ගැළපෙන ගීතයක් ඒක.

ඔබේ සංගීත දිවියේ සුවිශේෂී කඩයිමක් තමයි මම හිතන්නේ ප්‍රේමසිරි කේමදාසයන් හමුවීම?

ප්‍රේමසිරි කේමදාසයන් හමුවීම තුළින් ඇත්ත වශයෙන් මට අලුත් ගී ආරකට යොමු වෙන්න අවස්ථාව ලැබුණා. ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ ‘උඳුම්බරා’ කියන ඔහු සංගීතවත් කළ ගීයට තමයි මුලින්ම මම ගායනයෙන් දායක වුණේ. ටී. එම්. ජයරත්නත් එක්ක තමයි මම ඒ ගීතය ගායනා කළේ. සමූහ ගායනා සඳහා තවත් කීප දෙනෙක් ඊට එකතු වුණා. ඉන් පස්සේ ‘පාර දිගේ’ චිත්‍රපටයටත් මම කේමදාසයන්ගේ සංගීතයට අනුව ගීතයක් ගායනා කළා. ‘හිම කතර’ චිත්‍රපටයට මම ගායනා කළ ‘කන්ද එහා වැස්ස වහින්නා’ කියන ගීතයට 1985 වසරේදී හොඳම ගායනයට හිමි ජනාධිපති සම්මානය ලැබුණා. ඒ ගීතය සංගීතවත් කළේත් කේමදාසයන්.

කේමදාසයන්ගේ සංගීත සංධ්වනි සඳහාත් ඔබ දායක වුණා?

‘මානසවිල’, ‘මගේ කාලයේ මව්නි’ කියන සංධ්වනිවලට සම්බන්ධ වී මම ඒ ගායනාවන් ඉදිරිපත් කළා. කේමදාසයන් සංගීතවත් කළ ‘අඳුරු කුටිය තුළ’ ගීතය ගායනා කළේ ටී. එම්. සහ මම. ඒ ගීතයත් හුඟක් ජනප්‍රිය වුණා.

ඔබත් මම හිතන්නේ සුනිල් සාන්තයන් මෙන්ම දේශීය නාද මාලාවන් ඔස්සේ ගී නිර්මාණය කිරීමටයි වඩා නැඹුරු වුණේ?

දේශිය නාද රටාවන් අනුව නිර්මාණය වුණ ගීතත් මගේ ගීත අතර තියෙනවා. ‘සැළෙන, ළෙලෙන උකුළු තලේ’ වගේ ගීතයක් ඊට උදාහරණයක්. ඒ වගේම හින්දුස්ථානි රාගධාරි සංගීතයට අනුව නිර්මාණය කළ ගීතත් මගේ ගී අතර තියෙනවා. බටහිර සංගීතය අනුසාරයෙන් මා නිර්මාණය කළ ගීතත් තියෙනවා.

‘අභිමානනීය වූ නවෝදයෙන්’ ගීිතයේ තනු නිර්මාණයත් ඔබගේමයි?

මා මිත්‍ර ලෙස්ලි බොතේජු ඒ ගීතය රචනා කළේ. එහි තනු නිර්මාණය මගේමයි.

වසර හැටකට ආසන්න කාලයක් පුරා ඔබ අප පිනවනවා. තවමත් ඔබේ ගායන මහිමාලංකාරය එලෙසමයි. එයට හේතුව පූර්ව වාසනා මහිමය ද නැතිනම් නිරන්තර අභ්‍යාසයද?

නිරන්තර අභ්‍යාසය කියන එක නම් මම එහෙම අත්දැකපු දෙයක් නෙවෙයි. මුල පටන්ම අපේ ගායනා එළි දැක්වුණේ කතෝලික පල්ලිය ආශ්‍රිතව තමයි. අපේ ගායනයන් ඔප් නංවා ගන්නට ලොකු පිටිවහලක් වුණේ ඒ භක්ති ගී ගායනා. මම හිතන්නේ මුහුදුබඩ වාසය කළ හුඟක් ගායක ගායිකාවන්ට තමන්ගේ ගායනා නිවැරැදි ශ්‍රැතියේ පිහිටා ගායනා කිරීමේ හැකියාව ලැබුණේ පල්ලියේ ගීතිකා ගායනයෙන් බව මම විශ්වාස කරනවා. අදට පවා තමන්ගේ ගායනයන් හොඳින් ඉදිරිපත් කරන්න ඔවුන්ට හැකියාව ලැබී තිබෙන්නේ ඒ නිසයි.

ගායනවේදියෙක්, සංගීතඥයෙක් හැටියට තමයි බොහෝ දෙනෙක් ඔබ දැන හඳුනන්නේ. නමුත් ඔබ, ඔබේ සංගීත ඥාණය පරම්පරා කිහිපයකට බෙදා හදා දුන්න ගුරුවරයෙක්?

සංගීත ගුරුවරයකු වශයෙන් මම පාසල් කිහිපයකම සේවය කළා. මුලින්ම රත්නපුර පාසලක මම වැඩ කළා. ඊට පස්සේ මීගමුව තිඹිරිකටුව මහා විද්‍යාලයෙත්, හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලයේත් මා සංගීත ගුරුවරයකු වශයෙන් කටයුතු කළා. ඒ හැරෙන්නට තවත් අවස්ථාවකදී මම සෞන්දර්යය අධ්‍යයන ආයතනයේ ජන සංගීතය පිළිබඳ උපදේශක තනතුරක් ලැබිලා එහි සේවය කළා. ඉන් පසුව තමයි මා ගුරු වෘත්තීයෙන් විශ්‍රාම ගත්තේ. සෞන්දර්යය අධ්‍යාපන ආයතනයේ මම අවුරුදු දොළහක් වැඩ කළා. අවුරුදු තිස් පහක් පමණ මම ගුරු වෘත්තියේ නියැළිලා මගේ සංගීත ඥාණය සිසු දරු දැරියන්ට බෙදා දීලා තියෙනවා.

අද අපේ සංගීත ක්ෂේත්‍රයේ විවිධ සංගීත ශෛලීන්, විවිධ රැළි තිබෙනවා. ඒත් වර්තමාන තරුණ පරපුර වෙතින් බොහෝ විට බිහි වන්නේ අවර ගණයේ නිර්මාණ බව ප්‍රවීණයන් නිතර නඟන චෝදනාවක්. ප්‍රවීණයන්ගෙත් ප්‍රවීණයෙක් හැටියට මේ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

වර්තමානයේ මොන තරම් සංගීත ශෛලීන් තිබුණත්, නොයෙකුත් නොයෙකුත් ගායක, ගායිකාවන් බිහි වුණත් මිනිසුන්ගේ වඩාත් හිත් ඇදිලා යන්නේ අර පැරැණි ගීතවලටම තමා. මම හිතන්නේ අදටත් ඒ ගීත ජනප්‍රියයි. ඒ පැරැණි ගී ආර තාමත් මිනිසුන්ගේ හදවත්වල රැව් පිළිරැව් දෙන නිසා කියලා මම විශ්වාස කරනවා. වත්මන් පරපුර තමන්ගේ රස වින්දනය, ගායන හැකියාවන් පිළිබඳ නිසි තක්සේරුවක අවබෝධයක නෑ කියලයි මගේ නම් කල්පනාව.