වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

ඉතිහාසයේ පළමුවරට එකම මාසයේ පළමු හා අවසන් දිනට චිත්‍රපට 2 ක්

හැත්තෑ වසරක කථානාද සිංහල සිනමා ඉතිහාසයෙහි පළමු වතාවට එක් මාසයක පළමුවැනිදා සහ අවසන් දින සිනමාපට යුගළක් තිරගත විය. පසුගිය සැප්තැම්බර් මාසයේදී එම සිනමාපටයන් තිරගතවීම ඇරැඹිණ. එම මස පළමු වැනිදා ඩොනල්ඩ් ජයන්තගේ මායා සිනමාපටයත් අවසන් දින එනම් 30 වැනිදා ශ්‍රීපාලි හෙට්ටිආරච්චිගේ සුජාත පුත්‍ර සිනමාපටයත් ප්‍රදර්ශනය ඇරැඹිණ. එම මාසයේ පළමුවැනිදා සහ අවසන් දින අතර කිසිදු සිනමාපටයක් තිරගත නොවීම ද විශේෂත්වයකි. මෙතෙක් අප සිනමා ඉතිහාසයේ එවන් අවස්ථාවක් උදා වූයේ පසුගිය මාසයේදී පමණි. එක් අතකින් එය වාර්තාවක් ද වනු ඇත.


යුරෝපා සිනමා උලෙළ හෙට ඇරැඹේ

නවවැනි යුරෝපා සිනමා උලෙළ මෙම මස 07 (හෙට) සිට 11 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. බෙල්ජියම, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, පෝලන්තය, ස්ලොවැකියාව, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය ආදී යුරෝපා රටවල ඉහළ ගෞරව ප්‍රසාදයට පාත්‍ර වූ චිත්‍රපට දහයක් මෙවර තිරගත කෙරේ. මෙරට තරුණ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ කෙටි චිත්‍රපට පහක් ද මෙම උලෙළේදි තිරගත කෙරෙනු ඇත. උලෙළේ සම්බන්ධීකරණය යුරෝපා සංගම් නියෝජිත මණ්ඩලය සහ විවිධ යුරෝපීය තානාපති කාර්යාලය හා සංස්කෘතික ආයතනය සමඟ සහයෝගීව ක්‍රියාත්මක වන ඇජෙන්ඩා 14 විසිනි. මෙහි සමාරම්භය 06 වැනිදා ප්‍රංශ සිනමා කාතියක් වන ගර්ල් හුඩ් සමඟින් සිදු වනු ඇත.

යුරෝපා සිනමා උලෙළේ චිත්‍රපට ප්‍රදර්ශනය වන පිළිවෙල මෙසේය.

ඔක්තෝබර් 07 වැනිදා සවස 3.30 ට සයිලන්ට් හාර්ට (ඩෙන්මාර්කය) සවස 6.30

ලියො පර්ඩි (ඉතාලිය)

ඔක්තෝබර් 08 වැනිදා සවස 3.30 ට ස්කවුටිං ෆොර් සිබ්‍රාසස් (බෙල්ජියම) සවස 6.30 ට ද ඉන්ට්‍රඩර් (නෙදර්ලන්තය)

ඔක්තෝබර් 09 වැනිදා සවස 3.30 ට නවුලන්ඩ් (වාර්තාමය - ස්විට්සර්ලන්ඩ්) සවස 6.30 ට මයි නේම් ඉස් වික්ටෝරියා (ජර්මනිය)

ඔක්තෝබර් 10 වැනිදා සවස 3.30 ට රයිට්මස් (වාර්තාමය - ස්ලොවැකියාව) සවස 6.30 ට සෆ්රගේට් (එක්සත් රාජධානිය)

ඔක්තෝබර් 11 වැනිදා සවස 3.30 ට ගර්ල් හුඩ් (ප්‍රංශය) සවස 6.30 ට ස්ට්‍රේන්ජ් හෙවන් (පෝලන්තය)


ගායක ගායිකා සංගමයේ නව නිලධාරි මඬුල්ල සභාපති යළිත් කීර්ති

ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ නව නිලධාරී මණ්ඩලය පසුගියදා පත්කර ගන්නා ලදී. එහිදී අභිනව නව සභාපති වශයෙන් කීර්ති පැස්කුවල් නැවතත් පත් විය. ලේකම් ලෙස ජානක වික්‍රමසිංහ පත්වීම් ලැබීය. භාණ්ඩාගාරික රොහාන් ද සිල්වා, උප සභාපතිනි නිරෝෂා විරාජිනි, උප ලේකම් නෙලූ අධිකාරි, උප භාණ්ඩාගාරික මයිකල් පෙරේරා පත් විය. එහි සෙසු සමාජිකයින් මෙසේය.

ගිනුම් පරීක්ෂක - රන්ජන් ජයතිලක

සංවිධායකවරුන් - ලක්ෂ්මන් විජේසේකර, කමල් ස්වර්ණතිලක

සම්බන්ධීකාරකවරුන් - ලලිත් පොන්නම්පෙරුම, මැණික් චන්ද්‍රිකා

මෘදුකාංග ඉංජිනේරුවරුන් - අජන්තා පීරිස්, චන්ද්‍රකාන්ති මුණවීර

මාධ්‍ය සම්බන්ධීකරණය - අසංක දේවමිත්‍ර, ඇන්ටන් ජේ. ප්‍රනාන්දු, රමේෂ් උවයිස්

කාරක සභිකයින් - කපිල පුගලආරච්චි, ශීලා පරණමාන්න, කමල් ස්වර්ණතිලක, පුණ්‍යා කත්‍රිආරච්චි, ටිරෝන් මද්දුමගේ, ජගත් වික්‍රමසිංහ, ප්‍රියනාත් රත්නායක, රූපා ඉන්දුමතී, දයාන් විතාරණ, ලාංකිකා පෙරේරා, ප්‍රියා සූරියසේන, තිලක් ද මෙල්, මරියසෙල් ගුණතිලක,ටෝනි හසන්, වර්නන් පෙරේරා, ප්‍රියන්ත විජේසිංහ, ශිෂාරා රාජපක්ෂ, කොරින් අල්මේදා, ෆීලික්ස් ඇන්ටන්, චාන්දනී හෙට්ටිආරච්චි


අඩා මහත්තයා 6 වැනිදා එළිදැක්වේ

ගුරුවරයකු, සන්නිවේදකයකු සහ විපක්ෂ නායක මාධ්‍ය උපදේශකයකු මෙන්ම අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයකු වූ සීලරත්න සෙනරත් විසින් රචිත ඔහුගේ නවතම කෘතිය 'අඩා මහත්තයා' මෙම මස 06 වැනිදා එනම් අද සවස මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වේ. ගුරුවරයකු ලෙස ඔහු මඩකලපුව සිප්පිමඩුව ගම් පියසේ ලද අත්දකීම් මුල් කර ගනිමින් මෙම ග්‍රන්ථය රචනා වී තිබේ. සිය වෘත්තීය ගමන්මඟ ගුරුවරයකු ලෙසින් ආරම්භ කළ සීලරත්න සෙනරත්ගේ විසි වසරක ගුරු දිවියේ අතිශය වැදගත් කාල පරිච්ඡේදය වූයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සේවා කාලයයි. ඔහු මඩකලපුව සිප්පිමඩුව ගමට පැමිණියේ හිස් දෑතින් සහ මවුබස පමණක් දැනගෙනය. එහිදී දෙමළ බස උගත් හෙතෙම සිප්පිමඩුවහි ළමුන්ගේ අයිතිය තහවුරු කරන ලද්දේ ගම ද සංවර්ධනය කරමිනි. සිප්පිමඩුව ගම්වාසීන් සීලරත්න එම ගමට පැමිණි පළමු දිනයේ ඔහුට ආමන්ත්‍රණය කළේ අඩා මහත්තයා යනුවෙනි. අඩා මහත්තයා ග්‍රන්ථය එම රසවත් කාල පරිච්ඡේදය පිළිබඳ අකුරු පෙළ ගැස්මකි.

සීලරත්න සෙනරත් ලේක්හවුස් හිටපු කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ද වේ.


ටවුමෙ ඉස්කෝලෙට නිවුන්නු ඕනෑ

සහාය අධ්‍යක්ෂවරයකු මෙන්ම චිත්‍රපට තිරකතා රචකයකු ද වන සුනිල් ප්‍රේමරත්න පළමුවරට අධ්‍යක්ෂණය කරන 'ටවුමේ ඉස්කෝලේ' ළමා සිනමාපටය හරහා නවක ළමා නිළියන් දෙදෙනකු හඳුන්වාදීමට ඔහු අපේක්ෂා කරයි. මෙහිදී එක සමාන පෙනුමැති නිවුන් දරුවන් දෙදෙනෙකු සිනමාපටය සඳහා අවශ්‍ය වීම විශේෂත්වයකි. මේ සඳහා මෙම ළමා නිළියන් දෙදෙනා තෝරා ගැනීම සඳහා මුලික සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 09 වැනිදා එනම් එන ඉරිදා දවස පුර කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සුදර්ශි ශාලාවේදී පැවැත්වේ.

ටවුමෙ ඉස්කෝලේ ධම්මික අතපත්තුගේ නිෂ්පාදනයකි.


ජෝර්ජ් රොබ්සන්ගේ ආරාධනය

සිත් ගත් ගී 1000 - 2000, චිත්‍රපට ගී 500, රස රිසි ගී ඇතුළු ගීත පොත් ගණනාවක් සම්පානදය කළ ගීත නිබන්ධක ජෝර්ජ් රොබ්සන් ද සිල්වා තවත් ගීත පොත් කිහපයක් එළිදැක්වීමට මේ දිනවල සූදානමින් සිටියි. එහෙත් බුද්ධිමය දේපල නීතියට අනුව ගී පද රචකයන්ගේ අවසර නොමැතිව ඔවුන්ගේ පද මාලා පළ කිරීම වර්තමානයේදි යම් යම් ගැටළු ඇති විය හැකි කාරණයක් වී ඇති හෙයින් තමන් සම්පාදනය කරන්නට බලාපොරොත්තු වන ගීත පොත් සඳහා පදමාලා යොදා ගැනීමේදි සියලු ගී පදරචකයන්ගේ රුචි අරුචිකම් විමසා දැන ගැනීමට රොබ්සන් ද සිල්වා අදහස්කොට ඇත.

එහෙයින් සිය පදමාලා ගීත පොත් සඳහා යොදා ගන්නවාට කැමැති අකමැති සියලුම ගී පදරචකයන්ට ඒ පිළිබඳ ජෝර්ජ් රොබ්සන් ද සිල්වා, තැ. පෙ. 02, දන්කොටුව යන ලිපිනයට දන්වන මෙන්විවෘත ආරාධනාවක් කරයි.