වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රේමණීය තුරණු හැඟීම් පිරිපුන් මෝටර් බයිසිකල් චිත්‍රපටය ගැන අදහසක්

ප්‍රේමණීය තුරණු හැඟීම් පිරිපුන් මෝටර් බයිසිකල් චිත්‍රපටය ගැන අදහසක්

ඇයට අවශ්‍ය වන්නේ අද දවසේ සියල්ල ඔහු හා කතිකා කොට සියලු මතක තිළිණ ආපසු දී සංවේගයෙන් වුව ද සමාජ සීමාවන් හමුවේ තම ආදරණීය තුරුණු ප්‍රේමයට තිත තැබීමටය. ඉන් එහා ඉමක් ඇගේ ජීවිත ආත්මයේ නැත. 'ජය ගත යුතුය ප්‍රේමය' යන අධිෂ්ඨානය හමුවේ ඇයගේ සිතුවිලි අත්දැකීම් විඳ ගැනීමට කැමති වුව ද තමා වටා ඇති සීමාවන් හමුවේ විවෘත වූ තුරුණු අපේක්ෂාවන් සංවෘතය. සමුගැනීමේ කතාව කීම අවැසිය. නමුත් හමු වූ ඇසිල්ලේ සිටම සීමාවන් බොහෝය.

ඔහුට අවශ්‍ය අපේක්ෂාවන් ඔහුගේ තුරුණු ජව සම්පන්න ලෝකය තුළ අසීමිතය. ඒ අතරේ ප්‍රමුඛතා ලැයිස්තුව අප හමුවේ තැබේ. දහසක් ප්‍රාර්ථනා හමුවේ ඔහුට ස්ථිර රැකියාවක් අවැසිය. සංගීතයට ඔහු ආදරය කරයි. ගායනයෙහි, වාදනයෙහි කුසලතා ඔහු සතුය. රැයෙහි නියුතු අතුරු රැකියාවකින් යන්තමින් ජීවිතය ගැටගසා ගන්නට ඔහුට සිදු වී තිබේ. මතු දවසක සුපර් ස්ටාර් කෙනෙකු වන්නට ඔහු තුළ සිහිනයක් ලියලයි. මේ අතරේ සිය පෙම්වතිය සමඟ හුදකලාව ආදරය විඳින්නට ද අවැසිය. බාධක මැද්දේ මෝටර් බයිසිකලයක හිමිකරු වූ ඔහුට (රංගනට) තම පෙම්වතිය සමඟ තාරුණ්‍යය අකුරු කරන්නට අවශ්‍ය සීමාවන්ට ද බාධාවන් බොහෝය.

මෝටර් බයිසිකලයේ නැඟී සිය පෙම්වතිය සමඟ ගොස් හුදෙකලාව මුමුනන්නට ප්‍රේමාන්විත වන්නට අවැසිය. සිනමා ශාලාවකට ගොස් බොක්ස් ටිකට් දෙකක් ගෙන එහි හිඳ අඳුරේ තනි වන්නට අවැසිය. එනමුත් අවශ්‍යතාව ලත් තැනම ලොප් වෙයි. කෙසේ හෝ හුදකලා වන්නට දෙදෙනාටම අවැසිය. (විශේෂයෙන් තීරණාත්මක කතාවක් පෙම්වතිය සතුව තිබේ) ඉඩක ඇති එළිමහනක් සොයද්දී පරිසරය ද ඔවුනට අකාරුණික වෙයි. ඒ මහ වැස්සකට මැදිවීම නිසාවෙනි. වැස්ස තුරුල් වන තුරු සාප්පුවකට පිවිස ඇඳුම් තෝරන්නේ එබැවිනි. පෙම්වතිය නවීන විලාසිතාවෙන් යුතු ඇඳුම් කීපයකම ඇඟලා රංගන හමුවේ විලාසිතා රැඟුම් පාන්නේ ඔහුගේ හද සසල කරවමිනි. ඒ එක් ඇඳුමක් හෝ මිලදී ගෙන දීමට අතමිට සරු නැති අකාරුණික බව හේතුවෙනි. ඇඳුම් සියල්ල සාප්පුවේ තබා ඉන් පිටවන්නේ තුරල් වූ වැස්සට ස්තුති කරමින් වුවද, ප්‍රේම ගමනට බාධාවකි. තෙමුණු මෝටර් බයිසිකලය පණ ගැන්වෙන්නේ නැති නිසාවෙනි.

උද්‍යානයකට හෝ ගොස් ආදරයේ සුව විඳීම රංගංනගේ අහිංසක වූත් ප්‍රේමණීය වූත් ඊළඟ අපේක්ෂාව වෙයි. ආරක්ෂකයන්ගේ ඇල්ම බැල්ම ඊට ද හරස් වෙයි. පෙම්වතිය ගෙදරින් ගෙන ආ බත් පත බෙදාගෙන කෑමට සරසුණ ද ඊට ද ඇති වන්නේ බාධාවකි. සියලු අභියෝග හමුවේ 'කාමරයකට යමු' යන යෝජනාව රංගන ඉදිරිපත් කරයි. බියමුසු හැඟීමෙන් ඇවිටිලි නිසාම පෙම්වතිය යෝජනාවට අවසානයේ කැමති වෙයි. එහිදී ද ඔවුන් ලබන්නේ අපේක්ෂා භංගත්වයට පත් වන අමිහිරි අත්දැකීමකි. යළි ඔවුහු මහ මඟට පිවිසෙති. දෙදෙනාගේ මෝටර් බයිසිකල් ගමනට මෙවර හරස් වන්නේ රථවාහන පොලීසියයි. ඉන් මිදුණ ද රංගනට පෙම්වතියගේ (පෙර කී) අවසන් කතාවෙන් පසු පිළිතුරක් ලබා දෙන්නට නොහැකිව අසරණ අපරාජිත ප්‍රේමවන්තයෙකුගේ මානසිකත්වයට බඳුන් වෙයි.

තාරුණ්‍යයේ ජීවන ගැටලු අබිමුව රංගන 'සියල්ල ඔබට නැත' වැනි සීමාවක මැදිව සිටියි. තම මිතුරන් සමග වාදන පුහුණුවට ද ඉඩක් නැත. සීමාවන්ය. රංගනගේ දුප්පත් මවගෙන් මුදලක් ඉල්ලා ගන්නට ද ඉඩක් නැත. අවසානයේදී සිය මවගේ රන් මාලය උකස් කර මුදලක් ලබා ගත්ත ද අපේක්ෂිත මුදල ලැබෙන්නේ ද නැත. හැමවිටම 'සියල්ල නැත' යන තහවුරුව ඔහු අසලම සෙවණැල්ලක් මෙන් අසරණව ගැවසෙයි.

පෙම්වතිය හා ඔහුගේ ප්‍රේමාලාප ප්‍රේමාන්විතය. විටෙක කර්කශය. මන්ද පෙම්වතියගේ පාර්ශවයෙන් රංගනට තැනක් නොමැත. ඇයට කිසි දින රංගන හා විවාහ වීමට අවස්ථාවක් නැති තරමට දෙපාර්ශවය අතර සීමාවන් දුරස්ථ බව ප්‍රකාශිතය. දිනෙක සිදුවන සිද්ධිදාමය තුළ මුල සහ අග අතර සබඳතාව කතන්දර සීමාවෙන් ඔබ්බට ගිය සැඟවුණු අරුතක්, අනපේක්ෂිත බේදයක් මවාපායි. වැරදී හඳුනාගැනීමක ගොදුරක් ලෙස රංගන නිහඬ වන්නේ මෝටර් බයිසිකලය ද අහිමි කර ගනිමිනි.

තරුණ පරපුරේ ජීවන අත්දැකීමක් අපූරු මානයකින් දිග හැරෙන මෙම සිනමා කෘතියේ තිර නාටකය ප්‍රබල භාෂාමය අත්දැකීමකි. සෝප් රංගන ශිල්පීන් මෙහි නැත. රංගන (දසුන් පතිරණ) සැබෑම රංගන කාර්යයක් සඳහා සිය දායකත්වය උපරිමයෙන් හැඟිමෙන් ලබා දී සිනමා කෘතිය පෝෂණය කරවයි. ටානියා නමින් පෙම්වතියගේ රංගනය සමනලී ෆොන්සේකා ගෙනි. ඇගේ වචන භාවිතාව මුහුණෙහි හැඟීම් පිරි ඉතිරී දෝර ගලන ඉඟි බිඟි චලන හසුරුතා තාරුණ්‍යයේ පිරිපුන් වපසරිය මොනවට කියාපායි. එය අපූරුතම කුසලතා නිරූපණයකි. මෙහි කතන්දරයක් නැති තරම්ය. ඇත්තේ විකසිත තාරුණ්‍යයේ රූපමය අවකාශයයි. එහි අරුත් ප්‍රකාශන රීතියෙහිලා අර්ථාන්විතය.

ප්‍රේමණීය රූපන නිර්මාණාත්මකය. සුන්දරත්වය අසුන්දරත්වය අතර දෝලනය වන ප්‍රේමණීය නිර්මාණය සිංහල සිනමාවට ආකර්ෂණීය භාවිතාවකි. අපූර්ව හැඟීම් සමුදායන් රැසක් සිනමා කෘතිය තුළ ගැබ්ව තිබේ. ධර්මසේන පතිරාජ (අහස් ගව්ව) සහ සුගතපාල සෙනරත් යාපා (හන්තානේ කතාව) ආදී ප්‍රශස්ත සිනමාවේදීන් අතීතයේ කතා කළ කළු සුදු තුරුණු ප්‍රශ්න තුළින් කළ ප්‍රේ්මණීය භාවිතාවන් යළි අරුත් ගැන්වීමකැයි සිතෙන තරමටත් එහා ගිය ප්‍රබල බවත් මෙහි අන්තර්ගතය. සමිර රංගන නාඔටුන්නට මෙහි සියලු බුහුමන් හිමිවේ. ඔහුගේ කුලුඳුල් නිර්මාණ භාවිතාව සැබැවින් පැසසුම් කටයුතුය. සමස්ත සමාජයේ අද වන විට වුව ද ව්‍යාකූලව තිබෙන තුරුණු යෞවනයේ ප්‍රේමණීය ඛේදවාචකයන්හි විවිධමාන අදත් හෙටත් අප වටා සදාකල්හි රැඳී පවතී.

සිත් රිදුම් දෙන අරුත් ඇති තරුණ පරපුරේ සුන්දර ප්‍රේමණීයත්වය වටා බැඳුණු මෙහි සෙසු චරිත තුළින් වුව ද නැඟෙන්නේ සිනමා කෘතියට පුසුඹකි. මවගේ චරිතයට පණ පොවන වීණා ජයකොඩි, කුමාර තිරිමාන්න (ත්‍රීරෝද රථ රියදුරා), මහේන්ද්‍ර පෙරේරා (මංජු) ආදීන්ගේ රංගන භාවිතාව සැබෑම රූපමය ආලෝකයකි. තාත්ත්වික අංග චලන, රූපන ඉරියව්, වාගාලාප ඒ අතරේ ඒවා කැපී පෙනේ. කැමරාකරණය (විශ්වජිත් කරුණාරත්න) සහ සංගීතය (අජිත් කුමාරසිරි) තුළ අඩු වැඩි වශයෙන් සිනමා කෘතියට අපූරු කළඑළියක් ලබාදී තිබේ. පුද්ගලබද්ධ වූ සමීප රූප, තුරුණු ජවයට උරුම සංගීත භාවිතාවන් එක්කර තිබීම කැපී පෙනෙයි. වීදි නර්තන, ෆැන්ටසි ගායනාව හා බැඳුණු නර්තනාංගය අපූරු හරයක් සිනමා කෘතියට දායාද කරවයි.

'විඳිය යුතු කළ විඳිය යුතුය' යන භාෂිතය අරුත් ගැන්වෙන, බාධාවක් මගින් කුළුගැන්වෙන කතා කලාවෙන් ඔබ්බට ගිය රූපමය රංගන භාවිතාවන් මුසු වූ නව පරපුරේ සිනමා අත්දකීමක අරුණැල්ලක් 'මෝටර් බයිසිකල්' සිනමා කෘතියේ සමස්තය පුරාවටම රැඳී පැවතීම පැසසුම් කටයුතුය.

2015 වර්ෂයේ කොල්කටා ජාත්‍යන්තර සිනමා උලෙළ සහ 2015 සාර්ක් ජාත්‍යන්තර සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය ඇතුළු නියෝජනයන් රැසකින් පිදුම් ලැබූ 'මෝටර් බයිසිකල්' සෙසු නව පරපුරේ අධ්‍යක්ෂවරුන්ට සැබැවින්ම නව කියැවීමක් ද වනු නිසැකය.


‘රොමාන්තික ප්‍රේම ගී සන්ධ්‍යාව’ 08 වැනිදා ගම්පහදී

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 94’ වැනි කණ්ඩායම ඉදිරිපත් කරනු ලබන ස්වර සමාධි පස්වෙනි අධියර මෙම මස 08 වැනිදා සවස 7.00 ට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ශාලාවේදී පැවැත්වේ. ‘රොමාන්තික ප්‍රේම ගී සන්ධ්‍යාව’ නමින් නම් කොට ඇති මෙම ප්‍රසංගය ලක්ෂ්මන් විජේසේකර, නිර්මලා රණතුංග ගේ මියුරු ගායනයෙන් වර්ණවත් වෙති. ප්‍රවීණ ගුවන් විදුලි වාද්‍ය ශිල්පීන් සමඟින් දිනේෂ් හේවගේ සංගීත අධ්‍යක්ෂණයෙන් විචිත්‍රවත් වන රොමාන්තික ප්‍රේම ගී සන්ධ්‍යාව චමින්ද විජේසිංහගේ කථනයෙන් හැඩ වේ


සැබෑ මංගල තෑග්ග තෝරා ගත්තා

- මල්ලිකා වීරසේකර

සිද්ධාලේප වෙද මහතෙකි ඔබෙ ගෙදර, සියලුම වේදනා කැක්කුම් යයි පැහැර, වා පිත් සෙම් ද සමනය කර දෙන මිහිර, සිද්ධාලේප ඔසුවකි සනසන සිරුර.

මේ වෙළඳ දැන්වීම ඔබට මතකද? එය එදා බොහෝ දෙනාගේ මුව රැඳුණු කවියක් වුණා. එහෙම මතක ඔබට ඇය අමතක වෙන්න බැහැ.

රංගන ශිල්පිනී මල්ලිකා වීරසේකර ප්‍රථමයෙන්ම රසික සිත් සතන්වලට ඇතුළු වුණේ මේ වෙළඳ දැන්වීමෙන්.

ඉන් පසු විවාහයත් සමඟම ඇගේ රංගනය අතරමඟ නතර වුණා. ඒ කාලසීමාව තමන්ගේ පවුල වෙනුවෙන් උපරිම කැපවීම සිදුකර ඇයට තම රංගන හැකියාවන් යළි කරළියට ගෙන එන්න ආදරණීය සැමියාගෙන්ම ඇරැයුම් ලැබිලා. ඒ ගැන ඇය සරසවිය පුවත්පතට මෙවන් අදහස් පළ කළා.

සිද්ධාලේප වෙළඳ දැන්වීමෙන් පසු නීතියයි රූමතියයි, ඔබට දිව්රා කියන්නම් ආදී චිත්‍රපටවලට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා.

ගුවන් විදුලි සංස්ථාවේදී පියදාස වඩුගේ මහතාගේ හඳුනා ගැනීම නිසයි මේ අවස්ථාවන් උදා වුණේ.

නමුත් 'මංගල තෑග්ග' චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව සඳහා ඇරැයුම් ලැබීමයි, මගේ සැමියාගේ මුණ ගැසීමයි එකම අවස්ථාවේ සිදු වුණු නිසා මට විවාහය හෝ චිත්‍රපටය තෝරා ගත යුතු වුණා. මා එහි රඟපානවාට සැමියාගේ තිබුණු බලවත් අකමැත්තයි ඊට හේතු වුණේ.

එදා පටන් දරුවන් දෙදෙනා උස් මහත් වනතුරු පවුල වෙනුවෙන් කැප වී කටයුතු කළා.

මා යළිත් කලාවට සම්බන්ධ වුණේ සරත් ධර්මසිරිගේ බණ්ඩාර දෙවියෝ ටෙලි නාට්‍යයත් සමඟයි.

පවුලේ ආශිර්වාදය ද සමඟින් දැන් පුළුවන් කල් කලාවට සම්බන්ධ වී කටයුතු කරන්න සූදානම්.