වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




නම නිර්දේශ වෙලා කියලා කිව්වේ මාලිනී අක්කා

නම නිර්දේශ වෙලා කියලා කිව්වේ මාලිනී අක්කා

දමයන්ති ෆොන්සේකා

 

නවක නළු නිළි පරපුරක් සිංහල සිනමාවට හඳුන්වා දීමේ මෙහෙවරෙහි සුවිශාල දායකත්වයක් සරසවිය සම්මාන උලෙළට හිමි වෙනවා. 1987 වසරේදී මේ අලුත් නළු නිළි පරපුරට ජනප්‍රිය නවක නිළිය එක් වූවා. ඇය දමයන්ති ෆොන්සේකා. ළමා නිළියක් ලෙසින් රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය යොවුන් නිළියක ලෙසින් හඳුන්වා දුන්නේ ද සරසවිය පුවත්පත වීම විශේෂයි. ළමා නිළියක ලෙසින් ‘මඩොල් දූව’ ඇතුළුව චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වූ ඇය සිය යොවුන් වියේ සිනමා ගමන ආරම්භ කරන්නේ ‘කිරිමදු වැල්’, ‘චතු මධුර’, ‘දොළොස් මහේ පහන’ වැනි චිත්‍රපටවලට දායක වෙමින්.

ඔබ එදා ජනප්‍රියම නැඟී එන නිළිය ලෙසින් පිදුම් ලැබූ දවස මතකද?

මම පුංචි කාලයේ පටන්ම සරසවිය සම්මාන උලෙළවලට සහභාගි වෙලා තිබුණා. නමුත් අසූව දශකයේ අගභාගය වෙනකොට මමත් චිත්‍රපට කිහිපයකට දායක වෙලා තිබුණේ. එදා සරසවිය සම්මාන උලෙළේ ජනප්‍රියම නැඟි එන නිළිය සම්මානය වෙනුවෙන් මගේ නම නිර්දේශ වෙලා තියෙන බව මට කිව්වේ මාලිනි අක්කා. එතකොට මම ‘රන්මසු උයන’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට අනුරාධපුරේ ගිහින් හිටියේ. ඒත් එක්කම සරසවිය සම්මාන උලෙළ දවසටම මට රූගත කිරීම් යෙදිලා තිබුණා. නමුත් එදා සරසවිය සම්මාන උලෙළට එන්න අවස්ථාව සළසා දුන්නේ ඩග්ලස් රණසිංහ මහත්මයා සහ සහය අධ්‍යක්ෂවරයා වුණු වසන්ත කුලතුංග යි. ඒ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාටම විශේෂයෙන් ස්තූති කළ යුතුයි. මොකද ඔවුන් රූගත කිරීම් වෙනස් කරලා මට ඒ අවස්ථාව සලසා දුන්නේ නැතිනම් එදා සරසවිය සම්මාන උලෙළේදී මගේ දෑතින්ම සම්මානය ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.

ඒ වෙනකොට මම වේදිකා නාට්‍ය වගේම ටෙලි නාට්‍යවලට දායක වෙලා හිටියත් සම්මාන ලැබිලා තිබුණෙත් නැහැ. නිර්දේශ අතරට එක්වෙලා තිබුණත් මට සම්මානයක් ලැබේවි කියලාත් මම හිතුවේ නැහැ. ඒ වුණත් මා රංගන ක්ෂේත්‍රයට හඳුන්වා දුන් සරසවියම ජනප්‍රිය නැඟීඑන නිළියට හිමි සම්මානය පිරිනැමීම මට විශේෂයක් වුණා. ඒක මගේ ජීවිතයට ගොඩක් වටිනා අවස්ථාවක් බවට පත් වුණා.

ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයක් වුණත් සම්මානය අතට ගත්තේ දුර ගමනකින් පසුව නේද?

මට අනුරාධපුරේ සිට කොළඹට එන්න පිටත් වුණේ සරසවිය සම්මාන උලෙළ පැවති දවසේ උදේ පාන්දර. මොකද කලින් දවසේ රෑ වෙනකල්ම මට රූගත කිරීම් යෙදිලා තිබුණා. දැන් වගේ ඉක්මනට එන්න පහසුකම් තිබුණේ නැහැනේ. උදේ පාන්දරම පිටත් වුණු ඒ ගමනට පැය ගාණක් ගත වුණා. ඇඳගෙන යන්න අලුත්ම ඇඳුම් සූදානම් කළේ මාලිනි අක්කා. කොළඹට ආවාම ලොකු මහන්සියක් දැනුණා. සම්මාන උලෙළලට යනකොටත් මගේ මුහුණෙන් ඒ මහන්සිය පෙණුනා. ඒත් සරසවිය සම්මානය අතට ගත්තාම ඒ මහන්සිය කොහේ ගියාද දන්නේ නැහැ.

නිළි රැජන මාලිනි අක්කා මීට පෙර අවස්ථාවලදී සරසවිය සම්මානයන්ගෙන් පිදුම් ලබන විට ඔබත් ඒ වගේ හීනයක් දකින්න ඇති?

මම මීට පෙර සරසවිය සම්මාන උලෙළවලට ගියේ මාලිනි අක්කා එක්ක. බොහෝ සම්මාන උලෙළවලදී ඇය සම්මානනීය වෙනවා මම බලාගෙන හිටියේ හරිම ආසාවෙන්. ඒ වුණත් ඒ සම්මාන උලෙළේදීම මමත් කවදා හරි සම්මානයක් ගන්නවා කියලා නම් හීනයක්වත් තිබුණේ නැහැ. නමුත් සෑහෙන කාලයක් නිතර නිතර යම් දෙයක් තුළ ගැවසෙන විට ඒ තුළින් යම් බලපෑමක් විය හැකි බව මගේ විශ්වාසය යි. කුඩා කාලයේ පටන්ම සිනමා ආභාෂය අපේ නිවෙස තුළ තිබුණාට මමත් පූර්ණ කාලීනව රංගනයේ නිරත වෙනවා කියලාවත් අදහසක් තිබුණේ නැහැ. මම 1983 වසරේදී අමෙරිකාවටත් ඊට පස්සේ එංගලන්තයටත් ගියේ ඉගෙන ගෙන රැකියාවක් කරන්න. ආයෙමත් ලංකාවට පැමිණි පසුව තමයි රංගනයට ආරාධනා ලැබුණේ. ඒ වෙනකොටත් රංගන ක්ශේත්‍රයෙන් ඉදිරියට යන්න ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි එදා සරසවිය සම්මානයෙන් පිදුම් ලැබුවාට පසුව නම් රංගන ජීවිතයට සමු නොදෙන්න තීරණය කළා.

එයින් වසර කිහිපයකට පසුව නැවත වරක් ඔබ තවත් සරසවිය සම්මානයකින් පිදුම් ලබනවා නේද?

1993 වසරේ මගේ අයියා (ආනන්ද ෆොන්සේකා) අධ්‍යක්ෂණය කළ ‘උමයංගනා’ චිත්‍රපටයේ රංගන වෙනුවෙන් මට විශේෂ කුසලතා සම්මානයක් හිමි වුණා. නමුත් එහි ඊට වඩා විශේෂයක් තියෙනවා. එවර සරසවිය සම්මාන උලෙළේදී හොඳම නිළියට හිමි සම්මානය වෙනුවෙන් වූ නිර්දේශිත නාම අතරත් මගේ නම තිබුණා. ඒකත් මට විශාල සතුටක් වුණා. ඒ සම්මානය නොලැබුණත් විශේෂ කුසලතා සම්මානයක් මවෙත පිරිනැමුණේ මගේ රංගනය ඇගයිය යුතු නිසා වෙන්න ඇති.

වේදිකාව වගේම ටෙලි ක්ෂේත්‍රයේත් දායකත්වයත් සමඟින් ඔබට සිනමාව තුළ වෙනසක් දැනුණේ නැතිද?

මගේ අදහස නම් රංගනයේදී මේ ක්ෂේත්‍ර තුනෙන් එකකවත් වෙන්කළ හැකි ලොකු වෙනසක් නැති බවයි. ඒක වෙනස් වෙන්නේ තාක්ෂණයෙන්. ඒ තුළ ප්‍රබල විය යුත්තේ කතාන්දරයි. වේදිකාවේත්, සිනමාවේත්, ටෙලිවිෂනයේත් විතරක් නෙවෙයි නවකතා කෙටිකතා ඇතුළුව සාහිත්‍යයේත් කතාන්දරය ප්‍රබල විය යුතුයි. මොකද ඒ කතාව තමයි තාක්ෂණය සමඟින් නළු නිළියන් හරහා අධ්‍යක්ෂවරයා විසින් එළියට දමන්නේ. ඇත්තටම මට දැනෙන වෙනස එය යි.

සිනමා ගමන තුළ නිළි රැජන මාලිනිය ඔබේ සහෝදරිය ලෙසින් මොනවගේ උපදේශයක්ද දුන්නේ?

ක්ෂේත්‍රයට එන විටම ඇය මට කියූ එකම දෙය වුණේ කරන දේ හරියට කරන්න කියලායි. කැපවීම, නිහතමානිකම අනෙක් සහෝදර ශිල්පීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වගේ දේවල් මම ඇය දෙස බලාගෙන ඉගෙන ගත්තා. ඒ වගේම ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, ආචාර්ය තිස්ස අබේසේකර, වසන්ත ඔබේසේකර වැනි ජ්‍යෙෂ්ඨයන්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ඉන් පසු නව පරපුරේ සුදත් රෝහණගේ සිට උපාලි ගම්ලත් දක්වා නිර්මාණකරුවන් සමඟ මම වැඩකරලා තියෙනවා. ඒ නිර්මාණ කාර්යයන් පුරාවටත් හොඳ දේ ඉගෙන ගත්තා.

සරසවිය සම්මාන ද්විත්වයකුත් සමඟින් අද දක්වා පැමිණි සිනමා ගමන ගැන මොකද හිතෙන්නේ?

මට මගේ ජීවිතයේ ප්‍රථම සම්මානය විදියට සරසවිය සම්මානය ලැබුණ දවසේ මම වෘත්තීය නිළියක් කියන සිතුවිල්ල මගේ හිතට ආවා. ඒ කාලයේ මට වේදිකාව, ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවලත් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. මේ ගමනේදි මගේ අම්මා වගේම අක්තා මාලිනිගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. කට්ට කාපු අවස්ථාත් නැතුව නෙවෙයි. ඒ අත්දැකීම් නිසා උඩින් වැටුන කෙනෙක් නොවී මෙතන තියෙන අගය දැකලා අද මෙතනට ආපු එක ගැන සතුටුයි.

ඒ වගේම කලා ක්ෂේත්‍රය කියන්නේ ප්‍රේක්ෂකයන් රැසකගේ ආදරය ගෞරවය නොමඳව ලැබෙන ක්ෂේත්‍රයක්. ඒ දේවල් කෝටි ගාණක් දීලාවත් කාටවත් ගන්න බැහැ. ඒ ආදරය ලැබෙන්නේ අපේ දක්ෂතාවලට වගේම අපි ප්‍රේක්ෂකයන් සමඟින් ගනුදෙනු කරන විදියටයි. ඒ වගේම නිර්මාණවලටත් අපි ඒ ගෞරවය ආදරය ලබාදිය යුතුයි. සිනමාවේ මම දායක වෙලා තියෙන්නේ අතේ ඇඟිලි ගණනට හා සමාන නිර්මාණ ගණනකට වෙන්න පුළුවන්. නමුත් කළ චරිත දිහා බලනවිට ගොඩක් සතුටුයි. මේ ගමනේ ආරම්භයට මාව හඳුන්වාදීලා සම්මානයකුත් පිරිනමා සරසවිය කළ අගය කිරීම වගේම ලබා දුන් ධෛර්යය ගොඩක් වටිනවා.