වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

අර්ජුන්ගේ අර්ධ පෙම්වතිය

චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර්ගේ පුත් අර්ජුන් කපූර් සහ කරීනා කපූර් රංගනයෙන් දායක වූ මෑතකදී තිරගත වුණු ‘කා ඇන්ඩ් කී’ චිත්‍රපටය මේ වන විට ඉහළ වාණිජ සාර්ථකත්වයක් හිමිකර ගෙන තිබෙනවා. අර්ජුන්ගේ මීළඟ චිත්‍රපටය Half Girlfrien(අර්ධ ආදරවන්තිය) නම් වෙනවා. මොහිත් සූරි අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ශ්‍රද්ධා කපූර් ප්‍රධාන නිළි චරිතය රඟ දක්වනවා. අර්ජුන් පණ පොවන්නේ බිහාර් ප්‍රදේශයෙන් පැමිණි කරුණයෙකුගේ චරිතයක්.

““Half Girlfriend  චිත්‍රපටයේ රඟ දැක්වීමත් ආශ්චර්යවත් අත්දැකීමක්. මොහිත්, ශ්‍රද්ධා ඇතුළු පිරිස සමඟ වැඩ කිරීමට ලැබීම මට සතුටක්” අර්ජුන් පවසනවා. මෙම චිත්‍රපටයේ රංගනය අර්ජුන්ට හැඟුම්බරව කරන්න සිදුවෙලා. ඔහු පවසන්නේ මේ චිත්‍රපටය පුරාවට නිර්මාණ කණ්ඩායම ලද සතුට එය නැරඹීමෙන් ප්‍රේක්ෂකයන්ටද ලැබෙනු ඇති බවයි.

කාජල් FB සමඟින්

Facebook හෙවත් මුහුණු පොතේ දැන් නැති කෙනෙක් නැති තරම්. හැබැයි ඉතිං තරු තොරතුරු දන්න ඇතැම් අය ව්‍යාජ ගිණුම් පවා නිර්මාණය කරලා. ඇත්ත මොකද බොරු මොකක්ද කියලා හිතා ගන්නත් බැහැ. ඔන්න කාජලුත් දැන් Facebook  සමඟින් එක් වෙලා.

කාජල් ආදරණිය සැමියා අජේ සමගින් ඔහුගේ නවතම චිත්‍රපට අධ්‍යක්ෂණය වන ‘ශිවායි’ හි ප්‍රචාරක වැඩසටහනක් වෙනුවෙන් අමෙරිකාවේ සංචාරයක නිරත වුණා. ඒ අතරතුරේ සැන්ෆ්‍රැන්සිස්කෝ හි පිහිටා තියෙන Facebook  කාර්යාලයට යන්නත් අමතක කළේ නැහැ. එහි ගිය කාජල් නිල ප්‍රකාශනයකින් අනතුරුව තමයි මුහුණු පොතේ තම නමින් ගිණුමක් ආරම්භ කළේ.

කාජල් එයට මුලින්ම ඇතුළත් කළේ වීඩියෝවක්. ඒත් එක්කම ඇය සිය මව පැරණි නිළි තනූජාගේ උපන්දිනයට සුබ පැතුමකුත් එයට ඇතුළත් කළා. Facebook  කාර්යාලයෙන් පැමිණි අජේ නම් කිව්වේ මෙහෙම දෙයක්. “ලෝකය පුරා ගොඩක් ඉන්දියානුවන් තම දක්ෂතා පෙන්වන එක ගැන මට හරිම ආඩම්බරයි.”

ලගාන් - ජයග්‍රහණයේ සතුට

අමීර් ඛාන් රංගනයෙන් දායක වුණු ‘ලගාන්’ චිත්‍රපටය දෙස් විදෙස් රටවල රසික රසිකාවන් අතරේ බොහෝ ජනප්‍රිය වූවක්. බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ බදු බරින් නිදහස් වීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයන් සහ ස්වදේශිකයන් අතර ක්‍රිකට් තරගයක් පැවැත්වීම එහි කතාව ගෙන එනවා. ඩුබායිහි පිහිටි බොලිවුඩ් පාර්ක් නම් සැණකෙළි භූමියේ ‘ලගාන්’ චිත්‍රපටය පාදක කරගෙන සැණකෙළි අංගයක් නිර්මාණය වෙලා. අමීර් බොලිවුඩ් පාර්ක් සමඟින් එක්වයි මෙය පැවැත්වෙන්නේ. එහි නම ‘ලගාන් : ත්‍රිල් ඔෆ් වික්ටරි’ (ලගාන් : ජයග්‍රහණයේ සතුට) නම් වෙනවා.

අමීර් ‘ග්ලෝබල් සිටිසන් ඉන්දියා’ නම් නායකත්ව පුහුණු වැඩසටහනේ මෙන්ම යුනිසෙෆ් ආයතනයට සම්බන්ධ පෝෂණ ඌණතා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකත් තානාපතිවරයෙකු වශයෙන් ක්‍රියා කරනවා. ලබන නොවැම්බර් මාසයේදී ‘ග්ලෝබල් සිටිසන් ඉන්දියා’ නමින් පුළුල් නායකත්ව පුහුණු වැඩසටහනක් දියත් කිරීමටත් නියමිතයි. අමීර් මේ වෙනුවෙන් Be the change you want to be  මැයෙන් දේශනයකුත් ඉදිරිපත් කලා.

ඉර්ෆාන් නිසා පරිනීති තිගැස්සිලා

පරිනීති චොප්රාත් දැන් බොලිවුඩයේ ආකර්ශනීය චරිතයක් බවට පත් වෙලා. ඔන්න දැන් පරිනීතිට තවත් අලුත් චිත්‍රපටයකට ආරාධනා ලැබිලා. ඒ වෙනුවෙන් දායක වෙන්න ඇය ලොකු ආසාවකින් ඉන්නවා කියලත් බොලිවුඩයෙන් ආරංචි වෙනවා. ඉර්ෆාන් ඛාන් මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරනවා. පරිනීති චොප්රාට, ඉර්ෆාන් ඛාන් සමඟින් රඟපාන්න ලැබෙන්නේ ප්‍රථම වතාවටයි. හෝමි අඩජානියාගේ Takadum  චිත්‍රපටයේදී තමයි පරිනීතිට ඉර්ෆාන් හමුවෙන්නේ.

හැබැයි ඉතින් පරිනීති ඒ ගැන පොඩි තිගැස්මකින් ඉන්නවා කියලත් බොලිවුඩයෙන් ආරංචි වෙනවා. ඒ වගේම ඉර්ෆාන් සමඟින් රඟපාන්න ලැබීම ගැන ලොකු සතුටකුත් ඇගේ හිතේ ඇති වෙලා. “ඉර්ෆාන් ඛාන් කියන්නේ ලෝකයම පිළිගත් නළුවෙක්. ඔහුගේ දක්ෂතා ගැන ලෝකයම කතා වෙනවා. ඒ නිසා මට මේ අවස්ථාව ගොඩක් වටිනවා. ඒ විතරක් නෙවෙයි මම ඒ වෙනුවෙන් මහන්සි වී වැඩ කරනවා. මොකද ඔහු මහන්සි වී වැඩ කරන්න උනන්දු කරවන නළුවෙක්” පරිනීති ඉර්ෆාන් සමඟින් රංගන වරම් ලැබීම ගැන කියන්නේ එලෙසින්. මේ චිත්‍රපටයේ දී පරිනීතිට සුෂාන්ත් සිං රාජ්පුත් සමගිනුත් රඟපාන්න අවස්ථාව ලැබෙනවා. ඒ අවුරුදු තුනකට පසුවයි.

දුකේදී පැමිණි මිතුරා

කරන් ජොහාර් දීවාලි උත්සවය වෙනුවෙන් නිකුත් කරන්න බලාපොරොත්තු වන Ae Dil Hai Mushkil චිත්‍රපටයට දැන් පොඩි කරදරයක් ඇවිත්. මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ එක්තරා සංවිධානයක් විසින් චිත්‍රපටය තහනම් කරන ලෙසින් කරන බලපෑම්. එහි පකිස්තානු නළු ෆාවද් ඛාන්ගේ චරිතය ඉවත් නොකරන්නේ නම් චිත්‍රපටය පෙන්වීමට ඉඩ නොතබන බවට මේ සංවිධානය අනතුරු අඟවනවා.

එම්එන්එස් නම් දේශපාලන පක්ෂය විසින් කරන්ගේ චිත්‍රපටයට මේ විදියට බාධා කරන්නේ පසුගියදා කාශ්මීරයේ වෙසෙන ඉන්දියානුවන්ට එල්ල වූ ප්‍රහාරය නිසා. ඒ වගේම පැය හතලිස් අටක් ඇතුළත සියලුම පකිස්තාන නළුවන්ට ඉන්දියාවෙන් පිටත්ව යන ලෙසත් මේ සංවිධානය දන්වා සිටියා.

මේ ප්‍රශ්නයේදී කරන්ට උදව් කරන්න පැමිණියේ සල්මන් ඛාන්. එම්එන්එස් හි ප්‍රධානි රාජ් තැකර්හට කතාකරමින් සල්මන් ඉල්ලා සිට ඇත්තේ Ae Dil Hai Mushkil,Raees වැනි චිත්‍රපට කරදරයක් නැතුව නිකුත් කරන්න ඉඩ දෙන ලෙසයි. හැබැයි ඉතින් බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ සල්මන් කියන්නේ කරන්ගේ එතරම් කුළුපග මිතුරෙකුත් නෙවෙයි කියලයි. කොහොම වුණත් මේ ප්‍රශ්නයත් සමඟින් දෙදෙනා අතරේ හොඳ බැඳීමක් ඇති වෙලා තියෙන බව නම් පේනවා.

Ae Dil Hai Mushkil  චිත්‍රපටයේ රන්බීර් කපූර්, ඓෂිවර්යා රායි, අනුෂ්කා ෂර්මා, ෆාවද් ඛාන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මීට පෙර රන්බීර් සහ ඓෂ්ගේ සිප ගැනීමේ දර්ශනයක් නිසා චිත්‍රපටයට බච්චන් පවුලෙන් විරෝධයක් මතු වුණු බවට රාවයකුත් පැතිරුණා.