වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




නිර්මාණයේ ගුණාත්මක බවයි මට වැදගත්

නෙලූ ලයිව් ඉන් කොන්සර්ට් B.M.I.C.H  හිදී

‘සරත වසන්තය’ සංයුක්ත තැටියත් එදින එළිදැක්වේ

නිර්මාණයේ ගුණාත්මක බවයි මට වැදගත්

නෙලූ අධිකාරි

මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික ගායන ශෛලියක් ගොඩ නඟා ගනිමින් සුභාවිතයේ ප්‍රගමනය වෙනුවෙන් කලා ශිල්පිණියක වශයෙන් තම යුතුකම් කොටස මැනවින් තේරුම්ගෙන කටයුතු කළ ගායන ශිල්පිණියක ලෙසින් නෙලූ අධිකාරී හැඳින්වීම යුක්ති යුක්තය. රැළි පිට රැළි පෙරළෙමින් සංගීත ක්ෂේත්‍රය උඩු යටිකුරු වෙත්දී, ඉල්ලුමට සැපයුම න්‍යාය පදනම් කොට ගෙන කලාව ආර්ථිකකරණය කරන්නට උත්සාහ දරන බොහෝ දෙනා අතර ඇය නිහඬ ගමනක යෙදෙන්නීය. සද්ද බද්දයක් නැති ඒ නිහඬ ගමන ගැඹුරුය. අර්ථාන්විතය. කාලයක් ගත වුවත් ආපස්සට හැරෙද්දී කම්පාවන්ට කිසිදු කාරණාවක් නැත්තේය. ඈ මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද කරනු ලැබුවේ සැමදා රස විඳිය හැකි නිර්මාණයන්ය. පුරා වසර ගණනාවක් කලබලයකින් තොරව එක් රැස් කරගන්නා ලද මෙම නිර්මාණ මෙරට ගීත ශ්‍රාවක සිත් තුළ විඳීමේ කලාව ඇති කරන්නට සමත් වූයේය. ගායිකාවක වශයෙන් ගීත ශ්‍රාවකයින්ගේ රසාස්වාදය මොට නොකරමින් රස වින්දනය තීව්‍ර කිරීමේ අභිප්‍රාය තම නිර්මාණ ඇසුරින් ලබා දෙන්නට ඈ උත්සාහ කළාය.

මේ දිනවල ඈ සූදානම් වනුයේ සිය ඒක පුද්ගල ප්‍රසංගය කළඑළි දක්වීමේ සුබ මුහුර්තිය වෙනුවෙනි. අද අපේ කතාබහ ඒ නිමිත්තෙනි.

ඔබේ ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංගය අත ළඟ. මේ ප්‍රසංගයේ අරමුණ කුමක්ද?

ක්ෂේත්‍රයට ඇවිත් පුරා වසර 15 ක් ගතවෙලා තිබෙනවා. ඒ සා දීර්ඝ කාලයක් මේ ප්‍රසංගය කරන්න මම බලාගෙන හිටියා. 'නෙලූ ලයිව් ඉන් කොන්සර්ට්' නමින් තමයි මේ ප්‍රසංගය නම් කරලා තිබෙන්නේ. ඔක්තෝබර් 09 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පස්වරු 6.30 ට පැවැත්වෙනවා. සංගීත ප්‍රසංගයට සමගාමීව මගේ නවතම ගීත ඇතුළත් සංයුක්ත තැටියක් සහ ළමා ගීත ඇතුළත් සංයුක්ත තැටියක් එළි දැක්වෙනවා. ප්‍රසංගයේ සංගීත නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙන්. කථනය බන්දුල නානායක්කාරවසම්ගෙන්. නර්තන නිර්මාණය චන්න විජේවර්ධනගෙන්. යුග ගායනය සඳහා වික්ටර් රත්නායකයන්, අමල් පෙරේරා, කීර්ති පැස්කුවල්, දයාන් විතාරණ, අතුල අධිකාරී, කපිල පූගලආරච්චි, අමරසිරි පීරිස් එකතු වෙනවා.

ප්‍රසංගයට සමගාමීව සංයුක්ත තැටි ද්විත්වයක් නිකුත් වෙනවා. අපි ඒ ගැන කතා කරමු?

සංයුක්ත තැටි ද්විත්වයෙන් 'සරත වසන්තය' නමින් නිකුත් වෙන්නේ මගේ නවතම ගීත 15 ක් ඇතුළත් සංයුක්ත තැටියක්. මේ තැටියට මේ දිනවල නාළිකාලින් ඇසෙන සරත වසන්තය, හීන වස්සානේ ඇතුළු ගීත අඩංගුයි. මෙරට ප්‍රවීණ ගීත රචකයින් සේම නවක ගීත රචකයන් මේ සඳහා ගීත රචනයෙන් දායක වී තිබෙනවා. එසේම ප්‍රවීණ සංගීතඥයන් සේම නවක සංගීතඥයන් ද මේ සඳහා සංගීත නිර්මාණයෙන් එක් වී තිබෙනවා. ළමා ගීත තැටිය එළි දැක්වෙන්නේ 'ඉර හඳ තරු' නමින්. ගුරුවරියක් විිදියට කටයුතු කරන මගේ ජීවිතය තුළ ළමයින්ට හිමිවෙන්නෙ' සුවිශේෂී තැනක්. මේ රටේ සමස්ත දරු පරපුර වෙනුවෙන්මයි ළමා ගීත එකතුව කළේ.

වර්තමානය වන විට සංයුක්ත තැටි නිකුත් කිරීම ක්ෂේත්‍රයෙන් දුරස්ථව ගිහින් තියෙනවා. ර්භඵඪජ ඍඪඤඪධ වැනි වෙනත් විකල්ප ක්‍රම ඒ වෙනුවට ඇවිත් තිබෙනවා නේද?

කලා ශිල්පිණියක් වශයෙන් පමණක් නොව ගුරුවරියක් වශයෙන් ද මට ලොකු සමාජ වගකීමක් හා යුතුකමක් තිබෙනවා සමාජයට නිවැරැදි දේ දෙන්න. එතැනදි කාලයේ තාලයට ගැළපෙන්නේ මොකක්ද? අලුත් ඊපඥදඤ එක මොකක්ද, ඒකෙන් ලැබෙන ආර්ථිකමය වටිනාකම පිළිබඳ නෙවෙයි මගේ වැඩි අවධානය තිබිය යුත්තේ. මා විසින් සමාජයට මුදා හරින නිර්මාණයේ ගුණාත්මක බවයි වැදගත් වෙන්නේ. ගතවුණු අවුරුදු 15 ඇතුළතත් මම ඒ සමාජ මෙහෙවර කළා. මම විශ්වාස කරනවා විඳින්න පුළුවන් ගීත ටිකක් මම සමාජගත කරලා තිබෙනවා කියලා. මෙතනදි ආර්ථිකමය ලාභය ගැන නොවෙයි මගේ බලාපොරොත්තුව. අද කාලේ සංයුක්ත තැටියක් කරලා එහෙම දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක දැනගෙනම තමයි මේ වැඩේට බැස්සේ. මට වියදම් වුණු මුදලවත් මට හොයා ගන්න බැරි වේවි. ඒත් මම මේ රටේ ගීත ශ්‍රාවකයන් වෙනුවෙන් මේ රටේ ළමා පරපුර වෙනුවෙන් යමක් කරලා තිබෙනවා. මේ නිර්මාණ කරන්න ඊට දායක වුණු සහෝදර ශිල්පීන් බොහොමයක් සුවිශේෂී දායකත්වයක් පිරිනැමුවා. ඒ හැමෝම මේ මොහොතේ මතක් කරන්න ඕනෑ. අද අලුත් සංයුක්ත තැටිවලට ඉල්ලුමක්, වෙළෙඳපොලෙක් නෑ, නිෂ්පාදනය වෙන්නෙත් නෑ. ඒ වෙනුවෙන් වියදම් කරන්න කවුරුත් උත්සාහ ගන්නෙත් නෑ. මාධ්‍ය සමඟ එකතු වෙලා මේ ගීත රසිකයන් අතරට යවන්න පුළුවන් වුණොත් ඒ් ඇති.

ඔබේ නිවෙස තුළම ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙක් ඉන්දැද්දි ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය රෝහණ වීරසිංහයන් තෝරා ගැනීමේ සුවිශේෂිත්වය ඔබ දකින්නේ කොහොමද?

රෝහණ වීරසිංහයන් කියන්නේ මගේ සංගීත ජීවිතේ සුවිශේෂී කඩඉම සොයා දුන් අපූරු පුද්ගලයායි. ඔහු සතු දක්ෂතාවයට හැකියාවට ළංවෙන්න පුළුවන්කමක්, කෙනෙක් ඇති කියලා මට හිතන්න බෑ. රෝහණ වීරසිංහලා ඉන්නේ එක්කෙනයි. මගේ පළවෙනි ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂවරයා රෝහණ අයියා වීම මගේ වාසනාවක්, භාග්‍යයක් වගේම ඒක මට සුවිශාල ගෞරවයකට කාරණාවක්. මගේ ගායන ජීවිතේ මට වැඩිම ගී තනු සහ ජනප්‍රියම ගී තනු නිර්මාණය කරලා තිබෙන්නේ ඔහුයි.

සංගීත ගුරුවරියක් විදියට වර්තමාන සමාජය තුළ මෙම කලාව පිළිබඳ ඔබේ අදහස් කෙබඳුද?

ගුරුවරියක් විදියට මම විවිධ ආකාරයේ ශිෂ්‍ය කණ්ඩායම් සමඟ කටයුතු කරලා තිබෙනවා. විශ්ව විද්‍යාල කථිකාචර්යවරියක් ලෙස සරසවි සිසුන් සමඟත්, පාසල් ගුරුවරියක ලෙස පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟත් වර්තමානයේ මගේ සංගීත ආශ්‍රමයේ සිසු දරු දරියන් සමඟත් සංගීත ඥානය බෙදමින් ගත කරන කාලය තුළ මට විවිධ අත්දැකීම් ලැබෙනවා. අපේ අනාගත පරපුර අද එකතු වෙල ඉන්නේ හැල්මේ දුවන ගමනක. දරුවන්ට විවේක මනසකින් ඉඳගෙන ගීතයක් රස විඳින්වත් අද වෙලාවක් නෑ. ඇත්තටම මේක ඛේදජනක තත්ත්වයක්. ගුරිවරියක් විදියට මට මුළු ලෝකයේම ළමයි හදන්න බැරි වෙන්න පුළුවන්. ඒත් මම උත්සාහ කරනවා හැකි පමණින් මම ළඟට එන දරුවන්ට සංගීතය විතරක් නොවේ, ජීවිතයත් කියා දෙන්න. අපේ දරුවන් අද පත්වෙලා ඉන්න මේ තත්ත්වයට වැඩි වශයෙන් දෙමවුපියන් වග කියන්න ඕනෑ. දරුවී ගැන මීට වඩා හොයලා බලන්න ඕනෑ. දරුවෝ නවීන තාක්ෂණයට පමණක් යටවන්න දීලා බලන්න ඉන්න අපට බැහැ. තාක්ෂණයෙන් කරන්න බැරි බොහොමයක් දේවල් ආදරෙන් සෙනෙහසින් අපට ගොඩ නඟන්න පුළුවන්. මගේ ළඟට එන හැම දරවෙක්ම මගේම දරුවන් හා සමානයි. ඒ හැම කෙනෙකුටම සුබ අනාගතයක් නිර්මාණය කිරීම මගේ වගකීමක්.

ඔබ තුළ ජිවත්වන සංගීත ශිල්පිණිය, ආදරණීය අම්මා, බිරිඳට, ගුරුවරියට මෙකී නොකී හැම චරිතයකටම පූර්වාදර්ශ ඔබට ලැබෙන්න ඇත්තේ නිවෙසින්ද?

අනිවාර්යයෙන්ම ඔව්. මගේ අම්මා සංගීත ගුරුවරියක්. මගේ තාත්තා සංගීත විෂය බෙහෙවින් ප්‍රිය කරපු කෙනෙක්. අද කාලේ දෙන්නා තුන්දෙනා ඉන්න පවුල් ගැන සිතන කොට ඒක මට හරි අමුත්තක්. අපි හැදුණේ වැඩුණේ බොහෝ පිරිසක් එක්ක. ඉතාම සරල විනෝදකාමී ළමා කාලයක්, නිදහසක් අපි වින්දා. ගෙදරින් ලැබුණු ඒ නිදහස්කාමී සුන්දර පරිසරයෙන් පස්සේ විවාහයෙන් පස්සෙත් එවැනිම පරිසරයක ජීවත්වෙන්න මට වාසනාව ලැබුණා. මට ලැබුණු සැමියා කපිල මගේ කලා ජීවිතේට ආදරේ කරන මගේ වටිනාකම්, දක්ෂකම් අගයන මාව ආරක්ෂ කළ හැකි මගේ විෂය සම්බන්ධයෙන් මට උපදෙස් දිය හැකි පුද්ගලයෙකු වීම මම ලැබූ සුවිශේෂී භාග්‍යයක්.

කපිල නොමැති නම් මෙවැනි බාරදූර කර්තව්‍යයක් මට තනියෙන් කොහොමත් කරන්න අමාරුයි. මේ ප්‍රසංගයේ සියලු භාරදූර වගකීම් පසුපස ඉන්නේ කපිල.

මගේ ආදරණීය රසිකයින්ට කියන්න තිබෙන්නේ ඔක්තෝබර් 9 දා පැවැත්වෙන මේ ප්‍රසංගය නරඹන්න පැමිණෙන්න කියලා. ඔබ සියලු දෙනාටම ඒක අලුත් අත්දැකීමක් වේවි.