වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




කඳුරටින් කලාවට පැමිණි

කඳුරටින් කලාවට පැමිණි

රනිල් ප්‍රසාද්

කලාවට ලැදි ඔහු ක්ෂේත්‍රයට පා තබන්නේ ළමා නිවේදකයෙක් විදියට. ඒ කඳුරට ගුවන් විදුලි සේවයෙන්. ඒ අතරතුරේදීම වැඩසටහන් නිෂ්පාදන කටයුතුවලටත් දායකත්වය ලබා දුන් ඔහු අද වන විට රංගන ශිල්පියෙක්. ‘බාඳුරා දේශය’ ටෙලි සිත්තමෙන් රංගනයේ මුල් පියවර තැබූ ඔහු ‘හෝල්ට්’, ‘අළුපාට හීන’, ‘දූවරු’, ‘අමන්දා’, ‘සමාවෙන්න සර්’, ‘රන් සිරිමල්’ වැනි ටෙලි නාට්‍ය රැසකින් සිය රංගන හැකියාවන් ඔප්පු කර පෙන්වා අවසන්. ඔහු රනිල් ප්‍රසාද්.

කලා ක්ෂේත්‍රයේ පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. බාඳුරා දේශය ටෙලි නාට්‍යයෙන් පැමිණි ගමනේදී ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ‘හෝල්ට්’ ඔස්සේ තමයි බොහෝ දෙනා මා හඳුනා ගත්තේ. ‘අළු පාට හීන’ ටෙලි වෘත්තාන්තයේ අශෝකගේ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊට අමතරව නිදහස් රූපවාහිනි වැඩ සටහන් නිෂ්පාදකවරයෙක් ලෙසත් කටයුතු කර ගෙන යනවා.

මේ දිනවල විකාශය වෙන රනිල්ගේ දායකත්වය ලද නිර්මාණ?

‘රොමියෝ සහ දාන්තේ’ සහ ‘සිහින පුරය’ මේ දිනවල විකාශය වෙනවා.

ළමා නිවේදකයකු ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඔබ රංගන ශිල්පියකු බවට පත් වෙන්නේ?

පුංචි කාලේ ඉඳලම කඳුරට සේවයේ නිවේදන කටයුතුවලට දායක වුණා. නාට්‍ය හඬ කැවීම් කළා. පාසල් අධ්‍යාපනය නිමාවත් සමඟම ටෙලි විව් ආයතනයේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන පාඨමාලාවට ශිෂ්‍යත්වයක් ලැබුණා. පසුව සිරස ටී වී ආයතනයේ සහාය නිෂ්පාදක ලෙස කටයුතු කරන අතරෙදි තරුණ සේවා සභාව මඟින් පවත්වන ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව කරන අතරතුරේදී තමයි අරුණ ජයවර්ධන ‘බාඳුරා දේශයේ’ රංගනයට අවස්ථාව ලබා දුන්නේ. ඊට පසුව බර්මින් ලයිලි ප්‍රනාන්දු මහතා රංගනයට බොහොමයක් අවස්ථා ලබා දුන්නේ.

රනිල්ගේ පාසල් කාලය?

මහනුවර, වත්තේගම ජාතික පාසලෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. පාසලේදී නම් කිසිම කලා කටයුත්තකට දායක වෙලා නැහැ. උසස් පෙළ අධ්‍යාපනය ලැබුවේ විද්‍යා විෂයයන්ගෙන්. ටෙලි විව් ආයතනයට ලද ශිෂ්‍යත්වය තමයි කලා ක්ෂේත්‍රයේ මඟ විවර කළේ.

චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වෙන්න කැමැත්තක් නැද්ද?

මුලින්ම දායක වූ චිත්‍රපටය ‘සිනාසුනා ආදරෙන්’. ඊට පසුව එරංග සේනාරත්නගේ ‘සදිස්නා’ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන් අවස්ථාව ලැබුණා. හැබැයි ඒක තවම විකාශය වුණේ නැහැ. දැනටමත් චිත්‍රපට දෙකක් සඳහා ආරාධනා ලැබිලා තියනවා.

ඉදිරියේදී විකාශය වෙන්න නියමිත ටෙලි නිරමාණ?

බර්මන් ලයිලි ප්‍රනාන්ද මහතාගේ ‘සෙනෙහස සුවඳයි’ සහ ‘දේදුන්නෙන් එන’ ටෙලි නිර්මාණ ඔස්සේ මගේ රංගනය ඔබට දැකගන්න හැකියි.

ඔබ රංගන ක්ෂේත්‍රයට පැමිණි කාලය සමඟ ක්ෂේත්‍රය ගැන ඔබේ අදහස?

ප්‍රවීණයන්ගෙන් හොඳ සහයෝගයක් ලැබුණා. ඒත් අලුත් අය අතරේ නම් කැපිලි තියෙනවා.

ක්ෂේත්‍රයේ ඔබේ ඉදිරි ගමන?

රංගනයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. විවිධ චරිත තුළින් ප්‍රේක්ෂකයන් හමුවට යන්න බලාපොරොත්තුª වෙනවා. ඊට අමතරව ඉගෙන ගත් දැනුම සහ අත්දැකීම් සමඟ වාර්තා වැඩ සටහන් නිෂ්පාදනය තවදුරටත් කරගෙන යන්න සූදානම් වෙනවා. මේ හැම දේම සමඟ වැඩ සටහන් නිෂ්පාදන අංශයෙන් මගේම ආයතනයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

රනිල් ප්‍රසාද් - 0776650282