වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




දුවන මුවන් - හැදෙයි හෙමින්
පබසරා දිද්දෙණිය රිදී තිරයට

දුවන මුවන් - හැදෙයි හෙමින්

ඉන්ද්‍රානි විජේසේකර අධ්‍යක්ෂණයක්

තවමත් වසන්තය නිමා වී නැත. කුඹුකේ වලව්ව අවට පරිසරය වසත් සිරිය තවරා ගත් ආඩම්බරයෙනි. වලව්ව ඉදිරිපිට සුවිසල් අඹ ගස රාජකාරියක් බාර ගත් අවංක සේවකයකු වැනිය. වලව්ව දෙසට නැවුණු අත්තේ බැඳී ඔංචිල්ලාව මත ළමෝ සෙල්ලමේය. දැඩි නිහැඬියාවකින් වෙළි ගිය පරිසරය සියලු ශබ්දයන් පවා එකවර ඇසෙන තරමට නිස්කලංකය.

ලිය කැටයමින් ඔපවත් වූ වලව්වේ ආලින්දයේ ඇය බර කල්පනාවකය. සුදු පැහැති ඇඳුමකින් සැරසුණ මේ තැනැත්තිය අහස දෙස බලමින් සිතුවම් මවන්නීය. තවත් වරෙක උපැස් යුවළ සීරුවට ගලවා කනප්පුව මත තබන ඇය මඳක් නිදහස් වන්නට දිගු සුසුමක් පිටමං කරන්නීය.

ඔන්චිල්ලාව මත දඟ කරන දරුවන්ගේ සුන්දර කෑ මොරදීම ඇයට බාධාවක් නැති සැටියකි. මම ඇගේ දැහැන නොබිඳෙන්නට ආලින්දයට ගොඩ වුණෙමි.

ඉන්ද්‍රාණි විජේසේකර . . .

මේ සිංහල සිනමාවේ අලුත්ම අධ්‍යක්ෂවරියයි. ඈ අධ්‍යක්ෂවරියක බවට පත් කළේ ‘දුවන මුවන්’ චිත්‍රපටයයි. ගුරු භූමිකාව හෙබ වූ ඈ තමන්ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය සඳහා තෝරා ගන්නේද ඉංග්‍රීසි අධ්‍යාපනය හා ඒ වටා ගෙතුණ කතාන්දරයකි. ඉංග්‍රීසි අධ්‍යාපනය හැදෑරීම තමාගේ ජීවිතය බවට පත් කර ගත යුත්තේ කෙසේද යන්න මේ චිත්‍රපටය මනාවට සංයමයෙන් කතා බහ කරයි. මෙහි තිර රචනය ද ඉන්ද්‍රාණිගේමය.

ඇය නිස්කලංක අධ්‍යක්ෂවරියකි. එබැවින් දර්ශන තලය පුරාවට පැතිරී ඇත්තේ නිස්කලංක බවක්.

‘ඉතිං . . .’

මම නිහඬතාව බිඳ දැමුවෙමි.

‘ගොඩක් හොඳයි. සන්තෝෂයි. මම අලුත් කෙනෙක් හැටියට මෙතනට ආධුනිකයි. ඒත් මේ චිත්‍රපටයේ ඉන්න පිරිස මේ කටයුත්තට හොඳ සහායක් දෙනවා. ඉන්ද්‍රාණි පවසන්නේ සැහැල්ලුවෙනි. වෙනස්ම කතා තේමාවක් ගත් චිත්‍රපටයක් වන දුවන මුවන් හි අමර ලෙස සියුම් චරිතයක් බාරව ඇත්තේ උද්දික ප්‍රේමරත්නටය. ඔහු වලව්වේ එක් කොනකට වී බර කල්පනාවකය. වෙනදා උද්දිකගේ පැහැසර කෙළිලොල් බව අද නැත. ඔහු හැඟීම්බරවය. ඔහු චරිතයට ආරෝපණය වූ සෙයකි. උද්දික මෙම චිත්‍රපටයේ මවන්නේ පියකුගේ චරිතයකි. ඒ උද්දික ප්‍රථම වරට තිරයේ පියකු බවට පත්වන්නේ මෙම චිත්‍රපටයෙනි.

නැවත වලව්වේ මැද මිදුලට පැමිණෙමින් සිටි අපට මුහුණට මුහුණ හමු වූයේ මොරීන් චාරුණීය. ඉතා අලංකාර ඔසරියකින්සැරැසුණු ඈ තවමත් සෝදිසි ගමනකය.

‘කෝ මේ තාත්තයි දුවයි . . .’

චිත්‍රපටයේ රඟපෑමක් ලෙසට ඈ විපරම් කරන්නීය.

මැද මිදුලට මඳක් ඈතින් තාත්තෙකු සහ දුවක කතාබහකය. තාත්තා නිශ්ශංක දිද්දෙණිය බව හඳුනා ගත්ත ද දෝණි කවුරුන්දැයි නිනව්වක් නැත.

‘ඒ ඇත්තටම තාත්තයි දුවයි. නිශ්ශංක අයියගෙ දුව තමයි අර ඉන්නේ. පබසරා. එයා මේ ෆිල්ම් එකේ මේන් රෝල් එකක්. පළමුවැනි රඟපෑම.

මොරින් පබසරා හඳුන්වා දෙන්නේ හරිම අපූරුවටය. ඒ හඳුනා ගැනීම අතරතුරදී හිටි හැටියේ අපගේ සාකච්ඡාව අතට පැමිණියේ ඩොනල්ඩ් ජයන්තය. ඩොනල්ඩ් දර්ශන තලයට ප්‍රකට කථාකරුවෙකි. සංවේදී කතා, සත්‍ය කථා මෙන්ම අසභ්‍ය කථා ගොතන්නට ඩොනල්ඩ් නම් දැරූවෙකි. ඩොනල්ඩ්ගේ කථා රස විඳිමින් ඊළඟ මොහොත අප වෙන් කර ගත්තේ මේ නිර්මාණයට දායක වූ පිරිසෙහි සමූහ ඡායාරූපයක් ලබා ගැනීමටය.

වලව්වේ කෙළවරේ නවතා තිබූ පැරැණි කාර් රිය දුටු අප තීරණය කරනු ලැබුවේ පිරිස එම කාරය වටා තබා ඡායාරූපයක් ගැනීමටය. නමුදු සියල්ලෝම පිරී ගිය පසු කාර් රිය පෙනෙන්නේ නැත.

‘ෆොටෝ එකේ අපි කාර් එකක ඉන්නව කියල නියමෙට පෙනේවි. හරියට මී වදේ වට කර ගත්තුª මී මැස්සො වගේනෙ අපේ කට්ටිය කාර් එක වට කළේ’. ඒ අශෝක ආරියරත්නය.

දෙරණ ලිට්ල් ස්ටාර් තරගයේ මෙවර ජනප්‍රියතම තරුව වූ කෞෂල්‍ය නිර්මාණ ‘දුවන මුවන්’ හි ප්‍රධාන චරිතයකි. ඒ මේ අත දඟ කරමින් ඔන්චිල්ලාවේ එල්ලෙමින් කෞෂල්‍ය දර්ශන තලයේ නිහැඬියාව බිඳ දමයි. ඒ අතර කෞෂල්‍ය පබසරාට ද ඔන්චිලි පදින්නට ඇවිටිලි කරයි. නමුදු ඒ ඔන්චිල්ලාව පැදීමේ ආනිසංස හොඳ හැටි අවබෝධ කර ගත් පබසරා ඊට කැමැත්තක් නොමැති බව නොපෙන්වා පුංචි දරුවන් සමඟ සෙල්ලමේය.

මේ අතරතුර ඇතැම් දර්ශන රූගත වන්නේ කාට හෝ නොදැනෙන ගාණටය. පැය කිහිපයක් ගෙවී ගිය ද අපට ද මහන්සියක් නොමැති ගානය.

නමදු දැන් යා යුතුය.

මේ දර්ශන තලයෙන් නික්මිය යුතුය.

කතාව, දෙබස් සහ තිර රචනය – ඉන්ද්‍රාණි වීරසේකර
සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත
නිෂ්පාදනය – මමෝ වීරසේකර
කැමරා අධ්‍යක්ෂණය – ආයුෂ්මන්ත හෙට්ටිආරච්චි
කලා අධ්‍යක්ෂණය – ඇහැලියගොඩ සෝමතිලක
වේශ නිරූපණය - ඉන්දික උදාර ලංකා
නිෂ්පාදන කළමනාකරණය - අසෝක ආරියරත්න
සංගීතය – ධනේෂා ගයාත්‍රි කේමදාස
රංගනය - සනත් ගුණතිලක, නිශ්ශංක දිද්දෙණිය, මොරින් චාරුණී, චාන්දනී සෙනෙවිරත්න, උද්දික ප්‍රේමරත්න, පබසරා දිද්දෙණිය, කෞෂල්‍ය නිර්මාණ