වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මෙවර යාවජීව සම්මානය පිදෙන්නේ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ට

රයිගම් සම්මාන උළෙල 17 දා

මෙවර යාවජීව සම්මානය පිදෙන්නේ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ට

විශිෂ්ට සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන් ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත රයිගම් ටෙලි සම්මාන උළෙලේදී යාවජීව සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.

අහස් ගව්ව නිර්මාණය කරමින් සිනමාවට එක්වන පතිරාජයන් කඩුල්ල, ඇල්ල ළඟ වලව්ව ආදී ටෙලි නාට්‍ය නිර්මාණය කොට එහි අලුත් මං පෙත් සැකසූහ.


 

‘ඔබ නැතුව ඔබ එක්ක’ ඉතාලි යයි

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ ඉතාලියානු මංගල දක්ම මෙම මස 04 සිට 10 දක්වා ඉතාලියේ මිලානෝ නගරයේ පැවැත්වෙන 23 වැනි අප්‍රිකානු ආසියානු ලතින් ඇමරිකානු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී පැවැත්වීමට ආරාධනා ලැබ ඇත.

දැනට අන්තර් ජාතික සම්මාන ත්‍රිත්වයක් දිනා ඇති ‘ඔබ නැතුව ඔබ එක්ක’ සහභාගි වන තෙවන තරගකාරී උළෙල මෙය වේ.

ශ්‍යාමි ප්‍රනාන්දු සමඟ ඉන්දීය නිළි අංජලී පාටිල් ප්‍රධාන චරිත මවන ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ සෙසු චරිත සඳහා වසන්ත මොරගොඩ, මහේෂ්වරී රත්නම් දායක වෙති. ප්‍රසන්න විතානගේ තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ මෙය මොහොමඩ් ඇඩම් අලී සහ ලසන්ත නවරත්නගේ නිෂ්පාදනයකි.


සාරංග - අනර්කලී පෙම්වතුන් කළ ඉට්ස් අ මැටර් ඔෆ් ලව් 10 දා මැජෙස්ටික් එයි

සාරංග දිසාසේකර සහ අනර්කලී ආකර්ෂා පෙම්වතුන් ලෙස රඟන ‘ඉට්ස් අ මැටර් ඔෆ් ලව්’ මෙම මස 10 වැනිදා සිට බම්බලපිටිය මැජෙස්ටික් සිටි සිනමා ශාලාවේදී තිරගත වීම ඇරැඹේ.

මෙරට නිර්මාණය වූ ඉංග්‍රීසි චිත්‍රපටයක මුල්වරට තැනෙණ දෙවැනි කොටස වූ මෙය රෝයි ද සිල්වාගේ අධ්‍යක්ෂණයකි. මෙහි පළමු කොටස ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් වේ.

විජය නන්දසිරි, ලකී ඩයස්, අයිරාංගනී සේරසිංහ, රෝසි සේනානායක, රොනී ලීච්, කොරීන් අල්මේදා, කේෂියා ලීච් ඇතුළු පිරිස සෙසු චරිතයන් රඟති. නෙහාරා පීරිස් සිනමාවට එක්වන්නේ මෙම චිත්‍රපටයෙනි.

රෝයි - සුමනාගේ නිෂ්පාදනයෙන් කළඑළියට එන ඉට්ස් අ මැටර් ඔෆ් ලව් හී කතාව, දෙබස්, තිර රචනය ද රෝයි විසින් සිදු කොට ඇත.


කෞශල්‍යා ගැන අලුත් ආරංචියක්

වේදිකාව, පුංචි තිරය, සිනමාව යන ත්‍රිත්ව මාධ්‍යයේම සැරිසරන රංගන ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු මේ දිනවල නිර්මාණ කිහිපයකටම සිය දායකත්වය ලබා දෙමින් සිටිනවා. කොතරම් කාර්යබහුල වුණත් ඇය තමා සතු ශිල්පීය ඥානය නව පරපුර අතරේ බෙදා හරින්නට ද අමතක කර නැහැ.

කෞශල්‍යාගේ මෑණියන් වූ සෝමලතා සුබසිංහ රංගනවේදිනිය ඇරැඹි ළමා සහ යොවුන් රඟහලේදියි කෞශල්‍යා මේ කටයුත්ත සිදු කරන්නේ. අලුත් කණ්ඩායමක් සඳහා එම පාසලේ නාට්‍ය හා රංග කලාව හදාරන්නට දැන් නවකයන්ට අවස්ථාව තියෙන බව ඇය සරසවියට දැන් වූවා. ඒ පිරිස තෝරා ගන්නේ සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුවයි. මේ හේතුව නිසා කෞශල්‍යා තවත් කාර්යබහුල වෙලාලු.

මේ අලුත් කණ්ඩායමත් එක්ක ඇය අලුත් ගමනක් යන්නට සූදානම් වෙනවා කියලා කෞශල්‍යා අවසන් කොට දන්වා සිටියා.


අජන්තා ලියූ ගීත එකතුවක්

ප්‍රවීණ ගීත රචක මාධ්‍යවේදීී ආචාර්ය අජන්තා රණසිංහ ඉකුත් දශක හතර තුළ ලියූ චිත්‍රපට, ගුවන් විදුලි ගීත රාශියක් අතුරින් තෝරා ගත් ජනප්‍රිය ගීත 17 ක් ඇතුළත් ‘රන් කෙන්දෙන්’ සංයුක්ත තැටිය ජාතික ගුවන් විදුලි ප්‍රකාශන අංශය මගින් දැන් නිකුත් කොට ඇත. එච්. ආර්. ජෝතිපාල, පණ්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, කලාසූරි ලතා වල්පොල, විශාරද නන්දා මාලිනී, ආචාර්ය දයාරත්න රණතුංග, අබේවර්ධන බාලසූරිය, ත්‍යාගා එන්. එඩ්වඩ්, රූකාන්ත ගුණතිලක, කරුණාරත්න දිවුල්ගනේ, මහාචාර්ය අමරා රණතුංග, විශාරද ඩබ්ලිව්. ඩී. ආරියසිංහ, විශාරද සුජාතා අත්තනායක, විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන යන ගායක ගායිකාවන් ගැයූ යුග ගීත සහ තනි ගීත මේ සඳහා අඩංගු වේ.

පණ්ඩිත් අමරදේවයන්, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, ආචාර්ය දයාරත්න රණතුංග, සරත් දසනායක, ආචාර්ය රෝහණ වීරසිංහ, එච්. එම්. ජයවර්ධන, තිස්සසිරි පෙරේරා, සෝමදාස ඇල්විටිගල, සරත් ද අල්විස් සහ ස්ටැන්ලි පීරිස් ආදී සංගීතවේදීහු රන් කෙන්දෙන් ගී තැටියේ ගීත තනු සහ සංගීත සංයෝජන කටයුතු සිදු කොට ඇත.


සරසවිය - රිදම් එෆ්. එම්. කටකතා අරඹයි

මෙම මස 05 වැනිදා එනම් එන සෙනසුරාදාවේ සිට රිදම් එෆ්. එම්. සමඟින් ‘සරසවිය’ පුවත්පත අත්වැල් බැඳගෙන අලුත් වැඩසටහනක් ආරම්භ කරයි. ‘කටකතා’ නම් වූ එය එදින සිට සෑම සෙනසුරාදාවකම උදෑසන 7 – 10 දක්වා කාලය තුල රිදම් නාළිකාවේ ප්‍රචාරය වේ.

මේ දිනවල වඩාත් කතාබහට ලක්වන කලාකරුවකු සමඟින් සෘජුවම ඔහුගෙන් හෝ ඇයගෙන් අදහස් විමසන ු ලබයි. මෙහි පළමු දිගහැරුම සඳහා ජනප්‍රිය තාරකාවක් සහභාගී වීමට නියමිතයි. කටකතා මෙහෙය වනුයේ ජානක ප්‍රභාත් විසිනි. මෙම වැඩ සටහනෙහි සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරෙන්නේ ‘සරසවිය’ පුවත්පතෙනි. එමෙන්ම එහි විශේෂ අවස්ථා රැගත් ලිපියක් ඊළඟ සරසවියන් ඔස්සේ අපි ගෙන එන්නෙමු. කටකතා 95.6, 95.8 සංඛ්‍යානයෙන් හෝ www.rhythmfm.me  වෙබ් පිටු ඔස්සේ ශ්‍රවණය කළ හැකිය.


‘තාත්තේ අපි ආවා’ ස්වර්ණවාහිනියේ

ජයලත් මනෝරත්නගේ නවතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය ‘තාත්තේ අපි ආවා’ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9 ට ස්වර්ණවාහිනී නාළිකාවෙන් විකාශය වේ.

මිහිඳු කුලසූරිය නම් විශ්‍රාමික දරුවන් සිවු දෙනෙකුගේ පියෙකු වටා ගෙතී ඇති කතා පුවතක් වන මෙහි එම චරිතය මනෝරත්න විසින් රඟනු ලබයි. අනෙකුත් චරිත රොෂාන් රවීන්ද්‍ර, මාධණී මල්වත්තගේ, ධර්මප්‍රිය ඩයස්, තිසුරි යුවනිකා, ජෙහාන් ශ්‍රී කාන්ත, සම්පත් ජයවීර, සමාධි ලක්සිරි, දයා වයමන්, සම්පත් තෙන්නකෝන් ඇතුළු පිරිස රූපණය කරති. රසික සුරවීර ආරච්චිගේ රූපවාහිනී රචනයකි.

චන්දන ධර්මප්‍රිය කැමරාව මෙහෙයවා ඇත. ජානක ෆොන්සේකාගේ සංගීත නිර්මාණයකි. සමන්තා ශ්‍රී උඳුගොඩ ගායනයෙන් දායක වී ඇත. ජගත් වීරතුංගගේ සංස්කරණයකි. ප්‍රියනාත් දිසානායක අංග රචනයෙන් ද නිශාන්ත පීරිස් (ලකී) කලා අධ්‍යක්ෂණයෙන් ද, අජිත් ලොකුගේ සහාය අධ්‍යක්ෂණයෙන් ද මේ සඳහා සහභාගි වී ඇත.

තාත්තෙ අපි ආවා ජයසිරි මුරමුදලිගේ ගේ නිෂ්පාදනයකි.


‘සීන් අන්සීන්’ චිත්‍ර ප්‍රදර්ශනය 24 – 03 දක්වා ඕස්ට්‍රේලියාවේ

කලක් සරසවිය සහ තරුණී පුවත්පත්වල කවර නිර්මාණකරුවකු ලෙස සේවය කළ ග්‍රැෆික් චිත්‍ර ශිල්පියකු වන චරිත් විජේවර්ධනයන්ගේ චිත්‍ර ඇතුළත් ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ‘සීන් අන්සීන්’ මෙම මස 03 සිට 24 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් චේම්බර්ස් කලාගාරයේදී පැවැත්වෙයි.

පළමු දිනයේදී ප්‍රදර්ශනය උදෑසන සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා ප්‍රදර්ශනය විවෘතව පවතින අතර සෙසු දිනයන්හී උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.


 

ජෝතිපාල පදනමේ මහා සභා රැස්වීම 05 දා

එච්. ආර්. ජෝතිපාල මිතුරු සමාජය සහ ගුණ සමරු පදනමේ මහා සභා රැස්වීමක් ලබන මැයි 05 වැනිදා පෙ.ව 10.00ට බොරැල්ල මැගසින් පාර, අංක 20 හි ශ්‍රී රාහුල කලාකවයේදී පැවැත්වේ.

එච්. ආර්. ජෝතිපාල කලාකරුවාණන් ජෝතිමත් ජීවිතයෙන් සමුගෙන වසර 26 ක් සපිරීම නිමිත්තෙන් ජූලි මස 07 වැනි දිනට පැවැත්වීමට සූදානම් වූ අනුස්මරණ උත්සවයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ.


 

වින්සන්ට් වාස් වියෝවී වසර 9 යි 07 දා දිව්‍ය පූජාවක්

වින්සන්ට් වාස් කලාකරුවා අප අතරින් වියෝවී ලබන මැයි 06 වැනිදාට වසර 09 ක් සපිරීම නිමිත්තෙන් මැයි 07 වැනිදා බත්තරමුල්ල ශාන්ත පාතිමා දෙව්මැදුරේදී දිව්‍ය පූජාවක් පැවැත්වේ. මෙම අවස්ථාවට එතුමාගේ පවුලේ ඥාතීන් හිතවතුන් ඇතුළු කලාකරුවන් රැසක් සහභාගි වීමට නියමිතයි.