වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




තවත් ‘රටවිරුවෝ’ තරු හයක්

තවත් ‘රටවිරුවෝ’ තරු හයක්



රැකියා සඳහා විදෙස්ගත වූවන් වෙනුවෙන් පැවැත්වෙන රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වේදිකාව දැන් විවෘත වෙලා තියෙන්නේ කටාර් රාජ්‍යයේයි. මේ එහි තෙවැනි අදියර යටතේ ලබන 05 වැනිදා රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ සිය කලා හැකියාවන් එළි දක්වන රටවිරුවන්.

ප්‍රමාණ සමීක්ෂකවරයකු ලෙස සේවයේ නිරත එරන්ද ප්‍රසාද් වීරසිංහ රටවිරුවෝ වේදිකාවට පැමිණෙන්නේ සිය ගායන කුසලතා දැක්වීමටයි. කුඩා කාලයේ සිටම සංගීතයට ලැදි ඔහු පාසලේදී විෂයක් ලෙස ද සංගීතය හදාරා ඇත. නාත්තන්ඩියේ පදිංචි එරන්ද ප්‍රසාද් විදෙස් සේවයට එක් වී තිබෙන්නේ මේ වසරේ ජනවාරි මාසයේදීයි.

මග්ගොන පදිංචි ක්‍රිෂන් කුමාර් මීළඟට රටවිරුවෝ වේදිකාව ගීතවත් කිරීමට සූදානම්. පාසල් කාලයේ සිට ගායන තරග සඳහා ඉදිරිපත් වී ඇති ඔහු සංගීත කණ්ඩායමක ගිටාර් වාදක ශිල්පියෙකු ලෙස ද කටයුතු කර ඇත. කිමිදුම්කරුවකු ලෙස කටාර්හි සේවය කරන ක්‍රිෂන් විදේශ සේවයට එක් වී ඇත්තේ 2010 වසරේදීයි.

ගයාන් රංගන සිල්වා රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න සැරසෙන තවත් ගායන තරුවක්. කුඩා කාලයේ සිටම සංගීතයට ලැදියාවක් දැක් වූ ඔහු විශාරද මාලිනී බුලත්සිංහල යටතේ සංගීතය හදාරා ඇත. හෝටල් සේවකයකු ලෙස කටයුතුª කරන පාදුක්ක පදිංචි ගායන් රංගන විදෙස් සේවයට එක්ව ඇත්තේ 2012 වසරේදීයි.

පූගොඩ පදිංචි ප්‍රදීප් සංජීව සේනාරත්න කටාර්හි රටවිරුවෝ වේදිකාවේ සිය ගායන කුසලතා දැක්වීමට සූදානම්. පාසැල් අවදියේ සිටම ගායනයට ලැදියාවක් දක්වන ඔහු සංගීත කණ්ඩායමක ගායකයකු ලෙස ද කටයුතු කර ඇත. ගායනයට වගේම ඩ්‍රම්ස් වාදනයටත් දස්කම් දක්වන ප්‍රදීප් සංජීව වායු සමීකරණ කාර්මිකයකු ලෙස කටාර් හි විදෙස්් සේවයට එක් වී ඇත්තේ 2012 වසරේදීය.

ගායනයට මෙන්ම නර්තනයටද එක ලෙස දස්කම් දක්වන ඉන්දික ප්‍රසාද් රත්නසිරි මීළඟට රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න එක්වෙන ගායන තරුවයි. සංගීත කණ්ඩායමක සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති ඉන්දික වාදනයට ද දස්කම් දක්වයි. ඊට අමතරව උසස් පෙළ විෂයක් ලෙස ඔහු නර්තනය ද හදාරා ඇත. කුරුණෑගල පදිංචි ඉන්දික ප්‍රසාද් සුපවේදියකු ලෙස විදෙස් සේවයට එක් වී ඇත්තෙ 2012 වසරේදීය.

කළුතර පදිංචි තිසර පද්මකුමාර රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් තෙවන අදියර ගීතවත් කරන්න සැරසෙන අවසන් තරුවයි. පාසැල් අවධියේ සිටම ගායනයට ලැදියාවක් ඒ සඳහා උනන්දු වූ ඔහු මෙරට විවිධ සංගීත ප්‍රසංගවලදී සිය ගායන හැකියාවන් එළි දක්වා ඇත. වීදුරු පෑස්සුම්කරුවකු ලෙස තිසර පද්මකුමාර කටාර් හි සේවයට එක් වී ඇත්තේ 2012 වසරේදීයි.