වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මං රියැලිටිවලට නොඑන්නයි හිටියේ

මං රියැලිටිවලට නොඑන්නයි හිටියේ

සුපිරි තරු ගොන්නෙන් සමුගත් නිරෝෂ්

මියුසික්වලින් ජීවිතයේ ඉදිරිය දකින්න තීරණය කළත් සුපර් ස්ටාර් වගේ තරගයකින් ජනප්‍රිය වන්නට මං එතරම් කැමැත්තක් දැක් වූයේ නැහැ. එබැවින් එවන් වූ රියැලිටි තරගවලට සහභාගී නොවන ප්‍රතිපත්තියකයි මං හිටියේ.

එහෙම කතාව පටන් ගත්තේ සුපර් ස්ටාර් පස් වැනි අදියරෙන් හයවැනියාට පසුගියදා ඉවත් වූ පිළියන්දල නිරෝෂ් චානකයි. ඔහු සුපර් ස්ටාර් සඳහා ඉදිරිපත් නොවුණ ප්‍රතිපත්තියේ හිටියත් නිරෝෂ්ව අප හඳුනා ගත්තේ එම තරගය නිසා.

කවුද ඔබේ ප්‍රතිපත්තිය වෙනස් කළේ?

ගෙදර අය. අම්මා තමයි ඇප්ලිකේෂන් එක දාලා තියෙන්නේ. පළමු වටයට සහභාගී වෙන්න ගෙදරට ලියුම එනකම් මම දන්නේවත් නැහැ. ඒක දැකලා මං ප්‍රතික්ෂේප කළා ඊට සහභාගි වෙන්න. ගෙදර අය මට බොහෝ වේලාවක් කරුණු පැහැදිලි කරලා දුන්නා. ඊට පසුව මම ප්‍රතිපත්ති වෙනස් කරගෙන තරගයට ඉදිරිපත් වුණා.

තරග වැදුණ පළමු දින ප්‍රසාදයකින් නෙවෙයි ද ඔබ සහභාගි වුණේ?

නැහැ එහෙම එකක් නැහැ. මට හිතුණා ආපු එකේ හොඳටම මගේ හැකියාව එළියට දාන්න ඕන කියලා. බොහොම සතුටින් එදා සිංදුව කිව්වා.

ඔබ අවසන් 12 දෙනා අතරට ආවා. මෙතරම් දුරක් ඇවිත් ආපසු හැරී බලන කොට ඔබට මොනවද දැනුණේ?

අම්මා ඇප්ලිකේෂන් දැම්මේ නැතිනම් මම අද මෙතැන නැහැ. අනික ගෙදර අයගේ උනන්දුව ඒ සඳහා බෙහෙවින් බලපෑවා. හැබැයි එදා මං ඒව තැකීමක් නොකළා නම් මෙච්චර දුරක් එන්න නොලැබෙනවා. එදා හිතුවක්කාර නොවීම සතුටක්.

ඔබේ ගායනා ගැන ඔබට විශ්වාසද?

කොහොමත් පළමුව වේදිකාවකට නගිද්දී අප වැනි අයට කොහොමත් පොඩි තිගැස්මක් තියනවා. පොදුවේ ගත්තොත් මගේ ගායනා ගැන මට හොඳටම විශ්වාසයි.

එහෙම හොඳම විශ්වාසයකින් ගැයූ ගීතය මොකක්ද?

භාතිය - සන්තුෂ්ලගේ සරා සිහින රහසේ ගීතය.

සාමාන්‍යයෙන් රියැලිටි තරගයක එස්. එම්. එස්. භාවිතය ගැන ඔබට ඇති අදහස මොකක්ද?

ජනතාවගේ අදහස් තියෙන්න ඕන. ඒත් සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ තීරණ මත ක්‍රියා කරන්න හොඳ නැහැ. 50% ක් විනිශ්චය මණ්ඩලයට දිය යුතුයි. මන්ද යත් කෙනෙකුට ජනතාව එස්. එම්. එස්. යවන්නේ ගායන හැකියාවටම පමණක් නොවන නිසා.

මෙහි අවසානය තෙක් එස් එම්. එස්. නොතිබුණා නම් ඔබ ඉවත් නොවී තියෙයිද?

ඇතැම් විට. මං ඉවත් වුණේ සිංහල අවුරුද්ද දිනවල. ඒ කාලයේ මිනිස්සුන්ට එස්. එම් එස්. යවන්න සිහියක් නැහැ. මං හිතනවා එස්. එම්. එස්. නොතිබුණා නම් මං තවමත් ඇතුළේ.

මෙවර තරගාවලියේ සිටි දක්ෂයන් හැටියට ඔබ දකින්නේ කවුද?

එක් කෙනෙක් කියන්න බැහැ. දොළොස් දෙනාම දක්ෂයි.

මෙවන් වූ තරගවලට එනවා ජනප්‍රිය වන්නට ගායන හැකියාව නොමැති අය. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

මෙහිදීත් එවන් අයව දැක්කා. මං ඇතැම් තරගකරුවන් අවසාන සියයට පවා ආවා. එයින් වෙන්නේ හැබෑ දක්ෂයින්ට ඉඩක් නොලැබෙන එක.

ඔබ වැඩිපුරම ප්‍රිය කරන්නේ සිංහල ගීත ගයන්න නෙවෙයි නේද?

මට හොඳට බටහිර ගීත ගයන්න පුළුවන්. බ්‍රයන් ඇඩමස් තමයි ප්‍රියතම ගායකයා. මට විශ්වාස තියන ගීත ගයන එක මටත් හොඳයිනෙ.

මේ තරගය අතරතුරදී ඔබට සිදු වූ අමතක නොවන අත්දකීම මං ඇහැව්වොත්?

එක්තරා සිද්ධියක් තියනවා මාව සංවේගයට පත් කළා. ඒක මං කියන්නම්. අවසාන සියයට තේරුණු පසු අපිට පොඩි වර්ක් ෂොප් එකක් තිබුණා. ඒකට කලින් දවසේ මාව මෝටර් බයික් එකෙන් වැටුණා. අතකුත් බැන්ඩේජ් කරගෙනයි මං වර්ක් ෂොප් එකට ගියේ. එතැන හිටපු සමහර අය කිව්වා මං බොරුවට එහෙම ආවා කියලා. මට හරියට දුක හිතුණා.