වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




Sky මගේ ජීවිතයේ කඩඉමක්

Sky මගේ ජීවිතයේ කඩඉමක්

සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ ෂර්ලි සමරසිංහ

ෂර්ලි සමරසිංහ. ඔහු වර්තමාන ලාංකේය කලා ක්ෂේත්‍රයේ දක්ෂතා සපිරි තරුණ නිර්මාණකරුවෙක්. සිය අදහස් නිර්මාණ තුළින් එළිදක්වන්න ඔහු තෝරා ගත්තේ කෙටි චිත්‍රපටය යි. අද සමාජයේ බොහෝ දෙනා පහසුකම් සැලකිලි මඳ බව පවසමින් නිර්මාණකරණයෙන් ඉවත් වෙමින් සිටින සමයෙක තම නිර්මාණ තුළින් යහපත් සමාජ මෙහෙවරක යෙදෙන්නයි ඔහුගේ මේ වෑයම. පසුගිය කාලයේ දී ඔහු නිර්මාණය කළ ‘ඉඬර’ කෙටි චිත්‍රපටය දෙස විදෙස් කෙටි චිත්‍රපට උළෙල ගණනාවකදීම සම්මානනීය වුණා. මෙවැනි වූ සාර්ථක නිර්මාණ සමඟින් ෂර්ලි සමරසිංහ යන ඒ ගමනට පුංචි අත්වැලක් වෙන්න සරසවිය මේ පිටුව ඔහු වෙනුවෙන් වෙන් කළා.

ෂර්ලි ඔබ නිර්මාණය කළ ‘Sky’ ගැන පළමුවෙන් කතා කරමු?

‘ඉඬර’ කියන්නේ නව යොවුන් වියට එළඹෙන පිරිමි ළමුන් තිදෙනකුගේ ලිංගික පරිණතිය ගැන කතාකරන කෙටි චිත්‍රපටයක්. අපේ සමාජයේ සංස්කෘතික සීමාව තුළ ජීවන අත්දැකීම් හරහා ඒ පිළිබඳ කතා කිරීම තමයි ‘ඉඬර’ තුළින් කියවෙන්නේ.

‘Sky’ අවස්ථා රැසකදීම සම්මානනීය වුණා?

ඔව්. 2012 රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ හොඳම කෙටි චිත්‍රපටයට හිමි රන් සම්මානය, ඉන්දියානු බෙංගලෝර් කෙටි චිත්‍රපට උළෙලේ ජූරියේ විශේෂ සම්මානය,  OCIC සිග්නීස් චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපට අතරට තේරුණා. ඊට අමතරව ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කළ කෙටි චිත්‍රපට උළෙලේ හොඳම සංස්කරණයට හිමි සම්මානය සහ අජෙන්ඩා 14 යුරෝපීය කෙටි චිත්‍රපට උළෙලේ හොඳම ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිරූපිත කෙටි චිත්‍රපට තුන අතරටත් තේරුණා.

‘Sky’ කියන්නේ කාලයක් පුරා මම කළ අභ්‍යාස සහ දැනුමේ ප්‍රතිඵලයක්. එය අපතේ නොගිය බව මේ තුළින් මට දැනුණා. ඇත්තටම මේ සම්මාන මා තව තවත් ධෛර්යවත් කළා.

කලා ක්ෂේත්‍රය තුළ විවිධ මාධ්‍යයන් අතර කෙටි චිත්‍රපටය ඔබට විශේෂ වෙන්නේ?

චිත්‍රපට කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ පුළුල් වූ විෂයක්. ඒ අතර ලංකාවේ සිනමා ක්ෂේත්‍රය දෙස බලන විට උසස් චිත්‍රපටයේ සිට අපට අදහස් හුවමාරු කරගන්න බොහෝ අවස්ථා තියෙනවා. ඒ අතර මා තෝරා ගත්තේ කෙටි චිත්‍රපටයයි. එය කෙටි කාලයක් තුළ අදහස් ජනතාව අතරට ගෙන යන්න සමත්. ඒ වගේමයි සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ට හොඳ ප්‍රවේශයක්. ඒ වගේමයි කෙටි චිත්‍රපටය සඳහා වැයවෙන පිරිවැය සහ කාලය සැලකීමේදී එය ඉතාම පහසු මාධ්‍යයක්.

වෘත්තාන්ත චිත්‍රපට නවකයන්ට සීමා වෙලා ද?

ඇත්තටම ප්‍රධාන ධාරාවේ චිත්‍රපට බිහි කිරීම නවකයන්ට අභියෝගයක්. බොහෝ තරුණ පිරිස් කෙටි චිත්‍රපට තුළින් අද ප්‍රේක්ෂක අවධානය දිනාගෙන තියෙනවා. ඉන්දියාව වැනි රටවල නම් කෙටි චිත්‍රපට වෘත්තාන්ත චිත්‍රපට දක්වා නිර්මාණය කෙරෙන අවස්ථාත් තියෙනවා. නමුත් කෙටි චිත්‍රපට නිර්මාණ සඳහාත් මීට වඩා වැඩි ඉඩක් තියෙනවා නම් එය අනාගත නිර්මාණකරුවන්ට හොඳ ප්‍රවණතාවක් වේවි.

ඔබ හිතන පරිදි අද වන විට ලංකාවේ කෙටි චිත්‍රපට නිර්මාණයට ඇති පහසුකම් මොන වගේද?

අද වන විට තියෙන නව තාක්ෂණය එයට හොඳ රුකුලක් වෙලා තියෙනවා. ඩිජිටල් තාක්ෂණය සමඟ චිත්‍රපටකරණයට අද ඉතා හොඳ මට්ටමේ පහසුකම් ඇති වෙලා තියෙනවා. ඒ වගේම ජංගම දුරකථන, අන්තර්ජාලය හරහා අපේ නිර්මාණ බෙදා ගන්න හොඳ අවකාශයක් තියෙනවා.

ෂර්ලි ඔබ නිර්මාණකරණයට පිවිසීමට පෙර නළුවෙක්. රංගනයෙන් ආරම්භ කළ මේ ගමන්මග කෙටියෙන් සිහිපත් කළොත්?

මම අධ්‍යාපනය ලැබුවේ හොරණ විද්‍යාරත්න විද්‍යාලයෙන්. කලාවට සම්බන්ධ වුනෙත් එතැනින්මයි. ජනක් ප්‍රේමලාල්, ප්‍රියානන්ද විජේසුන්දර, ආරියපාල පතිරාජ, විදුර අබේනායක වැනි ගුරුවරුන්ගේ ආභාසය නිසා තමයි එය සිදු වුණේ. පසුව තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලා ඩිප්ලෝමාව කළා. මුලින්ම සම්බන්ධ වුණේ වේදිකා නාට්‍ය කලාවට. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය, ඩග්ලස් සිරිවර්ධනගේ ‘සිහල වංශලා’, මංගල සේනානායකගේ ‘මඟුල් කෑම’ වැනි නාට්‍ය ඇතුළු තවත් යොවුන් නාට්‍යකරුවන් රැසකගේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

2003 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට මවිසින් අධ්‍යක්ෂණ කළ ‘බෝනික්කයි තුවක්කුවයි’ නම් වේදිකා නාට්‍යය තරගකාරි අංශය යටතේ හොඳම නිළිය සහ කුසලතා සම්මානයක් දිනා ගත්තා. මම රූපවාහිනි වැඩසටහන් සඳහා සම්බන්ධ වුණේ 2001 වසරේදී. එහිදී වැඩසටහන් ඉදිරිපත් කරමින් තිර රචනයටත් යොමු වුණා. ඒ අතරේදී ටෙලි නාට්‍ය සහාය අධ්‍යක්ෂණයට සහ තිර රචනයට අවස්ථා ලැබුණා. පසුව ජාතික චිත්‍රපට සංස්ථාවේ පාඨමාලාව සමඟින් චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසෙන්න වරම් ලැබුණා. දේවින්ද කෝන්ගහගේ ගේ ‘බව තරණය’ චිත්‍රපටය සමඟින් චිත්‍රපට සහාය අධ්‍යක්ෂණයටත් එක්වුණා.

කලාවට ලැදියාවෙන් රංගනයට එක් වුවත් ඔබ අද අධ්‍යක්ෂවරයෙක් වෙන්නේ?

ආරම්භයේදී කලාවට ඇති වූ ආශාව මා රංගන ශිල්පියකු බවට පත් කළා. අපි නිර්මාණයක ප්‍රකාශනයේ මුලින්ම දකින්නේ රංගන ශිල්පීන්. නමුත් ක්ෂේත්‍රයට පිවිස එය හඳුනා ගැනීම සමඟින් තව තවත් අංශ පිළිබඳ හැදෑරීමට අවස්ථාව උදා වුණා. එසේ නිර්මාණකරණයට වූ උනන්දු තමයි මා අධ්‍යක්ෂවරයෙක් බවට පත් කළේ.

ඔබ ග්‍රන්ථකරණයටත් යොමු වෙලා නේද?

ඔව්. හැම නිර්මාණයකින්ම මම ඉදිරිපත් කරන්නේ මගේ අදහස්. හැම දෙයක්ම කෙටි චිත්‍රපට තුළින්ම ඉදිරිත් කරන්න නොහැකි අවස්ථාත් තියෙනවා. ඒ නිසා ඇති වූ බාධාව මා ග්‍රන්ථ රචනයට යොමු කළා. ඒ අනුව මම ‘ශාසනය හා හැළිය’ නම් කෙටි කතා එකතුවක් එළිදැක්වූවා. ඊට අමතරව මවිසින් ‘ළමා විය, සෞන්දර්ය අධ්‍යාපනය හා ළමා නාට්‍ය කලාව‘ සහ ‘ශ්‍රී ලාංකේය ළමා නාට්‍ය වංශය’ යන කෘති දෙක 2006 වසරේදී නිකුත් කළා. මේ වන විට සිනමාව සහ සාහිත්‍ය කලාව ගැන කතා කරන ‘සංරචන’ නම් වූ තෛ‍්‍රමාසික සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලෙසත් පෞද්ගලික රූපවාහිනි නාලිකාවක සති අන්ත වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කටයුතු කරනවා.

ඉදිරි ගමන ගැනත් සටහනක් තබමු?

හොඳ චිත්‍රපටයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දිනවල ඒ වෙනුවෙන් තිරපිටපතක් රචනය කරමින් තමයි ඉන්නේ. හොඳ නිෂ්පාදකවරයකු ලැබුණොත් සාර්ථක නිර්මාණයක් එළිදක්වන්න හැකි වේවි.

ෂර්ලි සමරසිංහ - 0777402580