වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මියුසික් කරන්නේ සල්ලි හම්බ කරන්න තමයි

මියුසික් කරන්නේ සල්ලි හම්බ කරන්න තමයි

දෙරණ මියුසික් අවෝඩ්ස් හි හොඳම නැගී එන ගායකයා මධුන් සමඟ කතාබහක්
මධුන්ගේ ගීතයේ පදමාලාව

අසුබ ලකුණැති සිතැඟි රූසිරි

මසිත වසඟ කළේ කිමද නොහැඟේ

නටුවෙ කටු ඇනී කටු තියුණු ඇති

මසිත වසඟ කළේ කිමද නොහැඟේ

කෙනෙකුට තම පළමු ගීතයෙන් සම්මානනීය වන්නට හැකි නම් ඔහු කෙතරම් භාග්‍යවන්තද? අප මේ කතාබහ කිරීමට සූදානම් වනුයේ එවන් වාසනාවන්තයකු සමඟය.

මධුන් දිසානායක නම් වන ඔහු අයත් වනුයේ නව පරපුරේ ගායන ශිල්පීන්ගේ කුලකයටය. අසුබ ලකුණැති නමැති ඔහුගේ කුලුඳුල් ගැයුම සම්මානයට පාත්‍ර වූයේ පසුගියදා නිම වූ දෙරණ මියුසික් අවෝර්ඩ්හිදීය. ඒ වසරේ නැගී එන නවක ගායන ශිල්පියා හැටියටය. එමෙන්ම එම ගිතයේ රූප රචනාව මෙහෙය වූ කැමරා ශිල්පී චාර්ලින් නිරෝෂන් හොඳම කැමරා ශිල්පියා ලෙස එහිදී සම්මාන දිනා ගත්තේය.

මධුන් පළමු ගීතයට මෙවන් වූ ඇගයීමක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?

මේක එක්තරා ආකාරයකින් පර්යේෂණාත්මක ගීතයක්. ඒක අහන ඕනෑම කෙනෙකුට එය පැහැදිලිව තේරෙනවා. පද රචනාවලට වඩා සංගීතයටයි ගැයුමටයි මුල් තැන දීලා තියෙන්නේ. බොහෝ ජනප්‍රිය ගීත සමඟයි ‘අසුබ ලකුණැති’ තරග වැදුනේ. හොඳ විනිශ්ච මණ්ඩලයකුත් හිටියා. මෙවන් වූ කරුණු කාරණා මත මෙම සම්මානය දෙරණ මාව අතින් අල්ලලා තව පඩියක් ඉහළට නැංගුවා වගෙයි.

‘අසුබ ලකුණැති’ ගීතයේ සම්පූර්ණ පද පේළි හතරයි. ඉන් එකක් පුන ගැයුමක්. ඒ අනුව හරියට බලද්දී එහි පේළි තුනයි තියෙන්නේ?

එකක් පර්යේෂණයේ කොටසක්. මට දෙන්න ඕනෑ පණිවුඩය මං පේළි හතරකින් මෙහිදී මං කියලා තියනවා. ඊට ඒ පේළි ටික හොඳටම ප්‍රමාණවත්. ඒ අදහස එක් පේළියකින් කියන්න පුළුවන් නම් ඒකත් මං කරනවා. නමුත් මෙයට පේළි හතරක් අවශ්‍ය වුණා. මේක සාම්ප්‍රදායික ගීතයක් නෙවෙයි.

ඔබ ඇයි ගායකයකු වුණේ?

හැකියාවක් තියෙන නිසා. ඕක තමයි මේ ප්‍රශ්නයට දෙන්න පුළුවන් හොඳම සහ කෙටි පිළිතුර. ගායකයකුට අමතරව සංගීත අධ්‍යක්ෂවරයකු වශයෙන් මං වැඩ කරනවා.

සංගීතයෙන් මුදල් හොයන පරමාර්ථය ඔබට නැතිද?

මියුසික් කරන්නේ මුදල් හම්බ කරන්න තමයි. ඒක මං නැහැ ඛ්යන්නේ නැහැ. ඒත් නිර්මාණ කරන්නේ සල්ලි බලාගෙන නෙවෙයි.

ඒ පිළිතුර ටිකක් පැහැදිලි මදි?

මෙහෙමයි, සංගීතය මගේ වෘත්තිය. ඉන් මා යැපෙනවා. හැබැයි ගීතයක් හදන්නේ ගයන්නේ රිගිං ටෝන් දාලා මුදල් හොයන්න නෙවෙයි. නිර්මාණයක් වෙනුවෙන් නිර්මාණකරු දෙන මුදල මට ප්‍රමාණවත්.

ඒත් ගීතයක් රිඟිං ටෝන් දැම්මොත් යහමින් මුදල් හම්බ කරන්න පුළුවන් නේද?

ඔව්. ඒකේ වචන දෙකක් නැහැ. ඔන්න ඔතන තමයි අපේ නව පරපුරේ ඈයොත් ගොඩක් වරද්දගෙන තියෙන්නේ. රිඟිං ටෝන් දාන්නම තමයි ගීතයක් නිර්මාණය කරන්නේ. එතකොට නිර්මාණයේ ගුණාත්මක බව පිරිහෙනවා. ‘අසුබ ලකුණැති’ ඒ තත්ත්වයට වැටුණේ නැහැ. ඒක නිසා රිගිං ටෝන්වලින් හම්බ කළෙත් නැහැ.

නව පරපුරේ ඔබේ සමකාලීනයන්ගේ නිර්මාණ ඔබ රස විඳිනවාද?

ඒවා අහනවාට වඩා මං කැමැති කේමදාසයන්ගේ නිර්මාණ අහන්න.

ඒ කියන්නේ ඔබත් ආස පෙර පරපුරේ නිර්මාණවලට?

එහෙම්මම කියන්නත් බැහැ. කසුන් කල්හාර සහ නදීක ගුරුගේ වැනි අයගේ විඳීන්න පුළුවන් ගීතත් අහනවා.

‘අසුබ ලකුණැති’ ගීතයේ පද රචනය සංගීතය වගේම වීඩියෝවට සම්බන්ධ වූ අය ගැනත් මතක් කරමු?

පසන් කුරුප්පු ආරච්චිගේ පද, සංගීතය මගේ. පුබුදු තරංගා ගායනයෙන් සහාය වුණා. ගීතයේ මිශ්‍රණය නිරෝෂන් තිලකරත්නගෙන්. වීඩියෝව අධ්‍යක්ෂණය කළේ ලක්ෂිත ප්‍රසාද්. කැමරා චාර්ලින් නිරෝෂන්, කලා අධ්‍යක්ෂණය ගයාන් කුරුප්පු ආරච්චි සමඟ ෂැගී යසිත්. රංගනයෙන් දුලංජලි පෙරේරා සහභාගි වුණා. සංස්කරණය ලහිරු රබෙල්ගෙනි. මෙම වීඩියෝව අන්තර් ජාලයේ යූ ටියුබ් ඔස්සේ නරඹන්න පුළුවන්.

ඔබේ ඊළඟ නිර්මාණ කටයුත්ත මොකක්ද?

දෙවැන්නත් පර්යේෂණාත්මක ගීතයක්. එය විනාඩි අටක් ඔස්සේ දිග හැරෙනවා.

විනාඩි 8 ක්?

ඔව් මට දෙන්න වුවමනා පණිවුඩය දෙන්න විනාඩි අටක් ඕනේ. එහි අන්තර්ගතය පුංචි ප්‍රේම කතාවක්. හරියට ෂෝට් ෆිල්ම් එකක් වගේ.

ඔබේ අලුත් නිර්මාණය ගුවන් විදුලි රූපවාහිනී මාධ්‍ය ඔස්සේ රසිකයන් අතරට යාවිද?

මං හිතන්නේ බොහෝ මාධ්‍ය ආයතන ප්‍රචාරය කරන එකක් නැහැ. සමහර විට භාගයක් පෙන්නාවි.

එතකොට කොහොමද ඒක රසික රසිකාවන් දැක බලා ගන්නේ?

අනිවාර්යයෙන්ම එය අන්තර් ජාලයට දානවා. අවශ්‍ය අය කොහොම හරි හොයාගෙන බලාවි.

හැමෝටම අන්තර් ජාල පහසුකම් නැහැනේ?

අවශ්‍යතාවය ඇත්නම් කොහොම හරි හොයාගෙන නරඹන කෙනා නරඹනවා.