|
නිධානය ගිල්ල රටට රණමයුර කජ්ජක්ද
සම්මාන උලෙළ දා එය අතැතිව රියර් අද්මිරාල් සෝමතිලක දිසානායක සහ මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් ධම්මිකා සේමසිංහ සමඟ ආචාර්ය ලෙස්ටර්-සුමිත්‍රා යුවළ
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ දේහය අසල තැන්පත් කර තිබූ රණ මයුර සම්මානයේ අනුරුව අතුරුදහන්වීම මෙරට සියලු දෙනා කෙරෙහි ඇති කරන ලද්දේ කම්පාවකි. එය රවීන්ද්‍ර රන්දෙනිය වැනි රංගධරයන් එය කෙසේ හෝ නැවත ලබාදෙන්නට යැයි විද්්‍යුත් මාධ්‍ය ඔස්සේ බෑගපත් විය. ඒ එහි වටිනාකම දන්නා නිසාය. එය යළි හමුවිම වාසනාවකි.රණ මයුර සම්මානය සොරකම් කිරීම මෙරට සමාජය පිළිබඳ අලුත් කතිකාවක් ඇති කරලීම ට සමත් විය.රණ මයුර සම්මානය මෙරටට අහිමි වූ මුල්ම අවස්ථාව මෙය නොවීය. 1965 වසරේ ජනවාර් 21 වැනි දින ශ්‍රී ලංකාව ලෝක සිනමාවේ අවධානය මුල් වරට දිනා ගනිමින් රණමයුර සිනමා සම්මානය දිනා ගත්තේ ඉන්දියානු සිනමා ඉතිහාසයේ ද අසමසම වාර්තාවක් තබමිනි.ප්‍රංශයේ පිහිටි චිත්‍රපට නිෂ්පාදන ෆෙඩරේෂනය මගින් ලොව සිනමා උත්සව වර්ගීකරණය කිරීම යටතේ නවදිල්ලි (එකල ඉන්දියානු සිනමා උලෙළ හැදින්වූයේ එහෙමය) අන්තර්ජාතික සිනමා උලෙළ ලෝකයේ අංක එකේ සිනමා උලෙළක් ලෙස වර්ග කරනු ගැබුවේ 1965 සිනමා උලෙළ සමගය. ඒ අනුව නවදිල්ලි නැතහොත් ඉන්දියානු සිනමා උලෙළ කාන්ස්, වැනිස්, බර්ලින්, කාලෝවිවාරි, මොස්කව් යන අන්තර්ජාතික සිනමා උත්සව තළයෙහි ලා සළකන්නට පටන් ගැනිණ.අද මෙන් පඳුරක් ගානේ සිනමා උලෙළයන් එකල නොපැවැත්වු අතර පැවැත්වූ සිනමා උත්සව ද නිශ්චිත ක්‍රමවේදයක් යටතේ වර්ගීකරණය කරනු ලැබිණ.දිල්ලි උලෙළ ඉහල ගණයේ උලෙළක් ලෙස සහතික ලැබීමත් සමග එහි තරගකාරි අංශයක් ඇති කරන ලද අතර ලොවපුරා සිනමාකරුවන්ට තරග වදින්නට ඉඩ ලැබිණ. සිනමා විනිශ්චය මණ්ඩලයේ සභාපතිධුරය දරන ලද්දේ සත්‍යජිත් රායි විසිනි.මේ අනුව ලංකාව මුල් වරට ජාත්‍යන්තර සම්මානයෙන් පුද ලද ගම්පෙරළිය ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ දී හොඳම චිත්‍රපටය ලෙස රණමයුර සම්මානය දිනා ගත් මුල්ම චිත්‍රපටය ද විය.එම සම්මානය පිරිනැමෙනුයේ චිත්‍රපටයේ නිෂ්පාදක අතටය.එවර සම්මාන උලෙළ සඳහා චිත්‍රපටය නියෝජනය කරමින් නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ. සම නිෂ්පාදිකා සංස්කරණ ශිල්පිනි සුමිත්‍රා පීරිස් එහි ජිනදාස ගේ චරිතය රඟපෑ ගාමිණි ෆොන්සේකා ඒ වන විට සිනමාලේඛකයකු ලෙස නමක් දිනා සිටි අමරනාත් ජයතිලක සහභාගිවූ වග වාර්තා වෙයි. එම සම්මානය දිනා ගැන්මට පෙරාතුව පැවැත්වූ සරසවිය මුල්ම සම්මාන උලෙළේ දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගනිමින් ගම්පෙරළිය ලංකික සිනමාවේ ද වාර්තාවක් පිහිටුවා තිබිණ.ගම්පෙරළිය සම්මාන දිනා රත්මලාන ගුවන් තොටුපලින් ලංකාවට පැමිණෙන ආරංචියට රසික රසිකාවන් රැසක් ද සහභාගි වූ අතර එහි සිටි එක් යුවතියක් එයින් පසු මෙරට විශිෂ්ටතම රංගවේදිනියක ලෙස බුහුමණට පාත්‍රවූවාය. ඇය ස්වර්ණා මල්ලාවරච්චිය.1965 ජනවාරි 21 වැනි දිනය යනු මුල්ම සිංහල කථානාද චිත්‍රපටය කඩවුණු පොරොන්දුව තිර ගත කොට 18 වසරක් සපිරෙන දිනයයි. එදා මෙදා තුර ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේදී හොඳම චිත්‍රපටයට හිමි රණමයුර සම්මානය දිනාගන්නට කිසිදු ශ්‍රී ලාංකික සිනමාකරුවකු සමත් වූයේ නැත. හොඳම නිළියට හිමි රජත මයුර සම්මානය අනෝජා වීරසිංහ, මාලිනී ෆොන්සේකා, අංජලී පටෙල් විසින් දිනාගන්නා ලදී. කෙසේ හෝ මෙම සම්මානය එයින් පසු පැවැතියේ ඇන්ටන් වික්‍රමසිංහ සතුවය.එය එම සම්මානයේ සැබෑ උරුමකරු වු ආචාර්ය ලෙස්ටර් අතට පත් නොවීය.කලාකෘති එකතු කරන්නෙකු ලෙස ද පතළ ව සිටි ඇන්ටන් වික්‍රමසිංහ සතුව අගනා චිත්‍ර එකතුවක් ද වුයේයැයි පැවසේ. එමෙන්ම ඔහු කොළඹ සිනමා සමාජයේ සාමාජිකයකු ද විය. ගම්පෙරළිය නිපදවීමේ පිනින් පසුකලක ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති පදවියට පත් වු වික්‍රමසිංහ එකල මෙම අගනා රණමයුර සම්මානය එහි යන එන්නවුන්ට පෙන්වා සතුටු වූ බව පැවසේ.එහෙත් ඇන්ටන් වික්‍රමසිංහයන්ගේ අභාවයෙන් පසු සම්මානය අතුරුදන් විය.ඒ සමග ඔහු සතුව තිබූ අගනා චිත්‍ර ගොන්න ද අතුරුදන් විය. කිසිවකු විසින් එම චිත්‍ර තොගය විකුණා දැමීම සහ සම්මානය උණු කොට රත්තරන් ලබා ගත් වග නිළ නොළත් ආරංචි විය.අප රටට පමණක් නොව ඉන්දියාවට ද වටිනා මුල් රණමයුර සම්මානය අවසන් වූයේ එහෙමය.ඒ පිළිබඳ ආචාර්ය ලෙස්ටර් මහත් කම්පාවට පාත්‍රවූයේය.2000 වසරේ දි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළ සිය යාවජීව සිනමා සම්මානය පුදන්නට තෝරා ගන්නා ලද්දේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. ඒ නව සහශ්‍රකයේ ආරම්භයත් සමඟ එළැඹෙන සිනමා උලෙළ දීය.උලෙළ පැවැත්වූයේ නවදිලලියේ සිරිෆෝට් සංකීර්ණයේය.උලෙළ නිමා කරන ලද දවසේ එයට තිස් පස් වසරකට පෙරාතුව එවන් දිනයකම ගම්පෙරළිය චිත්‍රපටයේ අලුත් පිටපතක් තිර ගත කෙරිණ. ඒ අලුත් පිටපතක් මුම්බායි හිදී මුද්‍රණය කෙරුණ අතර එය රැගෙන නවදිල්ලියට පැමිණියේ චිත්‍රපට සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙක් මෙන්ම ආචාර්ය ලෙස්ටර්ගේ චිත්‍රපට කිහිපයකටම සහාය අධ්‍යක්ෂවරයෙකු වූ අයිවන් වීරක්කොඩිය. එම සිනමා උළෙට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවෙන් ප්‍රවීණ නළු සනත් ගුණතිලක,සිනමාවේදී පරාක්‍රම නිරිඇල්ල.ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර,ප්‍රවීණ සිනමා විචාරක ඈෂ්ලි රත්න විභූෂණ සමග මම ද නවදිල්ලිය බලා පිටත්ව ගොස් සිටියෙමි.ෆිල්ම් ලොකේෂන් සර්විස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂව සිටි අශෝක පෙරේරා ද උලෙළට සහභාගිව සිටි අතර අවසන් දිනයේ එහි සභාපති වූ චන්ද්‍රන් රත්නම් එයට එක් විය. ඉන්දියාවේ එකල ශ්‍රී ලංකා මහා කොමසාරිස් වූ මංගල මුණසිංහ මහතා මෙන්ම එවකට එහි ආරක්ෂක කටයුතු බාරව සිටි රියර් අද්මිරාල් සෝමතිලක දිසානායක (පසුකලක නාවික හමුදාපති, ගීත රචක) ද මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් වරිය ලෙස කටයුතු කළ ධම්මිකා සේරසිංහ ද ආචාර්ය ලෙස්ටර් සහ සුමිත්‍රා යුවළගේ ආගන්තුක සත්කාරය වෙනුවෙන් එවර කැපවූහ.ආචාර්ය ලෙස්ටර් යුවළ මෙන්ම මාද ඇතුළු සෙසු ලාංකික ආගන්තුකයන් නැවතී සිටියේ අශෝක් හෝටලයේය.මේ වන විට නවදිල්ලිය වෙනත් ජනවාරියන්ට වඩා අධික සීතලෙන් වෙලී තිබිණ.එහෙත් සිනමා උත්සවයේ පැවැත්වූ වෙනත් චිත්‍රපට නරඹන්නට ආචාර්ය ලෙස්ටර්ට තිබුණ උනන්දුවේ අඩුවක් නොවිණ. සුප්‍රකට ස්පාඥ්ඤ සිනමාකරු පෙද්‍රෝ අල්මොදෝවා ගේ ඕල් එබවුට් මයි මදර් චිත්‍රපටය තිර ගත වුණේ අධික සීතලෙන් යුත් රාත්‍රියක වුවත් ඒ වන විටත් 81 හැවිරිදි මහා සිනමාකරුවානන්ට හොඳ චිත්‍රපටයක් නැරඹීමට අයහපත් කාලගුණය බාධාවක් නොවීය.ජනවාරි 21 වැනි දින නවදිල්ලියේ පැවැත් වූ සිනමා උළලේ අවසන් දිනයේ ආචාර්ය ලෙස්ටර්ට යාවජීව සිනමා සම්මානය ට අමතරව ගම්පෙරළිය චිත්‍රපටයෙන් අතුරුදන් වූ රණ මයුර සම්මානය වෙනුවට ආදේශක අලුත් සම්මානයක් ද තිළින ලෙස පිරිනැමිණ. ඒ පිළිබඳ ආචාර්ය ලෙස්ටර් කතාවක් ද කළේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට පෙර ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළ යාවජීව සම්මානයක් පුද කොට තිබුණේ එයට පෙර හයිද්‍රාබාද් නගරයේ පැවැත්වූ උලෙළේ දී සුප්‍රකට ඉතාලි සිනමාකරු බර්නාඩෝ බර්ටොලුචීටය. (එම කාලයේ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළ එක් වසරක් නවදිල්ලියේ ද තවත් වසරක වෙනත් ප්‍රාන්ත අගනගරයක ද පවත්වනු ලැබුවේය) සම්මානය ලබා ගැනීමෙන් පසු අශෝක් හෝටලයට පැමිණිමේ දී ආචාර්ය ලෙස්ටර් අත තිබුණු සම්මානය එතුමන් ළඟින් මා අතට ගත්තේ මහත් ගෞරවයකිනි.මෙම සම්මානය දිනීමේ අසිරිමත් පුවත මෙරට පුවත්පත් සදහා වහාම යොමු කරවන්නට සනත් ගුණතිලක කටයුතු කළේය. සනත් විශේෂයෙන් එයට මැදිහත් නොවන්නට එබඳු වැදගත් පුවතක් මෙරට ඉංග්‍රිසි පුවත්පත්වලට නොවැදගත් වන්නට ඉඩ තිබිණ. එදින රාති‍්‍රයේ චන්ද්‍රන් රත්නම් අශෝක් හෝටලයේ දී සාදයක් සංවිධානය කර තිබිණ.එම සාදයට ශ්‍රිලාංකික නියෝජිතයන් ද අධූර් ගෝපාල ක්‍රිෂ්ණන් ද උලෙළේ තිර ගත වූ ඉංග්මාර් බර්ග්මාන්ගේ පර්සෝනා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑ බිබි ඇන්ඩර්සන් ද ඇමෙරිකාවේ සිට පැමිනි මහාචාර්ය විමල් දිසානායක ද මහ කොමසාරිස් කාර්යාලයේ ඉහළ නිළධාරින් කිහිප දෙනෙක් ද සහභාගි වූහ. චන්ද්‍රන් රත්නම් හා අශෝක පෙරේරාගේ නිෂ්පාදනයක් ලෙස ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ වෑකන්ද වලව්ව තනන්නට පිඹුරුපත් සැකසුණේ එයින් පසුවය. එම උත්සවයෙන් පසු ආචාර්ය ලෙස්ටර් නැවත දිනූ රණ තිසර සම්මානය එතුමන් ළග මරණය දක්වාම සුරැකිව තිබිණ.එහෙත් මේ කතාව මෙතැනින් නිම නොවිය යුතුය. මෙයට වසරකට පමණ පෙර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ බර පොදියක් රැගෙන යන සැක කටයුතු පුද්ගලයකු පොලිසිය විසින් පරික්ෂා කරනු ලද විට එහි තිබුනේ ලෙස්ටර් සුමිත්‍රා නිවසින් සොරා ගන්නා ලද සම්මාන කිහිපයකි.ඒ සම්මාන කතාවයි. එයට පෙර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ නිධානය චිත්‍රපටයේ දළ සේයා පිටපත සුරක්ෂිතව තබා ගන්නට බාර දුන් පසු සරසවි චිත්‍රාගාරයේ දී අතුගා එළියට දමා විනාශ කළ පුවත සුප්‍රසිද්ධ කරුණකි.සුමිත්‍රා පීරිස් මහත්මිය ගේ ගඟ අද්දරට වූයේ ද එම සන්තෑසියමය. මේ මහා සිනමා යුවළ විසින් මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ මාහැඟි සිනමාකෘති කීයක් අද ඉතිරිව තිබෙන්නේ ද? එම සිනමා කෘති නැතිවුණා යැයි දිවට තොළට නොගැවී කියැවීමෙන් එම වගකීමෙන් මිදෙන්නට මෙරට සිනමා බළධාරින්ට හැකිවේද යන පැනය ඉතිරිව ඇත. ආචාර්ය ලෙස්ටර් උපන් දෙහිවල නිවස මහපොළවට සමතලා කරනු ලැබීය. කල් නොයවාමා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ අංක 24 දරණ නිවස එතුමාගේ සිනමා සංරක්ෂණාගාරය ලෙස නම් කොට එහි ඇති සියලු සම්මාන පමණක් නොව චිත්‍රපට ද ආරක්ෂා කළ යුතුව ඇත. මෙරට චිත්‍රපට සංරක්ෂණය පිළිබඳ මුල්ම අදහස පළ කළේ ද ඒ ගැන පැවසුවේ ද එතුමාය.කොළඹ ලේඛනාගාරයේ ඇති රාජ්‍ය සිනමා සංරක්ෂණාගාරය එතුමන් නමින් නම්ව ඇති වග නම් ඇත්තය.එයින් එහා සංරක්ෂණය කළ යුතු තවත් දේ බොහොමයකි.ආචාර්ය ලෙස්ටර් සතු සියලු සටහන් එහි ආරක්ෂා විය යුතුය.
|