|
ලැඩී හා මාක් කරට කර රඟපෑ දුප්පතාගේ දුක
1956 අගෝස්තු 10වන දින ප්‍රදර්ශනය ඇරඹු "දුප්පතාගේ දුක" "ත්‍රිලින්ග්" ගනයේ චිත්‍රපටයක් යැයි කිවහොත් වැරදි නැත. මෙය වරෙක, "රොමැන්ටික්" වේ. එහෙත් ඒ රොමැන්ටික් තුළ තිබුණේ හරිම ළාමක බවකි. එහී පෙම්වතුන් ආදරය කරන්නේද පොතේ වචනයෙනි. "ඔබ මට ආලය කරනවාද?" යනුවෙන් පෙම්වතිය අසන විට පෙම්වතා " ඔව් මාගේ ප්‍රානයටත් වඩා මා ඔබට ආලය කරමි" යයි කියයි. 1956 යනු මුල් සිංහල චිත්‍රපටය නිපදවා වසර 9ක් පමණ ගෙවී ගොස්ය. අන් අතකට මේවා අධ්‍යක්ෂනය කලේත් දමිල අධ්‍යක්ෂකවරුන්ය. සත්‍ය නම් එකල ප්‍රේක්ෂකයන්ද හුරුවී තිබුනේ නාට්‍යමය දෙබස්වලටය. චිත්‍රපටයේ නාමාවලිය දිස්වන්නේ, පාන් ගෙඩිය සහ බයිබලයයි. මෙහි එන මුඛ්‍ය චරිතය වූ "බලදේව" ඒසා විශාල දුක් කන්දරාවකට මුහුණ දෙන්නට සිදුවෙන්නෙ "පාන් ගෙඩියක්" හොරකම් කිරීමෙනි. ඔහු පාන්ගෙඩිය හොරකම් කර දුවන විට මුලු නගරයේම සෙනග ඔහු පසු පස දුවයි. නීතියද බලදේවගේ පාන්ගෙඩි හොරකමට දුන්නේ බරපතළ වැඩ ඇතිව සිර දඩුවම්ය. අධ්‍යක්ෂක මිත්‍රදාස් 50 දශකයේ ප්‍රේක්ෂකයන්ව සංව්දී කිරීමට බාල වර්ගයේ උපක්‍රම යෙදුවේ ඒ අයුරිනි.ඒ දශකයේ ගැහැනුන්ට අවශ්‍ය වූයේ හඩ හඩා චිත්‍රපට බැලීමටය. එකල බොහෝ සිංහල චිත්‍රපට අධ්‍යක්ෂනය කලේ ඉන්දියානුවන්ය. ඉන්දියානු ගැහැණු හඩවනවාක් මෙන් ඔවුනට ලංකාවේ ගැහැනුන්වද හඩවන්නට උවමනා විය. අපේ ගැහැනුද ඉන්දිය ගැහැනුන් අභිබවා හඩන්නට දක්ෂය. එහෙයින් අධ්‍යක්ෂක මිත්‍රදාස්, ලංකාවේ ගැහැනුන් පමණක් නොව සංවේදි වන මිනිස්සුන් හරහා "ස්කොර්" කලේ මේ හඩන්නට හැකි ජවනිකා දැමීමෙනි. ඒ බලදේව, තම සොහොයුරියගේ කුඩා දරු දැරියන්ගේ බඩගිනි නිවන්නට පාන් ගෙඩියක් සොරකම් කර සිරගෙට යෑමෙන්, එලෙසම සොහොයුරියගේ කුඩා වැඩිමහල් දියණිය, ඔහුව බැලීමට සිර ගෙදරට පැමිණීමෙන්, ඔහුට දරු තිදෙනාව මතක් වී සිරගෙයින් පලා ගොස් දරුවන් බැලීමෙන්, ඒ වන විට ,ඔහුගේ සොහොයුරිය, වූ මේ දරු තිදෙනාගේ මව එවලේ මිය ගොස් සිටීමෙන්, ඒ මොහොතේම පොලිසියෙන් පැමිණ, ඔහුව අත් අඩංගුවට ගෙන, බරපතළ වැඩ ඇතිව අව්රුදු 10ක් සිර ගෙදරට දැමීමෙන්ය. බලදේව භයානක හොරෙක් ලෙස හංවඩු ගැසුවද, ඔහු ඒ වන විටත් හොරකම් කලේ පාන් රාත්තලක් පමණී, මිනී මරුවෙක් ලෙස හංවඩු ගැසුවද, ඔහු මැරූ මිනිහෙක් නැත. පසුව ඔහු පල්ලියේ සුවාමිගේ රිදී බදුන් හොරකම් කෙරීය. ඒවා බිහිසුණු සොරකම් නොවූවද, අධ්‍යක්ෂක මිත්‍රදාස් ට අනුව නම් එය භයානක හොරකමකි. එහෙත් ප්‍රේක්ෂකයන්ට නම් බලදාස හොරෙක් , මිනීමරුවෙක් කියා දැනෙන්නේම නැත. සොරකම් කෙරු සුවාමිගේ රිදී බදුන්, සමග පොලිසිය විසින් බලදේව ව සුවාමි ලගට ගෙන ආවද, සුවාමි ඒවා බලදාසට තැගී පිණිස දුන් බවක් අගවා පොලිස් නිලධාරින්ව එතැනින් ඉවත් කර, එම බඩු සියල්ලම බලදේවට දී, ඒවා විකුණා ව්‍යාපාරයක් පටන් ගෙන, දියුණු වෙන්නට කියා,බයිබලයක් දී එය කියවා යහපත් මිනිසෙකු වන්නටද කීවේය. පසුව අව්රුදු දෙකතුනක් ඇතුලත බලදේව ධන කූවේරයක් විය. එලෙසම බලදේව ධර්මසිරි මුදලාලි ලෙස නමද වෙනස් කර ගතී. ඔහුගේ කර්මාන්ත ශාලාවල ගැහැනුන් වැඩ කරන්නේ සිංදු කියමින් ෆුල් ජොලියේය. "ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ, වේවා බැබලේවා මේ කර්මාන්තේ" මේ ඒ වැඩකරන විට, ජොලිය දැනුනු පසු ගැයූ ගීතයකි. එම කර්මාන්ත ශාලාවේ වැඩ කරන තරුණියන් පෙම් ගී නොගයා ජාතික ආලය වඩම්මන දේශාභිමාන ගීත ගැයීමට සැලැස්වීමෙන්, නිශ්පාදක කේ. ගුණරත්නම්, "දුප්පතාගේ දුක"ට පොඩි දේශාභිමාන ගැම්මකුත් දී සිංහල ජනතාව ඉදිරියේ "ලකුණු"දාගත්තේය. "සේතන් අයියගෙ හෝටලයේ, කෑමට, බීමට රසයි ගුණයි" සේතන් අයියත්, ඔහුගේ බිරිදත්, "දුප්පතාගේ දුක චිත්‍රපටයේ තවත් ප්‍රධාන වූ චරිත දෙකකි. මෙම චරිත දෙක ධර්මසිරි මුදලාලි සමග තරමක සමගාමිව යන්නෙකි. සටකපට සේතන් සහ ඔහුගේ බිරිද ට අවශ්‍ය බල්ලො මරා හෝ සල්ලිය. මුලින් ඔවුන් හෝටලයක් කරන බවක් පෙන්වයි. "සේතන් අයියගේ හෝටලයේ" ගීතය ගයමින් දෙන්නා දෙමහල්ලෝ, කෑම බීම විකුණන බව පෙන්වූවද, ඉන් පසු ඒ හෝටලයට සිදුවුණු දෙයක් නැත. චිත්‍රපටයේ නිළියන් තිදෙනෙකි.මෙයින් ප්‍රධාන නිළිය පද්මාද, මල්ලිකාද, නැත්නම්, නාලනීදැයි තෝරා බේරා ගැන්මට අපහසුය. මෙහි පද්මා ලෙස කාන්ති ගුණතුංගද, මල්ලිකා ලෙස උදුලා දාබරේද, නාලනී ලෙස ගර්ලි ගුණවර්ධනද රගපෑවෝය. මොවුන් තිදෙනාගෙන්ම චිත්‍රපටයට, ඉමහත් ආකර්ෂණයක් ලැබුනු අතර, තිදෙනාටම ගීත ජවනිකාවලට රගපෑමට සිදුවූ හෙයින්, ඔවුන්, එකිනෙකා පරයමින්, එම රංගනයේ යෙදුනි. ජී.එස්.බී රාණී පෙරේරා ගැයු "චන්ද්‍රා කාන්ති සාගරේ, ගිලිලා නාමි ආදරේ" ගීතය කාන්ති ගුණතුංගටත්, ලතා වල්පොල ගයන "පුර සද ලෙස මම බැබලෙනවා, නොබලන ඇස් දෙක මැලවෙනවා" සහ, "හායි හායි හායි ලොව පෙරලෙනවා" ගීත දෙක උදුලා දාබරේටත්, ලතා වල්පොල ගයන "ඉගි බිගි පාලා, කුල්මත් වීලා මා පසු පස එන්නේ ඇයි" ගීතය ගර්ලි ගුණවර්ධනටත් රගපෑමට ලැබුනි. එකල ඔය සියලුම ගීත මෙන්ම ඒ ඒ ජවනිකා කාන්ඩද අතීශයින්ම ජනප්‍රිය වී තිබුනි. චිත්‍රපටය මැද භාගය තුල ත්‍රිකෝණ ප්‍රේම වෘතාන්තයක් පෙන්වයි. ඒ තිලක්, මල්ලිකා හා නාලනී අතරය. මල්ලිකාගේ පැත්තෙන් තිබුනේ, ඒක පාක්ෂීක ආදරයකි. තිලක් ආදරය කලේ නාලනීටය. නමුත් ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වූ පරිද්දෙන්ම කොහෙන් හෝ වෙඩි පාරක් වැදී මල්ලිකා ජීවිතක්ෂයට පත්වෙන්නේ, තව තවත් තිලක්ටත්, නාලනීටත් "ඇනයක්" නොවෙන්නය. කොහොමත් මල්ලිකා, තිලක්ගේ ආදරය ලබා ගැන්ම සදහා, තිලක් ඉදිරියේ සිංදු කියමින් නටමින් අවධානය දිනාගැන්මට තිලක්ට "වාතයක්" වුණා මිස, තිලක්ටත් නාලනීටත් ඒ තරම්ම "කොක්කක්" වූයේ නැත . චිත්‍රපටයේ රොමැන්තික බව සුලු වශයෙන් හෝ තිබුනේ,මල්ලිකා, තිලක් ,හා නාලනී අතෙර්ය. එය ජීවමාන කලේ උදුලා දාබරේ, ස්ටැන්ලි පෙරේරා හා ගර්ලි ගුණවර්ධනය. "දුප්පතාගේ දුක" චිත්‍රපටය , බටහිර චිත්‍රපටයක මෙන් "ඩිටෙක්ටිව්" "ඇඩ්වෙන්චර්" සහ "ත්‍රිල්" යන ත්‍රිවිත්වය සම්මිශ්‍රණය වී තිබුනි. බලදේවගේ චරිතය චරිත තුනකට, ව්‍යාප්ත වේ. දුප්පත් කාලයේ,මෙන්ම සිර ගෙදර සිටි කාලයේද, ඔහු ව හැදින්වූයේ බලදේව යන නමින්මය. ධනවත් ව්‍යාපාරකයෙක් වූ පසු, ඔහු ධර්මසිරි මුදලාලි යන නමින් හැදින්විය. ඒ අතරවාරයේ ඔහු අබේපාල නමින්ද තැන් කීපයක හැදින්විය. හේතුවක් ඇතුවත් හේතුවක් නැතුවත්, ඔහු පසු පස එලවන්නේ ඉන්ස්පෙක්ටර් ජයසිංහය. එලෙසම, ඔහුගෙන් මුදල් කඩා ගැනීමට සටකපට කම් කරන්නේ සේතන් අයියාය. චිත්‍රපටය තුල අර ඉහත කී, "ඩිටෙක්ටිව්, ඇඩ්වෙන්චර්, ත්‍රිල් යන ත්‍රීත්වය දෝලනය වන්නේ, මෙම තිදෙනා අතරය. ඉන්ස්පෙක්ටර් බලදේව නොහොත්, ධර්මසිරි පසු පස එලවන හේතුව පැහැදිලි නොවේ. චිත්‍රපටයේ කථාවට අනූකූලව, බලදේව තම දඩුවම වූ අවුරුදු 10ය ගෙවා සම්පූර්නයෙන්ම නිදහස් වේ. දඩුවම ගෙවා නිදහස් වූ කෙනෙකුට, හැම මසකම පොලිසියේ පෙනී සිටිය යුතුයැයි, නීතියක් නැත. ඇතැම් විට අධ්‍යක්ෂක, මිත්‍රදාස් නීතිය ගැන එතරම් අවධානයක් යොමු කර නැති වන්නට ඇත. ඉන්ස්පෙක්ටර් ජයසිංහ, බලදේව නොහොත් ධර්මසිරි පසුපස එළවන එකම හේතුව, ඔහු නිදහස් වූ පසුත්, මාසයකට වරක් පැමිණ පොලිසියේ පෙනී නොසිටිය නිසාය. එම හේතුව ගැන සිතෙන විට, අර ත්‍රිල් යන වචනය දියාරු වේ. එය නිකං පොඩි ළමයින් සෙල්ලම් කරන "හොරා පොලිස්"සෙල්ලම වගේය. චිත්‍රපටය තවත් ත්‍රිල් කරන්නට, තිලක් වාමාංශීක කැරලි කාර නායකයෙකු ලෙස පෙන්වයි. අවසානයෙදී නම් කවුදෝ කට්ටියක් සමග තිලක්ලගේ කට්ටිය වෙඩි තබාගනී. එතනදී තිලක්ව බේරා ගන්නට එන මල්ලිකාට වෙඩි වදී. ඒ සමගම තිලක්ටද වෙඩි වදියි. කැරැල්ල එතනින් නිම වෙයි. මල්ලිකා මිය යයි. තිලක් යනු පොලිස්පතිගේ පුතා බව හදුනා ගැන. එතැනින් පසු ජරමර ගොඩකි. ඉන්ස්පෙක්ටර් වරයා තවමත් ධර්මසිරිගේ පසු පසය. ඔහුට අවශ්‍ය කෙසේ හෝ ධර්මසිරි නොහොත් බලදේවව පොලිස් රැහැනට අසු කර දීමය. ඉන්ස්පෙක්ටර් වරයා, බලදේව හා විශේෂිත වෛරයක් නැත. ඔහුට අවශ්‍ය රාජකාරිය අකුරටම ඉටු කිරීමටය. ඔහු කියන්නේ පොලිස් රාජකාරියත්, අනුකම්පාවත් එකට යන්නේ නැති බවය. ඔහු කියන්නේ කිසියම් දිනයක ඔහුගේ සිතට අනුකම්පාවක් ඇති වුවහොත් ඒ ඔහුගේ ජීවිතයේ අවසාන දිනය බවය. එහෙත් කැරලිකාර නායකයෙකු මෙන්ම මිනිස් ඝාතන කල පොලිස්පතිවරයාගේ පුත්‍ර තිලක්ට පමනක් දැක්වූ විශේෂ සැලකිල්ල, ඔහු පොලිස්පතිගේ පුත්‍රයා නිසා නොවේදැයි, බලදේව ඉන්ස්පෙක්ටර් වරයාගෙන් විමසුවේය ඔහුගේ ප්‍රතිපත්ති පොලිස්පති වරයාට එකකුත්, පොඩි මිනිසුන්ට එකකුත් දැයි බලදේව විමසූ විට, ඉන්ස්පෙක්ටර් වරයා නිරුත්තර විය.අවසානයේ ඉන්ස්පෙක්ටර් වරයා කිව් ලෙසම ඔහු උස් පාලමකින් ගගට පැන දිවි නසාගති. මේවා හරි පුදුම "කන්සෙප්ට්" ය. අධ්‍යක්ෂක මිත්‍රදාස්ටද කරන්නට දෙයක් නැත. හේතුව මෙම කථාව ගත්තේ "ලේ මිසරාබල්" යන කෘතියෙන් නිසාය. අවසානයේ සේතන් ද මිය යයි. කථාවේ මුඛ්‍ය චරිතය වූ, බලදේව, නොහොත් ධර්මසිරි, නොහොත් අබේපාල මිය යන්නේ, හෘදාබාධයක් හැදීය. අවසානයේ ඔහු ඔහුගේ මිනිබිරිය වූ නාලනී ගේ දෑත් තිලක් ගේ දෑත් හා එක්කොට මිය යයි. "දුප්පතාගේ දුක" "නිමි" වෙයි. ප්‍රේක්ෂකයන් අසුන් වලින් නැගිට, ශාලාවෙන් පිට වෙයි. එසේ ශාලාවෙන් පිටවුනිද "දුප්පතාගේ දුක" තුලින් ඔවුනට සිතන්නට යමක් ඉතිරි කර තිබුනි. වර්ෂ 1956 යනු සිංහල චිත්‍රපටවල මුල්ම අවදියය. එහෙයින් බොහෝදෑ බලාපොරොත්තු විය නොහැකිය. නමුත් ඉන්දීය පලපුරුදු,අධ්‍යක්ෂකවරයෙක් වූ මිත්‍රදාස්, එකල හැටියට තමාගේ කාර්යන් ඉහටත් උඩින් කර තිබුනි. එකල මිනිසුන්ට අවශ්‍ය විනෝදයය. ඒ විමෝදයට ඔහු කිසියම්වූ වටිනාකමක් එකතු කළේය. ඒ චිත්‍රපටයට විවිධත්වයක් ගෙන ඒමෙනි. 50දශකයේ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වන, දුක, සතුට, සන්තාපය, ගීතය, රැගුම, ගැටුම, ආදරය, ආලය,කරුණාව, දයාව, මේ හැම දෙයකම සංකලනයක් සලෝලයිට් පටියකට ඔබ්බවා, දක්ෂිණමූර්තිගේ සංගීතය ඒ තුලට රිංගවා, දශක ගනනාවකට සරිලන අපූරු චිත්‍රපටයක් කිරීමට කේ.ගුණරත්නම් සමග එක්වූ මිත්‍රදාස්ට හැකිවිය. එහෙත් එය එම සැලෝලයිඩ් පටයේ ජීවමාන කලේ නම් ලැඩී රණසිංහය. බලදේව, ධර්මසිරි,අබේපාල යන චරිත ත්‍රීත්වය තුල ඔහු ජීවත්වූ ආකාරය නම් අද්විතීයය. නාට්‍යමය රංගන විලාසයන් මුලුමනින්ම වෙලා ගත්, සිනමාවේ 50 දශකය තුල, "රියැලටික්" රංගනය හදුන්වා දුන්නේ ලැඩී රණසිංහය. ඒ මේ "දුප්පතාගේ දුක" චිත්‍රපටය තුලිනි. මුලු සිනමාපටය පුරාම, චරිත කීපයකට අවතීර්න වෙමින්, විටින් විට මාරුවන හැගීම් ,තම මුහුනට බද්ධ කර ගනිමින්, කල ඒ අසිරුවූ රංගනය, එකල බටහිර චිත්‍රපටවල රගපෑ නළුවන් සමග වූවද සම කල හැකිය. ලැඩී රණසිංහ සතු වූ සිනමා පෞරුෂත්වය ලාංකේය සිනමාවට නැවුම් වූ අත්දැකීමක් විය. එම පෞරුෂත්වයම පසු කලෙක ඉදිරියට ගෙන ගියේ, ආනන්ද ජයරත්න, හා ගාමිණී ෆොන්සේකාය. ගාමිණීද මුල් කාලයේ බොහෝ විට අනුගමනය කලේ ලැඩී රණසිංහගේ රංගන ශෛලයන් බව, ගාමිණී වාර ගනනාවකදීම ප්‍රකාශ කර තිබුනි. "දුප්පතාගේ දුක" තුළ තිබු ප්‍රබලතම සුවිශේශත්වය, ලැඩී රණසිංහමය.ලැඩී නොසිටියානම් "දුප්පතාගේ දුක"ද, දුකක්ම වන්නට තිබුනි. එහෙත් ඔහු එහී රගපෑ චරිතයන් තුල ඔහුගේ ඉරියව් වෙනස් වන අන්දම, දකින විට මේ ලෝකයටම යා යුතු ශ්‍රෙෂ්ඨ රංගධාරියෙක්යැයි සිතේ. සේතන් ලෙස රගපෑ හියුගෝ ප්‍රනාන්දු ද ලැඩී රණසිංහ හා සමාන්තරව රගපාන්නට විය. වෘත්තීය නළුවන් යැයි "කැටගරියක්" බිහිකිරීමේ පුරෝගාමින් ලෙස ලැඩී හා හියුගෝ ව නිසැකවම හදුන්වා දිය හැක. ඒ "දුප්පතාගේ දුක"චිත්‍රපටය තුලිනි. ලාංකේය සිනමාව තුලට, "සීරියස්" රංගනය ඇතුලත් වූයේද "දුප්පතාගේ දුක" හරහාය. ඒ ඉන්ස්පෙක්ටර් ජයසිංහගේ චරිතයට පන පෙවු මාක් සමරනායක තුලිනි. ලැඩීගේ චරිතය විශිෂ්ටත්වයට පත්වන්නට ඉමහත් උපකාරයක් වූයේ මාක්ගේ රගපෑමය. මාක්ගේ රගපෑම් ඇතැම් විට, ලැඩීව පවා අබිබවා යන අවස්ථාද "දුප්පතාගේ දුක" චිත්‍රපටය තුළ තිබුනි. ලැඩී රණසිංහ, මාක් සමරනායක, හියුගෝ ප්‍රනාන්දු, යන නළු නිළියන් තිදෙනා , ලාංකේය සිනමාව තුළ රජතුන් කට්ටුවක් වූයේ "දුප්පතාගේ දුක"චිත්‍රපටය තුළිනි. වින්සන්ට් වාස් වැනි අතී දක්ෂ නළුවෙක් චිත්‍රපටය තුල සිරකරුවෙක්, නාගරීක වැසියෙක්, සහ පොලිස්පතිවරයෙකු ලෙස එකිනෙකාට වෙනස් චරිත තුනක් රගපෑමම "දුප්පතාගේ දුක" හී සුවිශේෂත්වයක් විය. කේ ගූණරත්නම් නිපදවූ, මිත්‍රදාස් හැදු, දක්ෂිණමූර්ති සංගීතය සැපයු,ලැඩී රණසිංහ, මාක් සමරනායක, හියුගෝ ප්‍රනාන්දු, වින්සන්ට් වාස්, ස්ටැන්ලි පෙරේරා, ඩොමි ජයවර්ධන,ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ලූමන් රාජපක්ෂ, කාන්ති ගුණතුංග, උදුලා දාබරේ, මිලි කහදවල, ගර්ලි ගුණවර්ධන, යන නලු නිළියන්,චරිත මැවූ "දුප්පතාගේ දුක" චිත්‍රපටය, බොහෝ අංශවලින් ලාංකේය සිනමාවට සුවිශේෂ වූවාක් බව නම් කිව යුතුමය.
ශෝන් මැක්ස්මස් දිසානායක (ලබන සතියේ තවත් චිත්‍රපටයක්) |