|
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක් මුලින්ම නාන ඇඳුමෙන් රඟපෑ ශාන්ති ලේඛාඇය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි. නමින් ඕ ප්‍රේමා වූවාය. ප්‍රේමා විශ්ව විද්‍යාල සිසුවකු වූ විකී සමඟ ප්‍රේම සම්බන්ධයකින් පසු වූවාය. මේ සම්බන්ධය අසරණ අක්කා වූ සුජාතා දැන නොසිටියාය. ඉගෙනීම පසෙකලා ඇය විකී පසුපස විනෝද ගමන් ගියාය. මුහුදු වෙරළට ගිය ඈ පෙම් ගී ගයමින් විකී හා විනෝද වූහ.
පෙම් රැල්ල නඟී ගල් තැල්ලෙ වදී 1953 වසරේ ‘සුජාතා’ චිත්‍රපටයෙන් සිනමාවට හඳුන්වා දුන් ශාන්ති ලේඛා හා ඩොමී ජයවර්ධන ගී ගයමින් රඟපෑ ජවනිකාවක් මේ. ඩොමී ජයවර්ධන ගැන සටහනක් මීට පෙර මතක මං තීරුවෙන් ලිවීමි. අද මා ලියන්නේ එදා ‘සුජාතා’ චිත්‍රපටයේ රඟපෑ ශාන්ති ලේඛා ගැනය. ‘ශාන්ති අක්කා’ නමින් සිනමා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කළ ඇය මට අවසන් වරට මට හමු වූයේ මීට වසර 09 කට පෙර 2009 වසරේදීය. 2009 වසරේ සුමති සම්මාන උලෙළේ දී යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මාන දිනාගත් පසු ප්‍රංශයට යාමට පෙරය. එදා රෝද පුටුවකින් පැමිණ සම්මනය ලැබූ පසු ඇය මට මෙසේ කීවාය. එයට පෙර ඇය සරසවිය සම්මාන උලෙළේදී රණතිසර සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. ‘මට රෝද පුටුවක ඉඳගෙන රඟපාන්න පුළුවන් චරිතයක් ලැබුණොත් මට කියන්න. අවසාන මොහොත දක්වාම මම රඟපාන්න ආසයි’. මා ශාන්ති අක්කා හඳුනන්නේ වසර 49 කට පෙර සිටය. ඒ මා ‘සරසවිය’ පත්‍රයට බැඳුණු අලුතය. එකල ඇය චිත්‍රපටවල රඟපාමින් හැඳල විජය චිත්‍රාගාරයේ පිළිගැනීමේ නිලධාරිනිය ලෙස කටයුතු කළාය. ඇය සහ තම සැමියා වූ බර්නාඩ් (බර්නාඩ් රණසිංහ) අයියා සෑම නත්තල් දිනයකම කලා ක්ෂේත්‍රයේ කලාකරුවන් හා කලාකාරියන් චිත්‍රාගාරයට කැඳවා වර්ෂ අවසාන සාදයක් පැවැත් වූහ. එදා තරම් ශාන්ති අක්කා සතුටින් සිටි දිනක් තවත් නැති තරම්ය. මට බොහෝ වසරවල ඊට සහභාගිවීමට අවස්ථාව ලැබිණ. 2009 වසරේ ශාන්ති අක්කා ප්‍රංශයට යාමට පෙර මට දුරකතනයෙන් කතා කර ගෙදරට එන ලෙස ඇරැයුම් කළාය. ‘මල්ලියෝ මම හෙට රට යනවා. ප්‍රංශයට ගියත් මැරෙන්න අපේ රටට එනවා. මල්ලී ඔය අතින් කොච්චර ශාන්ති ලේඛා කියන නම ලියලා ඇත්ද? මට ඔයාව සිහිවෙන්න තෑග්ගක් දෙන්න ඕන. මට ඒක කියන්න’. ‘ශාන්ති අක්කා ගිහිල්ලා එන්නකෝ’ මම කීවෙමි. ඇයගේ පෙරැත්ත නිසා මම මෙසේ කීවෙමි. ‘ශාන්ති අක්කා දැන් මම වයසට ගිහින්නේ. එහෙනං පුංචි අකුරු ලොකු කරලා බලන Magnifying Glass එකක් ගෙනත් දෙන්න. වැඩිය වද වෙන්න නම් එපා.’ ශාන්ති අක්කා සිනාසෙමින් තම දින පොත පෙරළා යමක් ලියා ගත්තාය. මාස කිහිපයක් ගත විය. ඒ දෙසැම්බර් මස අගය. මට ශාන්ති අක්කාගෙන් දුරකතන පණිවුඩයක් ලැබිණි. ‘මල්ලී මම ශාන්ති අක්කා. නත්තලට මම ලංකාවට ආවා. කේක් කෑල්ලක් කාලා යන්න එන්න’ මම පසුදා ජාඇල පන්සල පාරේ අංක 14/25 දරන ෆිනෑන්ස් ගාර්ඩ්න් හි ශාන්ති අක්කාගේ දියණියකගේ ගෙදරට ගියෙමි. මට සංග්‍රහ කළ ඇය ආගිය තොරතුරු කතා කර සිට මා යාමට සැරැසෙන විට ‘මල්ලිට මම තෑග්ගක් දෙන්න තියෙනවා’ පුංචි පෙට්ටියක් මට දුන්නාය. එය දැන්ම බලන්නැයි මට කීවාය. එය ජර්මනියේ සාදන ලද ඉස්තරම්ම ESCHENBACH 28X/63D/250 Magnifying Glas එකකි. එහි විශේෂය නම් එය හැඩලයෙන් අල්ලා ගත් විට බූරු ඇඳක් මෙන් ආධාරයක් සවි කර තිබීමය. ඕනෑම පුංචි අකුරක් ලොකු කොට බැලීමට එය කඩදාසියේ තබා එහාට මෙහාට කළ හැකිය. ‘එහෙනං ශාන්ති අක්කට මාව මතක් වුණා’ ‘මම මේක’ ගන්න කැනඩාවට ගිය වෙලාවේ උසම උස ලොකු ෂොපිං ක්ම්ලෙක්ස් එකකට ලිෆ්ට් එකෙන් ගිහින් හොඳම Magnifying Glass එකක් ඉල්ලුවා. මේකට මල්ලි සතුටුද?’ ‘සත්තකින්ම . . . ස්තූතියි දෙවි පිහිටයි’ මම ඇයට ආශිර්වාද කළෙමි. කළගුණ දන්නා ශාන්ති අක්කා . . . කර්තෘකම්, තනතුරු ඉවතදැමූ පසුත් මෙසේ සැලකීම මා සටහන් කර තබන්නේ ඇගේ උදාර මානුෂික ගති පැවතුම්වලට උපහාර වශයෙනි. අවසන් වරට ඇයගේ නිසල දේහය මා දැක ගත්තේ 2009 වසරේ මැයි මස ප්‍රංශයේ දී ජීවිතයෙන් සමුගෙන ලංකාවේ කොළඹ කනත්තේදී අවසන් ගමන් ගිය දිනයේදීය. එදා ඇගේ මුනුපුරෙකු වූ මාධ්‍යවේදී උදිත චන්දිමාල්ට ආච්චි අම්මා වෙනුවෙන් මම සෝකය පළ කළෙමි. මාධ්‍යවේදී උදිත චන්දිමාල් ශාන්ති අක්කාගේ මුනුපුරෙකි. 1929 ජූලි 01 වෙනිදා දකුණු කළුතර උපන් අයිරින් රීටා කොයින්ස් නම් ඇය අධ්‍යාපනය ලැබුවේ කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේය. නර්තනයට ලැදි ඇය ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ ශාන්ති කලායතනයෙන් තම නර්තන කුසලතා දියුණු කර ගත්තාය. ඇය මුලින් රඟපෑවේ ඩී. ටී. ප්‍රනාන්දුගේ ‘ශාන්ත ප්‍රභා’ නාට්‍යයේ. ඩොමී ජයවර්ධන ප්‍රධාන චරිතය රඟපෑ එහි ඇය මේ නාට්‍යයේ පිළිගැනීමේ ගීතය ගයමින් නර්තනයක් දැක්වූවාය. ඇය සිනමාවට ආ හැටි කලකට පෙර මෙසේ මට විස්තර කොට තිබුණි. ‘සුජාතා චිත්‍රපටය පටන් ගත්තේ 1952 වසරේ. දවසක් ඩොමී ජයවර්ධන සමඟ ටී. සෝමසේකරන් අපේ කළුතර නිවසට ආවා. ‘ඔන්න අපි ආවේ ඔයාව අලුත් චිත්‍රපටයකට ගන්න’ ඩොමී කියන කොට මාව ගැස්සුණා. මම හීනෙකින්වත් නොසිතූ දෙයක්. පසුදා මම කොළඹ ඇවිත් සිනමාස් සමාගමේ අධිපති නිෂ්පාදක කේ. ගුණරත්නම් මහතා හමු වුණා. ‘සුජාතා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ටී.සුන්දරම් ඉදිරියේ පරීක්ෂණයට මම ඉදිරිපත් වුණා. සිරිසේන විමලවීර මාස්ටර් මට දෙබස් ඛණ්ඩයක් කියවා රඟපාන හැටිත් කියා දුන්නා. ‘සුජාතා’ චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතය වූ ප්‍රේමා හැටියට මම රඟපෑවා. මම සිනමාවට පිවිසියේ ‘ශාන්ති ලේඛා’ නමින්. මට රඟපෑම වෙනුවෙන් රුපියල් 750 ක් ලැබුණා. 1952 වසරේ ඒක ලොකු මුදලක්. ‘මම හාපුරා කියලා ‘ සුජාතා’ චිත්‍රපටයේ රඟපාන කොට වයස අවුරුදු 22 ක් විතර ඇති. මේ චිත්‍රපටයේ අක්ක නගෝ දෙදෙනාගේ චරිතයට තෝර ගෙන සිටියේ අසෝකමාලා සහ සිරිමතී රසාදරී. කෙසේ හෝ පසුව අක්කාගේ චරිතයට ෆ්ලෝරිඩා ජයලත් හා නංගීගේ චරිතයට මාව තෝරා ගත්තා. ඩී. ටී. ප්‍රනාන්දුගේ ‘ශාන්ත ප්‍රභා’ නාට්‍යයේ ප්‍රධාන චරිත දෙක රඟපෑවේ ඩොමී ජයවර්ධන හා නෝනා සුබේදා. ඇය පසුව ඩොමීගේ බිරිඳ වුණා. මම මේ නාට්‍යයේ පිළිගැනීමේ ගීතය ගයමින් නැටුමක් ඉදිරිපත් කළා. ඊළඟට විල්ෆ්‍රඩ් ගුණසේකර (චිත්‍රපට නළු පියදාස ගුණසේකරගේ සොහොයුරා) නිෂ්පාදනය කළ නාට්‍යයක රඟපෑවා. මේ කාලයේ මගේ සමීපතම මිතුරන් වූයේ නාට්‍ය නළු එච්. එස්. ජෝතිපාල හා ඔහුගේ බිරිඳයි. මගේ නම ‘ශාන්ති ලේඛා’ කියා හඳුන්වා දුන්නේ මගේ පළමු සැමියා ශාන්ති විරාජ්. මගේ රඟපෑම ඒ කාලයේ විවාදයට ලක් වුණා. ප්‍රථම වරට සිංහල චිත්‍රපටයක නාන ඇඳුමෙන් (Bathing Suite) සැරැසී පෙනී සිටිය නිළිය මම. හාපුරා කියා මා කැමරාවට මුහුණ දුන් දිනයේ වූ සිද්ධියක් මට අද වගේ මතකයි. මේ දර්ශනය ගත්තේ කොටුවේ බ්‍රේක් වෝටර් එක ළඟ. මම ගීතයක් ගයමින් රඟපෑවේ ඩොමී ජයවර්ධන සමඟ.
‘ඕ සුමධුර වේ මේ ගීතය කියලා ඉවර වුණා විතරයි ඈත මුහුදු වෙරළේ විකී (ඩොමී ජයවර්ධන) ඉන්න තැනට දුවල යන්න අධ්‍යක්ෂක මට විධානය කළා. ‘ඇක්ෂන්’ මම එක පිම්මට ඈත වෙරළ බලා දුවන කොට පය ලෙස්සලා වැටුණා. එතැන තිබුණ ගල් පොත්තක හිස වැදිලා තුවාල වෙලා ලේ ගලන්න පටන් ගත්තා. ‘ලේ දැකීම සුබ ලකුණක්. මේ චිත්‍රපටය අති සාර්ථක වෙනවා’. එහෙම කියපු සෝමසේකරන් මාව එවේලේම ආමර් වීදියේ සුලෙයිමාන් රෝහලට ගෙන ගියා.’ ශාන්ති ලේඛා අතීත කතාව රස කර කර කීවාය. ශාන්ති හා ඩොමී ගී ගයමින් එදා රඟපෑ තවත් ගීතයක් වූ ‘පෙම්රැල්ල නගී - ගල් තල්ලේ වදී මේ සුන්දර සන්ධ්‍යාවේ’ නම් ජනප්‍රිය ගීතය සහිත මේ චිත්‍රපටය 1953 මැයි 26 වෙනිදා වැල්ලවත්තේ සැෆයාර් සිනමාහලේ මංගල දර්ශනය පැවැත් වූ දිනය ශාන්තිට හොඳට මතකය. සර් ජෝන් කොතලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මංගල දර්ශනයේදී සිනමා රසිකයන් ඇය වට කරගෙන අතේ තිබූ ලේන්සුවත්, ඇඳ සිට සාරි පොටේ කෑල්ලක් ඉරාගෙන යාමත් ඇය ආදරයෙන් සිහිපත් කළාය. ශාන්ති ලේඛා ඉන්පසු වරද කාගේද, රදළ පිළිරුව, දොස්තර, ජීවිත සටන, සල්ලි මල්ලි සල්ලි, සන්දේශය චිත්‍රපටවල විවිධ චරිත රඟපෑ අතර ගම්පෙරළිය චිත්‍රපටයේ රඟපෑ මාතර හාමිනේ ලෙස රඟපාමින් චරිතාංග රංගනයට පිවිස ඇය වැඩිපුරම මවගේ චරිත නිරූපණය කළාය. පරසතු මල් (පුණ්‍යාගේ මව), සීතල වතුර (අනුලාගේ මව), තුං මං හන්දිය (ජෝගේ නංගී), බිනරමලී, ළසඳා (නීටාගේ මව), එයා දැන් ලොකු ළමයෙක් (මාලිනීගේ මව), උතුමාණෙනි (ගාමිණීගේ මව), මයුරිගේ කතාව (වීණාගේ මව), පරිත්‍යාග (ශ්‍රියානිගේ මව), හිතවතිය (අනෝජාගේ මව) ආදී වශයෙනි. චිත්‍රපට 350 ක පමණ විවිධ චරිත රඟපෑ ඇය පරසතු මල්, සසර, ඉපදුණේ ඇයි, රිදී නිම්නය චිත්‍රපටවලට සරසවිය, එක්සත් ලංකා රසික සංගම්, ජනාධිපති, සුමති, ර්‍ණඛ්ධ්ඛ් සම්මාන දිනා ගත්තාය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ කදාවළලු, එලොව ගිහින් මෙලොව ආවා වේදිකා නාට්‍යවලද නිහාල්සිංහයන්ගේ දිමුතු මුතු ටෙලි නාට්‍යයේ ඇය රඟපෑවාය. නිහතමානී ගති පැවතුම්වලින් යුතු ඇය තම දෛවය දෙවියන් වහන්සේට කැප කර සිටියාය. ‘දෙවියන් වහන්සේට ස්ත්‍රෝත්‍ර (ස්තිතු) වෙන්න මේ රෝද පුටුවේ ඉඳගෙන රඟපාලා මැරෙන්න ආසයි’ ඇය මට කී අවසන් වදන්ය. 2009 මැයි මාසයේ ඇය ජීවිතයෙන් සමු ගත්තාය. |