|
fruit salad + ice cream ස්විප් ටිකට්
ලාංකේය සිනමාව තුළ තවත් සංධිස්ථානයක් සලකුණු කළ චිත්‍රපටයකි 1965 නොවැම්බර් 5වන දින ප්‍රදර්ශනය වුණු ආර්.ආර්.රාජබ් අලි නිෂ්පාදනය කල රාජා ජෝසුවා සහ ෆ්ලොරිඩා ජයලත් අධ්‍යක්ෂනය කල ස්විප් ටිකට්" චිත්‍රපටය. රාජා ජෝසුවා සමග සම අධ්‍යක්ෂනයක් ඉදිරිපත් කලද, ෆ්ලොරිඩා ජයලත් ලාංකේය සිනමාවේ ප්‍රථම කාන්තා අධ්‍යක්ෂවරිය ලෙස, ඉතිහාස ගතවීම එක් සුවිශේෂිත සිදුවීමකි. ලාංකේය සිනමාව තුළ කසිකබල් චිත්‍රපට අනන්තවත් බිහිවී ඇත. නමුත් වාණීජ දහරාවේ ඇතැම් චිත්‍රපට තුළ ලාංකේය ජන සමාජයට ගෝචර වන චිත්‍රපට බොහෝ තිබුණි. ඒවා අයත්ව තිබුනේ වින්දනය හා විනෝදය පෙරදැරි කර ගෙනය. එම අන්තර්ගතනය එලෙසම ගැබ්වී තිබූ චිත්‍රපටයකි මේ ආර්.ආර්. රාජබ්අලිගේ "ස්විප් ටිකට්" චිත්‍රපටය. එකල ලාංකේය සිනමාව තුළ ගම හා නගරය ප්‍රබේද දෙකකට වෙන් කර තිබුණි. "ගම ඉතාමත් සුන්දරය, එහී ජීවත් වන්නේ ආටෝපයෙන් තොරවූ අහිංසක මිනිසුන්ය. ඔවුන් විනීත ගති පැවතුම් ඇත්තන්ය. ඔවුන්ගේ අතින් කිසිදු වරදක් සිදු නොවෙයි. ඔවුන් තරම් සුපිරිසිදු, සුචරිත,අකලංක, ධර්මිෂ්ඨ මිනිස් සමාජයක්, මේ ලොව නැත. එහෙත් නගරය යනු කෛරාටක මිනිසුන්ගෙන් පිරුණු, වංචාකාරි, අශීලාචාර, අසම්මත,දුෂ්ට, සංකර, වනචර, මිනිසුන් ගැහැනුන්ගෙන් පිරුණු තැනකි. ගමේ සිදුවන හැම දෙයම ශිෂ්ඨ සම්පන්නය. නමුත් නගරයේ සිදුවන හැම දෙයම අසික්කිතය. එදා සිංහල සිනමාවෙන් උලුප්ප උලුප්ප පෙන්වූයේ මෙයමය. මෙම ප්‍රභේද ගෙන ආ උන්ට ඉල ඇට කැඩෙන කම් ගහනවා හැරෙන්නට, වෙනයම් ක්‍රමයක් නම් නැත. සිංහල සිනමාව තුළට, ගෙන ආ මෙම විශබීජය "ස්විප් ටිකට්" චිත්‍රපටය තුළද දක්නට ලැබුනි.එහීද ගම "මාරයි" නගරය "අසික්කිතයි" යන තේමාව උඩ තැනුණු චිත්‍රපටයකි. සිංහල සිනමා සම්ප්‍රදාය අනුව ගමේ ජීවත් වෙන කොන්ඩෙ බදින අහිංසක මෝඩ ගැමියෙකුට, ස්විප් ටිකට් එකක පලමු දිනුම ඇදී, එම මුදල ගැනීමට දුම්රියෙන් කොළඹ එන අතරෙදී ඔහුව වංචාකාරින්ට අසුවී, ඔහුට මුදල් ලබා ගැන්මට උපකාරවන නියායෙන් එම මුදල් ලබාගන්නට තැත් කිරීම තුල නැවතත් ගම අහිංසකය, නගරය කෛරාටකය, යන තේමාව නැගී සිටියි. කෙසේ හෝ ගැමියාටද එයින් අවැඩක් සිදුවන්නේද නැත. ගමේ කරත්ත එලවමින් , බුලත් විට හපමින් කඩ පිලවල් ගණනේ හරසුන් වදන් කියමින් එකාකාරි ලෙස ජීවත් වෙනවාට වඩා, නගරයේදි නාගරීක කරනය වී, පැහැපත්, සුවදවත්, නවීන පන්නයේ ඇදුම් අදින අතීශය රූමත් බටහිර අටෝප වලින් සැරසුණු රූමත් තරුණියන් සමග අව් කන්නාඩි පැලද ගෙන විනෝද වීමට ලැබීමත් එක්තරා පිනකි. චිත්‍රපටය තුලින් මුලින්ම ආකාර්ෂණයට අසුවන්නේ ගැමියාගේ බිරිදගේ යෙහෙළියයි. ඇය ඇයගේ පෙම්වතා සමග ගැමියාගේ නිවසට පැමිනෙන්නේ රාත්‍රියක් ගත කිරීමටය. ඒ රාත්‍රිය අතීශයින්ම මනරම් රාත්‍රියක් විය. පුන්සද පායා ඇති මනරම් රාත්‍රිය තුළ සුරූපි තරුණියෙක් හා කඩවසම් තරුණයෙක්, තුළින් රාජා ජෝසුවා හා ෆ්ලොරීඩා ජයලත් මැවූ ඒ චමත්කාරය, අදටත් වලංගු වී ඇත. "ආවා පෙම්වතා යන්නේ ඇයි,ඔයා දෙන්නකෝ පෙම් සිනා ආදරෙයි කියා". ශංකර් ජායිකිශන් සංගීතවත් කල, "රාජ් කුමාර්" චිත්‍රපටයේ ලතා මංගෙෂ්කාර් ගායනා කල "ආජා හයිබහා දිල්කී" කියන ගීතයේ තනුවට සැදුනු "ආවා පෙම්වතා" ගීතය, එච්.ආර්.ජෝතිපාල, සුජාතා අත්තනායක ලංකේය සිනමාව තුල ජීවමාන කළෝය. විජිත මල්ලිකාගේ යොවුන් සුරූපි බව මෙන්ම එකල තිබූ ගිනිකූරු කට් සම්ප්‍රදාය, තුලින් බැහැරවූ කඩවසම් යොවුන් යෞවනය, නියෝජනය කලේ නැවුම් හදුන්වාදීමක් වූ සුදේශ් ගුණරත්නය. එකම රූපරාමුවක ඔවුන් දෙදෙනා, හතර දෙනා, හය දෙනා, ලෙස , කැමරාව තුළින් විජ්ජා පෙන්වා ප්‍රේක්ෂකයන්ව අන්ද මන්ද කිරීමටද, එම රූප ජවනිකාව, සමත් විය. රාජා ජෝසුවා සහ ෆ්ලොරිඩා ජයලත්, එකල ලාංකේය සිනමාව තුල "ස්විප් ටිකට්" හරහා "ස්කෝර්" කළේ එලෙසය. ගැමියා කොළඹ ගොස් වංචාකාරයන් හරහා, කොන්ඩය කපා මොඩ් වී නයිට් ක්ලබ් ජීවිතයට පුරුදු විය. මුලින් එය ඔහුට මැජික්ය. පසුව ඔහුට එය සුරපුරක් විය. "හොද සිරියාවයි ආකාසේ, වාසනාවට ආදරේ, අපේ ආදරේ, ආදරේ, අපේ ආදරේ." පෙම් සුව විදිනු වගේ, ප්‍රීතියක් ඇත්තෙ නෑ.... මයි ඩාර්ලින්, මාගෙයි දැන්, මෝරලා එයි සෙනේ" අම්මෝ මොන තරම් "ආතල්" එකක්ද? ගැමියා නන්නත්තාර විය. චීස් බීස් ගගා ඉංග්‍රීසියෙන් කථා කරන, කොටට කොටේ මිනි ගවුම් අදින යොවුන් රූමතියන් සමග ගැමියා ගැවසුනේ පැණි හැලියට වැටුණු ඇඹලයෙක් ලෙසය. ගමක හිටියාදැයි ඔහුට මතකම නැත. රාජා ජෝසුවා, ෆ්ලොරිඩා ජයලත්, ගමත්, නගරයත් යා කලේ එසේය. අන්ත ගොඩේ ගමක ගැමියන්වද නගරයට ගෙන ගොස් "රීෆර්බිශ්" කර, "රිකන්ඩිශන්" මාකට් එකට දැමිය හැකි බව රාජා ජෝසුවා හා ෆ්ලොරිඩා ජයලත් "ස්විප් ටිකට්" හරහා ඔප්පු කළෝය. ස්විප් ටිකට් "ත්‍රිල්" ගණයට අවතීර්ණ වනුයේ, ගැමියාගේ බිරිද ඔහු සොයා කොළඹ පැමිණි විටය. රෙදි හැට්ට ඇද ආටෝපයෙන් තොරවූ මේ ගැමි ලිය, එම රෙදි හැට්ට විසි කර දමා, තොල් රතුකර, අඩි උස සපත්තු දමා, කොට මිනි ගවුම් ඇද සිංහල ඉංග්‍රීසි ගැහැනුන් සමග හරි හරියට නටන්නෙ තම සැමියාව බේරා ගැන්මටය. හින්දි දෙමළ චිත්‍රපටවල එන අන්දමේ අද්භූත ගනයේ සිදුවීම් මෙන් මෙහිදීද, ගැමියාගෙ බිරිද වෙනස් ස්වරූපයකින් පැමිණ තම නවීනකරනයට අසුවූ සැමියාව තමා වෙත ආකර්ෂණීය කර ගන්නනට උත්සහ කෙරුවද, මේ සැමියා මේ තමාගේ බිරිද යැයි කිසිසේත් හදුනා ගන්නෙ නැත. තවත් අලුත් සුරූපිනියක් යැයි සිතමින් ඔහු අනෙක් ගැහැනුන් අතහැර ඇය පසුපස යන්නේය. මේවා සිදුවන්නේ චිත්‍රපටවල පමණය. විනෝදාත්මක චිත්‍රපට යනු, මායාව හා යථාර්ථය එකට සමිශ්‍රනය වීමය. "ස්විප් ටිකට්"චිත්‍රපටය තුළින්ද සිදුවූයේ එයයි. ජෝසුවා හා ෆ්ලොරිඩා ඒ සම්මිශ්‍රනය රසවත් කළේ හරියට "පෘට් සැලඩ් විත් අයිස්ක්‍රිම්" වගේය. ඒ දෙක මිශ්‍ර කෙරු විට දැනෙන රසය මෙන්ය රාජබ්අලීගේ "ස්විප් ටිකට්" චිත්‍රපටය. සැමියාත්, බිරිදත් එකිනෙකා හදුනා ගන්නා තෙක් චිත්‍රපටය "ෆුල් ත්‍රිල්ය". වංචානිකයන්ට අසුවුණු, ගැමියාට ඔවුන් දුන් "ආතල්" එක එපාවීමට වැඩි කලක් ගත නොවීය. "මෙ ලොකේ සියල්ලෝ, සිනහ වෙන්නෙ ඇයිදෝ, බීලා යයි කියා මං ,සිතා ඉන්න හොද නැහැ." ගැමියාගේ සංකර ජීවිතය, අත්හැර දැමූබව ජෝසුවා හා ෆ්ලොරිඩා නිල වශයෙන් ප්‍රකාශ කළේ, ඉහත ගීතයෙන්ය. "නැටීමෙන් ගැයීමෙන්, සුරාවෙන් විනෝදෙන්, ලොවේ නම් හොඳක් නැහැ, දැනුයි මට දැනෙන්නෙ" එලෙසම ජෝසුවා හා ෆ්ලොරිඩා චිත්‍රපටයේ මුලු හරයම, ගෙන හැර පෑවේ ඉහත ගී කාණ්ඩයෙන්ය. "ස්විප් ටිකට්" තුළින් සමාජීක පණිවිඩයක් දෙන්නට අධ්‍යක්ෂක වරුන් උත්සහා ගතී. ඒ එකල විනෝදාත්මක සිනමාව තුළ මුල් බැස ගත් දෙයකි. චිත්‍රපටයකින් ත්‍රාසය, කුතුහලය හා විනෝදය ලබා දෙනවා සේම, සමාජයට, පනිවිඩයක්ද දිය යුතුවේ. "ස්විප් ටිකට්" තුළින්ද, මුදල් නිසි ලෙස කළමනාකාරණය නොකර, හුදු විනෝදය,පසු පස ගියහොත් සිදුවන ආනිසංසය, මෙසේය යන පනිවිඩය සමාජයට ලැබිනි. එයනම් අදටත් මතුවටත් වලංගුය. ගාමිණී ෆොන්සේකා, ආනන්ද ජයරත්න, ටෝනි රණසිංහ, වැනි කඩවසම් නළුවන් ලාංකේය සිනමාව තුළ රජයන එම වකවානුව තුල, ජෝ අබේවික්‍රම වැනි කිසිදු ආකර්ෂණයක් නොමැති නළුවෙකු ප්‍රධාන චරිතයකට යොදවා සිනමාපටයක් කිරීමෙන්, ජෝසුවා සහ ෆ්ලොරිඩා ගත්තේ එසේ මෙසේ අවදානමක් නොව. ජෝ කෙලෙසකවත් රොමැන්තික නලුවෙකු නොව. එලෙසම ඔහුට කඩවසම් පෞරුෂත්වයක් තිබුණේද නැත. චිත්‍රපටයේ එන ගැමි චරිතයට නම් ජෝට පහසුවෙන් අවතීර්න වීමේ හැකියාව තිබුණද, නාගරීක සංකර එකල නවීන පන්නයේ චරිතයකට, ජෝ කෙලෙසකවත් ගැළපෙන්නෙ නැත. ෆොලොරිඩා ජයලත් යනු ඒ වන විට බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට කීපයකම රගපෑ නිළියකි. "සැඩ සුළං", "සුජාතා" වැනි චිත්‍රපටවල රගපෑම තුළින් ඈ සිනමා කර්මාන්තය හා ප්‍රේකෂකයන් ගැනත්, ඇයගේ සමාකාලීන සහෝදර නළු, නිලියන් ගැනත් , හොද අවබෝධයකින් සිටියාය. ඇතැම් විට ඒ අවබෝධය නිසා, ඇය ජෝ අබේවික්‍රමයන්ව මෙම චරිතයට තෝරා ගන්නට ඇත.
"සිනහා රැලි නැංවී ආවානේ, සිතට සිත එක්වී ආවානේ මෙම ගීතය වෙනුවෙන් ජෝ අබේවික්‍රමට රගන්නට සිදුවුයේ, වර්නා කැස්පස් නම් ඉංග්‍රිසි සම්භාව්‍යක් ඇති බර්ගර් ජාතික නිළියක් සමගය. නැටුම, රැගුම, කිතිය, දැගලිල්ල, මේ සියල්ලම ඇයගේ සිරුරට "ඇබ්සෝබ්" වී තිබුනි. ඇයව එම ජවනිකාවට මුදාහළ පසු ඇය එම රූපරාමු පරාසයම ඇය සතු කර ගනියි. ඇය වෙනුවෙන් මෙම චිත්‍රපටය තුල ලියවුණු ගීත තුලද තිබුණේ ඒ විසේකාර කිතියයි.
"හහ් හහ් හරිද හහ් හහ් හරිද හහ් හහ් ජෝ අබේවික්‍රමට හැප්පෙන්න සිදුවුණේ මෙවන් වටපිටාවකය. වර්නා කැස්පස්, මිනිසුන්ගෙ කාමරාගය අවුස්සන්නට රගන රැගුමට නොදෙවිනි දැගලිල්ලක් ජෝ අබේවික්‍රමටද කරන්නට සිදුවිය. රංගන ශිල්පියෙකුට, එවන් අහුමුලුවලට රිංගන්නට හැකිනම්, ඒ අහුමුලු වල රිංගා, එකී නොකී චරිතවලට අවතීර්න වීමට හැකි නම්, එයයි විශිෂ්ටත්වය. ජෝ, වර්නා කැස්පස්ගේ විසේකාර දැගලිල්ලට නොදෙවෙනි දැගලිල්ලක් කළේ, ඔහු මුල සිටම සිනමාවට ගෙන ආ විශිෂ්ට රංගන කුසලතාවය නිසාය. ෆ්ලොරිඩා ජයලත් එය හඳුනාගත් නිසා නොබියව මෙම චරිතය ජෝ අබේවික්‍රමයන්ට භාර දුණි. වර්නා කැස්පස්, ගිනි කිකිළියක් මෙන්, මුහුදු වෙරළේ, මල් උයනේ, නයිට් ක්ලබ් ඇතුලෙ, පන කඩාගෙන දුවමින් තම රැගුම ඉදිරිපත් කරන විට, ජෝ අබේවික්‍රමයන්ද ඊටත් වඩා වේගයෙන් වර්නා සමග දුවමින් ලාංකේය, ඉන්දියානු සිනමාවට ගැළපෙන රොමෑන්තිකයෙකු ලෙස"ස්විප් ටිකට්" තුල ඉදිරිපත් කල වේගවත් රංගන ශෛලය, ප්‍රේක්ෂකයන්ද මවිතයට පත් කෙරීය.ජොසුවා හා ෆ්ලොරිඩා ලාංකේය සිනමාවට තවත් රොමැන්තික නළුවෙක් එක් කළේය. ඒ ජෝය. තමන්ට ටෝනි රණසිංහ මෙන් සිහින කුමරෙකු වීමටද බැරිකමක් නැතැයි ජෝ ඔප්පු කළේ "ස්විප් ටිකට්"හරහාය. ජෝ අබේවික්‍රම සමග ෆ්ලොරීඩා ජයලත්, අසෝකා පොන්නම්පෙරුම, විජිත මල්ලිකා, සුදේශ් ගුණරත්න, වර්නා කැස්පස්, රීටා රත්නායක, බන්ධු මුණසිංහ ඒ ඒ චරිත වලට බද්ධ වෙමින් "ස්විප් ටිකට් විචිත්‍රවත් කළෝය. කාලයක් ගත වන විට බැලු බොහෝ චිත්‍රපට අමතක වෙයි. එහෙත් "ස්විප් ටිකට්" මතකයේ රැදී සිටීමට ඇති වූ ප්‍රබලම හේතුව, එහී තිබූ විනෝදාත්මක ආකර්ෂනයයි. "කොපි වුනත් සිංදු ටික නම් දීල තියෙනවා ඇට්ටි හැලෙන්න." එදා පමනක් නොව අදත් ස්විප් ටිකට් හී ගීත ඇසෙන විට මිනිසුන් කියන්නේ එලෙසය. කථාවෙ සමබරතාවය, ජෝසුවා හා ෆ්ලොරිඩා තබා ගත්තේ ගීතවලිනි. එලෙසම කැමරා කෝණ වලින් ද චිත්‍රපටයට ඉමහත් වූ පිටුවහලක් විය. මෙහි කැමරා අධ්‍යක්ෂණය ලෙනින් මොරායස්ගෙනි. විශේෂයෙන්ම "ආවා පෙම්වතා" හා "මෙලෝකේ සියල්ලෝ" ගීත රූ ගැන් වීම් හරහා එය මනාව පැහැදිලි විය. එම ගීත දෙක මත පාලනය වෙන ආලෝකය තුළින් චිත්‍රපටය කළු සුදු වුවද එහී තිබූ ආකර්ෂණය නම් සුවිශල්ය. "ස්විප් ටිකට් විනෝදාත්මක චිත්‍රපටයක් වූවද, ලාංකේය සිනමාව තුල විනෝදාත්මක සිනමාවේ එක් සංධිස්ථානයක් සනිටහන් කරන්නට සමත්විය. එය "හතරදෙනාම සූරයෝ" චිත්‍රපටය එන තෙක්ම පවත්වා යාමට හැකි විය. අද වුවද ලාංකේය සිනමාවේ හොදම විමෝදාත්මක චිත්‍රපට පහ නම් කරන විට, රාජා ජෝසුවා හා ෆ්ලොරිඩා ජයලත් අධ්‍යක්ෂණය කල ආර්.ආර්.රාජබ්අලි නිෂ්පාදනය කල "ස්විප් ටිකට්" චිත්‍රපටය අනිවාරයෙන්ම ඒ පහ තුළට ඇතුලත් වී ඇත.
ශෝන් මැක්ස්මස් දිසානායක |