|
මහ නිළි මාලිනීසිනමාවෙන් ඇයද - ඇගෙන් සිනමාව ද වෙන් කළ නොහැකිය
එක් දවසක - සවස හයට දහසකට වැඩි සිනමා පේ‍්‍රක්ෂක ජනතාවක් අතර තෙරපෙමින් - මිරිකෙමින් බොහෝ වේලාවක් පොර බදිමින් මොරටුවේ ‘එමෙස්’ සිනමාහල් භූමියට මා රංගා ගත්තේ අනාගත සිංහල සිනමාවේ මහ නිළි රැජින මාලිනියගේ හුරබුහුටි අත්සන ලබා ගැනිමේ ඒකායන ප්‍රයත්නයේ ජයග්‍රහනයක් ලෙසටය. ඒ - 1974 ඔක්තෝබර් මස 05 වනදා - විජය මාලනී රඟපෑ ‘සුසී’ චිත්‍රපටයේ විජයග්‍රහී 50 වන දිනයයි. ඇයට මගේ සමරු පොතේ පෑන් දෙකකින් ද, වර්ණ දෙකකින් ද අත්සන් තබන්නට සිද්ධ විය. නිල් වර්ණයෙන් මාලිනී යනුවෙන් ලියවෙද්දී පෑනේ කාබන් නැත්තටම නැති විය. එක්වරම ‘අයියෝ තීන්ත ඉවරයිනෙ’ යනුවෙන්, චිත්‍රපටයක මෙන් ඇයගේ මුවින් දෙබස් කණ්ඩයක් නිකුත් විය. ඒ හුරුපුරදු, ලෙන්ගතු, ජීවමාන හඬට මගේ සිත සැනසෙයි. ඇය ලත වෙයි. අසල සිටි රංගධර එඩී ජූනියර් මහතා තම පෑන මාලිනිය වෙත දිගු කරයි. මාලිනී නිල් වර්ණයෙනුත්, ෆොන්සේකා කොළ වර්ණයෙනුත් සිග්නේචර් සිතුවම සමරු පොතේ සම්පූර්ණ විය. අදටත් වෙනස් නොකරන ලද ඇයගේ සුපුරුදු අස්සන කලාත්මක සීගිරි බිතු සිතුවමක් වැනිය. ඒ අස්සන හැරෙන්නට, ලෙනින් මොරායස් නම් ප්‍රකට, ප්‍රබල සිනමා අධ්‍යක්ෂවරයාට පසුව වැඩිම වාර ගණනක් මේ මහ නිළිය අත්සන් තැබුවේ මා ඉදිරියේ බව ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ජනතාවට නොරහසකි. 1983 දී ඇය මා වෙනුවෙන් අත්සන් තැබූ මාගේ ප්‍රථම චිත්‍රපටය වන ‘පෙරළිකාරයෝ’ ට ඇය අහිමි විය. ඒ ජේ. ආර්. රජය විසින් විජය කුමාරතුංග ශ්‍රීමතාණන්ට සිරබත් කැවූ කාල පරිච්ඡේදයයි. එතුමා නිදහස් කරවා ගැනීමේ ප්‍රමාදය හේතුවෙන්ම මට මාලිනියගේ දින අහිමි විය. ඒ කාර්යබහුල, අති දක්ෂ, අතිශය ජනප්‍රිය නිළිය වෙනුවට පෙරළිකාරයන්ට අදේශකයක් බොලිවුඩ් සිනමාවෙන් ගෙන ඒමට මා හට සිදු විය. ඒ කාජල්ගේ මව තනුජාය. මාලිනී ෆොන්සේකා නම් වූ රංගන ශිල්පිනිය සතුව ඇති සුවිශේෂී වූ මෙවලමක් වශයෙන් මා දකින්නේ ඇය චිත්‍රපට වර්ග කිරීමකින් තොරව, ඇයට ඕනෑම චරිතයකට ප්‍රවිෂ්ටවීමේ මහඟු හැකියාවක් ඇයගේ අධ්‍යාත්මය තුළ පැවතීමයි. එය රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනියක් තුළ තිබිය යුතු විශිෂ්ටතම ගුණාංගයක් බව අධ්‍යක්ෂවරයකු වශයෙන් මට හැඟී යයි. මාලිනියගේ රංගපරාසය අනන්තයි කීවත් මා නිවැරදි වෙයි. එය උපතින්ම ඇය ලද දායාදයක් යැයි මා කිසි විටෙකත් නොසිතමි. එය කාලයක් මුළුල්ලේ ලබාගත් පාරිසරික අත්දැකීම් සහ මිනිස් ජීවිත, හැඟීම් පිළිබඳ ස්වයං අධ්‍යයනයේ යෙදෙමින් ඇය තම රංග පරාසය පුළුල් කර ගත් බව මම තරයේ විශ්වාස කරමි. සිනමාවට අවතීර්ණ වන නවකයෙකුට හොඳම සිනමා පාඨමාලාව මාලිනී ෆොන්සේකාය. සූක්ෂම ලෙස රංගනය අධ්‍යයනය කරන්නෙකුට ඇය රඟපා ඇති සෑම රූප රාමු 24 ක් මාලිනී ෆොන්සේකා සිනමා පාඨමාලා රංගන විෂය නිර්දේශයෙන් එක් දිනක කාල පරිච්ඡේදයක් (ර්‍ථඥපඪධඤ) වන්නේය. ඇය රඟපෑ එක් තත්පරයක්, සිනමා පාඨමාලාවේ එක් දිනකට සමානයි. දියුණු සිනමාවක - චලන රූප රාමු පෙළක සදාචාරය එය නොවිය යුතුය. උප ශීර්ෂ පාඨ රහිතව, රංගනයෙන් ප්‍රේක්ෂක මනසට කතා කිරීමට හැකියාව ඇත්තේ ලෝකයෙන්ම නළු නිළියන් හත් අට දෙනකුට පමණි. ඉන් එක් අයකු මාලිනී ෆොන්සේකා බව අප පිළිගත යුතුය. උපශීර්ෂ පාඨ රහිතව, දෙබස් ද රහිතව කරන රංගනය නිවැරැදි ලෙස කළ හැකි නම්, එයයි සිනමා රංගනය. එම සැබෑ වූ, ඉතා අවදානම් කර්තව්‍ය මාලිනිය විසින් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ජනතාවට ප්‍රක්ෂේපනය කොට ඇත. එපමණක් ද නොව, අපට ද ඇයගෙන් තව තවත් ඉගෙන ගත යුතු දේ අපමණව ඉතිරිව ඇත. කාගේ හෝ සිනමාපටයක රංගන කාර්යය අරභයා ඇය තුළින් උතුරා යන්නා වූ කැපවීමේ ක්‍රියාවලිය කෙතරම්දැයි කිසිවෙකුට කිව නොහැකිය. චලන කැමරාව ඉදිරියේදී, පෙර පුහුණුවීම් හෝ නැවත, නැවත රූගැන්වීම් රැසක් අධ්‍යක්ෂවරයා ඉල්ලන්නේද, ඒ හැමෙකක්ම නොපසුබටව, දැඩි කැපවීමකින් දෙනු ලබන්නේ, සිනමාවෙන් ඇය ද, ඇගෙන් සිනමාව ද වෙන් කළ නොහැකි සාධකයක් බැව් අපට ඒත්තූ ගන්වමිනි. ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ ‘එයා දැන් ලොකු ළමයෙක්’ 1977 මොස්කව් නුවර පැවති අන්තර් ජාතික සිනමා උලෙළේදී ආසියානු කලාපයේ හොඳම රංගනය උදෙසා මාලිනී ෆොන්සේකා වෙත ඩිප්ලෝමා සහතිකයක් පිරිනමන්නේ ඇයගේ සුවිශේෂිත වූ රංග ප්‍රතිභාව වෙනුවෙනි. එමඟින් ඇය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තිය රැගෙන ආවාය. ඇය අධ්‍යක්ෂවරියක් වශයෙන් දොරට වඩින්නේ ‘සසර චේතනා’ සමඟින් 1984 ජූනි 30 දාය. එම සිනමාපටය ද ඇතුළුව අහිංසා, ස්ත්‍රී, සඳමඬල ඇතුළු ඇය විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවල ඇය රඟපෑ චරිතවල භාව ප්‍රකාශනයන් සහ රංගන ශෛලිය අප අගය කළ යුතුය. එහෙත්, එකිනෙක පරයන එම රංගන ධාරාවන් හතරෙන් විශිෂ්ට රංගන භාවිතයක් මුසු වන්නේ ‘ස්ත්‍රී’ චිත්‍රපටයට බව කිව යුතුය. එමෙන්ම ඉතිරි චරිත ත්‍රිත්වයට ද, තම අධ්‍යක්ෂණ විධානය තමා වෙතම එල්ල කර ගනිමින්, මනා හික්මීමකින්, එකිනෙකට අද්විතීය වන සේ වෙන් වන පරිදි, රංගන කැටයම නිමවා ඇති බව ද පැහැදිලිව පෙනීයයි. එසේ කිරීමට කෙනෙකුට හැකි වීම සුළු පටු කාර්යයක් නම් නෙවෙයි. ඇරත් අධ්‍යක්ෂණය කරමින්ම රංගනයේ යෙදීම ඉතා බැරෑරැම් කටයුත්තකි. මාගේ පෞද්ගලික මතය අනුව නිවැරැදිව අධ්‍යක්ෂණය කරමින්ම, නිවැරැදිව රංගනයේ යෙදී ජය ගත්තේ මහා පිරිමින් දෙදෙනකු පමණි. ඒ ශ්‍රීමත් චාලි චැප්ලින් සහ ආචාර්ය ගාමිණී ෆොන්සේකා යන සිනමාවේදීන් බව සඳහන් කළ යුතුව ඇත. ස්ත්‍රී පරාණයක් එසේ ජය ගත්තේ නම්, ඒ අන් කිසිවෙකු නොව මාලිනී ෆොන්සේකා පමණි. ඇය ආසියාවේ හොඳම නිළිය බව ද මට හැඟී යයි. කාලාන්තරයක් තිස්සේ කාලය ද, මුදල් ද, ඉවසීම ද සියලු දේ සිනමාව වෙනුවෙන්ම කැප කරමින්, රංගනය පිළිබඳවත්, සිනමාකරණය පිළිබඳවත් ඇය ප්‍රගුණ කළ දෑ අබිබවා, ඇය උපතින්ම රැගෙන ආ, ඇයගේ අව්‍යාජ සිනහවටත්, නිහතාමානීත්වයටත් මා ගරු කරමි. ඇයගේ තරු ගුණය සහ ප්‍රතිරූපය අප කලාත්මක සිනමාවේ වාණිජමය සාර්ථකත්වයට ප්‍රබල පිටිවහලක් වීම, කිසිවෙකුට කෙදිනක හෝ වසන් කිරීමට නොහැකි බැව් සඳහන් කළ යුතුවම ඇත. එය අනාගතයට ද එලෙසම පවතිනු ඇත. වාණිජ සිනමාවේ ද, කලාත්මක සිනමාවේ ද, කලාත්මක ගුණාංග අන්තර්ගත වාණිජ සිනමාවේ ද ප්‍රබලතම ප්‍රතිරූපය මාලිනී ෆොන්සේකා බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. බටහිර ගොපලු චිත්‍රපටවල, ගොපලු වීරයාගේ රංගනයෙන් සිනමා දිවිය ඇරැඹි, හොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ක්ලින්ට ඊස්ට්වුඩ් නම් සිනමාකරුවා ද කිසිවෙකු නොසිතූ අයුරින් අද විශිෂ්ට ගණයේ අධ්‍යක්ෂවරයෙක් බවට පත් වී ඇත. නුදුරු අනාගතයේදී ඔහු විශිෂ්ටයෙකු වන බවට මා සමඟ අනාවැකි පළ කළේ අප මානව හිතවාදී විජය කුමාරතුංග මැතිතුමා බව ද මෙහිදී සටහන් තැබිය යුතුය. එහෙත් ඒ අනාවැකිය සාක්ෂාත් වී ඇති බැව් පෙරළා කීමට අද විජය සොයුරා අප අතර නොමැත. ක්ලින්ට් ඊස්ට්වුඩ් බෙහෙවින්ම ප්‍රමාද වූවා යැයි මට සිතේ. ඊස්ට්වුඩ් මෙන් කලාත්මක ගුණාංග අන්තර්ගත වාණිජ සිනමාකරණයේ අධ්‍යක්ෂ ධූරය හොබ වන්නේ නම් - අප මහ නිළි මාලිනිය ද නුදුරු අනාගත ආසියානු සිනමාවේ විශිෂ්ට ගණයේ මහා චිත්‍රපට අධ්‍යක්ෂවරියක් වනු නොඅනුමානය. එය ඇලපිල්ලන් නෑර, එසේම වේවායි මගේ උපන් දින සුභ පැතුමයි. . .!
සුබ උපන් දිනක්... |