|
රඟපෑමෙන්, චිත්‍රපට දැන්වීම් පුවරුවෙන් නම රැන්ඳූප්රේම් ජයන්ත්
‘දිනමිණ’ පුවත්පත මඟින් 1955 වසරේ ලංකවේ මුල්වරට පවත්වනු ලැබූ චිත්‍රපට තරඟයෙන් ජනප්‍රිය චිත්‍රපට නළුවා ලෙස තේරී ඇත්තේ පාඨක ඡන්ද 90,999 ක් ලැබූ ප්‍රේම් ජයන්ත්ය. ඒ වන විට ඔහු ‘සුජාතා’ (1953) සහ සැඩසුළං (1955) චිත්‍රපටවල රඟපා ජනප්‍රියත්වයේ ඉහළටම නැඟ තිබිණි. එදා ‘දිනමිණ’ චිත්‍රපට තරඟයේදී ජනප්‍රිය නළුවා තේරීමේදී දෙවන ස්ථානය ලැබුවේ පාඨක ඡන්ද 11,912 ලැබු ස්ටැන්ලි පෙරේරාය. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න පාඨක ඡන්ද 5,237 ක් ලබා තෙවැනි ස්ථානයට පත් වූහ. ජනප්‍රිය නළුවා වූ ප්‍රේම් ජයන්ත්ට වෑල්ව් 9 මර්ෆි ගුවන් විදුලි යන්ත්‍රයක් ලැබී ඇත. සිංහල සිනමාවේ ප්‍රථම සුපිරි තරුව වූයේ ප්‍රේම් ජයන්ත්ය. ඔහුගේ මුල් නම හෙට්ටිආරච්චිගේ එම්මානුවෙල් ඇලෝෂියස් රොඩ්රිගෝය. ඔහු 1931 දෙසැම්බර් 24 වෙනිදා කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි කොස්ගස් හන්දියේ උපත ලැබීය. ඔහු අධ්‍යාපනය ලැබුවේ ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් සහ කොටහේනේ සාන්ත ලුසියා විද්‍යාලයෙනි. ඔහුගේ සමකාලීන ශිෂ්‍යයන් වූයේ ධර්ම ශ්‍රී කල්දේරා, ධර්ම ශ්‍රී රණතුංග, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ජෝසෆ් සෙනෙවිරත්න ආදීන්ය. 1942 වසරේ මගේ පියා වූ ඒ. ඩී. ඇඩ්මන් නිෂ්පාදනය කළ ඒ. ඩී. ජේ. මාතුපාල රචනා කළ ‘කානිවල්’ වේදිකා නාට්‍යයේ ළමා චරිතයක් රඟපාමින් කලාවට එක් වූ ඔහු මා කුඩා කල සියැසින් දුටු එකම නළුවා විය. අප නිවසට නිතර ආව ගිය ‘එමානුවෙල් අන්කල්’ ඔහු ‘සුජාතා’ චිත්‍රපටයෙන් දකින විට මම පස් හැවිරිදි වියේ සිටියෙමි. එකල ඔහු අප නිවසට පැමිණෙන්නේ ඩිවෝස් පටුමඟ පිහිටි ඔහුගේ නිවසේ සිට පයින්මය. එසේ ඇවිදගෙන එන විට පාරේ යන අය නැවතී ඔහු දෙස ආදරයෙන් කතා කරනු, සිනාසෙනු මම දැක ඇත්තෙමි. එවකට ධර්ම ශ්‍රී කල්දේරා හා මගේ මාමා වූ ගුණරත්න රත්නායක සංස්කරණය කළ ‘චිත්‍රපටි’ පුවත්පතට එමානුවල් අන්කල් ‘සුජාතා’ චිත්‍රපටයේ ඡායාරූප රැගෙන ආ දින කිහිපයක් මට යාන්තමට මතකය. ඒවා පත්‍රයේ පළ වූ ආකාරයත් එදා සිහිනයක් මෙන් මට ආවර්ජනය කළ හැක්කේ ඒ පත්තර අද මා සතුව තිබෙන නිසා ඒවා අද බලමින් මා අතීත කාලයට මනසින් යන නිසාය. ‘ප්‍රේම් ජයන්ත්’ නමින් ප්‍රකට වූ හෙතෙම කලා පරපුරකට නෑකම් කියන්නෙකි. ඔහුගේ පියා වූ පිලිප් රුද්‍රිගෝ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකි. වෙසක් කාලයට ඔහුට වැඩ වැඩිය. ග්‍රෑන්ඩ්පාස් හී ඩිවෝස් ලේන් හී තම නිවසට යාබද පාරේ එළිමහනේ සිට ඔහු වෙසක් තොරණේ චිත්‍ර අඳිනු දැකීමට එහි යාමට මා අම්මාගෙන් හා තාත්තාගෙන් අවසර ලබා එහි යන්නේ ‘රජ ගෙදරට’ යනවා වැනි සතුටකිනි. මගේ සම වයස් කොල්ලෝ මෙන්ම මා ද ඒ චිත්‍ර අඳින ‘විශ්ව කර්මයා’ දෙස බලමින් ඔහුට අවශ්‍ය පුංචි අත් උදව්දීමට සැදී පැහැදී සිටියෙමි. ප්‍රේම් ජයන්ත්ගේ පියාගේ සහෝදරයා වූ ඕගන් රුද්‍රිගෝ දක්ෂ වේදිකා නළුවෙකි. ‘බලගතු කාසිය’, ‘හත් වෙනි පැය’, ‘බෞද්ධ හටන’ නම් නාට්‍යවල කුඩා කාලයේ චරිත රඟපෑ ප්‍රේම් පාසල් වේදිකාවේ සේ්තුවාගේ චරිතය රඟපෑම නිසා ගුරුවරුන්ගේ ප්‍රසාදයට පත් විය. චිත්‍ර ශිල්පියකු වූ තම පියා විසින් වේදිකා ගත කළ ‘ජාතික ගිවිසුම’ නාට්‍යය නිසා එකල පැවති අධිරාජ්‍යවාදී ආණ්ඩුව විසින් ඔහු අත්අඩංගුවට ගත් ආකාරය ඔහුට මතක තිබිණ. ‘මම වරෙක ක්‍රිස්තියානි සහෝදරවරයකු ලෙස පූජකත්වයට පත්වීමට හිතුවා. පැවිදි ඇඳුම් ගැනීමට පිනෑන් දූපතට යාමට සිටි අතර 1942 දෙසැම්බර් 06 වෙනිදා යුද්ධය ඇරඹුණු පසු එය වැළකුණා. මගේ සිත කුඩා කාලයේ සිට ඇදී ගියේ චිත්‍ර කලාව මෙන්ම චිත්‍රපට බැලීමටය. මට ප්ලොරන්ස්, කැතරින්, ප්‍රින්සි නම් සහෝදරියන් තුන් දෙනෙක් හා ජෝර්ජ් හා එඩ්වඩ් නම් සොහොයුරන් දෙදෙනකුත් හිටියා. දවසක් අම්මා පාන් ගෙඩි දෙකක් ගෙන ඒමට මට ශත 25 ක් දුන්නා. මගේ ඥාති සහෝදරයෙක් එක්ක කොස්ගස් හන්දියේ සිරිසල බේකරියට ගිහින් පාන් ගෙඩි දෙකක් මුදල් නොගෙවා අරන් පැන දිව්වා. ඒ මුදලින් එදා සවස කළේ කැපිටෝල් සිනමාහලේ ‘සීරියල්’ (සටන් සහිත) චිත්‍රපටයක් නැරැඹීම.’ ප්‍රේම් ජයන්ත් 1956 ‘දිනමිණ’ පත්‍රයට ලියූ තම ජීවිත කතාවේ සඳහන් කර තිබුණි. ‘චිත්‍ර ඇඳීමට ද බාල වියේ පටන් ආශාවක් හා දක්ෂකමක් දැක් වූ මම වෙසක් දිනවල කුඩා තොරණ හා බුද්ධ රූප ඇඳ විකුණා එම මුදල් සිනමාහල්වලට පූජා කළෙමි’ ඔහු පවසා තිබුණි. බාටා සමාගමේ චිත්‍ර ශිල්පියකු ලෙස සේවයට බැඳුණු ප්‍රේම් ජයන්ත්ගේ සිත තිබුණේ චිත්‍රපටයක රඟපෑමටය. මේ අතර බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ‘උමතු විශ්වාසය’ චිත්‍රපටයට නළු නිළියන් ඉල්ලා පළ කර තිබූ දැන්වීමක් දැක එයට ඉල්ලුම්පතක් යැවූ ප්‍රේම්ට එම චිිත්‍රපටයේ සරත් නම් සුළු චරිතයක් රඟපෑමට ලැබුණේ ක්ලැරිස් ද සිල්වා සමඟය. ප්‍රේම් ජයන්ත් සිංහල සිනමාවේ ජය කෙහෙළි නං වන්නේ ‘සුජාතා’ චිත්‍රපටයෙනි. එයට අවස්ථාව ලැබුණු අයුරු ලංකා ගුවන් විදුලියේ පාලිත සමරසිංහ සමඟ පැවැත් වූ සාකච්ඡාවක මෙසේ සඳහන්ව තිබුණි. ‘මේ කාලයේ ආනන්ද සමරකෝන් මහත්තයාව හොඳ ගායකයකු, සංගීතඥයකු වගේම චිත්‍ර ශිල්පියෙකු, ඡායාරුප ශිල්පියකු බව දැන හිටියේ ටික දෙනයි. දවසක් දා ආනන්ද සමරකෝන් මහත්තයයි, ගීත රචක ඩී. ටී. ප්‍රනාන්දු මහත්තයයි මාව හමුවෙන්න ආවේ සිනමාස් සමාගම ඉන්දියාවෙන් ගෙන්වපු අලුත්ම චිත්‍රපටයකට දැන්වීම් පුවරුවක් අන්දවා ගන්නයි. ඒ චිත්‍රපටය තමයි විලයාට්ටු බොම්බෙයි (සෙල්ලක්කාර බෝනික්කා). ආනන්ද සමරකෝන් මහත්මයා මා ගැනත්, මගේ චිත්‍ර ඇඳීම ගැනත් කාලයක් තිස්සේ ඉඳන් දන්නා කෙනෙක්. ඒ මහත්වරු මාව සිනමාස් සමාගමේ කේ. ගුණරත්නම් මහත්මයා ළඟට එක්කර ගෙන ගියා. එතැනදී මගේ චිත්‍ර ගැන පැහැදිලා සිනමාස් සමාගමේ දැන්වීම් පුවරු සකස් කිරීමට බාර දුන්නා. ඒ දවස්වල සමරකෝන් මහත්මයා සිනමාස් සමාගට සම්බන්ධ වෙලයි කටයුතු කළේ. දවසක් ගුණරත්නම් මහත්තයා මා දිහා බලාගෙන ඉඳලා එතැන හිටිය සිරිසේන විමලවීර මහත්තයාට කිව්වා ‘මට කියවල චිත්‍ර අන්දවා ගන්නවාට වඩා හොඳයි, මගේ කඩවසම් පෙනුමෙන් වැඩක් ගන්නවා නම් කියලා. ඒ අදහස විමලවීර මාස්ටරුත් එකවරම අනුමත කළා. අන්න ඒ විදිහටයි සිනමාස් සමාගම පළමුවෙන්ම නිෂ්පාදනය කළ ‘සුජාතා’ චිත්‍රපටයේ දොස්තර නිහාල්ගේ චරිතය රඟපෑමට අවස්ථාව ලැබුණේ.’ ප්‍රේම් ජයන්ත්ගේ පියාට අවශ්‍යව තිබුණේ ඔහුව දොස්තර කෙනෙකු කිරීමටය. පියාගේ ඒ සිහිනය සැබෑ නොවුණත් ‘සුජාතා’ චිත්‍රපටයේ රඟපෑමට ලැබුණේ දොස්තරවරයකුගේ චරිතයකි. මදුරාසියේ ආරෝග්‍ය ශාලාවකට ගොස් වෛද්‍යවරයකුගේ ඇවතුම් පැවතුම් නිරීක්ෂණය කර ගත් බව ඔහු අප සමඟ කියා ඇත. ප්‍රේම්ගේ දෙවැනි චිත්‍රපටය වූයේ ‘පුුදුම ලේළි‘ චිත්‍රපටයයි. මේ චිත්‍රපටයේ ඔහු රාජතිලකය. ප්‍රධාන නිළිය වූ ශ්‍යාමලී ලෙස රඟපෑවේ නන්දා ලීලනායකය. ප්‍රේම් හා ශ්‍යාමලීගේ විවාහය සිදුවීමට පසුබිම සැලසුණේ ද මේ චිත්‍රපටයෙනි. ‘චිත්‍රපටයේ එක අවස්ථාවක ශ්‍යාමලී මට කම්මුල් පහරක් දෙන දර්ශනයක් තිබුණා. ඇය විහිළුවට මෙන් ඉතා වැරෙන් කම්මුල් පහරක් දුන්නා. මගේ කම්මුල වේදනාවෙන් පුපුරු ගසන්නට වුණා. මට ගසන ලද කම්මුල් පහර නිසා මට දැනුණ වේදනාව ඇයට ද ඉසිලිය නොහෙන වේදනාවක්ම වුණා. රඟපෑම අවසානයේදී ඇය අඬන්නට පටන් ගත්තාය. ශ්‍යාමලීගේ නෙතඟින් එදා කඩා හැළුණු ඒ උණු කඳුළු බිඳ තුළ දෙහදක් හා යුග දිවියක් දෛවය විසින් එක් කරනු ලබන සැටි මම පැහැදිලිව දැක්කා’ ප්‍රේම් අතීත කතාවක් ද අපට කියා ඇත. 1954 ජනවාරි 24 වෙනිදා ප්‍රේම් හා ශ්‍යාමලී විවාහ වූයේ වැඩිහිටියන්ගේ අප්‍රසාදයත්, විරෝධයත් මධ්‍යයේය. 1954 ප්‍රේම් ‘වරද කාගේද’ චිත්‍රපටයේ රීටා රත්නායක සමඟ ද 1955 යළිත් ෆ්ලොරිඩා ජයලත් සමඟ ‘සැඩසුළං’ චිත්‍රපටයේ ද රඟපෑවේය. මේ අතරින් ‘සැඩසුළං’ චිත්‍රපටයේ සුනිල්ගේ චරිතය ප්‍රේම් ජයන්ත් ජනප්‍රියත්වයේ ඉහළට ගියේ රොකට් එකක් පරිද්දෙනි. මෙහි ගීත ජනප්‍රිය විය. මේ චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයක් වූ ‘ජීවන ගමන සංසාරේ - යාවී නම් අන්ධකාරේ’ ගීතය ෆ්ලොරිඩා සමඟ ගයමින් විවෘත කාර් එකක යමින් ගැයූ දර්ශනය රූගත වන අවස්ථාවේ ප්‍රේම්ට කිසිවෙකු ආරංචියක් ගෙනාවේය. එය බිරිඳ ශ්‍යාමලීගේ පණිවුඩයකි. ‘ප්‍රේම් මහත්තයා ඔයා තාත්තා කෙනෙක්. දුවෙක් ලැබිලා’ දර්ශනය රූගත කිරීමෙන් පසු සතුටින් නේවාසිකාගාරයට ගිය ප්‍රේම් දියණියට ‘සුනිලා’ යයි නම තැබීය. සැඩසුළං චිත්‍රපටයේ තමා රඟපෑ සුනිල්ගේ චරිතයට කොතරම් ආදරේ කළා ද කිවහොත් දියණියට ‘සුනිලා’ යයි නම තැබීමට ඔහු තීරණය කර තිබුණි. 1954 - 1955 වර්ෂවල බාටා සමාගම විසින් පවත්වන ලද කැන්වස් සපත්තු සඳහා වූ වෙළෙඳ දැන්විම් තරගයකදී ප්‍රේම් විසින් නිර්මාණය කළ දැන්වීම් දෙකකට ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත. ප්‍රේම්ගේ අත්තම්මා කෙතරම් ආදරේ ද යත් ඔහුට ‘ප්‍රේම් ජයන්ත්’ නම තබා ඇත්තේ ඇය විසින් බව පවසා තිබුණි. 1958 වසරේ ඔහු රඟපෑ ‘සල්ලි මල්ලි සල්ලි‘ චිත්‍රපටය තිරගත විය. අවිස්වාසය, පුරුෂ රත්නය (1959), හෙට ප්‍රමාද වැඩියි, සුබසරණ සැප සිතේ, සිතක මහිම (1964) 1967 සරණ චිත්‍රපටවල රඟපෑ ඔහු කලා අධ්‍යක්ෂවරයකු ලෙස 1968 වහල් දූපත 1967 දෙවියනි ඔබ කොහිද චිත්‍රපටලට දායක වී ඇත. චිත්‍රපට රැසක දැන්වීම් පුවරු නිර්මාණය කළ ප්‍රේම් ජයන්ත් එම ක්ෂේත්‍රයේ ප්‍රබලයෙකු විය. පසු කාලෙක සම නිෂ්පාදකවරයකු වූ ‘සහනය’ චිත්‍රපටය උදෙසා ප්‍රේම් නිර්මාණය කළ මනස්කාන්ත ප්‍රචාරක පුවරුව එවකට මහේස්ත්‍රාත් විනිසුරුගේ තහනමට ලක්වූයේ එය නරඹමින් එල්පින්ස්ටන් සිනමාහල අසලින් ගමන් ගත් මගියෙකු අනතුරට ලක්වීම නිසාය. තම දරුවන් සත් දෙනා (සුනිලා, සන්ධ්‍යා, අනූෂා, නිර්මා, ශිරෝමා, ජගත්, ජනක්) නම් ඇසුරෙන් ‘සෙවන් ආට්’ නම් චිත්‍රපට සමාගම පිහිටුවා ගත් ප්‍රේම් සරණ, සහනය, හොඳට හොඳයි, කවුද රජා, සබීතා, සැනසුම, මාල ගිරව් චිත්‍රපට නිෂ්පාදනය කිරීමට දායක විය. ප්‍රේම්ගේ එක් පුතෙකු වූ ජගත් ‘සබීතා’ චිත්‍රපටයේ සබීතා පෙරේරා සමඟ ප්‍රධාන චරිතය රඟපෑවේය. ප්‍රේම් ජයන්ත් වෙනුවෙන් උපහාර උලෙළක් මුලින්ම සංවිධානය කළේ ඔහුගේ 40 වසරක සිනමා දිවිය වෙනුවෙන් 1993 වසරේ පත්තර මාධ්‍යවේදී සහයෝගීතා පදනම විසිනි. එය සංවිධානය කළේ එහි සභාපති සුමිත් තිසේරාය. නළු නිළි සංගමයෙන් උපහාර ලැබු ඔහු ර්‍ණඛ්ධ්ඛ් සම්මානයෙන් ද පුද ලැබීය. ප්‍රේම් ජයන්ත් 1997 මාර්තු 17 වෙනිදා ජීවිත සිනමාවෙන් සමු ගත්තේය. ඔහුගේ බිරිඳ නන්දා ලීලානායක 2014 ජූනි 26 මිය ගියාය. ඇය උපන්නේ 1933 ජනවාරි 26 වෙනිදාය.
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්
|