වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




පොල්කිච්චා සහ රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දු

පොල්කිච්චා සහ රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දු

එය 1988 අවුරුද්දයි.

සිනමාව හැදෑරීමේ නොතිත් ආසාවෙන් සිටි මට එවකට සරසවිය පුවත්පතේ පළ වූ දැන්විමක් ඇස ගැසුණේ අහම්බයක් හැටියටය.ඒ ජාතික චිත්‍රපට සංස්ථාව සිනමාකරණ පාඨමාලාවක් ඇරඹීම පිළිබඳවය. ඒ වන විටත් ලංකාවේ ළඳු ගණනේ සිනමාව නමින් උගන්වනු ලබන විගඩම් ගැන යාන්තම් දැනීමක් තිබුණ මා මෙම අවස්ථාව ට සහභාගී වන්නට සැරසුනේ වටහා ගත නොහැකි විශ්වාසයක් ඇතුවය.ඒ සඳහා ඉල්ලුම් පත්‍රයක් පමණක්නොව විභාගයක් ද පැවැත්විණ.

මෙම විභාගය සඳහා ඉතා විශාල පිරිසක් සහභාගි වූ වග මට මතකය. තෝරා ගන්නා ලද්දේ පනස් දෙනෙක් පමණී. ඒ අවදියේ සිනමා කලාව ගැන අවධානය යොමු කළ කිහිප දෙනෙකු එම විභාගයට පෙනී සිටි වග මට මතකය. එම පාඨමාලාව මෙහෙය වීමේ වගකීම පැවැරී තිබුණේ උත්තුංග දේහධාරි තැනැතතෙකුටය. පෙනුමෙන් එලෙස වුව ද ඉතා ඉක්මනින් ඔහු සියලු සිසුන්ගේ ආදරයට පාත්‍රවූයේ ඉක්මනිනි.

මේ ඡායාරූපයේ දකින රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දු යනු ඔහුය.අද කොළඔ බොරුල්ලේ පෞද්ගලික සාත්තු සේවා ආයතනයක ප්‍රතිකාර ලබන රන්ජිත් මහත්තයා ය. ඔහුගේ භාර්යාව තනි නොතනියට සිටින්නීය. හැට දශකයේ තරුණ සිනමාව ලොව පුරා පිබිදෙමින් පවතිද්දී එහි ආශ්වාදය ලද ලාංකික උගත් තරුණයන් අතර සිටි රන්ජිත් නිව්ටන්ලා කළ කී දේ ගැන අද බොහෝ දෙනා නොදන්නා වග පැහැදිලිය.මේ සටහන ලියැවෙන්නේ එකල ඔවුන් කළ කී දේ පිලිබඳ කෘතවේදි වන්නටත් එක්කය.එය එක් ඉතිහාසයක සටහනක් හින්දාමය.

ඩී.බී.නිහාල්සිංහයන්ගේ වැලිකතර නම් දැවැන්ත චිත්‍රපටය තව නොබෝ දිනකින් ඩිජිටල් පුනරුත්පත්තිය ලැබ කොළඹ රීගල් ඇතුලු සිනමාහල් කිහිපයක තිර ගත වන්නට නියමිතය.වැලිකතර චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ වරයා වූයේ ද රන්ජිත් නව්ටන් ප්‍රනාන්දු ය.එහෙත් නිකම්ම නොවේ. ඒ වන විට ඔහු ලාංකික සමකාලීන ශිෂ්‍ය පරම්පරාව ඇතුළත සිනමා කලාව පිලිබඳ දැවැන්ත උද්යෝගයක් ඇති කර ලන්නට සමත් ව තිබූ කිහිප දෙනා අතර එක් අයෙක්ව නමක් දිනා සිටියේය.

හැට දශකය ආරම්භයේ ප්‍රංශයේ තරුණ සිනමා නවරැල්ල සමග ලොව පුරා පැතිර ගිය සිනමා ආශ්වාදය ලංකාවට ද බෝ වී ගියේය.සිනමාව සිය ආත්ම ප්‍රකාශය කර ගැන්මේ රිසි තරුණ පරම්පරාවක් ලොව පුරා සිනමා නිර්මාණය කරන්නට සැරසිණ.අද මෙන් සිනමා රූපයෙන් කතා කළ හැකි උපකරණ බහුල නොවූ හෙයින් එය ලංකාව වැනි රටවල තරුණයන්ට ලොකු කටයුයත්තක් වූවා නිසැකය.

එහෙත් සිනමාවේ තරුණ ප්‍රබෝධය හතර අත පතල ව ගියේය.එය විශ්ව විද්‍යාල මතු නොව පාසල් කෙරෙහි පවා ඇදී ගියේය.රජයේ කාර්යාල වෘත්තිය සමිති සාමාජිකයන් පවා නව සිනමාවක සිහින මැවූහ.මිලි මීටර් තිස් පහෙන් චිත්‍රපට තනන්නට බැරි නම් සුපර් අට දළ සේයා පටලය යොදා හෝ චිත්‍රපට තනන්නට ඔවුහු උත්සුක වූහ. සිනමාව යනු තාරු්‍යණයේ මාධ්‍යයක් වූ වග එකල ජනප්‍රිය සිංහල චිත්‍රපට නරඹද්දි ද පෙනෙන කරුණකි.

කොළඹ ආනන්ද මහා විදුහලේ සිසුන් වූ රංජිත් ලාල් ප්‍රමුඛ සිසුන් වෙර නමින් කෙටි චිත්‍රපටයක් තැනුවේ ඒ උණුසුමේය. (රංජිත් ලාල් සිය පන්ති සගයන් සමග පසුව නිම් වළල්ල නමින් වෘතාන්ත චිත්‍රපටයක් ද නිර්මාණය කළේය.) රාජකීය විදුහලේ ඉගෙන ගත් රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දු පසුව ඒ අසලම කොළඔ විශ්ව විද්‍යාලයේ සිසුවකු විය. කොළඹ විශ්ව විද්‍යාලයයේ සිනමා සංගමය පිහිටුවාලන ලද්දේ ඔහුගේ නායකත්වයෙනි.ඒ අවදියේම ඔහු ඉතා අපූරු කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය.

ඒ පොල්කිච්චා නම් කෙටි චිත්‍රපටයයි. පොල්කිච්චා රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක් විය. ලංකාවේ විශ්ව විද්‍යාලයකින් නිර්මාණය වූ මුල්ම කෙටි චිත්‍රපටය එය විය. සිනමාකරණය හා එහි තාක්ෂණය පිළිබද ඉතා පුළුල් පරිචයකින් යුත් ඔහු වෘතාන්ත සිනමාවට පිවිසියේ වැලිකතර සහාය අධ්‍යකෂණයට දායක වෙමිනි.චිත්‍රපට සංස්කරණ ශිල්පියෙක් හැටියට ද ඔහු කටයුතු කළේය.වැලිකතර නිර්මාණයේ දි ඇති වු දුෂ්කරතා ගැටළු හා ඒවායේ කැපවීම් පිලිබඳ වඩා නිරවුල්ව කිව හැකි ජිවමාන සාධකයක් වන්නේ රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දු හෙවත් අපේ රන්ජිත් සර්ය.

කෙසේ වෙතත් රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දු 1972 වසරේ රාජ්‍ය චිත්‍රපට සංස්තාව ආරම්භයේ දි එහි සේවයට එක් විණ.නිහාල්සිංහයන් සහ උරෙන්උර ගැටි සංස්ථාව ගොඩ නගන්නට වෙහෙස වූ කිහිප දෙනා අතර රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දුට ලැබෙන්නේ ඉහල තැනකි.එය ඔවුන්ට නිළ කාරියක් පමණක් නොවීය.

1988 වසරේ ජාතික චිත්‍රපට සංස්ථාව මගින් සිනමාකරන පාඨමාලාව ආරම්භ වන වට එහි සභාපති ව සිටියේ ඇන්ටන් වික්‍රමසිංහයන්ය. 88 සිනමා පාඨමාලාවේ දි රන්ජිත් සර් සමග එයට කැපවූ තවත් දෙදෙනෙකු ගැන ද සඳහන් කළ යුතුය.එක් අයෙක් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ව සිටි අයිවන් වීරක්කොඩිය.අයිවන් සර්ය.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිනමා සංගමයක් බිිහි කිරිමේ ගෞරවය හිමි වනුයේ අයිවන් සර්ටය.එය මෙරට විශ්ව විද්‍යාලයක ඇරඹි මුල්ම සිනමා සංගමය විය.

අපේ සිනමා පාඨමාලාවේ දී රන්ජිත් සර්ගේ වඩා නැඹුරුව තිබුනේ කාර්මික අතින් පොහොසත් සිනමාව ගැනය. අයිවන් සර් සිනමා කලාවේ අන්තර්ගතය ගැන වැඩි අවධානයක් යොමු කළේය.එමෙන්ම මේ දෙදෙනා සමග එයට දැඩි කැපවීමක් කරන ලද්දේ වර්තමානයේ සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා වයලා දයාරත්න මහත්මියයි. ඔවුන්ගේ එකතුව සිනමා ලෝලී අප වැනි දුහුනන්ට මහත් මග පෙන්විමක් ගෙන දෙන්නට සමත් විය.

88 වසරේ චිත්‍රපට සංස්ථාව මගින් පවත් වන ලද සිනමාකරණ පාඨමාලාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට එකක් බැව් මගේ විශ්වාසයයි. එවකට මෙරට සිනමාවේ සිටි පතාක යෝධයන් සියල්ලම පාහේ ඒ සඳහා සම්පත් දායකයන් ලෙස සහභාගි වු අතර ඒ සියළු දෙනාම සිනමාව සම්බන්ධව එවකට යාවත්කාලින පුද්ගලයන් විය. අතීතකාමයේ නොරැඳී සිට සිනමාවේ මතු දවස දක්වා එහි බොහේ දේ ඉගැන්විණ.

ඔවුන්ගේ අත්දැකීම් පමණක් නොව ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙන්ම සිනමාව ගැන නිදහසේ ප්‍රශ්ණ කරන්නට ද අපට අවකාශ ලැබිණ.දේශීය සම්පත් දායකයන්ගෙන් පසු ඒ සඳහා එවකට සෝවියට් සමාජවාදී ජනරජයට අයත් එස්තෝනියාවේ පළපුරුදු සිනමාකරුවකු වන අර්වෝ ඉහෝ ද ලංකාවට පැමිණි අතර සිසුනට ඔහු ලවා ප්‍රායෝගික සහ න්‍යායාත්මක අධ්‍යයනයක් ද ලබා දෙනු ලැබිණ. ඒ 1989 වසෙර්ය. එම මැයි මාසයේ දී ඉහෝ සමග මා කළ සංවාදයක් සරසවිය පුවත්පතේ පළ කෙරිණ. අර්වෝ ඉහෝ ස්මයිල් ඔන්බේබි සහ ද ඔබ්සවර් චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහු 2001 වසරේ නිර්මාණය කළ ද හර්ට් ඔෆ් ද මියර් ඇකඩමි සම්මාන උලෙළේ එස්තෝනියාව නියෝජනය කළ චිත්‍රපටය විය.

88 සිනමාකරණ පාඨමාලාවේ සිසුන් ගේ අධ්‍යයන කටයතු නිම කිරීමෙන් පසු එම සිසුන් එක්කොට 88 සිනමා කවය නමින් සිනමා කවයක් ද පිහිටුවන ලද අතර එමගින් සෑම මසකම පළමු ඉරිදා කොළඹ සිනමා හමුවක් ද පැවැතිවිණ.මේ කටයුත්ත සම්පූර්ණයෙන් ම මුල් වගකිම දැරුවේ රන්ජිත් සර්ය.මෙම සිනමා කවය සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ද ලැබිණ.එයින් ටික කලකට පසු ඔහු චිත්‍රපට සංස්ථාවෙන් සමුගෙන ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වැඩ සටහන් ධුරයට එක් විය.

ලංකාවේ මුල්වරට ටෙලිවිෂන වැඩ සටහන් අතර තුර තිරය යටින් එයට බාධාවක් නොවන පරිදි ප්‍රවෘත්ති තීරයක් නිතිපතා විකාශය නර ගන්නට පටන් ගත්තේ රන්ජිත් සර් එහි වැඩ සටහන් සාමාන්‍යාධිකාරි ලෙස කටයුතු කරද්දීය.එපමනක් නොව මුල් වරට අයි.ටී.එන්. ආයතනය ටෙලි නාට්‍යය විකාශය කරන්නට පටන් ගත්තේ ද ඔහුගේ මෙහෙයවීම මතය.ඒ අනුව විකාශිත මුල්ම ටෙලි වෘතාන්තය වූයේ දී.ග.සෝමපාල අධ්‍යක්ෂණය කරන ලද කොන්ත්‍රාත්තුව ටෙලි නාට්‍යයයි.

සිනමාවේ ද ටෙලිවිෂනයේ ද තමා කළ කී දෑ ගැන රන්ජිත් සර් කියන්නේ අඩුවෙනි.ඔහු වැඩ කළා විනා නම ගසා ගත්තේ නැත.පසුකලක ඔහු අතින් බොහෝ විදෙස් නිර්මාණ සිංහලෙන් දෙබස් කවා විකාශය කෙරිණ.ඒ සියල්ල වැදගත් නිර්මාණ විය.කාලය ගෙවී ගොස් ඇත.

ඔහු අපට මග පෙන්වා අද නිහඩව බලා සිටී.මෙකී සටහන ඒ වෙනුවෙනි.

රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දු මහතානන්ට නිදුක් නීරෝගී වේවා