වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




“සුද්දීට අහිමි වූ සුද්දී” “විසි අට” සිනමා විමසුම

“සුද්දීට අහිමි වූ සුද්දී” “විසි අට” සිනමා විමසුම

'විසි අට' දිග හැරෙන්නේ ගැහැනු මායම් කියැවීමකිනි. රැය, හඳ, රැහැයි හඬ පසුබිමකි. ඇලහැර පතලකි. පණිවුඩයක් ලැබෙයි. ඊට අවනතව සැරසෙන අබසිරි සරමකින් සැරසුණ ද ඒ යටින් දිග කලිසමක් ද හැඳ සිටී. සුද්දී අබසිරි සරම ඇඳ සිටිනවාට අකැමැතිය. සුද්දීගේ මෘත ශරීරය බාර ගන්නට මනී සමඟ අබසිරි කොළඹට පැමිණෙයි.

ලිංගික සූරාකෑමට ලක්ව අමානුෂික ලෙස මරණයට පත් වූ තවමත් මෝචරියෙන් බාර නොගත් කාන්තා සිරුරු කීපයක් එහි මිනී ලාච්චු තුළ බහා තිබේ. මාධ්‍යයට ඒ තොරතුරු එතෙක් අනාවරණය වී නැත්තේ එදින පවතින රෝහල් වර්ජනය නිසාවෙනි. සංලාපය සුද්දීගේ ආත්ම භාෂණය තුළිනි.

මෙහිදී ඇසට බඳුන් වන වික්ෂිප්ත අබසිරිගේ සමීප රූප සමුදාය ඔහුගේ හිත කියැවිය හැකි තරමට භාවාත්මකය. හඬ, ශබ්ද නාද මත දුක සුවඳ සිතින් විඳීම, දෑඟිලි චලනය, මුහුණත හැසිරවීම සුද්දීගේ ගමන් බෑගයේ තිබූ මංගල ඡායාරුපය සීරුවට කලිසම් සාක්කුවේ දමා ගැනීම, යළි යළි සුවඳ දියර පුසුඹ විඳින්නට උත්සාහ ගැනීම විඳවන අබසිරිගේ ජීවිතය හෙමිහිට කියැවීමකි.

ඉස්සර කරන වාහනයෙන් අබසිරිට, මනීට, ලෙනින්ට ලැබෙන ප්‍රතිචාරයෙන් වික්ෂිප්ත වන අන්දම හා එකිනෙකා ප්‍රතිචාර දක්වන ඊළඟ ගනුදෙනව සමාජ වටපිටාව තුළ ජීවිත අත්දැකීමට දිග හැරෙන හාස්‍යය මුසු ශෝකාන්තය විසි අටෙහි පැතිකඩකි. රඟපෑම සංවාද හෝ දෙබස්ම නොවේ යන අරුත මෙම නිසඟ රූපණ ත්‍රිත්වය (අබසිරි, මනි, ලෙනින්) අධ්‍යාත්මය සිතිවිලි භාෂාව හා මුසු ශරීර කතා කිරීමකි.

ලෙනින්ගේ සමීප රූප තුළින් විද්‍යාමාන මුහුණේ ඉරියව්වල සසල වූ වික්ෂිප්තය, භාවමය සංකල්ප රූප මැවීමකි. ගැම්මක් නැතිව ගැම්මකින් නිරූපිත රූපණ තුළ ඇත්තේ සසල ස්වභාවයකි. තමන් මුහුණ දෙන අත්විඳින අවිනිශ්චිතභාවයයි.

ලිංගික උවමනාව මනුෂ්‍යයාට හිමිකමකි. සොබා දහම මඟින් පැවරෙන එය අවබෝධයෙන් වසං කර තැබීම අධක්ෂවරයා සුද්දි ලවා අවධාරණය කරවයි. ලිංගිකත්වය සංස්කෘතිය ලැජ්ජාවක් බවට පත් කර තිබීම සංස්කෘතිය එළිපිට පෙන්වා ලිංගිකත්වය කුණුහරුපයක්, අසැබි දෙයක් බවට හුවා දැක්වීම මෙහි පදාර්ථය දැයි සිතේ.

අබසිරි විසින් සුද්දී කැන්දන් එන දවසේ ගමේ ඇස් ඈ වට එක් රොක් වීම, මාමණ්ඩියගේ ඇසින් සුද්දීට මිදෙන්නට නොහැකි වීම ඊර්ෂ්‍යාව සංකල්පය ලස්සන මනසින් විමසීම පිළිබඳව සුද්දී පවසන්නේ අබසිර පාර්ශවයේ දෘෂ්ටාන්තයයි.

ඉපදීම මියයාම ආසියාතික විශ්වාස හඳේ චක්‍රයත් ගැහැනියගේ ඔසප් චක්‍රයත් දින විසි අටකදී සිදුවන සොබා දහමෙහි පණිවුඩය විසි අටෙහි මාතෘකාවට පාදක වී ඇතැයි සිතේ.

සුද්දීගේ නිරුවත් සිරුර අබසිරි එම්බාම් කාමරයේදී දකියි. විවාහක යුවළක් නොදුටු නිදහස හා සංස්කෘතිකමය බාධාවන් හි මතක් කරදීමක් ද යන කුතුහලය අබසිරිගේ හැසිරීමෙන් මතු වෙයි. නිවස තුළදී ආගන්තුක බව සමාජ වපසරිය තුළ විටෙක පාරාවළල්ලකි. අවබෝධය සංස්කෘතික බැඳීම් විසින් දුරස් කර ඇත. අබසිරිගේ හා සුද්දීගේ ජීවියේ යථා ස්වරූපයයි. මෙම දුරස්කරවිම එකිනෙකා තුළ පුපුරා හරින සිත් තුළම පුපුරා හැරෙන වික්ෂිප්ත ස්වභාවය අපූරුවකි. සිනමාත්මක කිියැවීමට ස්වභාවයක් ජනිත කරවයි. වේගයෙන් දිව යන හිත මොහොතකට නතරවීම තුළ තීන්දු වන ශිෂ්ට සම්පන්න බව පෘත්ග්ජන භාවිතයකි. ඉන් ජනිත වන කම්පනය විටක මුලාවකි. දුකකි. ලසෝවකි. සමාජයට මින් කම්පනයක් ඇති කළ හැකි ද හැකිවේද සිද්ධාන්තය විසි අටෙහි මතු කරවයි.

අලුත් කල්පනාවන් සමාජය සුවපත් කරයි. පහන් සංවේග ප්‍රාප්ත කරවයි. එහි හිමිකම් සමුදායක් විසි අටෙහි තිබේ.

ධාවනකාරී චංචල රූප සමූහ 'විසි අට' පුරාම තිරය පුරා පිරී පවතී. පැටලෙමින් දිග හැරෙමින් ඇස සොයමින් යයි. අභියෝගය සම්මුඛවීම පිණිසය.

පතලක වැඩ කළත් අබසිරිට මැණික් හමු වී නැත. දෘශ්‍යමය පණැති මැණිකක් හමු වී තිබිණි. ඒ සුද්දී නම් දැන් එය ද අතහැරී ඇත. සදහටම අත හැරී ඇති සුද'දීගේ මෘත ශරීරය බාර ගන්නට අබසිරිට සිදු වෙයි. එතැන් සිට විසි අටෙහි විකාශය ඒ අරගලයෙහි (යම් යම්) කුටප්‍රාප්තියක්දැයි සිතේ.

දිය රෙද්ද ඇඳලා නාන සුද්දී නිසාවෙන් අබසිරි ඉරිසියාවෙන් සිටි බව සුද්දී සිය ආත්ම භාෂණයෙන් පාපොච්චාරණ්‍ය කරයි. නිවසට යාබදව තැනුණු නාන කාමරය එහි ප්‍රතිඵලයයි. අබසිරි එකල්හි දුටු යථාර්ථ සිහිනය ද සැලැස්ම ද කුකුසකි.

සිහින මියගිය මෝචරිය සිරියහනක් නොව කටු යහනක් වැනිය. සුද්දීට සුද්දීවීමට වපසරියක් නැත. සිදුවීම වේගයෙන් සංසරණය වේ. පිරිමි මායම් උසුළු විසුළු කරවයි. ගොදුරු සොයන මිනිසුන්ගේ පහස විඳගන්නට වීමෙනි.

අයිස්ක්‍රීම් වෑන් එකේ පටලැවෙන්නේ රතු කොඩි වැලකි. සංකේතයකි. වාහනය පදවන්නේ ලෙනින්ය. සංකේතයකි. වාම දේශපාලන ප්‍රවාහයේ සංස්කෘතිකමය අංගයක් වැන්න. ලෙනින්ගේ හැසිරීම උත්ප්‍රාසයකි. රිදුම් දෙන වේදනාවකි. සත්‍යය වසංකර තිබේ. රැවටීමක් ද යන්න සැකයකි. රතු කොඩි මතින් යටි සිතේ සුද්දීගේ කැරැල්ල මතුවේද නොවේද විසඳුම ලඝුකර සමාජ විමසුමට මුදාහැර තිබේ.

'අම්මට හුඩු මාමේ මේං සුද්දි නැන්දා රතු කොඩි දාලා . . .' මනීගේ ප්‍රකාශයත් සමඟින් සුද්දීට ගෞරව කළ යුතු බව අබසිරි අවධාරණය කරවන්නේ කලක පටන් අගෞරව කිරීමෙන් අනතුරුවය. ජීවිතය වෙනුවෙන් හඬන්නට පෙර සුද්දී කියැවිය යුතු චරිතයක් බව ඉඟි වපුරයි.

ගම හා බැඳුණු අපූරු චමත්කාරජනක පරිසරයට කාව්‍යමය කතිකාවකට ලිංගික අසහනය අසංස්කෘතික හැසිරිම් මුහු කරවයි. චින්තනය අවුළුවයි. භෞතික වටිනාකම් සැනින් විසිර යන සමාජ චර්යා එළිපිට කියැවෙයි.

විසි අටෙහි බාත්රුම් එක, ගෘහය ශිෂ්ට සම්පන්න කරවීමක් වැන්න. පුපුරා යන ඛේදවාචකය, සුද්දී ගොම්මනේදී, ඉර එළියේදී සිය ස්නානය අබසිරිගේ පියා බැලීමයි. ශිෂ්ටත්වය නමැති පවුර බිඳ යාමයි. වඩා ශිෂ්ට යැයි සිතන නගරයට සුද්දී එන්නේ ඒ යථාර්ථයට අභියෝගයක් ලෙසිනි. එහි පිරිමි මායාම් ඇති තරමටම වැජඹෙයි. සුද්දී මුහුණ දෙන නගරය අරාජිත රාමුවකි. සුද්දී නගරයේදී ජනතාකරණය වන්නේ එබැවිනි. ප්‍රේමය නැමැති විෂයෙහිදී අන්ත අසරණභාවය, ජීවිතයේදී පීඩිත වන අන්දම කියාපායි. අබසිරි මෙම ඛේදවාචකයේ එක් හැඩරුවකි. චරිතයකි. සංවේදනාව සුද්දිගේ ආත්ම භාෂණයයි.

'අවුරුදු පහළවක් වෙනවා හැබැයි ඊයේ රෑ තමයි අබසිරි පළවෙනි වතාවට මගේ හෙළුව දැක්කේ'

(මල් ශාලාවේ එම්බාම් ලැල්ල උඩදී අබසිරි සුද්දිගේ නිරුවත් මෘත ශරීරය දැකීම).

'මම මළ මිනියක් නිසා ඇස්වලට කඳුළු තිබුණෙ නෑ අඬන්න. උගුරෙන් සද්දේ පිට වුණේ නෑ ඉකි ගහන්න' අබසිරිලේ ස්පර්ශය හරහා ඉස්මතු වන මරණය පිළිබඳ සාන්ෂි සටහන ද අපූරුවකි. සුද්දීගේ චර්යා හැඳින්වීම පිළිබිඹු වේ.

නමේ පන්තියට යන්න කලින් ලොකු ළමයෙක් වීම විද්‍යාව පොතේ අන්තිමට තිබුණු ප්‍රජනන පාඩම හරිහැටි දැන කියාගන්නට නොහැකි වීම සුද්දීට ජිවිත ව්‍යසනයකි. සෑම ගැහැනියකටම චරිතයක් තිබේ. සුද්දීගේ හඬ තුළ ඇත්තේ ඒ ශෝචනීය විලාපයයි. ඒ විලාපය යටින් දිවෙන සමාජ. ආර්ථික, දේශපාලාන යථාර්ථය සැබෑම අතීත කාමයකි.

සුද්දී මිය ගිය ද මියමින් ජිවත්වන චරිත අවංකවම සුද්දී තරම් අවංක නැති බව අධ්‍යක්ෂවරයා ප්‍රසන්න ජයකොඩි කිියන්නට උත්සාහ දරයි.

සුද්දී ගොදුරක් වූය් දැනගැනීමේ අවතක්සේරුව නිසාවෙනි. සුද්දීට මගහැරුණු පාඩම සුද්දී විසින්ම කියා දෙන්නට නිරර්ථක උත්සාහයක යෙදී තිබේ. අවුරුදු පහළොවේදී ඉගෙන ගන්නට නොහැකි වූ පාඩම අවුරුදු තිස් අටෙදීත් අකුරක් හී ඉගෙන ගත් වගක් නොකියැවෙයි. මගහැරුණු පාඩම යළි යළිත් අඳුරේ මඟ හැරෙන්නේ එබැවිනි. සුද්දීගේ ශරීර ආශාවන් මෙට්ටය මත දිය වන්නේ ද එබැවිනි. ගැහැනියගේ සිතුම් පැතුම් අවදිවීමට ඉඩ නොදීම විසි අටෙහි සාකච්ඡා වේ.

මනීගේ කියැවීම, ස්ත්‍රී ශරීරිය ගුප්තය. හැඟිම් මුසු කුතුහලය ගැනය. රහස් ශෘංගාරයක් හාස්‍යයත් එහිම වේ. මෙහිදී මනීගේ උත්තරය තුළ 'ඒක තිබුණාම මදෑ' සඟවන පුරුෂ නියෝජනය හාස්‍යයට ලක් කරවන බවත්, පුරුෂ සමාජය ගැහැනියකගේ ආශාවේ සමස්තය නොහඟින බවත් යැයි සිතේ. සුද්දී නොදැනුවත්කම නිසාවෙන් අතරමං වන තැනැත්තියකි. අබසිරිගේ නොදැනුවක්ම හා සුද්දීගේ නොදැනුවත්කම අතර පරතරක් ද නොමැති තරම්ය. පුරුෂ සමාජයක නිරුවත් වන ගැහැනියට ඊයේත් අදත් සළු පළඳවන්නට අයෙක් නැත යන දහම විසි අටෙහි පිළිබිඹුවකි.

සුද්දී අසමත් වන්නේ ඇගේ නොදැනුවත්කම මත නම් ලිංගිකත්වය අඳුරේ සැඟ වූ ස්ත්‍රින් ලැජ්ජා, බිය, කන්‍යාභාවය, ස්වාමීත්වය, දාරකත්වය මතම සීමා වන්නේය යන ප්‍රස්තුතය සීමාවකි. ඉන් ඔබ්බට යාම ඵලදායි නම් ඒ සඳහා වූ පාඩම නිවැරැදිව හදාළ යුතුව ඇත. උගත යුතු නිවැරැදි පාඩම ඇත් ද නිවැරැදි ගුරුවරයා සිටීද යන ගැටලුව තවදුරටත් ගැටලුවකි.

නොදැනුවත්කමේ ගෙදුරක් වීම අපුලකි. අභාග්‍යයකි. ඛේදයකි. සිය අරගලය තුළ සුද්දී හුදෙකලා වුවත් නිහඩවම එහිදී අනන්‍යතාව සපථ කරයි. පුරුෂාර්ථ මත ගොඩ නැඟුණු සදාචාරය සුණුවිසුණු කර දමයි. අවසානයේදී සුද්දීගේ අනුකම්පා ප්‍රකට කරවන කියන අපූරුවකි.

අබසිරි එළියෙ ඉන්න මිනිස්සුන්ට කියන්න මැරිච්ච ගෑණු විතරක් නෙමෙයි උන්ව මරපු මිනිස්සුන්ටත් පව් කියල . . .'

නමේ පන්තියේ පාඩම තමන් වෙත ආ හැම පිරිමියෙකුටම මඟ හැරී තිබුණු බව ප්‍රකට කරවන්නේ සමස්ත පුරුෂ ආධිපත්‍යයම හාස්‍යයට ලක් කරවමිණි.

සුද්දීගේ මෘත ශරීරය ප්‍රාණ වස්තුවක් ලෙස අප හා කතිකාවක යෙදෙන්නේ (ගනු දෙනු) තමාට සිදුවූ පරපීඩාවන් අකටයුතුකම් ගැනය. අසාධාරණය පිළිබඳවය. එහි සත්‍යය හෝ අසත්‍යය ගනුදෙනුව පසු විමසුමකි.

භෞතිකයට නැඹුරුතා දක්වන්නේ පිරිමියාය. ගැහැනිය මානසික නැඹුරුවකි. ගැහැනිය නිහඬවෙද්දී පිරිමියා නිරීක්ෂණය කරයි. හැම පිරිමියෙකුටම හැම ගැහැනියකටම ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනයක් දීම අත්‍යාවශ්‍යය. ලිංගිකත්වය ගැන දැනීමක් හැම දෙනාටම ලැබී ඇත්නම් ජීවිතය යහපත්වන දහම සුද්දී සිය ආත්ම භාෂණයෙන් පවසන සත්‍යයයි. සුද්දීට (සහ අබසිරිට?) මග හැරී ගියේ ඒ පාඩම බව ප්‍රසන්න ජයකොඩි විසි අටෙන් මතු කරන්නට උත්සාහ කරයි.

විනෝදයත්, ක්‍රීඩාවත්, යාඥාවත්, භාවනාවත්, ආගමත් සේම අධ්‍යාත්මික සුවයක් වූ ලිංගිකත්වය සුද්දී අවසානයේ වෘත්තියක් කරගන්නේ නගරයෙහි, සරිලන ලෙස ජීවිතය ගෙන යන්නට විය හැකිය. තමා පැතූ වෘත්තිය ජයග්‍රහණයේ කූට ප්‍රාප්තිය අමානුෂික ලෙස සුද්දී මරණයට පත්ව තිබීමයි. මෝචරිය තුළදී, ගමට එන අතරමගදී, මිනී පෙට්ටියේ විවරය තුළින් සුද්දී ආත්ම භාෂණයක යෙදෙන්නේ සමාජයට සියල්ල මුදාහැරීම පිණිස විය හැකිය.

තුන්වැනි සිල්පදය වැරදි විදියට භාවිතා කිරීමේ නපුරු උරුමය සුද්දීටද විඳින්නට සිදුවේ. පසුබිම් සුලඟ හා මුසුවන සුසුම් හඬ මුසුව, විලාප ගායනාව චරිත රූපණ භාවිතාවට සෘජු අත්වැලක් සේ එක්කර තිබෙනු දැනේ. එසේම ලෙනින් සුද්දීව, ඇගේ විදෙස් ගමන් බලපත්‍රය දැකීමෙන් හඳුනාගන්නා සේයා සිද්ධි තුළනය ලෙනින්ගේ පසු අවබෝධය තුළින් කුළු ගැන්වෙයි.

'විසි අට', 'සංකාරා' - 'කර්ම' චිත්‍රපට අභිබවා යෑමකි. වෙනස්ම වෙනස් ශෛලියකි. මිය ගිය සුද්දී සජීවි ලෙසින් රූපණයෙහි යෙදෙන ආත්ම භාෂණයකි.

සුන්බුන් වූ මිනී පෙට්ටියේ සිදුර බරපතල ඛේදයක් මුදා හරියි. පිළිතුරු නැති අදටත් සිදුවන සිදුවෙමින් පවතින මෙවැනි ඛේදයන් හි සංකීර්ණ සමාජ විපරීතබව ඉන් ගම්‍ය වෙයි.

පිරිමියාට ශාරීරික වූ ගැහැනියට අධ්‍යාත්මික වූ ලිංගිකත්වය පිළිබඳව සනාථවීම අබසිරි හා විවාහ වූදා පළමු රැය පිළිබඳ සුද්දීගේ ආත්ම භාෂණය, මතකය නිදසුනක් වැන්න. කුප්පි ලාම්පුව නිවා දැමීමේ සංකේතාර්ථයෙන් සුද්දීගේ සිතීමේ සීමාවන්, සීමාවෙන් එපිටට ගෙන පුළුල් කරවයි. අඳුරේ ගුලිවීම මෙහි ධ්වනිත සංකේතාර්ථයක් සේම සංයමය ගෙන හැර පෑමකි.

අධ්‍යක්ෂවරයා, මෙහි චරිත (සේමිණි ඉද්දමල්ගෙඩ, මහේන්ද්‍ර පෙරේරා, රුක්මාල් නිරෝෂ්, සරත් කොතලාවල) හැසිරවීමේ දර්ශන ස්වරූපයන්හි දැඩි සංයමය, රූප ඡේදන භාවිතාව, හාස්‍යය මෙන්ම ජීවන යථාර්ථය ගැබ්වූ සංයමය, බස හැසිරවීම ද විසි අටෙහි ස්මරණ අපූරුතාවේ වටපිටාවෙහි ධර්මතා දෘෂ්ටිය කැමරාකරණයෙහි, සංස්කරණයෙහි අපූරු මුසුවකි. එකතුවකි. සීමා සහිත සියුම් කම්පිත සංගීත නාද රටා විසි අටෙහි මිඩංගුවකි.

සුද්දීගේ මෘත ශරීරය තනිකරන්නට දොර අඩක් වසා අබසිරි විඩාබර දෙනෙතින් යුක්තව බලා සිටින්නේ නිසොල්මන් විලාසයෙනි. නොනවතින සුද්ධීගේ සුසුම හෙටටත් සුසුමක් වී නොපවතින්නට නම් මග හැරුණු පාඩම අද පරපුරට හෙට දවසේ මග නොහැරෙන සේ විය යුතුය.