වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




දුක හිතුණ හැටි

දුක හිතුණ හැටි

සිත් රිදීම් කලකිරීම් අප ජීවිතයට පොදු කාරණා. පෘථග්ජන මිනිසෙකු හැටියට එවන් වූ දේවල්වලට අපට නිරන්තරයෙන් මුහුණදීමට සිදු වෙනවා. ඇතැම් සිත්රිදීම් ජීවිත කාලය පුරාවටම අමතක වන්නේ නැහැ. ඒ වගේම ඒවා තුළින් ජීවිත අත්දැකීම් ද ලබා ගත හැකි වෙනවා. තෝරාගත් කලාකරුවන් කිහිප දෙනෙකුගෙන් අප ඇසුවා ඔවුන්ගේ ජීවිතයට වැඩිපුරම දුක හිතුණු කාරණය. ඔවුන් ඒ සඳහා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසිනුයි.

එහෙම එකක් නෑ

අමිත්ත වීරසිංහ

මට එහෙම විශේෂයක් කියලා කියන්න සිද්ධියක් නැහැ. සිත් රිදීම් නම් වෙනවා. මං ඒ වෙලාවට කරන්නේ මට එහෙම කළ තැනැත්තාගෙන් කෙළින්ම ගිහින් ඒ ගැන අහලා ඉවර කරනවා. එතකොට මහ ලොකු කාලයක් ඒ සිද්ධි මගේ හිතට වධයක් දෙන්නේ නැහැ. ඒ නිසා මට මේ වෙලාවෙ කියන්න තරම් සිදුවිීමක් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ.


සරසවියේ ආරාධනා නොලැබුණු දා

ජැක්සන් ඇන්තනි

කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ සිංහල විශේෂවේදී උපාධියක් හදාරන සමයේ මං එහි කැපී පෙනෙන ශිෂ්‍යයෙක්. ඔය කාලයේදීම මං කලා ක්ෂේත්‍රයට එකතු වී සිටියා. අත්, තරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, ලෝම හංස වගේ නාට්‍යවලට එකතුවීම නිසාත් මං එකල බොහොම කාර්යබහුල චරිතයක්. කැම්පස් එක තුළත් මං ජනකාන්ත ශිෂ්‍යයෙක්. දේශාපාලනයත් කළා. විවිධ දේශපාලන ව්‍යාපාරවලටත් සම්බන්ධ වුණා. ඒ හින්දම ජනකාන්ත වගේම මං හරි දඩබ්බර, දඟ චරිතයක්. ඒ කෙසේ වෙතත් මං මගේ අධ්‍යාපන කටයුතු ටික බොහොම හොඳින් කරගෙන ගියා. මං උපාධිය ගත් වසරේම තමයි ඒ වසරේ හොඳම ශිෂ්‍යයා ලෙසින් අභිෂේක ලැබුවේ. සාමාන්‍යයෙන් ශිෂ්‍යයෙක් එහෙම වුණාට පස්සේ විශ්ව විද්‍යාලයෙන් කථිකාචාර්ය පදවියකට ආරාධනා ලැබෙනවා. නමුත් මට එහෙම වුණේ නැහැ. මොකද මං හරි දඩබ්බර චරිතයක් නිසා. මට හරිම අසාධාරණයක් වුණේ. මේ සිදුවීම හේතුවෙන් මගේ ජීවිතය නොසෑහෙන්න ලෙසට පසුගාමී වුණා. ඒක දැඩි දුකක්. බැරි වෙලාවත් එදා මට කථිකාචාර්ය පදවිය හිමි වුණා නම් ඒක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වෙනවා.


අද ‘පරපුර’ නෑ කියපු හැටි

ක්ලීටස් මෙන්ඩිස්

මේ සිද්ධිය වුණේ මගේ පරපුර සිනමාපටය රිලීස් වුණු කාලේ. සාමාන්‍යයෙන් අද තියෙන තත්ත්වයට අනුව චිත්‍රපටයක් තිරගත වෙද්දී සිනමා ශාලාවන්වලට යන්න වෙනවා. මටත් ඒ කාරණය පොදුයි. ඉතින් ඔහොම හෝල් ගානේ යද්දී මට ආරංචි වුණා පරපුර චිත්‍රපටය එක්තරා ශාලාවකින් තිරගත කිරීම අත්හිටුවලා කියලා. මොකක්ද දන්නවද හෝල් එක ජඇල රත්නාවලී. මං ගියා එතැනට. ඒකේ කළමනාකරු ඉස්සරහ පුටුවක් තියාගෙන එන එන අයව හරවලා යවනවා.

‘අද පරපුර පෙන්නන්නෙ නැහැ. යන්න යන්න.’

ඔහු ප්‍රේක්ෂකයන්ට එහෙම කිය කියයි එලවන්නේ. මට ඒ වෙලාවේ ඇතිවුණ වේදනාව කියා නිම කරන්න බැහැ. ඇයි දෙයියනේ කෝටි ගාණක් වියදම් කරලා නොසෑහෙන්න මහන්සි වෙලා චිත්‍රපටයක් කළාම කොහේවත් ඉන්න කෙනෙක් චිත්‍රපටය බලන්න එන අයව එලවනවා. මේක මහ පුදුම ලෝකයක්. මට ඒ මැනේජර්ගේ නම මතක නැහැ. නැත්නම් නම පිටින් මං කියනවා. පුදුම කේන්තියක් මට ආවේ. අන්න ඒ සිදුවීම මගේ සිතට මහත් වූ කම්පනයක් ඇති කළා.


 

ප්‍රතිපත්තියක් නැතිකම

රොෂාන් පිලපිටිය

කාලයක් තිස්සේ මගේ හිත සංවේදිතාවයට පත් කරන සිදුවීමක් තියෙනවා. ඒක මේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ එකක් නෙවෙයි. අපේ රටේ කලාව වෙනුවෙන් කිසිම ජාතික ප්‍රතිපත්තියක් නැහැ. කොයි ආණ්ඩුවක් ආවත් ඒක හැදුණේ නැහැ. යම් යම් අවස්ථාවලදී ජාතික ප්‍රතිපත්තියක් හැදෙන්න ගියා. එත් එහෙම වුණේ නැහැ. කාගේ අතේ ද වරද තියෙන්නේ කියලා මං විග්‍රහ කරන්න යන්නේ නැහැ. හැබැයි ලංකාවේ කලාව උදෙසා ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුමයි. එහෙම දෙයක් නොතිබීම ගැන මසිතට මහත් වූ දුකක් තියෙනවා.


හැදු නිවහන අහිමි වූදා

තනුජා ජයවර්ධන

මගේ ජීවිතයේ සිහිනයක් තිබුණා ඒ කවදා හරි ගඟක් අසල නිවසක් හදනවා කියන එක. මං ඒ හීනෙට ළඟා වුණා. බොල්ගොඩ ගඟ අසල මං මගේ සිහින මාලිගාව තනන්නට පටන් ගත්තා. ජීවිත කාලෙම මං උපයා ගත් ධනය එයට වැය කළා. නමුත් අවාසනාවට මට ඒ ගෙදරට යන්න ලැබුණේ නැහැ. මං ඒ ඉඩම ගනිද්දී ඒ සමාගම කිව්වේ තව නොබෝ කලකින් මගේ ඉඩම අවට තවත් පිරිසක් පදිංචි වේවි කියලා. නමුත් එහෙම වුණේ නැහැ. ඒ පරිසරයට මගේ නිවස විතරයි තිබුණේ. මට එහෙම තනියම ප්‍රදේශයක පදිංචි වෙන්න ප්‍රායෝගිකව බැහැනෙ. ඉතින් අකැමැත්තෙන් වුණත් ඒ නිවස මට විකුණන්න සිදු වුණා.


ගෙවිය යුතු ලැයිස්තුව දැක්කම

ශ්‍රියාණි අමරසේන

මේ සිදුවීම්වලට සම්බන්ධ චිත්‍රපටවල මං නම් කියන්නේ නැහැ. ඒක හරි නැහැනෙ. අපි බොහොම කැපවීමෙන් ඒ චිත්‍රපටවල රඟපෑවේ. චරිතයක් වෙනුවෙන් හුඟක් මහන්සි වුණා. නමුත් ඒවාහි ෂූටිං ඉවර වුණාම අපේ ගෙවීම් හරි හැටි කළේ නැහැ. පස්සෙන් ගිහින් ගිහින් ඉල්ලන්නත් බැහැනෙ. අදටත් ඒ චිත්‍රපටවලින් මට මුදල් එන්න තියෙනවා. රුපියල්වලින් නම් ඒක ලොකු මුදලක්. මේ මෑතක් වනතරුම මට එහෙම සල්ලි නොගෙවපු චිත්‍රපටවල නාම ලේඛනයක් තිබුණා. මට එන්න තියෙන මුදලත් ඊට ඇතුලත් වුණා. නමුත් පස්සේ පස්සේ මට තේරුණා එයාලා මුදල් ගෙවන්නෙම නෑ කියලා. ඒ හින්ද මං ඒ පොත අයින් කළා. ක්ෂේත්‍රය තුළ සිදුවන එවැනි සිදුවීම් නම් හරිම පහත්.


 

එහෙම නැහැ

සෙනාලි ෆොන්සේකා

අනේ එහෙම සිදුවීමක් නැහැනෙ.


එෆ්. එම්. එකෙන් එළියට බැස්සදා

වසන්ත දුක්ගන්නාරාල

වී එෆ්. එම්. එක හදලා ඒකෙන් එළියට බැහැලා එන්න සිදු වූ දින මගේ සිතට දැනුණ වේදනාව අපමණයි. දරුවෙක් වගේ හදලා, විධිමත් පුහුණුවකින් පසුව පිරිස බඳවගෙන උපරිම උත්සාහයෙන් මං වී එෆ්. එම්. එක ගොඩ නැඟුවේ. පටු දේශපාලන අදහස් නිසා මට වී එෆ්. එම් . එකෙන් එළියට බහින්න වුණා. එහෙම නොවුණා නම් ඒක අද අංක එකේ එෆ්. එම්. එකක්. හරිම කනගාටුයි ඒ සිදුවීම.


 

සවුන්දිරිස්ට නොසැලකුවාට

ශ්‍රියන්ත මෙන්ඩිස්

එක්තරා සම්මාන උලෙළකදී මං රඟපෑ බෝගල සවුන්දිරිස් ටෙලි නාට්‍යයෙහි චරිතය නොසලකා හැරීම ගැන නොසෑහෙන දුකක් මට ඇති වුණා. ඒ නාට්‍ය අධ්‍යක්ෂණය කළේ දයාරත්න රටගෙදර. පිටපත රචනා කළේ කෘතහස්ත තිර කතා රචක සරත් ධර්මසිරි. අපි අපිරිමිත ලෙස මේ නාට්‍ය වෙනුවෙන් දවල් රෑ නොබලා මහන්සි වණා. ෂූටින් දින ගණන අසූවයි. ඒ නාට්‍ය නරඹපු උදවියට මතක ඇති එහි දර්ශන තල. ඇතැම් අවස්ථාවලදී හරිම දුෂ්කර ලෙස රංගනයේ යෙදුණේ. එවන් වූ නිර්මාණයක් වූ බෝගල සවුන්දිරිස් චරිතය ඇගයීමට ලක් නොවීම හරිම කනගාටුදායකයි.