|
ගමත් නගරයත් අතර තුන් කොන් පෙමක පැටලෙන කුසල්ගේ කතාව “දෙවැනි වරම”
යොවුන් ආදරයක් අතරේ ගමත් - නගරයත්, ගැමිකමත් - නාගරිකත්වයත් දෝලනය වන රූප පෙළ ගැස්මක් වන දෙවැනි වරම වෙනුවෙන් පුබුදු - ඇන්ජලා ප්‍රේමය අතරට ජනප්‍රිය සම්මානනීය විකට නළු ටෙනිසන් කුරේ සේම සම්මානනීය සටන් නළු රෙක්ස් කොඩිප්පිලි ඇතුළු ප්‍රවිණ සහ ජනප්‍රියතම තවත් නළු නිළියන් රැසක්ම එක්වනු පෙනේ. ඒ අතර කලෙකින් සිනමාට රැඟුම් රඟන ගයත්‍රි ඩයස් සහ කුමාරි මුණසිංහ ආදීහු ද සිටිති. ඇරැඹුමේ පටන් එකම කුතුහලයක ප්‍රේක්ෂක මනස පටලවන දෙවැනි වරම චිත්‍රපටයේ මුල සිට අග දක්වාම රඳවාගෙන චිත්‍රපටයේ නිමාවේදී සටහන් කරන කුතුහලය බොහෝ දෙනකු චිත්‍රපටය කෙරෙහි ආකර්ෂණීය කරගන්නා අංගයක් වනු ඇති බව පසුගියදා පැවැත්වුණු එහි මාධ්‍ය දර්ශනයෙන් ඉක්බිතිව අදහස් දැක් වූ හුඟ දෙනකුගෙන් අසන්නට ලැබුණි. පුබුදු චතුරංග පණ දෙන දෙවැනි වරමේ එන කුසල් කරලියද්දගේ ප්‍රධාන නළු චරිතය නාගරික තරුණියන් රුචි නොකරන්නෙකි. ඔහු අත ගන්නට පතන්නේම ගම්බද තරුණියකි.
හිතුවක්කාර කුසල්ගේ මේ ජංජාල හමුවේ ළමා කාලයේදීම කුසල්ගේ ඇමැති පියා ඔහුගේ මිතුරකුගේ දියණියක් කුසල්ට විවාහ කර දෙන්නට ගත් තීරණයේ තදින් එල්බ සිටී. ඒ යෝජිත රූබරියත් කුසල්ගේ සිත වෙනස් කිරීමට බොහෝ කැප කිරීම් කරයි. එකකට එකක් වෙනස් ගම්බද සහ නගරබද වටපිටාවක් වටා දුවනා මේ සිනමාරූප පෙළ විඳගෙනම කුසල් කරලියද්දත් සමන්මලිත් හමුවෙනා ඒ දෙපාර්ශ්වික ප්‍රේමය තුන්කොන් ප්‍රේමයක් බවට පත්කරන මේ දෙදෙනා අතරට එකතු වන මායාකාරී තුන්වැනිය වන අමීෂා කුසල් - සමන්මලී ප්‍රේම කතාව වෙනස්ම මානයකට හරවයිද? ඒ චමත්කාරය දැකගන්නට ‘දෙවැනි වරම’ පිරිවර ප්‍රේක්ෂක ඔබට සිනමා ශාලාවට ආරාධනා කරති. පුබුදු චතුරංග, රිෂී ඇන්ජලා, රෙක්ස් කොඩිප්පිලි, ක්ලීටස් මෙන්ඩිස්, ටෙනිසන් කුරේ, ගයත්‍රි ඩයස්, කුමාරි මුණසිංහ, සමුද්‍රා හික්කඩුව, ප්‍රේමදාස විතානගේ ආදීහු දෙවැනි වරම චිත්‍රපටයේ රංගනයේ යෙදෙති. චින්තක පීරිස් කථාව, දෙබස් හා තිර රචනයට හිමිකම් කියන දෙවැනි වරමේ සහාය අධ්‍යක්ෂණයෙන් ෂෙහාන් ඉද්දමල්ගොඩ ද, වේශ නිරූපණයෙන් සනීර දිනේෂ් ද, කලා අධ්‍යක්ෂණයෙන් සුසාර සම්පත් කුරුවිට ද, පසුබිම් සංගීතයෙන් හර්ෂාන් ෂාන් ද, රෝහණ වීරසිංහ ගී තනු නිර්මාණයෙන් ද, සංස්කරණයෙන් අනූෂ ජයවර්ධන සහ කසුන් මාධව වත්තේආරච්චි ද එක්කර ගනිමින් ජී. නන්දසේන අධ්‍යක්ෂණය කළ දෙවැනි වරම චිත්‍රපටයේ නිෂ්පාදකත්වයට ජී. නන්දසේන සමඟ ජගත් ඇපලදෙනිය සහ ආර්. ඒ. සරණපාල එක්ව සිටිති.
|