වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




දුලබ සුරාවක් රස විඳිනා සේ...

 

දුලබ සුරාවක් රස විඳිනා සේ...

අමරදේවයන් ජීවිතය දුටු හැටි සුනිල් ෆොන්සේකා විග්‍රහ කරයි

පණ්ඩිත් අමරදේවයන්ගේ ජන්ම දිනය යෙදෙනුයේ මෙම දෙසැම්බර් පස් වැනි දිනටය. එතුමන් වියෝ වූ පසුගිය නොවැම්බර් 3 වැනිදා ෆේස්බුක් හරහා පැතිරුණ එක් අපූර්ව ඡායාරූපයක් බොහෝ දෙනාගේ ආනන්දයට හේතු විය. එම ඡයාරූපය සාමාන්‍යයෙන් එකට එක් කර ගත නොහැකි යුග පුරුෂයන් රාශියකගේ එකතුවක් විය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යුවළ, චිත්‍රසේන, ගාමිණී ෆොන්සේකා, ආචාර්ය තිස්ස අබේසේකර, ස්වර්ණා මල්ලවාරච්චි, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, ලාල් පියසේන, ජැක්සන් ඇන්තනි, ප්‍රසන්න විතානගේ, දයා අල්විස් සහ ඡායාරූපයේ හිමිකරු සුනිල් ෆොන්සේකා ද එම ඡායාරූපයට එක්ව සිටියහ. අමරදේවයන් පිලිපීනයේ මැක්සිසේ සම්මානයෙන් පුද ලද දින කොළඹ පැවැති උත්සවයේදී පණ්ඩිත් අමරදේවයන් සුනිල් පිළිබඳව දීර්ඝ විවරණයක යෙදුණේ ප්‍රසිද්ධියේමය. අමරදේවයන්ගේ ජන්ම දිනය වෙනුවෙන් අප සුනිල් හමු වූයේ මේ අපූරු ඡායාරූපයේ සුලමුල ගැන කතා කරන්නටය. එමෙන්ම අමරදේවයන් හා ඔහු අතර තිබූ අපූරු මිත්‍රත්වය ගැන හෙළි කරන්නටය. සුප්‍රකට ව්‍යාපාරිකයකු වන සුනිල් කලා රසිකයෙකි. මෙරට සිනමා උත්සව සඳහා නව මානයක් ගොඩ නැං වූ ඔහු ස්වර්ණ සංඛ පදනමේ නිර්මාතෘවරයාය. ඉංග්මාර් බර්ග්මාන්, ෆ්‍රාන්සුවා ටෲෆෝ වැනි සිනමා උලෙළයන් සංවිධානය කළේ ද ඔහුය. මලට නොඑන බඹරු චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ සුනිල් ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ විධායක නිෂ්පාදක විය.

ඔය ඡායාරූපය ගැනුණේ දැන් මා පදිංචි නිවසේ නොවේ. ඒ දවස්වල මා පදිංචිව සිටි කොළඹ නිවසේ පැවැත් වූ සාදයකදී 1992 විතර. සාමාන්‍යයෙන් අපි මාසයකට හමාරකට සැරයක් හම්බ වෙලා මෙහෙම හමුවක් පැවැත්වීම සිරිතක්.

* හැබැයි සාමාන්‍යයෙන් මෙහි සිටින සමහරු එකට අසුන් ගැනීම පවා නොකරන අය තරමට ප්‍රසිද්ධයි. එහෙත් එකිනෙකා එකට එක් කරන්න ඔබට හැකියාවක් ලැබුණ?

ඔව්. ඒක කළේ පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතය.

* එහෙම වුණේ?

අමරදේවයන්ට ඔක්කොම ගරු කළා. ඒ සියල්ලන්ම එතුමාගේ සංගීතයට වසඟව සිටියා. එයට බැඳුණා. සාමාන්‍යයෙන් ආචාර්ය ලෙස්ටර් යුවළ, ගාමිණී ෆොන්සේකා මෙහෙම සාදවල දකිනවා අඩුයි. හැබැයි මේ සියල්ලෝම පැමිණියේ අමරදේවයන්ගේ සංගීතය රස විඳින්නට.

* ඔබ හිතනවද එහි විශේෂ සංගීතයක්?

අමරදේවයන් සුන්දර මිනිසෙක්. ඒ වගේම අමරදේවයන් පැවසූ පරිද්දෙන් සංගීතය යනු පරිසමාප්ත කලාවක්.

* අපූරු හැඳින්වීමක්. අමරදේවයන් යනු සුන්දර මිනිසෙක්?

ඔව්. දිගු කලක් ඇසුරු කරන විට තමයි කෙනෙකුගේ සිතුවිලිවලට ළංවන්නේ. අමරදේව මහත්තයා කිසි කලෙක කේන්ති අරගෙන කටයුතු කරනවා මා දැක නැහැ. කාටත් දෝෂාරෝපණය කළේ නැහැ. කිසි කලෙක අනුන්ගේ දොස් හෙව්වේ නැහැ. ඔහු සමඟ ගත කළ කිසිදු මොහොතක් අසුන්දර වී නැහැ. ඒ වගේම හැම විටම ඔහු සතුව යාවත්කාලීන අප්‍රමාණ දැනුමක් තිබුණා. ඒ දැනුම ගැන ඔහු කවදාවත් පෙන්නුවේ නැහැ. දැනුම මාන්නයක් කර ගත්තේ නැහැ.

* ඔබට මොනවද ඔහුගෙන් ලැබුණේ?

දැනුම. සිංහල භාෂාව, ඉංග්‍රීසි භාෂාව ගැන. සංගිතය ගැන හැම විෂයක් ගැනම එතුමන්ට පරිපූර්ණ දැනුමක් තිබුණා.

* මා දන්නා කලේ ඉඳන් ඔබේ ජංගම දුරකතනයේ තිබුණේ 'පෙර දිනයක මා' ගීතය?

මම එතුමන්ගේ රසිකයෙක්. ඒක කොහොම මට පිහිටියද දන්නේ නැහැ. බොහොම ඉස්සර පවා මම එතුමන්ගේ ගීත ශ්‍රාවකයෙක්. ඒක මටම පුදුමයි. ඒ කාලයේ එතුමන්ගේ ගීත අහන්නට යන විට මගේ මිත්‍රයන් කවුරුවත් එන්නේ නැහැ. එහෙත් මම ගියා. ඒ බොහොම ඉස්සර. මට දැනුණේ එය එවකට පැවති සංගීතයේ බලවත් වෙනසක් හැටියට. ඒ වගේම ඒ ගැඹුරු හඬ වශී කරවන සුළුයි.

* ඇසුර පටන් ගත්තේ?

1984 ඉඳන් මා ස්වර්ණ සංඛ පදනම ආරම්භ කරලා සිනමා සම්මාන උලෙළක් පවත්වපු අවධියේ. 1985 විතර එතුමන්ට ආරාධනා කළා සරස්වතී අභිනන්දනය ගයන්න. එතැන් පටන් බොහෝම සමීප ඇසුරක් ගොඩ නැගුණා.

* පසු කළ එතුමන් එක්ක ඔබ බොහෝ ගමන් ගියා?

ඔව්. රටේ බොහෝ තැන්වල සංචාරය කරන්න ගියා. අර සුන්දර මනුස්සයා වටහා ගන්න ඒ ගමන් හුඟක් ප්‍රයෝජනවත් වුණා.

* ඒ ගමන්වලදී එතුමන්ගේ ගායනය සිදු වෙනවා?

ඔව්. බොහෝ විට ඒ දවස්වල දයා අල්විස් ගීතයේදී සහාය වෙනවා. අමරදේව සර් හැම විටම ගීතය මැද්දෙ ඒ ගීතය ගැන අදාල කතා කියනවා.

* මේ ගමන්වලදී අමරදේවයන්ගේ හැසිරීම?

රාත්‍රියේ ඉතාම චමත්කාර ජනක විධියට ගීතයෙන් අප සනසන සර් විනෝදයෙන් ගත කළා. හැබැයි අනිත් වෙලාවට විමෝදයට කැමැති සාමාන්‍ය මනුස්සයෙක්. මට මතකයි අපි මස්කෙළියේ ෆිෂින්හට් ගියාම පහුවදා උදේ සීතලේ එතැන වතුරට පැනලා සර් පීනුවා. එතැන පීනන්න එපා කියලා බෝඩ් එකකුත් ගහලා තිබුණා.

* මේ චාරිකාවේදි අමතක නොවන දවසක් ඇති?

හැම චාරිකාවක්ම එහෙමයි. හැබැයි සිංහරාජයේදී ගත කළ රාත්‍රිය කවදාවත් අමතක වන්නේම නැහැ. එදා පෝය දවසක්. එක තැනකට හඳ එළිය වැටිලා. සර් එතන වාඩි වෙලා එදා ගී ගැයූ විලාසය මට ජීවිතයේ වඩාත්ම චමත්කාරය වින්ද රාත්‍රියක්. සාමාන්‍යයෙන් සිංහරාජය නිසලයි. ඒ නිහඬ බව බිඳ මුලු වනපෙතම අමරදේවයන්ගේ හඬින් නැලවුණා. හිතන්න ඒ හඬත්, හඳ එළියත්, රූස්ස වන පෙතත් එකතු වුණාම එතැන හැදෙන රූපය කොයි වගේද කියලා.

* අමරදේවයන් වෙනුවෙන් පැවැති 'අමර ගුරු දක්ෂිණාව' ඔබේ අදහසක්?

ඉස්සර අපේ ගෙදර මාසයකට විතර සාද පවත්වද්දී මට හම්බ වෙනවා අමරදේවයන් ගැන මටත් වඩා දන්න රසිකයන්. මටත් පුදුමයි. ඔවුන් ව්‍යාපාර ලෝකයේ දැවැන්තයන්. ඒ දවස්වල එහෙම ප්‍රසංගයක් පවත්වා අමරදේවයන්ට මූල්‍ය දායකත්වයක් දීමේ අදහසක් මට ඇති වුණේ එහෙම අවස්ථාවක. ඒ ප්‍රසංගය පැවැත් වූයේ ගලධාරි හෝටලයේ. මේ යෝජනාව ඇසූවාම එහි සාමාන්‍යාධිකාරීව සිටි මගේ මිත්‍ර චන්ද්‍ර මොහොට්ටි පුදුම වුණා. අපි ටිකට් එක මිළ කළේ රුපියල් පන්දාහකට. මුළු ෂෝ එකේ සියලුම ටිකට් විකිනුණා. ආරාධිතයන් හැටියට චිත්‍රසේන, ජෝ අබේවික්‍රම, ස්වර්ණා මල්ලවාරච්චි වැනි අයත් හිටියා. හැබැයි මා වඩාත්ම අමරදේවයන්ගේ රසය වින්දේ සිංහරාජයේදී.

* ඔබට මුණ ගැසුණු පසු බිහි වුණු අමරදේවයන්ගේ නිර්මාණයන්?

මා හමුවනවිට අමරදේවයන් අමර දෙවියන් බවට පත් වී සිටියා. ඔහුගේ විශිෂ්ටතම නිර්මාණ ඒ වනවිට බිහි වී අවසන්. මා විශ්වාස කරන්නේ 1958 පමණ එතුමන් ඉන්දියාවේ සිට නැවත ලංකාවට ආවේ පරිණත හඬක් සහිත කෙනෙක් හැටියට. එය රන්මුතුදූව චිත්‍රපටයෙන්ම පෙන් වූවා. එතැන් පටන් මහගම සේකර, මඩවල එස්. රත්නායක ආදීන් සමඟ එතුමන් සිය ගායනා බල මහිමයෙන් අප වසඟ කරනු ලැබුවා. එතුමන් සේකර එක්ක එකතු වී ගීත නිර්මාණය කරපු හැටි වතාවක් මා සමඟ පැවසුවා.

* ඔබ හිතන්නේ අමරදේවයන් බිහි නොවුණා නම්?

අමරදේවයන්ට පෙර ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත වැනි අය බිහි වුණත් අමරදේවයන් තරම් සමස්ත පරම්පරාවකට එය ගුරු වුණේ නෑ කියන දෙයයි මගේ හැඟීම. අද අප රස විඳින අලුත් පරම්පරවේ යහපත් ගීත අමරදේවයන් නොවන්නට ගොඩ නැඟෙන්නේ නැහැ. හැබැයි ඔහු ඒ ගැන කියා ඇවිද්දෙත් නැහැ.

* ඔහුගේ සංගීතයේ විශිෂ්ටත්වය මොකක් විය හැකිද?

ඔහු ලෝකයේ සියල්ලටම කවුළු පියන්පත් ඇර තැබුවා. ඒ සුළඟින් අවශ්‍ය දේ ඔහු ලබා ගත්තා. ඔහුට තිබුණේ අසමාන පෞරුෂයක්. සිරුරෙන් උස් නොවුණත් ගායනයේදී ඔහු ඉතාම රිලැක්ස් වුණා. කලාකරුවකු නිර්මාණයකදී එම සැහැල්ලුව අත්‍යාවශ්‍යයි. ඒ වගේම ගායනයේදී හැඟීම්බර වුණා. ගායනය සඳහා ඔහු දෙපා අකුලා සම වැදුණාම ඒ නැඟුණ පෞරුෂය කිසිම ගායකයකුට නැහැ. ඒ වගේම රන්මුතු දූවේ එන ගීත ත්‍රිත්වය බලන්න. එකිනෙකට වෙනස්. ඔහුට නෙවිල් ප්‍රනාන්දු සමඟ මෙන්ම උමාරියා සමඟත් වැඩ කරන්න පුළුවන් වුණේ ඒ නිසයි.

* අමරදේවයන් ජීවිතය වින්දාද? විඳෙව්වාද?

මා හිතන්නේ ඔහු තරම් ජීවිතය විඳි කෙනෙකු නැහැ. ඔහුට වඩා ධනවත් කලාකරුවන් ජීවිතය විඳවපු හැටි මා දැක්කා. අමරදේවයන් මහා ධනවතෙකු නොවෙයි. එහෙත් ඔහු මතු පිටින් වගේම අභ්‍යන්තරයෙනුත් ඉතා සරල කෙනෙක්. මේ නිසා ජීවිතය විඳින්නට ඔහුට හැකි වුණා. ඔහු කවදාවත් දේශපාලනය කළෙත් නැහැ. ඒ ගැන කතා කළෙත් නැහැ. මා හිතන්නේ රට පාලනය කරන්නේ කවුදැයි ඔහුට දැනගන්නට වුවමනාවක් තිබුණෙත් නැහැ. ඔහු ජීවිතය විඳීම ගැන නිතර කියන වචනයක් තිබුණා. දුලබ සුරාවක් රස විඳින සේ.

* අමරදේවයන් සදහටම සමුගත් දවසේ නිවසට ආ ඔබට දැනුණේ කුමක්ද?

මහා පාළුවක්. ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි.