වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




මහමෙරක් තරම් වටිනා කුලපති ධුරය ලැබුණත් මා ගායනයෙන් සමුගන්නේ නෑ

මහමෙරක් තරම් වටිනා කුලපති ධුරය ලැබුණත් මා ගායනයෙන් සමුගන්නේ නෑ

මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි

මෙරට යුගකාරක සංගීත පුරුෂයකු යැයි අනලස් ව හඳුන්වා දිය හැකි මහාචාර්ය සනත් නන්දසිරි සුභාවිත ගීතයේ රුවගුණ මනාව හඳුනා ගත්තෙකි. ඒ ඔස්සේ ස්වකීය ශාස්ත්‍රීය සංගීත ඥානය දැයට ප්‍රදානය කරමින් ත්‍රිවිධ සප්තකයේ ම ස්වර මධුරාකාරයෙන් සංකලනය කරමින් පුරා අඩසියවසක් අප අතර සැරිසැරූ රසවතෙකි. ගුරුවරයෙකි. සංගීත ප්‍රාඥයෙකි. මේ සංගීත ප්‍රාඥයා පසුගිය දිනෙක සොන්දර්ය විශ්වවිද්‍යාලයේ නව කුලපති තනතුරට පත්විය. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල ආරාධනයකට අනුව ය. මේ ඔහු ලැබූ නව පත්වීම පිළිබඳ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි සමඟ සරසවියට කළ සාකච්ඡාවකි.

ඉන්දියාවේ ලක්නව්වල භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් ගායනය හා වාදනය පිළිබඳ විශාරද උපාධි දෙකක් ම හිමිකර ගත් ඔබ සංගීත ගුරු භූමිකාව ආරම්භ කරන්නේ අම්පාරේ උහන මහා විද්‍යාලයෙන්?

ඒ පත්වීම මට ලැබෙන්නේ 1966 වසරේ. මගේ ඉගැන්වීම යටතේ ඒ විදුහලෙන් සංගීතය හැදෑරූ සිසුන් දහඅට දෙනෙක් උසස් පෙළ සමත් වෙනවා. ඒ ඒ තරම් සිසුන් ප්‍රමාණයක්, ඒ විදුහලෙන් සමත් වුණු පළමු අවස්ථාවයි. ඉන් පස්සේ නැවතත් මා කොළඹට පිවිසෙන්නේ රජයේ සංගීත විද්‍යාලයේ කථීකාචාර්ය පදවිය ලැබීමත් එක්ක. ඊට පසුව සෞන්දර්ය අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙසත් පත්වන මා සංගීත පීඨයෙන් බිහිකළ පළමු වන මහාචාර්යවරයා වන්නේත් මමයි. ඒ වගේ ම මා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රථම පීඨාධිපති ලෙසත් පත්වීම ලබනවා. විශ්‍රාම ගිය පළමු පීඨාධිපතිවරයා වන්නේත් මමයි. එහෙම වුණත් මේ නව පත්වීම ලබනතුරු මත් මා බාහිර කථිකාචාර්යවරයකු ලෙස දූ - දරුවන්ට ඉගැන්වීම් කටයුතුවල යෙදුණා.

පීඨාධිපති ලෙස කටයුතු කරන කාලයේත් ඔබ විශ්වවිද්‍යාලයේ දූ - දරුවන්ට ඉගැන්වීම් කටයුතුවල නියැළුණා නේද?

සමහරු නම් පීඨාධිපති වුණාට පස්සේ උගන්වන්නේ නැහැ. නමුත් මා ඒ තනතුරේ ඉදිද්දිත් දරුවන්ට ඉගැන්වූවා. ඒ දරුවන්ට ඉගැන්වීමට මගේ තිබුණු කැමැත්ත නිසයි.

මේ පත්වීම ගැන ඔබට කලින් ම දැනගැනීමට ලැබුණා ද?

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ පීඨාධිපති හා උපකුලපතිතුමා මට මුලින් ම කතා කළා. ඔවුන් ළඟ මගේ සමහර විස්තර තිබුණත් සමහර දේ නොමැති නිසා ඒවා ලබා ‍දෙන්නැයි කියමින් ඉල්ලීමක් කළා. ඉක්මනින් ම දුව ඒ අවශ්‍ය සියලු දේ විශ්වවිද්‍යාලයට රැගෙන ගියා. මේ සිදුවුණු දේවල් නිසා මොකද්දෝ සිදුවන බවක් නම් හැඟුණා. ජනාධිපතිතුමාගේ කාර්යාලයට ගියාට පස්සේ එහි සිටි සේවකයන් අපට කතාබහ කළ ආකාරයෙන් ඒ කාරණය තවත් දුරට නිවැරැදි බව වැටහුණා.

එහිදි ජනාධිපතිතුමා, ඔබව කැඳවලා කුමක් ද පැවසුවේ?

මේ පත්වීම ජනාධිපතිතුමා, මට ලබාදෙන අතරේ “ධුරයේ කාර්යභාරය ඉතාමත් ම සාර්ථකව කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය, ධෛර්ය ලැබේවා ”යැයි ආශිර්වාද කළා. ඇත්තට ම මට මේ තනතුර ලැබීම ගැන දැනෙන්නේ සතුටක්.

විශ්වවිද්‍යාලයක කුලපති කියන්නේ වගකීම් සහගත තනතුරක්. ඒ අවස්ථාවේ ඔබගේ සිතට දැනුණේ මොනවගේ හැඟීමක් ද?

විශ්වවිද්‍යාලයේ කටයුතුවලදි ඇලිලා ගැලිලා කටයුතු කළ කෙනෙකු විදියට, විශ්වවිද්‍යාලයට නියම ආකාරයෙන් සේවය කළ කෙනෙකු විදියට, ගෝලයන් දහස් ගණනකට උගැන් වූ ආචාර්යවරයකු විදියට, විශ්වවිද්‍යාලයට අදාළ පාඨමාලා සකස් කිරීමේ පුරෝගාමියකු වූ මට විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් තිබෙන්නේ බොහෝ අත්දැකීම් ප්‍රමාණයක්. ඒ නිසා මේ තනතුර මා බොහොම සතුටෙන් භාර ගත්තා.

ඔබ නව කුලපති තනතුර භාරගැනීමට පෙර ඒ තනතුර දැරුවේ පසුගිය දිනවල අපෙන් සමුගත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයාණන්. ඉන්පසුවයි මේ තනතුර ඔබට හිමිවන්නේ?

ආචාර්ය පණ්ඩිත් අමරදේවයාණන්ගේ හදිසි අභාවය හරියට මට දැනුණේ හෙණයක් පතිත වුණා වගෙයි. මා එතුමාගෙන් ඉගෙන ගෙන නැහැ. ඒ නිසා මා ඔහුගේ ශිෂ්‍යයකු නොවෙයි. මා ඉගෙන ගත්තේ එතුමා උගත් භාත්කණ්ඩේමයි. එහෙම වුණත් එතුමාගේ තිබුණේ මහා බලසම්පන්න බවක්. එතුමා සංගීතයට කරන ලද අපරිමිත සේවය මා අගය කරනවා. එතුමා බොහෝ දේවල් රැගෙන ආවේ පෙර භවයෙන් බවයි මට නම් හැඟෙන්නේ. ඒ නිසා අමරදේවයන්ගේ අහිමි වීමත් සමඟ මා පවසන්නේ මේ රටේ රන් ස්වරය අහිමි වී ගිය බවයි. අමරදේව මහත්තයාගේ ගීත ගැයුවත්, අමරදේව මහත්තයා කොපි කළත් කිසිවකුටත් අමරදේව මහත්තයා වෙන්න බැහැ. ඔහු වගේ වෙන්න නම් අමරදේව මහත්තයා වගේ ඉගෙන ගන්න ඕනෑ. ඒ අයට ඒ විතරක් ප්‍රමාණවත් නැහැ. ඔහු රැගෙන පැමිණි කුසලතාව ඒ අය පෙර භවයෙන් රැගෙන එන්නත් ඕනෑ. ඒ නිසා එතුමා මේ රටට ලබාදුන් දෙය අපට කිසි දවසක දිය නොහැකියි. ඒ නිසා අමරදේව මහත්තයා වගේ කෙනෙකු වීමට කිසිවකුටත් නොහැකියි.

ආචාර්ය අමරදේවයාණන් හා ඔබ අතර තිබුණේ අපූරු සබැඳීයාවක්?

මා මුලින් ම ඔහුව දකින්නේ මගේ තබ්ලා ගුරුතුමා වුණු ඩී. ආර්. පීරිස් යටතේ තබ්ලා ඉගෙන ගනිද්දියි. අමරදේවයාණන්ට මාව හඳුන්වලා දෙන්නේ මගේ ගුරුතුමා විසින්. ඉන් පස්සේ ඔහුගේ සමහර වැඩසටහන්වලදි මගේ ගුරුතුමාට තබ්ලාවෙන් සහය වීමට නොහැකි අවස්ථාවලදි ඒ අඩුව පිරවීමට ගියේ මමයි. ඒ ඔස්සේ අප දෙදෙනා අතර අපූරු සබැඳීයාවක් ගොඩනැඟී තිබුණා. ඒ ඇතිවුණු හිතවත්කම, සබැඳීයාව සෑමදාම අපේ පවුල් අතර පවතීවි.

වරක් මට මතකයි ඔබ විශ්වවිද්‍යාලයේ සිටිද්දී සර්පිනාව ඉගෙන ගැනීම ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ට අනිවාර්යය කාරණයක් කළ බව?

ඔය කාර්ය අනිවාර්ය කාරණයක් බවට පත්වන්නේ විවිධ ප්‍රදේශවලට මට යන්න ලැබුණු අවස්ථාවල දි විවිධ විදුහල්පතිවරුන් කළ ඉල්ලීම් මූලික කරගනිමින්. ඇතැම් විද්‍යාලවල විදුහල්පතිවරුන් මට පැවසුවේ ‘අනේ සර් අපට ඉන්න බොහෝ සංගීත ගුරුවරුන්ට සර්පිනාවවත් වාදනය කරන්න බැහැ’ කියලයි. එදා මා ඊට පිළියමක් ලෙස විශ්වවිද්‍යාලයෙන් පිටවන ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ට සර්පිනාව වැයීමට පුහුණු වීම අනිවාර්ය කළා. මා සිතන්නේ අද එවැනි කාරණයක් අලුතෙන් පැනවිය යුතු නැහැ. ඔවුන් අනිවාර්යයෙන් ම තමන් කැමැති පෙරදිග හෝ අපරදිග සංගීත භාණ්ඩයක් වාදනය කළ යුතු වෙනවා.

නව තනතුරත් සමඟ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ විවිධ වෙනස් වීම් සිදු කිරීමට ඔබ අදහස් කරනවා ද?

මට තිබෙන්නේ අවශ්‍ය අවස්ථාවලදි උපදෙසක් ලබාදෙමින්, විශ්වවිද්‍යාලයේ කටයුතු දෙස විමසිල්ලෙන් බලා සිටීමයි. අනෙක් කටයුතු කිරීමට වෙන ම පරිපාලනයක් විශ්වවිද්‍යාලය ඇතුළේ තිබෙනවා. ඔවුන් ඒ සියල්ල නියමාකාරයෙන් සොයා බලාවි. පරිපාලනය සැදුම්ලත් වී තිබෙන්නේ උප කුලපතිතුමාගේ පටන් පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් ආදී වශයෙන් විවිධ අංශවලින් යුත් අත්දැකීම් රැසකින් යුත් මණ්ඩලයකිනුයි. මොකද ඒ කාලයේ මමත් ඒ ඒ තනතුරුවල සිටි අයකු මෙන්ම වගකීමක් දැරූ පුද්ගලයකු නිසයි මා එසේ පවසන්නේ.

සෞන්දර්ය අධ්‍යාපනයේ කුමන වෙනස්කම් සිදුවිය යුතු බව ද ඔබ සිතන්නේ?

තිබෙන එක ම ප්‍රශ්නය වන්නේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන් ඉගෙන ගන්නවා ද කියන කාරණයයි. විශ්වවිද්‍යාලයට වැදගත් වන්නේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ගේ පැමිණීමයි. ඔවුන්ට එහි නොපැමිණ ඉගෙන ගැනීමට නොහැකියි. ඉගෙන ගැනීම් අතර විවිධ බාහිර කටයුතු ඔවුන්ට පැවරෙන බව ඇත්තයි. නමුත් ඒ සියල්ල සමබර කරගනිමින් අධ්‍යයන කටයුතුවලත් නිරත වීමයි ඉතා වැදගත් වන්නේ. ඒ කාරණයේ දී ඔවුන් කිසිවකුටත් උපකුලපති ඇතුළු අනෙකුත් අයට දොස් නඟන්නට බැහැ.

ආචාර්ය විශාරද අමරදේවයන්ගෙන් පසුව අපට සිටින දැනුමෙන් පිරිපුන් ප්‍රවීණත ම සංගීතඥයා වන්නේ ඔබයි?

බොහෝදෙනා ඔය ආකාරයෙන් මාව හඳුන්වනවා. ඒ පරිචය ලැබීමට නම් යමකු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා, විශ්වවිද්‍යාලයේ උගැන්වීම් කටයුතු කිරීම අවශ්‍යයයි. කිසියම් විෂයක තෙරකට පැමිණිය යුතුයි. නිකම්ම ගීත ගැයූ පමණින් කිසිවකුටත් ඒ පරිචය ලබාගැනීමට නොහැකියි. අමරදේවයාණන් වගේ යම් පරිචයක් සංගීතඥයකුට තිබිය යුතුයි. මමත් යම් අධ්‍යයනකින් යුක්ත, පොතපත ලියූ, රාගධාරී සංගීතය යම් තෙරකට හැදෑරුව අයකු තමයි. අප මේ මොන දේ පැවසුවත් අද තරුණ පෙළ බොහොම බුද්ධිමත්. උගත්කම පිළිබඳ තක්සේරු කිරීමේ දී ඔවුන් සිටින්නේ ඉහළ ස්ථානයකයි. ඒ නිසා ඔවුන්ට බොරු කරන්නට කිසිවකුටත් බැහැ.

මේ වනතුරුත් ඔබ විශ්වවිද්‍යාලයේ දූ - දරුවන් ඇතුළු බෝහෝ දරුවන් රැසකට ඔබගේ සංගීත ඥානය ලබා දුන්නා. ගී ගැයුවා. නවකුලපති තනතුරත් සමඟ ඒ සියල්ල වෙනස් මඟක් ගනීවි ද?

කුලපති වුණා කියලා මා ගායන ක්ෂේත්‍රයෙන් සමුගන්නේ නැහැ. මිනිසුන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ මගේ ගැයුමයි. ඒ නිසා බොහොම ගෞරවණීය විදියට ජීවත්වෙමින් ඒ සියලු කටයුතු සුපුරුදු ලෙස ම සිදුවේවි.

සංගීත ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයකු ලෙස වර්තමානයේ මෙහි ඇති වී තිබෙන සංගීත රැල්ල ගැන මොන වගේ අදසක් ද ඔබ දරන්නේ?

වර්තමානයේ තිබෙන සංගීත රැල්ලේ තිබෙන පොදු ලක්ෂණය නම් වහා වහා පැවතීම සඳහා නානා විච්චූර්ණ කිරීමයි. මේ රටේ ඇතැම් ජනමාධ්‍ය එක් ගීතයක්, දෙකක් කියූ පමණින් ගායන ශිල්පියා හෝ ශිල්පිනිය ඔහු යැයි පැවසීමටයි උත්සාහ ගන්නේ. එය නොවෙයි සිදුවිය යුත්තේ. මේ රටේ තවත් උගත් සංගීතඥයන්, කලාකරුවන් ඕනෑ තරම් ඉන්නවා. අලුත් පරපුර පළමුව කළ යුත්තේ ඒ අය එතැනට පැමිණීමේ ගමන්මග පිළිබඳ අධ්‍යයනයක නිරත වීමයි. ඔවුන්ගේ සාර්ථකත්වය පසුපස රැඳී තිබෙන්නේ මොනවාද? ඔවුන් මෙතෙක් රැඳී සිටින්නේ ඇයි ද? යන්න හැදෑරීමයි. එහෙම නැතිව අද ගීත එකක්, දෙකක් කියූ පමණින් හෙට අමරදේවයන් වෙන්න බැහැ නේ. එකපාරට ම එහෙම විය නොහැකි බව යන වැටහීමවත් ඔවුන්ට තිබිය යුතුයි. මෙවැනි පිරිසක් අතර නිවැරැදි ආකාරයෙන් කටයුතු කරමින් යන තරුණ පිරිසකුත් සිටින බවත් අප අමතක කළ යුතු නැහැ. මෙවැනි තත්ත්වයක් හමුවේ ජනාධිපතිතුමා විසින් පිරිනැමූ මේ තනතුර මට මහමෙරක් තරම් වටිනවා.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් වී සිටින්නේ ඔබගෙන් උගත් ශිෂ්‍ය පිරිසක්. ඔවුන් හා ඔබගෙන් ඉගෙන ගන්නා ශිෂ්‍ය - ශිෂ්‍යාවන් නව කුලපතිතුමාව පිළිගැනීමටත් මේ දවස්වල සූදානම් වනවා නේද?

මේ මාසේ පස්වැනිදා මා පිළිගැනීමට විශ්වවිද්‍යාලයෙන් උත්සවයක් සූදානම් කර ඇති බව මට දන්වලා තිබෙනවා. එදිනට ඔවුන් කුමක් කරාවිදැයි මා නම් දන්නේ නැහැ.