|
සාහිත්‍යයත් - සංගීතයත් එකට ගොනු කළ ලයනල් පෙරේරා ගැන දියණිය කියයි
සාහිත්‍යයත් සංගීතයත් දෙකෙහිම ප්‍රවීණ වූ කලාකරුවන් වූවා නම් අතළොස්සකි. ඔවුන් අතරිනුදු ප්‍රමුඛ පෙළේ කලාකරුවකු ලෙස මගේ දයාබර පියාණන් වූ කලාසූරී කේ. ලයනල් පෙරේරා මහතා නිසැකව හැඳින්විය හැකිය.
කුඩා කල සිටම සංගීතය කෙරෙහි මහත් සේ ආශක්තව සිටි ලයනල් පෙරේරා තරුණයා ටවර් හෝල් නාට්‍යවල සංගීතයෙන් කුල්මත්ව තනිවම සංගීතය පුරුදු පුහුණ වන්නට විය. ඉක්බිතිව එවක සිටි මහා සංගීතඥයකු වූ එච්. ඩබ්ලිව්. රූපසිංහ හෙවත් 'රූපසිංහ මාස්ටර්' යටතේ සංගීතය හැදෑරීය. මෙරට ගුවන් විදුලියේ මූලික අවදියේදීම අටළොස් හැවිරිදි තරුණයකු ලෙස එහි ශිල්පියකු වශයෙන් වැඩ සටහන් ඉදිරිපත් කරන්නට ලැබීම සංගීතයෙහිලා ඔහු දැක් වූ විශිෂ්ට දක්ෂතාවට මනා උදාහරණයකි. මහා සංගීතවේදී ඇම්. ජී. පෙරේරා මහතාගේ ඇසුර ද මේ කාලයේදී ඔහුට ඉතා ප්‍රයෝජනවත් විය. විසි වියට වත් නොපත් තරුණයකු ලෙස මෙරට සංගීත අධ්‍යාපනයෙහි නොැමකෙන කඩඉමක් සටහන් කරමින් 1935 දි මරදානේ 'සංගීතෝදය' විද්‍යාලය ඇරැඹීම විශ්මයජනක සිද්ධියකි. 'සංගීතෝදය' නමින් සඟරාවක් ද එතුමා මේ කාලයේදී පළ කළේය. සංගීතෝදයත් ලයනල් පෙරේරාත් එකිනෙකින් වෙන් කළ නොහැකි සේ අවියෝජනීය වැ බැඳී සිටියේය. තැපැල් මඟින් සංගීතය ඉගැන්වීමේ පුරෝගාමියා වූයේ ලයනල් පෙරේරා හෙවත් සංගීත ලෝකයේ කවුරුනුත් හැඳින් වූ පරිදි 'ලයනල් මාස්ටර්'ය. මෙය කළ නොහැකි වැඩක් යැයි බොහෝ දෙනා කී නමුදු අප්‍රතිහත ධෛර්යයෙන් යුතු වූ හෙතෙම ඉතා සාර්ථකව ඒ කාර්යය ඉටු කළේය. එමඟින් ඔහුගෙන් උගත් සිසු පිරිස පනස් දහසකට ආසන්න යැයි කියැවේ. මෙය කොතරම් ජනප්‍රිය වී ද යත් දිවයිනේ පළාත් කිහිපයකම සංගීතෝදය ශාඛා ආරම්භ කරන්නට ඔහුට සිදු විය. ඈත ගම්වල සිටි දක්ෂ සිසුනට සිය හැකියාව ඔප් නංවා ගන්න මෙමඟින් වූයේ උදාර සේවාවක් බව කිව හැකිය. සුප්‍රකට ලේඛක කේ. බී. සුගතදාස, වාද්‍ය විශාරද පියසේන ප්‍රේමකීර්ති, ගත් කතුවර ඒ. එච්. පියසේන ආදී ඔහුගේ සංගීත ගෝලයන් අතර කැපී පෙනෙන්නෝය. දිවංගත කලාසූරී අරිසෙන් අහුබුදු සූරීන් පවා නිට්ටඹුවේ විදුහලේදී ඔහුගෙන් සංගීතය හදාරා ඇත. මා පියාණන් වූ ලයනල් පෙරේරා මහතාගේ කලා ජීවිතයේ තවත් කඩඉමක් වූයේ නාට්‍ය සංගීතයයි. ටවර් හෝල් නාට්‍ය හා සම්බන්ධව සිටි එතුමා නීතිඥ චාල්ස් ඩයස්, ඩී. වී. සෙනෙවිරත්න යන සුප්‍රකට නාට්‍යවේදීන්ගේ නාට්‍යවලට සංගීතය සපයා ඇත. එමතු ද නොව, ඔහු ඩී. වී. සෙනෙවිරත්නයන්ගේ 'සොර දෙටු කුමාරයා' නාට්‍යයේ චරිතයක් රඟපෑමෙන් නළුවකු වශයෙන් ද දස්කම් දක්වා ඇත. ලයනල් පෙරේරා මහතාගේ ලේඛක ජීවිතය ද විචිත්‍ර වූවකි. ලංකා සාහිත්‍ය ඉතිහාසයේ මුල්ම සිංහල විද්‍යා ප්‍රබන්ධය ලෙස සැලකෙන '1988' ඔහු ලියුවේ 1958 දීය. ඉන් පසු 'අඟහරු ලොවින් ආ මිනිසා', 'ඇවිදින මළ මිනිය' වැනි ඔහු ලියූ විද්‍යා ප්‍රබන්ධ කොතරම් ජනප්‍රිය වීද යත් ඒවා නැවත නැවත මුද්‍රණය කරන්නට සිදු විය. යමුනා, පාර්වතී වැනි ජනප්‍රිය නවකතා ද, කෙටි කතා සිය ගණනක් ද ඔහුගේ නිර්මාණ අතර වෙයි. ඔහු ලියූ 'අඳුරු ගෙදර' ශාස්ත්‍රීය ග්‍රන්ථය ද පාඨකයන් අතර ඉතා ජනප්‍රිය වූ කෘතියකි. එකල එය දස වැනි වරටත් මුද්‍රණය වී තිබිණි. කේ. ලයනල් පෙරේරා කලාකරුවා 2007. 01. 07 දින මෙලොවින් සමු ගත් නමුදු ඔහුගේ කීර්ති රාවය අදත් කලා ලෝකයේ නොනැසී පවතී. එබඳු කලාකරුවකුගේ දියණි කෙනකු වීම මට දැනෙන්නේ මහත් භාග්‍යයක් ලෙසිනි. |