වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




මට තරම් ආදරය ලැබුණු කෙනෙක් තවත් නැති තරම්

මට තරම් ආදරය ලැබුණු කෙනෙක් තවත් නැති තරම්

ආචාර්ය එඩ්වින් ආරියදාස

(95 වැනි උපන්දිනය වෙනුවෙන්)

ශ්‍රී ලංකා අධ්‍යාපන ඉතිහාසයේ කවදාවත් උගන්වා නැති විෂයක් පටන් අරගෙන මගෙන් අහනවා හෙට උදේ ඉඳන් උගන්වන්න පුළුවන්ද කියලා. මම කිව්වා පුළුවන් කියලා. මොකද ඒ වෙනුවෙන් අවශ්‍ය දැනුම මට තිබුණා. නමුත් ඒ විෂය කරුණු බොහොමයක් තිබුණේ ඉංග්‍රීසියෙන්. මට ඒ සියල්ල සිංහල බසට හරවන්න සිදුවුණා. ඒ වෙනුවෙන් මම විෂය නිර්දේශයකුත් හැදුවා.

කලාකීර්ති එඩ්වින් ආරියදාස යනු අපේ රටේ ජ්‍යෙෂ්ඨතම සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු මෙන්ම ගුරුවරයකු ලෙසින් සුවිශාල මෙහෙවරක යෙදෙන වියතෙකි. මෙරට පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද විශාල කාර්යභාරයක්‌ ඉටුකරනු ලබන හෙතෙම රටවල් ගණනාවක සංචාරය කරමින් ලද අත්දැකීම් හා දැනුම නිර්ලෝභීව අන් අයගේ ද අවබෝධය පිණිස බෙදා දෙමින් ශ්‍රී ලාංකික සන්නිවේදන ක්‍ෂේත්‍රයට අනභිබවනීය සේවයක් ඉටු කරන්නා වූ ප්‍රාඥයෙකි .

ඕනෑම විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධව එතුමාගේ දැනුම පුදුමාකාරය. මෙරට පරම්පරා ගණනාවක් තම දැනුමෙන් පෝෂණය කළ එඩ්වින් ආරියදාසයන්ට ඇවිදින පුස්තකාලය ලෙසින් ද නම් පටබැඳීණි. මේ මහා විද්වතාගේ විශේෂත්වය මෙය යැයි ලඝු කළ නොහැකිය. අනූපස් වසරක ජීවන අත්දැකීම් සේම හැටහත් වසරක වෘත්තීය ජීවිතයේ අත්දැකීම් අද එතුමා සතුව පවතී.

“මට මගේ කුඩා කාලය කවදාවත් මගේ මනසෙන් ගිළිහෙන්නේ නැති කාල පරිච්ඡේදයක්. ඒකට එකම හේතුව බොහොම ඉහළින් ආදරය ලැබුණු ළමා කාලයක් හිමිවීමයි. මම කුඩා කාලයේ ලද ආදරය තරම් ආදරයක් කවුරු හරි ලබා තියෙනවා නම් ඒ අතළොස්සක් පමණයි. ඒක මගේ වාසනාවක්. මම ඉපදුනේ ගාල්ල උණවටුන ප්‍රදේශයේ ගැමි ගෙදරක. මට අයියණ්ඩිලා තුන් දෙනෙකුයි අක්කණ්ඩිලා දෙන්නෙකුයි සමඟින් පවුලේ බාලයා වීම නිසා අම්මා තාත්තා වගේම අයියණ්ඩිලා අක්කණ්ඩිලා හැමෝගේම ආදරය ඉහළින්ම ලැබුණා. වැඩිහිටි වියට පත් වුණාමත් මගේ මාධ්‍ය ජීවිතයෙන්, ලේඛණ කලා කටයුතු වගේම සංවිධාන කටයුතු හරහා මමත් ඒ ආදරය සමාජයට බෙදා දුන්නා. මම කිසිවෙකුත් සමඟ තරහ නැහැ. කිසිවෙකුට වෛර කරන්නෙත් නැහැ. මොකද මට එවැන්නක් කවදාවත් ලැබිලා නැහැ.

මගේ වෘත්තිය මාධ්‍යවේදය නිසා කාටත් හිතැති දේ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකට හොඳ අඩිතාලම වැටුණේ කුඩා වියේදීමයි.

මම පොතට පතට ආදරය කළේ වයස අවුරුදු දෙකේදී තුනේදී විතර. විවිධ පින්තූර තියෙන ඉංග්‍රීසි පොත් අපේ ගෙදර තිබුණා. ඒවා අපේ ලොකු අයියණ්ඩිගේ පොත්. මම සෙල්ලම් බඩු විදියට සැළකුවේ ඒ පොත්. දඟ වැඩක් විදියට කළේ පෑන අතට ගත්තු එක තමයි. පොතටම ඇලිලා හිටිය නිසා කය වෙහෙසා කරන ව්‍යායාම් ක්‍රියාකාරකම් නම් අඩු වුණා.”

නමුත් ඔබ කුඩා වියේදී බාල දක්ෂයෙක්?

මගේ අයියණ්ඩි තමයි බාලදක්ෂයා. මට වුණේ වෙන දෙයක්. අයියා නම් බාලදක්ෂ කඳවුරු සමඟින් ලංකාවේ විවිධ පළාත්වල සංචාරය කළා. මම සිංහල පාසලේ ඉගෙන ගන්න කාලයේදී බාලදක්ෂ කඳවුරුවලට කැඳවීම් කළා. වර්තමානයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව පිහිටා තියෙන භූමියේ එක බාලදක්ෂ කඳවුරක් පැවැත්වුණා. ඒ කාලයේ ඒ ප්‍රදේශයට කිව්වේ කූඹි කැළේ කියලයි. වන ලැහැබක් වගේ තමයි තිබුණේ. ඒ බාලදක්ෂ කඳවුරට මමත් සහභාගි වුණා. බාලදක්ෂයෙක් වුණාම වතුර ගේන්න, උයන්න පිහන්න වගේ විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන්නත් ඕනේ. හැබැයි ඉතින් මට ඒ මොකුත් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. මොකද මට බරපතල කාර්යයක් පැවරුනොත් අනිත් අය මං වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඒ කටයුතු කළා. මගේ බාලදක්ෂ ජීවිතේ ගත වුණේ එලෙසින්. ඒ නිසා බාලදක්ෂ පරමාර්ථ මගෙන් ගිළිහුණා.

පොතපත කියවීම පුංචි කාලයේ පටන්ම ලෝක දැනුම හොයන්න උනන්දු කරවන්න ඇති?

පොතපත කියවන්න හැමදාම මගේ කුතුහලයක් තිබුණා. ජාත්‍යන්තරය ගැන හදාරන්න පෙළඹීම එහි ප්‍රබලම අවස්ථාවයි. අපි පුංචි කාලයේ සිල්ලර කඩවලින් බඩු ඔතලා දෙන්නේ නෝට්ස් පේපර්වල. අමෙරිකාව වගේ රටවලින් තොග වශයෙන් ගෙන්වන පරණ පත්තරවලට තමයි එහෙම කියන්නේ. ඒ නොට්ස් පේපර්වල තියෙන දේවලුත් මම කියවනවා. නිව්යෝක් ටයිම්ස් පත්තරයේ අතිරේඛ මම ඒ කාලයේදීම කියවලා තියෙනවා. පුවත්පත් කියවන්න දේශදේශාන්තරවල සිදුවීම් ඉතා හොඳීන් හදාරන්න මට මඟ පෑදුණේ එළෙසින්. මම පුංචි කාලයේදීම සිංහල සහ ඉංග්‍රීසි පත්තර කියවනවා. ඒවායේ තියෙන ප්‍රහේලිකා පුරවන්නත් මම දක්ෂයි. ඒ විතරක් නෙවෙයි. ඉංග්‍රීසි පත්තරවල තියෙන දේවල් අක්කණ්ඩිලාටත් කියලා දෙනවා.

මේ කටයුත්තට පාසලෙනුත් ලොකු සහයක් ලැබෙන්න ඇති?

මම මුලින්ම ගියේ අපේ ගෙදර ළඟ තිබූ උණටවුන බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට. ඊට පසුව දේවාතුඩුවේ ඉංග්‍රීසි පාසලට ඇතුළත් වුණා. එහි ප්‍රධානාචාර්ය ඒ. එම් අබේගුණරත්න නම් විද්වතා නිසා මගේ ඉංග්‍රීසි දැනුම තව තවත් වර්ධනය කරගන්න අවස්ථාව උදාවුණා. අනිත් ළමයි පිට්ටනියේ සෙල්ලම් කරද්දි මම හිටියේ ඉස්කෝලේ පුස්තකාලයේ. මං ළඟ තිබුණා ළමා විශ්වකෝෂයක්. ඒක මගේ පුංචි කාලයේ ඉතාම ආදරය දිනූ ග්‍රන්ථයක්. මම ඒ පොතට මොන තරම් ආශා කළාද කිව්වොත් ඒ පොතේ තිබුණු ඡායාරූපයේ එහි කර්තෘවරයාගේ විදියට කොණ්ඩය පවා පීරන්න පුරුදු වෙලා හිටියා. විවේක වෙලාවට මම කරන්නේ ඒ විශ්වකෝෂය කියවන එකයි.

තවත් විශේෂ කාරණයක් තියෙනවා. දෙවන ලෝක මහා යුද්ධය ආරම්භ වුණේ මට අවුරුදු දහහතේදීයි. ඒ නිසා මට ඉතාම හොඳීන් ඒ තොරතුරු හදාරන්න අවස්ථාව ලැබුණා. මගේ යහළුවනුත් ඒවට ආදාළ තොරතුරු මට ගෙනත් දෙනවා. අහස් යානා හඳුනා ගන්නා රූප, යුධ නෞකාවල රූප ඒ අතරේ තිබුණා. වැඩිහිටියෝ පවා ඒ කාලයේ දෙවන ලෝක යුද්ධය ගැන තොරතුරු අහන්නේ මගෙන්.

ඔබ ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කළේ පුංචි කාලයේදීමයි. ඒ වෙනුවෙන් උනන්දුව ඇති කළේ අයියණ්ඩිලාද?

මම උපදිනකොට මගේ ලොකු අයියණ්ඩි රැකියාවකටත් ගිහින්. හැබැයි එයා කියවපු පොත් ගෙදර තිබුණා. මම පුංචි කාලයේ රූප බැලුවේ ඒ පොත්වලින්. ටික කාලයක් යනකොට මට තනිවම ඉංග්‍රීසි අකුරු කියවා ගන්න පුළුවන් වුණා. ඒක පුදුමයක්. තාමත් ඒක කොහොම වුණාද කියලා මට හිතාගන්න බැහැ. මගේ වයස අවුරුදු තුනක් විතර වෙනකොට මට ඉංග්‍රීසි අකුරු කියවන්න පුළුවන්. වයස අවුරුද පහ හය වෙනකොට ජනප්‍රිය පොතපත කියවන්න හැකියාව ඇති වුණා. ගෙදර තියෙන පොත් කියවලා ඉවර වුණාම අසල්වැසි ගෙවල්වල තියෙන ඉංග්‍රීසි පොතුත් ඉල්ලා ගෙන කියවනවා.

එක ගෙදරක තිබුණා මම කවදාවත් කියවලා නැති ෂර්ලොක් හෝම්ස්ගේ නවකතා පොත් ටිකක්. මම ඒවත් ඉල්ලාගෙන කියෙව්වා මතකයි. ඒ විදියට පොත් කියවීම තුළින් කිසි බාධාවකින් තොරව ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්න හැකියාව ලැබුණා. චාර්ල්ස් ඩිකන්ස්ගේ ‘අ ටේල් ඔෆ් ටූ සිටීස්’ වගේ පොත් කියෙව්වේ පුංචි කාලයේදීමයි. වයස අවුරුදු දහඅටක් විතර වෙනකොට සිංහල සාහිත්‍ය යේ පැරණි පොතපත වගේම ඉංග්‍රීසි සාහිත්‍යෙයේත් ප්‍රධාන පෙළේ පොත් කිහිපයක්ම කියවා ගන්න හැකියාව ලැබුණා. ඒ හැකියාව මට ලැබුණේ උපතින්මයි. ඒකට අපේ අක්කණ්ඩිලා කිව්වේ, මම ගිය ආත්මයේ සුද්දෙක් වෙන්න ඇති කියලයි.

ගාල්ල මහින්ද විද්‍යාලත් ඔබේ ජීවිතයේ සුවිශේෂි ස්ථානයක්?

ගාල්ල මහින්ද විද්‍යාලයේ මම ඉගෙන ගත් කාලයේ විද්‍යාලාධිපති වුණේ ඊ. ඒ විජේසූරිය මහත්මයා. මම උසස් අධ්‍යාපන සහතික පත්‍ර විභාගයට මුහුණ දුන්නේ එහිදීයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබෙන්නේ මේ විභාගය සමත්වූවාට පසුවයි. විනී විතාරණ, නන්දදාස කෝදාගොඩ, සිරි ගුණසිංහ අපි එක පන්තියේ හිටියේ. ඒ කාලයේ මහින්දයේ තිබුණා ටක් ෂොප් එකක්. අපි තේ එකක් එහෙම බොන්න එතැනට යනවා. එතැනදී කෙසෙල් ගෙඩිත් එක්ක වඩේ කන්න අපි පුරුදු වෙලා හිටියා. ඒ කාලයේ ඒක අපට ඉහළ කෑමක්.

මහින්ද විද්‍යාලයේ පුස්තකාලයත් මම නිතරම ගැවසුන ස්ථානයක්. මහින්දයේ පුස්තකාලයේ තිබූ පොත් අතුරින් වැඩි ප්‍රමාණක් කිය වූ කෙනා මා බව එකල පුස්තකාලය භාර නිළධාරියා මට දිනක් පැවසුවා. මහින්ද විද්‍යාලය කියන්නේ හරිම අපූරු ස්ථානයක්. වළාකුළින් තොර දවසට අපිට ශ්‍රී පාදය පේනවා. අපි ඒ අවස්ථාව සැළකුවේ විශේෂ ආශිර්වාදයක් විදියටයි.

ඔබ බෞද්ධ කටයුතු වෙනුවෙන් කැප වෙන්නෙත් තරුණ වියේදීමයි?

විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදී බෞද්ධ සහෝදරත්ව සංගමයේ සභාපතිවරයා වුණා. ඒ විතරක් නෙවෙයි, දිප ව්‍යාප්ත බෞද්ධ සංවිධානයක් වුණු සමස්තලංකා බෞද්ධ ශිෂ්‍ය සංවිධානයටත් බැඳී සිටියා. නමුත් ඒ වෙනකොට මම සරසවි ප්‍රවේශ විභාගයේ ප්‍රථිඵල එකතෙක් මහින්ද විද්‍යාලයේ ගුරුවරයෙක් විදියට කටයුතු කළා. එතකොට තමයි රැකියාව, වාහන, සති අන්තයේ සංචාරත් තියෙනවා, කොළඹට එන්න කියලා සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සංවිධානයේ කොළඹ ප්‍රධාන ශාඛාවෙන් ආරාධනා කළේ.

ධම්මපදය හෙලබසට සහ ඉංග්‍රීසි බසට සංස්කරණය කළෙත් ඔබ?

ඒ පොත පුදුමාකාර ජනප්‍රිය ග්‍රන්ථය බවට පත් වුණා. ඒක රචනා කළේ සිංගප්පූරුවේදියි. මා සිංගප්පූරුවට කැඳවා ඒ වගකීම මට භාර දුන්නේ සිංගප්පූරුවේ මහානායක වේරගොඩ සාරද හිමියන්. එක දවසකට මේ පොතට දුරකථන ඇනවුම් දෙදහසක් පමණ පැමිණි බව සිංගප්පූරුවේ ස්ටේට්ස් ටයිම්ස් සඟරාව මුල් පිටුවේ වාර්තා කළා.

ඔබ මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ලේක්හවුස් ආයතනයෙන්?

මට ලේක්හවුස් ආයතනයෙන් කැඳවීමක් ලැබුණේ 1949 වසරේදීයි. ඒ කාලයේ ලේක්හවුස් සභාපතිවරයා වුණේ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා. එතුමා විසින් පෞද්ගලික ලේකම් ඊලියන් පෙරේරා මහත්මයා අතේ තමයි පණිවුඩය එව්වේ. පොඩි කාලයේ පත්තරවලට ලියන්න උනන්දුව තිබුණත් ඒ වෙනකොට මට රැකියාවක් තිබුණු නිසා ලොකු උනන්දුවක් ඇති වුණේ නැහැ. ඔන්න දෙවැනි වතාවටත් පණිවුඩය ලැබුණා. එතකොට මම මේ කතාව මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාට කිව්වා. ‍“ඉතිං එඩ්වින් මහත්තයා පොඩි කාලයේ පටන් මාධ්‍යනේ ආශ්‍රය කළේ ගියා නම් හොඳයි නේ” කියලා එතුමා කිව්වා.

එතකොට ඔබේ හිත ආයෙමත් ළමා කාලයේ තිබූ අසාවට ඇදී ගියා?

මම ගිහින් එස්මන්ඩ් වික්‍රමසිංහ මහත්තයා හමුවුණා. ලේක්හවුස් එකට සේවයට බැඳෙන්න මම එකඟ වුණා. අලුතෙන් බැඳුණු මම ලේක්හවුස් එකේ කර්තෘ මණ්ඩලවලට හඳුන්වා දෙන්න එක්කර ගෙන ගියෙත් සභාපති වික්‍රමසිංහ මහතාමයි. ඕනිම පත්තරයක වැඩ කරන්න තෝරා ගන්න අවස්ථාව මටම දුන්නා. සියලුම කර්තෘ මණ්ඩල හඳුනාගෙන එනකොට ඒ කාලයේ දිනමිණ පත්තරේ කර්තෘ පියසේන නිශ්සංක මහත්තයා අපි පසුපසින් ආවා. එතුමා මාව තම කර්තෘ මණ්ඩලයට බඳවා ගන්න ඉල්ලීමක් කළා. ඒ අනුව මම ලේක්හවුස් එකට බැඳුනේ 1949 මාර්තු 03 වැනිදා. ඊට දවස් විසි එකකට පසුව 1949 මාර්තු 24 එස්මන්ඩ් වික්‍රමසිංහ මහත්තයාගේ දෙවැනි පුත්‍රයාගේ උප්පත්තිය සිදු වුණා. ඒ තමයි වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. එතුමාගේ ජීවිතය මගේ වෘත්තිය ජීවිතයට වඩා දවස් විසිඑකක් බාලයි.

ලේක්හවුස් ආයතයේ මම මුලින්ම සේවය කළේ පියසේන නිශ්සංක මහත්තයා යටතේ දිනමිණ පුවත්පතටයි. ඉන් පසුව සිළුමිණ, ඩේලි නිවුස්, සන්ඩේ ඔබ්සර්වර්, ජනතා, බුදුසරණ, සුබසෙත ආදි සියලුම පත්තරවල සේවය කළා. ඒ කාලයේ සරසවිය පත්තරයට ලෝක සිනමාව ගැන ලිව්වේ මමයි.

නවයුගය පත්තරයේ කර්තෘ ධුරය ලැබීම මගේ ජීවිතයේ සුවිශේෂි අවස්ථාවක්. ඒක පුවත්පත් කලාවට නවයුගයක් වගේම මගේ ජීවිතයටත් නවයුගයක් වුණා. ඒ කාලයේ රූපවාහිනිය තිබුණේ නැහැ. අන්තර්ජාලය, සමාජ වෙබ් අඩවි කිසිම දෙයක් තිබුණේ නැහැ. ලොකු කුඩා සැමට ලෝක විත්ති දෙන්න මම ක්‍රම හොයා ගත්තා. මම නාසා ආයතනය සමඟ පෞද්ගලිකව ලිපි ගනුදෙනු කළා. තානාපති කාර්යාලවලින් තොරතුරු ලබා ගත්තා. සමහර දවස්වලට රාත්‍රි දොළහ වෙනකල් මම ලේක්හවුස් එකේ ඉඳන් ලිපි ලිව්වා.

ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සමඟින් කටයුතු කාලය ගැනත් සිහිපත් කරමු?

එතුමා ඉතාම හිතවත්ව මා සමඟින් කටයුතු කළා. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ උපදේශකවරයකු ලෙසින් කටයුතු කරන්න මට අවස්ථාව ලැබීමත් සමඟින් එතුමාගේ හිතවත් මිතුරකු බවට පත් වෙන්න මට හැකි වුණා. මගේ රූපවාහිනි වැඩසටහන් ගැන එතුමා නිතරම කතා කළා. එතුමාගේ තිබුණු විශේෂත්වය තමයි එතුමාට තිබුණේ කුතුහලයෙන් පිරි ළමා මනසක්. සන්නිවේදන ක්ෂේත්‍රෙය් මහා පෙරළියක් කළ එතුමා විසින් මා හැඳීන්වූයේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රෙය් ජ්‍යෙෂ්ඨතමයා විදියටයි. ආතර් සී ක්ලාක් මහත්මයා මට දුන්නේ එවැනි සම්මානයක්.

අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියට ජනසන්නිවේදන විෂය හඳුන්වා දීමේ පුරෝගාමියා වන්නේ ඔබයි?

ලේක්හවුස් එකේ සේවය කළ කාලයේදී විවේක ලද හැම අවස්ථාවකම යන්නේ විවිධ රටවල තානාපති කාර්යාලවලටයි. ගිහින් අලුත්ම විෂයන් පිළිබඳ ලියවුණු පොත් සන්නිවේදනය, මුද්‍රණ ශිල්පය, සිනමාව, රූපවාහිනිය ආදිය හොඳීන් අධ්‍යයනය කළා. “එඩ්වින් ජීවත්වෙන්නේ දැනට වඩා අවුරුදු පනහක් විතර ඉදිරියෙන්” මට වඩා ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දීන් මට පැවසුවා. ඒ දැනුම කවදා හරි ප්‍රයෝජනවත් වේවි කියලා මං හිතුවා. 1969 වසරේදී ආණ්ඩුව අලුත් අධ්‍යාපන ආයතන නිර්මාණය කළා. ප්‍රධාන විශ්වවිද්‍යාලවලට යා නොහැකි දරුවන් වෙනුවෙන් වූ ඒවා හැඳීන්වූයේ කණිෂ්ඨ විශ්වවිද්‍යාල නමින්. පරිවර්තන, පුස්තකාල විද්‍යාව, සංචාරක ව්‍යාපාරය ආදි දේ ඒවායේ විෂය නිර්දේශයට ඇතුළත් වුණා.

දෙහිවල කණිෂ්ඨ විද්‍යාලයේ ජනසන්නිවේදන නමින් විෂයක් පටන් ගත්තා. ඒ කාලයේ ඒ විෂයට කිව්වේ ජනවිඥාපනය කියලයි. “හෙට උදේ පටන් මේ අලුත් විෂය උගන්වන්න එඩ්වින්ට පුළුවන් දැයි” කියා එය භාරව සිටි මන්ත්‍රී කාරියවසම් මට දුරකථන ඇමතුමක් දීලා ඇහුවා. ශ්‍රී ලංකා අධ්‍යාපන ඉතිහාසයේ කවදාවත් උගන්වා නැති විෂයක් පටන් අරගෙන මගෙන් අහනවා හෙට උදේ ඉඳන් උගන්වන්න පුළුවන්ද කියලා. මම කිව්වා පුළුවන් කියලා. මොකද ඒ වෙනුවෙන් අවශ්‍ය දැනුම මට තිබුණා. නමුත් ඒ විෂය කරුණු බොහොමයක් තිබුණේ ඉංග්‍රීසියෙන්. මට ඒ සියල්ල සිංහල බසට හරවන්න සිදුවුණා. ඒ වෙනුවෙන් මම විෂය නිර්දේශයකුත් හැදුවා.

ඔබ තනිකඩ ජීවිතයක් ගත කරන්නේ ඇයි කියන එක පෞද්ගලික ජීවිතය ගැන කතා කරද්දි මතු වෙන ප්‍රධානතම ප්‍රශ්නයක් ?

මම යම් තරුණියක කෙරෙහි ඉතා බැරෑරුම් ප්‍රේමයක් ඇති වී බිඳී ගොස් එහි විරහ වේදනාව නිසා තනිකඩ ජීවිතයක් ගත කරන බව බොහෝ දෙනා සිතූ දෙයක්. නමුත් කවදාවත් එවැන්නක් සිදු වුණේ නැහැ. මමත් ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගත්තේ මනෝවිද්‍යාත්මක පොත පත හැදෑරිමෙන්. මගේ තනිකඩ ජීවිතයට ප්‍රධානතම හේතුව දීර්ඝකාලීන ළමා සමය යි. එය ඇති වෙන්නේ මගේ පවුලෙන් ලද අසීමිත ආදරය සමඟින්. විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලියනකොටත් මගේ නියපොතු කැපුවේ ලොකු අක්කණ්ඩි.

එතකොට හිත ගිය ගැහැනු ළමයෙක් හිටියෙම නැද්ද?

මොකද නැත්තේ හිටියා. හුඟක් හිටියා. ඇයි බෞද්ධ සංගමයේ කටයුතු කරන කාලයේදී ගැහැනු ළමයි, පිරිමි ළමයි අපි හැමෝම නිතර හමු වෙනවා. නොයෙක් පළාත්වල ඇවිදිනවා. ඉතිං ප්‍රේම සම්බන්ධතාත් බහුලයි.

ඉතිං එහෙනම් එක්කෙනෙක් තෝරාගෙන විවාහ නොවුනේ ඇයි?

ඒක මගේ වරද නෙවෙයි. ඒක මේ ලංකාවේ කාන්තාවන්ගෙන් අහන්න ඕනි ප්‍රශ්නයක්. ඔවුන් මා විවාහකර ගත්තේ නැත්තේ ඇයි? ඔන්න මෙන්න වගේ එක සබඳතාවක් තිබුණා. නමුත් ඒක සිදු වුණේ නැහැ. මොකද කාන්තාවන්ට බලා ඉන්න බැහැනේ. ඒකයි වුණේ.

ඔබතුමාගේ ඇඳුම් විලාසිතාවත් විශේෂිතයි?

1990දී විතර ලෝකයට තෙවන ලෝකයේ රටවල් කියන හැඟිම ආවා. එතකොට ඉන්දුනීසියාව, සිංගප්පූරුව, චීනය, බුරුමය ආදි තෙවන ලෝකයේ රටවල නායකයන් මේ සරළ සෆාරි ඇඳුමට පුරුදු වුණා. ඔවුන් ඒක නම් කළේ තෙවන ලෝකයේ යුද්ධ ඇඳුම ලෙසින්. සරළයි. ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයකට අඳීන්න පුළුවන්. මේ ඇඳුම ඇඳගෙන පාසලක දේශනයකට යන ගමන් මංගල උත්සවයකටත් යන්න පුළුවන්. ඉතිං මම මේ ඇඳුමට ප්‍රිය කළා. ලංකාවේ මා අනුගමනය කළ ඇතැම් අයත් මේ ඇඳුමට පුරුදු වුණා.

එඩ්වින් ආරියදාසයන් සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම අදත් අප රටේ මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදී සිටින්නේය. විවිධ විෂයන් ඔස්සේ ලෝකය වෙත විහිද ගියා වූ දැනුම සියල්ලන් වෙත ලබා දෙන්නේය. අනූපස් වැනි ජන්ම දිනය සමරන ඔබට තවත් චිරාත් කාලයක් අප සැමට වටිනා දැනුම ලබා දෙමින් වැජඹීමට ශක්තිය ධෛර්යය ලැබේවායි සරසවියේ ප්‍රාර්ථනය යි.